මෙරට මැයි දිනයේ උපත


මෙවර මැයි දිනය බොහෝ දෙනාගේ විවේචනයට ලක් වී ඇත. එයට හේතුව වශයෙන් දක්වනු ලබන්නේ එයට නියමිත හා සම්මත දිනය වන මැයි පළමු වැනි දින නොපවත්වා මැයි හත්වැනිදාට යොදා තිබීමය. එය රජයේ තීරණයකි. එයට ද හේතු තිබේ. මෙවර වෙසක් උත්සවය යෙදුණේ අප්‍රේල් මස 29 වැනි දිනටය. එය රජයේ තීරණයක් නොවේ. චන්ද්‍රයාගේ ගමන අනුව නිගමනය කෙරෙන්නකි. බොදුනුවන් බහුතරයක් ජීවත්වන රටක් වශයෙන් ශ්‍රී ලාංකේය ජන සමාජයේ පිළිගැනීම වනුයේ වෙසක් පොහෝ දිනය ධර්මානුකූලව ආගමික වත් පිළිවෙත්වලට අනුව ප්‍රතිපත්තිමය සහ ආමිෂ පුද පූජාවන් පවත්වමින් කල් ගත කළ යුතුය. එදින උද්වේගකාරී හෝ ප්‍රචණ්ඩ හෝ ක්‍රියාවන් සඳහා යොදා නොගත යුතු යැයි ඔවුහු විශ්වාස කරති. එය චිරාත් කාලයක් පවත්නා බොදු හැදියාවේ ලක්ෂණයකි, ආභාසයයි. 


මැයි දිනය යනු උද්වේගකාරී සහ ප්‍රචණ්ඩකාරී මෙන්ම ප්‍රචණ්ඩත්වයට බර ක්‍රියාකාරකමකි. එමගින් සිහිපත් කරනුයේ තම අයිතිවාසිකම් සඳහා සටන් වැදුණු කම්කරු පිරිසක් මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් වෙඩි තැබීම නිසා මිය ගිය තම පූර්වගාමී සටන් සගයන් රැසක් ඝාතනය කිරීම පිළිබඳ අනුවේදනීය සිදුවීමකි. එහි ආවේගශීලීත්වය ප්‍රකාශ කිරීමට ඉතා සුළු වැකියක් ප්‍රකාශ කළ හැකිය. 1800 වකවානුවේ අග භාගයේ දී කම්කරු පංතියේ සංකේතය වශයෙන් ප්‍රදර්ශනය කළේ සුදු පැහැති ධජ පතාක බව කියනු ලැබේ. 1886 දී ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ දී කම්කරුවන්ගේ විශාල උද්ඝෝෂණ සහ වැඩ වර්ජන රැල්ලක් දියත් වුණි. එහි ප්‍රධාන අරමුණ වූවේ දිනකට වැඩ කරන පැය අටක් බවට ප්‍රකාශයට පත් කරන ලෙසය. ලාභය උපයා ගැනීම තම පරම අභිප්‍රාය කර ගත් ව්‍යවසායකයෝ තමන්ට අභිමත පරිදි සේවකයන්ගෙන් වැඩ ගත්හ. එය දිනකට පැය දහයක් දොළහක් හෝ පහළොවක් විය හැකිව තිබුණි. එය සීමා කිරීමට හෝ පාලනය කිරීමට නීතිමය රැකවරණයක් කිසිම රටක ස්ථාපිතව තිබුණේ නැත. ඒ නිසා මෙම ගැටලුව මුල් කර ගනිමින් 1886 වර්ෂයේ මුල් භාගයේදී චිකාගෝ නුවර වැඩ වර්ජන ආරම්භ විය. එම සටන් ඉතා උග්‍ර තැනට පත් වෙද්දී පොලිසිය යොදවා එම අරගලය මර්දනය කිරීමට රජයත්, ආයතන පාලකයෝත් කටයුතු කළහ. මේ අනුව චිකාගෝ නුවර හේ මාකට් නම් ස්ථානයේ දී පොලිසියේ වෙඩි පහරින් කම්කරුවන් ගණනාවක් මරණයට පත් වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. මෙම පිරිස අතරින් වැගිරුණු රුධිරයෙන් පෙඟී කම්කරුවන් අත තිබුණු සුදු පැහැති සමහර ධජ පතාක රතු පැහැයට හැරුණු බව කියවේ. එම කම්කරු පිරිස් තම සගයන්ගේ සිරුරින් වැගිරුණු ලෝහිතයෙන් රතු පාටට හැරුණු ධජ පතාක රැගෙන පෙරටම ගියහ. කම්කරු පන්තියේ ධජය රක්ත වර්ණ වූයේ ඒ ආකාරයෙන් යැයි බොහෝ විට කියනු මම අසා ඇත්තෙමි. අරගලයේ විප්ලවයේ මෙන්ම සටනේ සංකේතය රක්ත වර්ණ ධජය බවට පත් වී ඇත. මෙවැනි උද්වේගකාරී සිදුවීමක් සමරන අවස්ථාව වෙසක් දිනයට කිසි සේත්ම නොගැළපෙන බව සිතීමට පමණටත් වඩා කරුණු තිබේ. මෙම උද්වේගකාරී පසුබිමට මත්පැන්වල උත්තේජනය ද ලැබෙන බව කීම කිසිවෙකුට කරන අගෞරවයක් නොවේ. එය බොහෝ විට සිදු වන්නට ඉඩ ඇති දෙයකි. 
දන්සැල් පැවැත්වීම, සංඝයා විෂයෙහි දන් දීම මෙන්ම සිල් ගැනීම්, බණ භාවනා පැවැත්වීම ආදී ආගමික කටයුතුවල ද වෙසක් සැරසිලි කිරීම් සහ එම සැරසිලි නරඹන්නට යාම ආදී කටයුතුවල යෙදෙන පුණ්‍යකාමී ජනතාවට මැයි දිනය සමරන පිරිස්වල හැසිරීම නොගැළපෙන බව බැලු බැල්මටම පෙනෙන සත්‍යයකි. එහෙත් විප්ලවවාදය ගරු කරන සමහර දේශපාලන පක්ෂ චිරාගතව පැවත එන පරිදි තම මැයි දිනය නියමිත දිනටම පැවැත්වීමට උත්සාහ කිරීම ගැන ද ඒ අයට චෝදනා කළ නොහැක. 


ඒ ඔවුන්ගේ අභිමතය හා අයිතිය වන බැවිනි. 


එක් දහස් අටසිය අසූහයේ චිකාගෝ නගරයේ සිදු වූ කම්කරු ඝාතනය පිළිබඳ පුවත ලෝකය පුරා මහත් කතා බහට ලක් වු සිදුවීමක් විය. එනිසා එය ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ 1890 දී මහා පෙළපාළියක් හා රැලියක් පවත්වමින් ලන්ඩනයේ කම්කරුවෝ ප්‍රථම වරට මැයි දිනය සැමරූ බව කියනු ලැබේ. මෙය ලෝකයේ අනෙකුත් රටවල වෘත්තීය සමිති හා වාමාංශික මතධාරී දේශපාලන පක්ෂ අතරට ද පැතිරී ගොස් මැයි දිනය සැමරීම ලෝක ව්‍යාප්ත සංසිද්ධියක් බවට පත් වූවේය. 


දහනව වැනි සියවස උදා වී දශක දෙකක් ගෙවී යද්දීත් ලංකාවේ මෙම කටයුතු සිදුවූයේ නැත. ඒ වන විටත් බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාව තුළ සංවිධානය වූ කම්කරු පන්තියක් බිහි වී නොතිබුණු අතර එවැනි ක්‍රියාවලියකට අනුගත විය හැකි දේශපාලන බලවේගයක් ඇති වී තිබුණේ ද නැත. එහෙත් 1928 වසර වන විට මෙම තත්ත්වය සහමුලින්ම වෙනස්ව ගියේය. ලංකාවේ ප්‍රථම මැයි රැලිය 1928 දී පවත්වන ලදි. එයට නායකත්වය දුන්නේ මහනුවර සිට කොළඹට සංක්‍රමණය වී ජාතික ආගමික සහ සමාජමය මෙහෙවරට දායක වෙමින් සිටී. ඒ. ඊ. ගුණසිංහ නමැති තරුණයෙකි. ඔහු ලංකාවේ කම්කරු සමිති ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම මැයි දිනයක් පැවැත්වීමේ පුරෝගාමියා ද විය. මෙහිලා සඳහන් කළ යුතු සුවිශේෂී කරුණ වන්නේ මෙරට කම්කරු ව්‍යාපාරයේ පුරෝගාමී නායකයා වන ඒ. ඊ. ගුණසිංහ මහතා උපත ලබා ඇත්තේ ද මැයි දිනයක හෙවත් මැයි පළමුවැනිදාවක වීමය. එය දෛවෝපගත සිදුවීමක් වූවා නිසැකය. 


කන්ද උඩරට මහනුවර දේශහිතෛෂී වීර පුරුෂයන් බොහෝ දෙනෙකුගේ නිජ භූමිය වූයේය. පසු කලෙක එවැනි අනුන්ගේ සුබසාධනය වෙනුවෙන් කැප කළ ජීවිත චරිතයක් බවට පත් වූ ඇලෙක්සැන්ඩර් ඒකනායක ගුණසිංහ දරුවා 1891 මැයි පළමුවැනිදා මහනුවර දී උපත ලද්දේය. වෙනත් වචනවලින් කියතොත් ගුණසිංහ දරුවා උපත ලැබුවේ මුල්ම මැයි දිනය පවත්වා එළඹුණු ඊළඟ මැයි දිනයේදීය. වඩා ධනවත් නොවූ පවුලක සාමාජිකයෙකු වූ ඔහු මහනුවර  ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගත්තේය. ධර්මරාජයෙන් ලබන ලද ආගම දහමට ඇති කැමැත්ත අනුන්ගේ යහපත වෙනුවෙන් ඉදිරිපත්වීම යන යහගුණයන්ට අමතරව යුක්තියට ගරු කිරීම, ඒ වෙනුවෙන් සටන් කිරීම සහ එම කටයුතු සඳහා අවශ්‍ය නිර්භීතකම මෙන්ම ධෛර්යයද ගුණසිංහ තරුණයා වෙත මනාව පිහිටා තිබුණි. 


ඔහු විදුහල් අධ්‍යාපනයෙන් පසු සමාජයට පිවිසියේ පෙර සඳහන් කළ සකල ගුණාංගයක්ම පරිපූර්ණ ලෙස දරා ගනිමිනි. එනිසාම ජාතික නිදහස පිළිබඳ උසස් හැඟීම් මෙන්ම බෞද්ධ පුනර්ජීවනය, අමද්‍යප ව්‍යාපාරය ගැන ද ඔහු තදින් උනන්දුවක් දැක්වූවේය.


එකල රට පුරා සංචාරය කරමින් දේශන පවත්වමින් ලක්වැස්සන්ගේ නිද්‍රෝපගත හැඟීම් අවදි කරවමින් ජාතියේ උස් නිදහස සහ එය ලබා ගැනීම සඳහා මූලිකව ක්‍රියා කළ අනගාරික ධර්මපාල තුමාගේ විශිෂ්ට ක්‍රියා කලාපය මෙම තරුණයාගේ දිවියේ පරමාදර්ශය බවට පත් විය. එමගින් ගුණසිංහ අමද්‍යප ව්‍යාපාරයේ ද හොඳම ක්‍රියාකාරිකයෙකු බවට පත් විය. එකල මෙරට පැවති සීමිත රැකියා ප්‍රමාණයට පවා ඉන්දියාවෙන් සේවකයන් සහ කම්කරුවන් ගෙන්වීම ඔහු තරයේ හෙළා දැක්කේය. එයින් අනාගතයේ දී රටට සිදුවන මහත් ව්‍යසනය ගුණසිංහ මනාව වටහාගෙන සිටියේය. තේ කර්මාන්තය සඳහා දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කම්කරුවන් ගෙන්වීම නිසාත් අනෙකුත් බොහෝ රැකියා සඳහා කේරළයෙන් සේවකයන් ගෙන්වීමත් එසේ දැඩි විවේචනයට ලක් කළේය. පුවත්පත් කලාව ගැන විශාල උනන්දුවක් දැක්වූ ගුණසිංහයන් පසුකාලීනව පුවත්පත් කීපයක්ම සම්පාදනය කළේය. ඒවාගේ කර්තෘත්වය දැරීය. 

 

1928 දී ඒ. ඊ. ගුණසිංහ මහතාගේ නායකත්වය යටතේ ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රථම මැයි දින පෙළපාළිය කොළඹ නගරයේ පැවැත් වූ අයුරු.

 


රටට ජාතියට වඩාත් පුළුල් මෙහෙවරක් සිදු කිරීමේ අටියෙන් කොළඹට සංක්‍රමණය වූ ඔහු එකල ජාතික ආගමික ව්‍යාපාරයේ ප්‍රකට නායකයෙකු වූ වික්ටර් කොරෙයා මහතාගේ කිට්ටු ඇසුරට පත් විය. කොළඹ ජීවත්වීමට ආදායම් මඟක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරු රැකියාවක් ලබාගෙන ටික කලක් එහි නියැළෙන අතරේ ජාතික නායකයන් ඇසුරු කරමින් ජාතික විමුක්තිය ලබා ගැනීමේ අරගලයට ද දායක විය. කොළඹ ජීවත්වෙන අතරවාරයේ එහි වෙසෙන දුගී දුප්පත් ජනතාව මුහුණදෙන ගැටලු හඳුනා ගැනීමටත් ඒවාට විසඳුම් සෙවීමටත් උනන්දුවක් දැක්වීය. 


මෙසේ කටයුතු කරමින් සිටියදී 1915 සිංහල - මුස්ලිම් ජාතිවාදී අරගලය පැන නැංගේය. ඒ වන විට අධිරාජ්‍ය විරෝධී අරගලයේ කැපී පෙනෙන නායකයෙකු බවට පත්ව සිටි ගුණසිංහයන් ද අත් අඩංගුවට ගනු ලැබ බන්ධනාගාර ගත කළේය. එකල අධිරාජ්‍ය විරෝධී සටනේ පෙරමුණු බළ ඇණිය ලෙස ප්‍රකටව සිටි සර් ඩී. බී. ජයතිලක, දේශබන්ධු, ඇෆ්. ආර්. සේනානායක, ඩී. ඇස්. සේනානායක, ඩී. සී. සේනානායක, හෙන්රි පේද්‍රිස්, සී. ඒ. හේවාවිතාරණ, එඞ්මන්ඞ් හේවාවිතාරණ ආදී දේශප්‍රේමීන් ද මේ වන විට සිටියේ බන්ධනාගාරගතවය. දිනක් හදිසියේම හෙන්රි පේද්‍රිස් තරුණයා වෙඩි තබා මරා දැමීමට බි්‍රතාන්‍ය පාලකයෝ කටයුතු කළහ. අනෙක් නායකයන්ගේ ඉරණම ද ඒ අයුරින්ම විසඳෙනු ඇතැයි නායකයෝ අනුමාන කළහ. ඒ නිසා ඇෆ්. ආර්. සේනානායක මැතිඳුන්ගේ බර පැන දැරීමෙන් රොබට් චාමස් ආණ්ඩුකාරවරයා නිකුත් කළ නීති විරෝධී නියෝගයක පිටපතක් ද සපත්තුව තුළ රුවාගෙන රාජනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා ඉතා අවදානමක් දරාගෙන බි්‍රතාන්‍යයට ගොස් එරට රජයට කරුණු දැක්වීම නිසා සිංහල බෞද්ධ නායකයෝ මරණයෙන් මිදී නිදහස ලැබූහ. 
අධ්‍යාපන තත්ත්වයෙන් ඉතා අඩු මට්ටමක සිටි කොළඹ ජනයා සඳහා රාත්‍රී පාසලක් ආරම්භ කර නැණ නුවණ වඩාලීමට ගුණසිංහ පියවර ගත් අතර කොම්පඤ්ඤ වීදියේ ද එවැනිම පාසලක් ආරම්භ කළේය. 
කොළඹ නගරයේ කම්කරු පන්තිය විඳින දුක් ගැහැට ගැන තරුණ ගුණසිංහයන් තුළ පැවතියේ හොඳ අවබෝධයකි.

 

නිසි වැටුපක් හෝ වැඩ කරන නිශ්චිත පැය ගණන් ප්‍රකාශ කර නොමැතිව සිටි ඔව්හු අති දුෂ්කර ජීවිත ගත කළහ. ඔවුන්ගේ නිවාස අඳුරු ගුබ්බෑයම් විය. ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපන පහසුකම් නොලැබුණි. මෙවැනි දේ ගැන කම්පාවට පත්ව සිටි ගුණසිංහ මහතා 1922 සැප්තැම්බර් මාසයේදී ලංකා කම්කරු සංගමය නමැති සංවිධානය පිහිටුවා ගන්නා ලදි. 


ඉතා දරුණු අන්දමින් මිනිසුන් තළා පෙළා බදු අයකිරීම එකල යටත් විජිත රජයේ පුරුද්දක් වී තිබුණි. තම ආදායම් මඩිය තර කර ගැනීම උදෙසා ඇඟ බද්ද නමින් අලුත් බද්දක් පැනවීමට ඔවුන් කටයුතු කළේ එබැවිනි. නිසි වයස සැපිරූ සෑම පුරවැසියෙකුම නියමිත මුදලක් රජයට ගෙවිය යුතු යයි නියෝගයක් පනවන ලදි. එම බද්ද නොගෙවන සෑම කෙනෙක්ම මහපාරේ කළු ගල් කැඩිය යුතු විය. සිය මව්බිමේ පය ගසාගෙන සිටීමට මොන බදු ගෙවීමක් දැයි ජනයා විමසූහ. එයට හේතු වූවේ ගුණසිංහ මහතා ඇඟ බද්දට එරෙහිව දුන් නායකත්වයයි. ඔහු හැකියාව තිබියදීත් බදු නොගෙවා මහ පාරේ කළුගල් කැඩුවේය. ඒ ජනතාව වෙනුවෙනි. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සාර්ථක විය. කොළඹ නගරයේ ඇඟ බද්ද අහෝසි කිරීමට සුදු පාලකයන්ට සිදු විය. 


සෑම ශ්‍රමයකට වැටුපක් හිමි බවත් කම්කරුවන්ට දිනාගැනීමට අයිතිවාසිකම් රාශියක් ඇති බවත් ගුණසිංහ මහතා නිතර කියා සිටියේය. ඒ සඳහා සංවිධානය විය යුතු බවත් ඒ සඳහා කැපවීමට තමා සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා වැඩ වර්ජන රාශියක් මෙහෙයවීමට ඔහු නායකත්වය දුන්නේය. 1923 දී මහා දුම්රිය වැඩ වර්ජනයක් මෙහෙයවූ ඔහු එම සටන නිමාවීමටත් පෙර පෞද්ගලික හා රජයේ අංශයේ වර්ජනයක් සඳහා නායකත්වය දුන්නේය. එය එතෙක් කොළඹ පැවති විශාලම වැඩ වර්ජනය ලෙස ඉතිහාසයට එක්ව ඇත. 1927 ජනවාරි 23 දින එකල කොළඹ ප්‍රධාන ගමනාගමන මාධ්‍යය වූ ට්‍රෑම් රථ සියල්ල වර්ජනයකට යොමු කිරීමට ගුණසිංහ මහතා සමත් විය. දින දහතුනක් පුරා කොළඹ පාළුවට යවමින් පැවති එම ඓතිහාසික වැඩ වර්ජනය නිසා බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයත් ට්‍රෑම් රථ අයත්ව පැවති සීමා සහිත බවුස්ටඞ් සමාගමත් දණගැස්වීමට සමත් වූ බව පැරණි වාර්තාවල දැක්වේ. මේ අනුව ගුණසිංහ මහතා ශක්තිමත් නායකයෙකු බව රටට ඔප්පු විය. 


මෙවැනි කම්කරු බලයක් සහිතව සිටි ඒ. ඊ. ගුණසිංහ මහතා තම කම්කරු පක්ෂයේ නායකත්වය යටතේ ලංකාවේ ප්‍රථම මැයි දිනය 1928 වසරේදී පවත්වනු ලැබීය. දහස් ගණනක කම්කරු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති පෙළපාළිය වර්තමානයේ තරම් සටන්කාමී නොවූ බව පැරණි වාර්තාවල දැක්වේ. කොඩි කුඩ සේසත් ඔසවා ගෙන මෙම පිරිස ගමන් කළේ බෞද්ධ පෙරහරක් ගමන් ගන්නා ආකාරයට යැයි කිය වේ. 


වසර අසූවක් ගෙවී ඇත. මේ වන විට මැයි දිනය බොහෝ දේශපාලන පක්ෂ විසින් විවිධ මුහුණුවරින් පවත්වනු දක්නට ලැබේ. එය තම පක්ෂවල ශක්තිය පෙන්වීමට පවත්වන සංදර්ශන බවට පත්ව ඇති බවට ද සමහරු මැසිවිලි නගති. අද මැයි දින පෙළපාළිවල බොහෝ විට ගමන් කරනුයේ ගම්වල නිවැසි පක්ෂ සාමාජිකයෝය. කම්කරු පන්තිය සහභාගී වන්නේ ඉතා අඩුවෙනි. ඉදිරියේ දී ජීවත් වන අයට තවත් වෙනස්කම් දැක බලා ගන්නට ලැබෙනු ඇත. මේ සියලුම විපරියාසයන් අතරේ ලංකාවේ මැයි දිනයේ පුරෝගාමියා ඒ. ඊ. ගුණසිංහ මහතා බවත් ඒ මහතා මැයි දිනයකම උපත ලද බවත් එම සිදුවීම් දෙකේ දෛවෝපගත සම්බන්ධයක් ඇති ද යන්නත් ගැන අනාගතයේදී ද යම්කිසි ලියුම්කරුවෙකු සටහන් තබනු ඇතැයි මම අනුමාන කරමි.

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ