2010 න් පසු ලාංකේය දේශපාලනික හැසිරීම් හා මහජන මතයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සංකුලතා දිගින් දිගටම ජන සමාජය තුළ කතාබහට ලක්වෙමින් තිබිණි. සැබැවින්ම එවකට ජනතාව අත්දකිමින් සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ඝොරතර මායාවක් යැයි පැවැසුවහොත් මා නිවැරැදිය. 2009 මැයි 18 වැනි දින අවසන් වූ යුද්ධයත් සමග රටේ දේශපාලන ප්‍රවාහය කිසිවෙක් නොසිතූ ලෙස ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් තිබුණි. ඒ පිළිබඳව මගේ ආකල්පය මෙසේයි.
2009 මැයි මස 18 වැනි දින මෙරට යුද්ධය අවසන් වුණි. ඉන්පසු රටට ඉතිරි වූයේ යකඩෙන් හා ගින්දරින් විනාශ කළ මනුෂ්‍ය කොට්ඨාසයක් පමණි. යුද්ධයෙන් පසු ඊට ගොදුරු වූවන් සමනය කිරීමේ වගකීම රජයක් සතුය. ඔවුන් මිලිටරි මානසිකත්වයෙන් මුදවාගෙන සිවිල් සමාජයට ප්‍රවේශ කිරීම, පුරවැසියන් ලෙස භාරගැනීම රටක කාර්යභාරය විය යුතුය. එයට සිංහල දෙමළ භේදයක් අවශ්‍ය නැත. දමිළ හෝ වෙනත් ජාතියකට අයත් වුවද ඔවුන් සියල්ලෝම ශ්‍රී ලාංකිකයන්ය. මේ භූමියට ජාතික වූ පුරවැසියෝය. විශේෂයෙන් රජයකට මේ මිනිසුන් අතහැර දැමීමට අයිතියක් නැත. නමුත් පසුගිය සමයේ අප දුටුවේ ජයග්‍රහණයෙන් ඔද්දල්ව තව තවත් ජාතිවාදී ආස්ථානයක් වෙතම තල්ලු වී යන රජයක් මිස අවසන් වූ යුද්ධය නැවත ඇති නොවන්නට කටයුතු කරන පාලන තන්ත්‍රයක් නොවේ.
ජර්මනියේ අදටත් නට්සි මානසිකත්වයෙන් කටයුතු කරන ඇතැම් පුද්ගලයින් නැතුවා නොවේ. නමුත් එවන් රටක ඒවා නැවත ඉස්මතු නොවන ලෙස වර්ගවාදය සම්බන්ධ භීෂණකාරී කුඩා සිදුවීමක් හෝ ඇති නොවන ලෙස පවත්වාගෙන යන නීති රීති පද්ධතියක් තිබේ. ලංකාවේ ද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ආදිය මගින් යුද්ධය ඇති වීමට හේතු හා ඒවා ඇති නොවන්නට ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් ව්‍යවස්ථා පැවතුණ ද පසුගිය රජය ඒවා කිසිවක් ක්‍රියාත්මක වීමට අවස්ථාවක් ලබා දුන්නේ ද යන්න සැක සහිතයි.
ඒ යළි යළිත් ජාතිවාදය අවුළුවා පටු දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණෙනි. සැබැවින්ම එකල සිදුවූයේ සියල්ල පසෙකලා යුද ජයග්‍රහණ උදම් ඇනීම පමණි. එසේම එහි බියකරු බේදවාචකය වූයේ බහුතර මහජන මතය ද ඒ හා සමගාමීව ක්‍රියාත්මක වන්නට පටන් ගැනීමයි.
දිනපතා මාධ්‍ය හරහා නිවසට විත් අරුම පුදුම ලෙස ලංකාව සංවර්ධන කර ගෙන යන අයුරු පෙන්වන මේ ‘සොඳුරු ආඥාදායකයා’ ලංකා ඉතිහාසයේ බිහි වූ උතුම්ම නායකයා යැයි ජනතාව විශ්වාස කළා. නමුත් සංවර්ධනය යැයි කියා ගත් මහා පරිමාණ ගසාකෑම, ණය බරින් විදේශ රටවලට ගොඳුරුක් වන තම මාතෘ භූමිය පිළිබඳ කිසිදු තොරතුරක් ඔවුන්ට හඳුනාගන්නට ලැබුණේ නැත. ඒවා මාධ්‍ය හරහා හෝ වෙනත් කිසිදු ක්‍රමයකින් ජනතාවට සම්ප්‍රේෂය වූයේ නැත.
ලෝකයේ මතවාද මූලික යුගයක් මිනිස් මූලික යුගයක් ආදී විවිධ යුග පසුකරමින් වර්තමානයේ මාධ්‍ය මූලික යුගයක් කරා පැමිණ සිටියි. සියල්ලම තීරණය කරන්නේ මාධ්‍යයයි. රාජපක්‍ෂ මහතා ද තම වාසියට යොදා ගත්තේ එකී තත්ත්වයයි. ඔහු රජෙක් වූයේ යුද අවසානය ඒකපාර්ශ්වීය ජයග්‍රහණයක් බවට පත්වූයේ සුළු ජාතීන්ට තවදුරටත් බහුතර සිංහල ජනතාවට සාපේක්ෂ විය නොහැකි බවට රටවැසියාගේ මානසිකත්වය සකස් කළේ මාධ්‍ය හරහායි. එබැවින් ‘ආසියාවේ ආශ්චර්යය කරා ගමන් කෙරෙන වේගවත් ගමන’ නම් හුදු මායාවේ අතිශයෝක්තියේ හඬට යටත්ව ගිය සැබෑව හඳුනාගැනීමට කිසිවෙකුට නොහැකි වුණි.
මේ සියලු කාරණා අතරින් ඒ දේශපාලන යථාර්ථයේ ඛේදජනකම තත්ත්වය වූයේ සංවර්ධනයේ නාමයෙන් සිදුකෙරෙන මායාකාරී කපටිකම් තුළ රැවැටෙන මහජනතාව ජාතිවාදී දෘෂ්ටිවාදයක් තුළ ගිල්වා අපේක්‍ෂා භංග කිරීමයි. සිංහල - දෙමළ ජාතිවාදී අරගලය අවසන් වෙත්ම රට තුළ ආගම් භේදය රජයමින් එකිනෙකා ඔවුනොවුන්ට එරෙහිව කැරලි ගසන්නට, යුද්දයකට අර අඳින්නට පටන් ගත් අයුරු අපි දැක ගත්තෙමු. එයට හේතුව වූයේ අවසන් කළා යැයි පැවසූ යුද්ධයේ සතුට, පාලක පන්තිය විසින් ජාතිවාදී ලෙසම භුක්ති විදීම ඇරැඹීමයි. අන්තවාදී ආගමික කල්ලි බිහිකොට ඒවා මගින් භීෂණය හා මිථ්‍යාව සමාජය පුරා වපුරා මිනිසාගේ තාර්කික ඥානය දුර්වල කිරීම අතීතයේ සිට ලෝකයේ භාවිත වූ සූක්ෂ්ම දේශපාලනික උපක්‍රමයන් ය. මෙරට ද ඉතිහාසය පුරාවට මෙන්ම ගෙවී ගිය සමාජයේ ද ප්‍රබල ලෙස අපි ඒවා දැක ගත්තෙමු.
එපමණක් නොව පසුගිය සමයේ රටේ දේශපාලනයේ ඉහළම තැන සිට පාලකයෝ බහුතරයක් ජ්‍යොතිෂකරුවන් සාස්තරකරුවන් පසුපස වැඳ වැටෙමින් යන අයුරු රටක් ලෙස අපි අත් දුටුවෙමු. ඉන් සිදු වූයේ මිථ්‍යාවේ ආවේශය ජනතාවට ද පැතිර යාමයි. සංවර්ධනය කරා ගමන් කරන රටක නොදැකිය යුතු බොහෝ දෑ අප අත්දකිමින් සිටියා මෙන්ම ඊට විරුද්ධව අරගල කරන්නට නොහැකි තත්ත්වයට නිද්‍රාශීලීව ද සිටියහ.
එපමණක් නොවේ, මේ සමයේ ලාංකේය දේශපාලනය ගමන් කරමින් රූපය තිබූ පමණින් දේශපාලනයට පිවිසීමට පෝලිමේ එන නළු නිළියන්, නිරූපිකාවන්, ගායිකාවන් මෙන්ම හා ජාවාරම්කරුවන් ද අපි ඒ සමයේ දැක ගත්තෙමු. ලාංකේය දේශපාලනයේ අනාගතය තීරණය කිරීම සිදු වන්නේ මෙවන් පිරිසකගෙන් නම් එය ජාතියේම අවාසනාවකි. සැබැවින්ම රටේ පාලක පන්තිය ලෙස සුදුසුකම් ලැබීමට මෙවන් පිරිසක් හැර වෙනත් විකල්පයක් නැති සමාජයක්, දේශපාලනිකව අරාජිකත්වයට පත්වෙනවා හැර සිදුවෙන වෙනත් යහපතක් නැත.
කෙසේ වුවත් මා දන්නා පරිදි එවකට රටේ බොහෝ දෙනාගේ සිත් තුළ පැලපදියම් වී තිබුණු එකම කාරණය වන්නේ රාජපක්‍ෂ පාලනය පරාජය කිරීම කිසිසේත් කළ නොහැකි ක්‍රියාවක් බව පමණය.
මේ අතර රාජපක්‍ෂවරුන්ගේ සියලු කටයුතු ඉටු කිරීමට බැඳී සිටි ඉහළ වගකිවයුතු නිලධාරිහු කිහිප දෙනෙක් ද වූහ. ඔවුන් අතරින් එක් විශාල අමාත්‍යාංශයක ලේකම්වරයෙක් සිටි අතර ඔහු සිය ලේකම්කමට අමතරව රටේ විශාලම රාජ්‍ය ආයතන ද්විත්වයක සභාපතිකම් දරමින් කිසිදු පරිපාලන හෝ මුදල් රෙගුලාසියක් පිළිබඳ තැකීමක් නොකර රාජකාරි කළේය. ඒවාට නීතියෙන් ද බාධාවක් නොතිබුණු අතර ඔවුන් සෑම අංශයකින්ම පාලකයා ආරක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටියහ. ඒ සඳහා ඔවුන්ට ලැබුණ සන්තෝසම ද සුළුපටු නොවීය.
රටේ ජනතාව අතර රාජපක්ෂ මහතා පරාජය කිරීමට අපහසු බවට පැතිර ගිය රාවයට හේතු වූ තවත් කරුණු කාරණා තිබුණි.
ඔහු තමා අප්‍රසාදයට ලක්වන කිසිවකට සම්බන්ධ නොවී සිටීමට තරම් සැලකිලිමත් විය.
එසේම රාජපක්‍ෂ මහතා ජාතික ප්‍රශ්නය වැනි මතභේදාත්මක මාතෘකා පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් ද බොහෝදුරට වැළකී සිටියේය. ඔහු රටට පෙන් වූ දැඩි ආගමික භක්තිය හා ධර්මිෂ්ට බව කෙතෙක් ද යත් ඉන් සිංහල බෞද්ධ ජනතාව වශී කරවීමට ඔහුට හැකියාව ලැබුණි. ඒ සඳහා නිතර නිතර පන්සල් යෑමත් සුදු පිරිවටයෙන් සැරසී පුණ්‍ය කටයුතුවලට සහභාගී වීමත් පමණක් ප්‍රමාණවත් විය. නමුත් යථාර්ථය වූයේ ඔහු තමාට විරුද්ධ වන සියල්ලන් කෙරේ අසීමිත වෛරය, ක්‍රෝධය පිරි ද්වේෂයක් දැක්වීමයි. කොටින්ම ඒවා තම පෞද්ගලික මට්ටමේ පක්ෂ සාකච්ඡාවලදී පවා පාලනය කර ගැනීමට ඔහු අසමත් විය. එහෙයින් බොහෝ විට ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට ඔහුගේ මමත්වයට ඉඩ දී කර බා සිටින්නට සිදු වූහ. විශේෂයෙන් ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ දූෂණ, වංචාවට වැඩි වශයෙන් නැඹුරු වූ මැති ඇමැතිවරුන් තමන්ට ළංකර ගත් අතර ඉන් ජ්‍යෙෂ්ඨ මෙන්ම නීතිගරුක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මැති ඇමැතිවරුන් ඔහුට මගහැරී ගියේය. ඔවුන් තමාගෙන් ඈත් වී යන බවක් අවසාන මොහොතේවත් ඔහුට වැටහී ගියේ නැත. ඒකාධිපති පාලනයකින් රට ගෙන ගිය ඔහු ඉන් නොනැවතී සිය පරපුරට ද රටේ පාලනය නතු කර දීමට දැඩි උත්සාහයක් ගත්තේය. විශේෂයෙන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයද ඔහු විවිධ වරදාන පිරිනමා සම්මත කර ගත්තේ එබැවිනි.
“මම රටේ භාරකාරයා මිස අයිතිකරුවා නොවෙමි”
රාජපක්‍ෂ මහතා සිය ප්‍රථම ජනාධිපති දිව්රුම් දීමේ දී ප්‍රකාශ කළ ඔහුගේ ජනප්‍රිය වැකිය වූයේ එයයි. නමුත් කල් යත්ම ඔහුගේ ක්‍රියාකලාපය ගමන් ගත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ මාවතකය.
නමුත් අසීමාන්තික ලෙස රජයමින් තිබූ මේ දූෂණ වංචා ඉදිරියේ තවදුරටත් ඇස් කන් පියා බලා සිටීමට, තාත්තාට හැකි වූයේ නැත. ඒ නිසා ය, ඔහු මෙම සමාජ ක්‍රමයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධාකාර විප්ලවයන් සිදු කරන්නට වූයේ... නමුත් ඒ අසාධාරණ සමාජ ව්‍යුහයෙන් තාත්තා දැඩි ලෙස පීඩනයට හා කළකිරීමට පත්ව සිටි බව මට ඉතා හොඳින් ඔහුගේ දෛනික හැසිරීමේ රටාවන්ගෙන් හඳුනාගන්නට හැකි විය. ඔහු එක දිගට බොහෝ වේලා කල්පනාවේ නිමග්න වී සිටින්නට පටන් ගත්තේය. දිනපතා උදෑසන අවදි වී කොරිඩෝවේ සිදුකරන සුපුරුදු සක්මන අතරතුරේ නිරායාසයෙන් මිමිණෙන ගී පද ඔහුගේ මුවින් ගිලිහී යන්නට පටන් ගත්තේය. ක්‍රමයෙන් එය ඔහුගේ සැහැල්ලු බව ද මුහුණේ ප්‍රීතිය ද සම්පූර්ණයෙන් අතුරුදන් වී යන තත්ත්වයකට පත් විය.
දුම්කොළ සමාගම හා ගෙන යන නඩුවේ නඩු වාර සියල්ලක්ම අවසන් වී එන තාත්තාගේ මුහුණ පෙර කිසිදිනෙක නොවූ ලෙස මහා වෙහෙසකින් බරව ගොස් තිබුණු බව මට පෙනෙන්නට විය. එය ඇතුළාන්තයෙන් ඔහු තුළ ගොඩනැගුණු අපේක්ෂා භංගත්වය හා බැඳී වෙහෙසක් මිස කායිකව ඇති වූ වෙහෙසක් නොවේ. ඔහුට සැබෑ දේශපාලනය හුවමාරු කර ගැනීමට කිසිවෙකු නොසිටි බව පෙනුණි. මේ තත්ත්වය 2013 මැද භාගයේ පමණ සිට ඔහු කෙරෙන් විද්‍යමාන වන්නට පටන් ගත්තේය. එහෙයින් ඔහු නිතර තමා පෙර සිට හඳුනාගෙන සිටි සමාජ නිරීක්ෂකයන් දේශපාලන විශ්ලේෂකයන් සමග ඇසුරට ප්‍රිය කරන තත්ත්වයක් පෙනෙන්නට තිබුණි. බොහෝ දිනවල එවන් පුද්ගලයින් නිවසට ගෙන්වාගෙන පැය ගණනාවක් යන තෙක් සමකාලීන දේශපාලන පසුබිම් පිළිබඳ තර්ක විතර්ක කරගත් ඔහු ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රිය දක්වා ද ඒ පිළිබඳ සංවාද කරමින් සිටියේය. මෙසේ නිතර තාත්තා සමග දේශපාලන කතිකාවන්ට සම්බන්ධ වූ පුද්ගලයෙක් පසුකලෙක මා සමග පැවසූ කතාවක් මගින් එවකට තාත්තා තුළ පැවැති අදහස් පිළිබඳ යම් හඳුනා ගැනීමක් සිදු කළ බව “මං පහුගිය දවසක මගේ නෝනත් එක්ක ගණන් හදලා බැලුවා. විශ්‍රාම ගියාම පෙන්ෂන් එක විදිහට කීයක් හම්බෙයි ද කියලා අපි දෙන්නට ඉස්සරහට ජීවත් වෙන්න”
තාත්තා සිනාමුසුව ඔහු සමග පවසා ඇත. තාත්තා එසේ පවසන්නට ඇත්තේ මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප සැකසෙන්නේ අවුරුදු පහක අත්දැකීම් සඳහා වැටුපෙන් සීයට තිහක් ද දහයක අත්දැකීම් සඳහා වැටුපෙන් සීයට හතළිස් පහක් ද අවුරුදු පහළොවක අත්දැකීම් ඇත්නම් සීයට පනහක් ද ආදී වශයෙන් නිසා බැවින් වන්නට ඇත. එය සාමාන්‍ය ජනතාව පවා නොදන්නා කාරණයකි. කෙසේ වුවත් එයට තාත්තා තුළ දේශපාලනය අතහැරීමට අපේක්‍ෂාවක් තිබුණු බවට මෙන්ම පොදු අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වීමට පෙර සිට කිසිදු අදහසක් නොතිබූ බවට ද මාහට සාක්ෂි සපයයි.
නමුත් තාත්තා දේශපාලනයෙන් විශ්‍රාම ගනී යැයි යන අදහස මා තුළ පැලපදියම් වූයේ ඊට ද වසර තුනකට පමණ පෙර පැවැතුණු 2010 මහ මැතිවරණයට සූදානම් වන කාලයේ යි. ඒ ඔහුගේ අවසාන ඡන්ද ව්‍යාපාරය යැයි ඔහු නිතර අම්මා හා පැවැසුවේය.
මං ආයෙත් ඡන්දෙ ඉල්ලන්නේ නෑ. අපි දැන් තරුණ නායකයන්ට තැන දෙන්න ඕනෑ”
ඔහු අම්මා සමග කිහිපවරක්ම එසේ පවසනවා මට ඇසුණි. එහෙයින් පළමු දරු ප්‍රසූතියට සූදානම් වෙමින් සිටි මම ද මැතිවරණය පසු වී රෝහල්ගත වන්නට සිදුවන්නේ නම් මැනැවි යි බොහෝ වර සිතුවෙමි. මන්ද මාගේ පළමු ඡන්දය ද තාත්තා වෙනුවෙන් ප්‍රකාශ කළ බැවින් ඔහුගේ අවසාන මැතිවරණයට කෙසේ හෝ ඡන්දය භාවිත කළ යුතු යැයි මාගේ යටි සිත විසින් මටම බල කරමින් සිටි නිසාවෙනි.
කෙසේ වුවත් තාත්තාට දේශපාලන බලය අතහැරීම පිළිබඳ කිසිදු සන්තාපයක් තිබුණේ නැත. බලය පවත්වා ගැනීම වෙනුවෙන් අසීමාන්තික වියරුවකින් හා ඒකාධිකාරයකින් රට පාලනය කළ නායකයන් අතුරින් තාත්තා වෙනස් වන්නේ එහෙයිනි.
මහින්ද රාජපක්‍ෂ මහතා තෙවැනි වරටත් ජනාධිපතිධුරය සඳහා මැතිවරණයකට සහභාගී වන්නේ නම් ඊට තමන්ගෙන් සහයෝගයක් නොලැබෙන බව තාත්තා සෑම අවස්ථාවකදී පැවැසුවේය.