මෛත්‍රීට කොටි තර්ජන


තිස්වසරක් පුරාවට මෙරට මිනිස් ජීවිත ලක්ෂ ගණනක් විනාශ කරමින් රට අඳුරු යුගයක ගිල්වා තැබූ ත්‍රස්තවාදී යුද්ධය තාත්තා ඇතුළු අපේ ජීවිතවලට සිදුකළ බලපෑම මතකයට නැංවීම පවා අපහසුය. එය එතරම්ම වේදනාබර කාල පරාසයකි. මෙරට ජීවත් වූ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජනයා ඒ කුරිරු යුද්ධයෙන් අසීමාන්තික ලෙස බැට කෑ බව නොරහසකි. නමුත් යුද්ධය හා සෘජුව බැඳී සිටි ආරක්ෂක හමුදා, මායිම් ගම්මාන වැසියන් හා සමාන, සමීප අත්දැකීමක් තාත්තා ඇමැතිවරයකු වීම නිසා අපි ද ලැබුවෙමු. මේ ඒ සංවේදී අත්දැකීම් පිළිබඳ සටහනකි.


1994 වසරෙන් පසු ඛඔඔෑ සාමාජිකයන් තම ඝාතන ඉලක්ක ලෙස මැති ඇමැතිවරු හා ප්‍රභූ පිරිස් තෝරා ගැනීම රැල්ලක් බවට පත්විය. 1993 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයට ලක් වුවද මහා පරිමාණයෙන් දේශපාලන බලවතුන් ඝාතනයට ලක් කිරීම සිදුවූයේ 1994 සිටයි. එතැන් පටන් 2009 මාර්තු 10 වැනි දින අකුරැස්ස ගොඩපිටියේදී සිදු වූ බෝම්බ ප්‍රහාරය තෙක් විවිධ කාලවලදී ඝාතනයට හා ප්‍රහාරයට ලක් වූ ප්‍රභූ පිරිස බොහෝය. ඒ අතරින් ජීවිත ගලවා ගැනීමට වාසනාව ලැබූ අතළොස්ස අතර තාත්තාද සිටියේය. නමුත් ඔහු සුවිශේෂී වන්නේ ඛඔඔෑ සාමාජිකයන්ගේ ඝාතන ප්‍රයත්න පහකට මුහුණ දී වුව තම ජීවිතය ගලවා ගැනීමට හැකියාව ලැබූ නිසයි.


ඉන් එක් අවස්ථාවක් වන්නේ 2000 වසරේ මාර්තු මාසයේ දිනෙක රාජගිරිය ආයුර්වේද වටරවුමේදී සිදු වූ ඝාතන ප්‍රයත්නයයි. එය ඛඔඔෑ සාමාජිකයන් විශාල පිරිසක් මගින්, පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීති විවාදය අවසන් වී පැමිණෙන මැති ඇමැතිවරු ඉලක්කකොට ගෙන තිබූ ප්‍රහාරයකි. ඉන් තම ජීවිතය බේරාගෙන එන්නට තාත්තාට හැකියාව ලැබුණු නමුත් ඒ මොහොතේම ඔහුට මුහුණ පාන්නට සිදු වූ අනෙක් සිදුවීම්ද කිසිවෙකු විශ්වාස නොකරන තරමේ බිහිසුණු ඒවාය.


එවකට ජනප්‍රිය ලේඛකයෙකු මෙන්ම ජනමාධ්‍යවේදියෙකු ද වූ මලල්ගොඩ බන්ධුතිලක මහතා කාලයක සිට අප පවුලේ සමීප හිතමිතුරෙකි. මේ බෝම්බ ප්‍රහාරය සිදු වූ දිනයේ තාත්තා පාර්ලිමේන්තු යන්නට පෙර අම්මාට පවසා තිබුණේ විවාදයේ කටයුතු අවසන් වී කෙළින්ම බන්ධුතිලක මහතාගේ නිවසට යන බවයි. ඒ සමඟම අම්මාට ද ඒ වෙලාවට එහි පැමිණ සිටින්නට යැයි ඔහු පවසා ඇත. බන්ධුතිලක මහතාගේ නිවස පිහිටා තිබෙන්නේ එදින ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වූ ස්ථානය වූ රාජගිරියේ පිහිටි ඇන්. ඇම්. පෙරේරා පිළිරුවට ඉතා ආසන්නයේය. බෝම්බ ප්‍රහාරය එල්ල වන මොහොත වන විටත් අම්මා මල්ලීද කැටුව ඔහුගේ නිවසට ගොස් සිටියාය. ඔවුන්ට බෝම්බය පුපුරණ ශබ්දය ද ඇසී තිබුණි. නමුත් ඒ, තාත්තා ඇතුළු මැති ඇමැතිවරුන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් යැයි ඔවුන් කිසිලෙසකින්වත් දැන සිටියේ නැත.


ප්‍රහාරය දියත් වී විනාඩි කිහිපයක් ගත වෙන්නට එම ස්ථානයට පොලීසිය හා ආරක්ෂක හමුදා ළගා වූ බැවින් ඛඔඔෑ සාමාජිකයන්ට හදිසියේ බේරී පලා යන්නට ක්‍රමයක් හෝ වේලාවක් නොවීය. එබැවින් ඔවුන්ගෙන් කිහිප දෙනෙක් අතරමග නවතා තිබූ වාහනවල නැගී පලා යන්නට උත්සහ දැරූ නමුත් එසේ පලා යන්නට නොහැකි වූ තවත් පිරිසක් හිස් ලූ ලූ අත දුවමින් ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රහාරවලින් බේරෙන්නට උත්සහ ගත්හ. මේ අතරවාරයේ ඉන් තිදෙනෙක් බන්ධුතිලක මහතාගේ නිවසට ගොඩ වී ඇත්තේ හමුදා භටයන්ගෙන් සැඟවෙන්නට සිතාය. නොසිතූ විරූ ලෙස ආයුධ රැගත් ත්‍රස්තවාදීන් පිරිසක් නිවසට ඇතුළු වනවා දුටු අම්මා හා මල්ලී ඇතුළු සියලු නිවැසියන් භීතියෙන් සලිත වී වහ වහා කාමරවලට දිව ගොස් ඇඳන් යටට රිංගා ඇත. ඔවුහු ඒවා යටට වී හුස්ම වැටෙන හඬ පවා නොඇසෙන්නට නිශ්ශබ්දව සිට තම ජීවිත බේරා ගන්නට මහා සටනක් සිදු කර ඇත. කලබල වී සිටි ත්‍රස්තයින්ට නිවැසියන් මරා දැමීමේ උනන්දුවට වඩා තමන් බේරී පලා යාමේ උත්සාහය වඩා වැදගත් විය. එබැවින් මද වේලාවකින් නිවසෙන් එළි බැස ගිය ඔවුන් අම්මා හා මල්ලී පැමිණ තිබූ වාහනය දැක ඊට නැගී පලා ගියෝය.


තාත්තා මේ සිද්ධිය සැල වූ වහාම අම්මා හා මල්ලී සොයා පැමිණියේ හිස ගිනිගත්තෙකු විලසිනි. නමුත් කිසිදින කිසිවෙකුට වරදක් කොට නැති අම්මා හා මල්ලී සිරීම් තුවාලයක් හෝ නොමැතිව තම ජීවිත බේරාගෙන තිබුණි. වාවාගත නොහැකි සතුටකින් තාත්තා ඔවුන් දෙදෙනා බදා වැලඳගෙන ඇත්තේ දෑසින් රූරා වැටෙන කඳුළු බිඳු ද දෑතින් පිස දමන අතරවාරයේය. පසුදින මල්වාන ප්‍රදේශයේ තිබී ත්‍රස්තවාදීන් පැහැරගෙන ගොස් අතහැර දමා තිබූ මෝටර් රථය පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.


ඒ ත්‍රස්තවාදීන් තාත්තා ඝාතනය කන්නට මාන බැලූ එක් අවස්ථාවකි. එසේම 2000 වර්ෂයේදී සිදු වූ තවත් ඝාතන ප්‍රයත්නයක් මගේ මතකයේ ඇත.


එම වසරේ දිඹුලාගල සොරුවිල දෙමළ ගම්මානයේ විදුලි යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නට ආරාධනා ලැබී තිබුණේ තාත්තාටයි. අදාළ දිනයේ උදෑසන පැවැති වෙනත් උත්සව කිහිපයකට ද සහභාගී වන්නට සිදුවූයෙන් ඔහු එහි යන විට පැය දෙකතුනක් ප්‍රමාද වී තිබුණි. ඒ තාත්තාගේ මෙන්ම අපගේ ද පෙර පිනකටයි. මන්ද ඔහු ඝාතනය කිරීමට බෝම්බ රැගත් මරාගෙන මැරෙන ත්‍රස්ත කාන්තාවක් රැස්වීම් භූමියේ තාත්තා එනතෙක් මඟ රැකගෙන සිට ඇත. නමුත් තාත්තා ප්‍රමාද වූ කාලය අතරතුර ඇය කොටුකර ගැනීමට පොලීසිය සමත් වී තිබුණෙන් ඔහුගේ මෙන්ම විශාල ජනකායකගේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබුණි.


පසුව, 2002 වසරේදී එජාප ආණ්ඩුව යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඛඔඔෑ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමඟ අත්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් පසු ඇයට නිදහස ලැබුණු අතර ඒ දෙපාර්ශ්වයේ සිරකරුවන් නිදහස් කිරීමට පනවා ගත් කොන්දේසිත් සමඟයි. ඇයට විරුද්ධව කිසිදු නඩු විභාගයක් නොපවත්වන බවට සඳහන් ලිපියක් ද එම කාලයේ අධිකරණය විසින් තාත්තාට එවා තිබුණි.


මීට අමතරව තවත් ඝාතන ප්‍රයත්නයක් ක්‍රියාත්මක වන්නේ 2006 අප්‍රේල් මස 21 වැනිදා වැලිකන්දේ දීය. එහි නව ප්‍රාදේශීය සභාව විවෘත කිරීමේ උත්සවය සංවිධානය කර තිබුණේ තාත්තාට ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නට කළ ආරාධනයක්ද සමඟිනි. තාත්තා ඊට පෙර දින සිය අමාත්‍යංශයේ රාජකාරී කටයුතු කරමින් සිටින අතරේ ඔහුට නාඳුනන තරුණයෙකුගෙන් දුරකථන ඇමැතුමක් ලැබී තිබුණි. ඔහු මහත් කලබලයෙන් තාත්තාගෙන් ‘ඇමැතිතුමා හෙට වැලිකන්දෙ උත්සවයට එනවදැ’ යි විමසා තිබුණි. තාත්තා එය වැඩි ගණනකට නොගෙන ‘ඔව්’ යැයි පැවැසූ නමුත් ඉන්පසු ඔහු පැවැසූ දෙයින් තාත්තා මහත් විස්මයට පත් වී ඇත.
‘අනේ සර්, කරුණාකරලා හෙට උත්සවයට නෑවිත් ඉන්න. සර්ව මරන්න හෙට කොටින්ගේ ප්ලෑන් එකක් තියෙනවා. මං කියන දේ විශ්වාස කරලා හෙට උත්සවයට එන්න එපා’ යැයි ඔහු උමතුවෙන් මෙන් දිගින් දිගටම කියවන්නට පටන් ගෙන තිබුණි.


නමුත් නමක් ගමක් නොදන්නා පුද්ගලයෙකුගේ ඇමැතුම පිළිබඳ එතරම් විශ්වාසයක් තාත්තාට නොතිබුණි. එබැවින් ඔහු ‘කවුද ඔය කතා කරන්නේ. කොහොමද ඕවා දැනගන්තේ’ යැයි උදාසීන හඬින් තරුණයාගෙන් විමසා තිබුණි.


‘සර් මම ගිය පාර ප්‍රාදේශීය සභා මැතිවරණයට යූඑන්පී එකෙන් තරග කරපු කෙනෙක්. මම යූඑන්පී බව ඇත්ත. ඒත් ඇමැතිතුමා මරණවට මම කොහෙත්ම කැමැති නෑ. මම ඔබතුමාට ගොඩාක් ගෞරව කරනවා. ඒ නිසයි මේ විස්තර කිව්වේ” යැයි ඔහු නොනවත්වමින් පවසා ඇත. එසේම ඔහු සිය පෞද්ගලික විස්තරද නොවලහා තාත්තාට හෙලිදරව් කර තිබුණි.


එවර, මෙහි යම් සත්‍යයක් ඇතැයි සිතූ තාත්තා වහාම වාහනයක් යවා එම තරුණයා කොළඹට ගෙන්වා ගත්තේය. ඉන්පසු එවකට පොලිස්පතිවරයා වශයෙන් සිටි චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට ද දුරකතන ඇමැතුමක් ලබා දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ද එහි ගෙන්වා ගත්තේය. ඉන්පසු දෙදෙනා සමඟම මේ පිළිබඳ සාකච්ඡා කළ අතර තරුණයා නැවත වරක් තමා දැන සිටි සියලු දේ පොලිස් නිලධාරියාට පැවැසුවේය.


‘සර්, උන් දවස් ගාණක් තිස්සේ ඇමැතිතුමාව මරන්න ප්ලෑන් හදනවා. පහුගිය දවස්වල ඒක ටේ්‍රනින් කරලත් බැලුවා. උන් මගෙන් ඊයේ ඇමැතිතුමා උත්සවයට එන වාහනයේ අංකය ඉල්ලුවා. ඒ වෙනුවෙන් මට ලක්ෂ දහයකුත් දුන්නා”


මෙය අසා මහත් පුදුමයට පත් තාත්තා “මං මේක ඇත්තක්ද බලන්න හෙට අනිවාර්යයෙන් උත්සවයට යනවා” යැයි තිර අදිටනින් පවසා තිබුණි. එදිනම හවස තොරතුරු ලබා දුන් තරුණයා ද සමඟ පොළොන්නරුවට ගිය තාත්තා සිය ආරක්ෂක නිලධාරින් සමඟ සාකච්ඡාකොට පසුදින කුමන්ත්‍රණයට මුහුණ දෙන අයුරු සැලසුම් කළේය. ඒ සඳහා පොළොන්නරු පොලිස් නිලධාරීහුද ඔවුන්ට සහය වූහ. මෙහිදී එවකට තාත්තාගේ ආරක්ෂක අංශයේ සිටි ප්‍රධාන නිලධාරියෙක් වූ නිමල් අලහකෝන් මහතා බෝම්බය රැගෙන එන ත්‍රස්තවාදියා තම මෝටර් බයිසිකලයෙන් ගොස් හැප්පීමට පවා සිය කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ඔවුහු එතරම්ම තාත්තාට ආදරය කළහ. පසුදින සැලසුම් සියල්ල ක්‍රියාත්මක විණි. නමුත් අතරමගදී පොලීසියට සැකකරුවන් හඳුනාගැනීමට හැකිවීමත් සමඟ සැලසුමේ යම් යම් වෙනස්කම් කිරීමට තාත්තා ඇතුළු ඔහුගේ ඇමැති ආරක්ෂක කමිටුවට සිදුවිය.


ත්‍රස්තවාදීහු, මුස්ලිම් ජාතිකයන් මෙන් වෙස්වළා ව්‍යාජ හැඳුනුම්පත් ද සහිතව කදුරුවෙල බස් නැවතුම්පළේ තැන තැන ඇවිදිමින් තාත්තා උත්සවයට යන වාහනය පැමිණෙන තෙක් බලා සිටියෝය. එහිදී තාත්තා ප්‍රමාද වන බව තේරී ගිය එකෙකු අනෙකාට පොදු දුරකතන කුටියකින් ඇමැතුමක් ලබා දී පවසා ඇත්තේ ඇමැතිවරයාගේ පැමිණීම සැක සහිත බවයි. අහම්බයෙන් මෙන් එම දුරකතන කුටිය අසලට පැමිණි සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකුට ඔවුන්ගේ කතා බහ හොඳින් ඇසී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා තම පිරිස දැනුවත් කොට ඔවුන් අල්ලා ගැනීමට ක්ෂණිකව සංවිධානය වී තිබුණි. තමන් පොලිසියට කොටු වී ඇති බව දැනගත් ඝාතකයන් දෙදෙනා පලා යාමට උත්සාහ කර ඇති අතර එකෙකු මඩකළපුව බස් නැවතුම් පොළට ද අනෙකා අනුරාධපුර බස්නැවතුම්පොළ දෙසට ද දිවගොස් තිබේ. එහෙත් තාත්තාගේ ආරක්ෂක නිලධාරින්ද ඇතුළුව පොලිස් නිලධාරින්ට ඔවුන් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකියාව ලැබුණි. නමුත් පසුව ඔවුහු ප්‍රශ්න කිරීම්වලදී මුඛයේ හකු අතර සඟවා සිටි සයනයිඞ් කරල් සපා කා මරණයට පත් වූ බැවින් ඝාතන සැලසුම පිළිබඳව හෝ කිසිවක් දැන ගැනීමට නොහැකි වුණි.