මෛත්‍රීට කොටි ලේබල්


මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කළහොත් කටුනායක ගුවන්තොටුපළින් අප හට යාමට නොහැකි බව එම අයගේ අදහස විය. එහෙත් පෙර කී පරිදිම මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්ෂකයා බව පළමුව මා දැනගත් දිනයේ සිට ජනාධිපතිවරණයට පෙර රටින් පිටවීම සිදු නොවන්නකි. මේ අතර දිනක් මම වික්ටර් අයිවන් මහතාගෙන් ප්‍රශ්නයක් ඇසීමි. එනම්, ඔබගේ ජීවිතයට තර්ජනය හා අනතුරු උදා වූ කල ඔබ අනුගමනය කළ ක්‍රියාමාර්ගය කුමක්ද යන්නය. එවිට ඔහුගේ කෙටි පිළිතුර වූයේ ‘මලිත් ඔයාගෙ දැනට කරගෙන යන දවසේ වැඩකටයුතු හා පුරුදු ඒ ආකාරයෙන්ම සිදුකරන්න. නැතහොත් සාමාන්‍ය ලෙසම ජීවිතය ගෙනයන්න. ඔයා ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමුකරන බව අනෙක් අයට පෙන්වන්න එපා යනුවෙනි. ඔහුගේ උපදෙසෙහි යම් තර්කානුකූල පදනමක් ඇති බව මට වැටහී ගියේය.

මේ වනවිට පොදු අපේක්ෂකයා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර තිබුණේ යැයි තිස්ස අත්තනායක මහතා විසින් ඉදිරිපත් කළ ලියවිල්ලේ සඳහන් අත්සන් රජයේ සැක කටයුතු ලේඛන පිළිබඳ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත්කර වාර්තාවක් ලබාගැනීමට කොටුව මහේස්ත්‍රාත් රහස් පොලීසියට අවසර දී තිබුණි. විශේෂයෙන්ම මේ වනවිට පොදු අපේක්ෂකයා හා හකීම් අතර ඇතිකර ගෙන තිබෙන හොර ගිවිසුම මඟින් නැගෙනහිරදී වෙනම මුස්ලිම් කලාපයක් ලබාදීමට මෛත්‍රී ඇමතිතුමා හකීම්ට එකඟතාව පළකර ඇති බවට වූ ආණ්ඩුවේ චෝදනාව පොදු අපේක්ෂක මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලියට ප්‍රබල පහරක් විය. මෙය අතිශය මුසාවක් බව චම්පික ඇමතිතුමා ඇතුළු හෙළ උරුම නායකයන් අවධාරණය කරද්දී පෙරළා සන්ධාන වේදිකාවෙන් නැඟුණු හඬ වූයේ “හෙළ උරුමය මුස්ලිම් කොංග්‍රසය සමඟ එකම වේදිකාවක සිටින්නේ රෙදි ඇඳගෙනදැයි” යනුවෙනි. ඊට හෙළ අරුමය සතුවූයේ ඉතා කෙටි පිළිතුරකි. එනම්, වසර 10 ක්ම සන්ධාන ආණ්ඩුව තුළ තම පක්ෂය හා මුස්ලිම් කොංග්‍රසය එකට සිටි බවයි. තවද, සතර දෙසින්ම මෛත්‍රී ඇමතිතුමාට කොටි ලේබලය ඇලවීමට ගත් උත්සාහයට පිළිතුරු සැපයූ චම්පික ‘කේ. පී. රකින මහින්ද - මෛත්‍රී එල්ටීටීඊ අතකොලුවක් යැයි කීම විහිළුවක්’ බව පැවසීය. කෙසේ වෙනත් ජනවාරි දෙවැනිදා මාධ්‍ය හමුවක් පැවැත්වූ රවුෆ් හකීම් මහතා අවධාරණයෙන් කියා සිටියේ ‘අපි පොදු අපේක්ෂකයාගෙන් වෙනම දිස්ත්‍රික්කයක් ඉල්ලුවෙත් නෑ. ද්‍රවිඩ සන්ධානයත් සමඟ එක්ව උතුරු - නැගෙනහිර එක්කරන්න ඉල්ලුවෙත් නෑ’ යනුවෙනි.  


විශේෂයෙන්ම මේ වන විට දමිළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයෝද අතීතයෙන් හොඳින් පාඩම් ඉගෙන සිටියහ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සමඟ සන්ධානගත වීමේ දී ඔවුන්ට ලබාදිය නොහැකි හා බහුතර සිංහල සමාජය කුපිත කරවන ආකාරයේ ඉල්ලීම් ප්‍රකාශයට පත්කිරීම තුළ අවසන් විග්‍රහයේදී දේශපාලන වශයෙන් සිදුකරගත් දේශපාලන සියදිවි නසාගැනීම් පිළිබඳ දමිළ හා මුස්ලිම් පක්ෂවලටත් ප්‍රධාන වශයෙන් එ.ජා.ප යටත් තරම් අත්දැකීම් ඇති නායකයන් සොයාගත නොහැකි තරම්ය. එම අතීත අත්දැකීම් මත මෙවර සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ දමිළ හා මුස්ලිම් නායකයන් කිසිදු දේශපාලන ගැටුමකට මුල්වන ඉල්ලීම් ඉදිරිපත් නොකිරීමට වගබලා ගත් අතර ඒ සඳහා චන්ද්‍රිකා මැතිනියගේ නිවැරදි දේශපාලන සම්බන්ධීකරණය හා කළමනාකරණය ද ප්‍රබල හේතුවක් විය. 


මෙහිම තවත් දිගහැරීමක් ලෙස මෙතෙක් කිසිදු පැහැදිලි අදහසක් ප්‍රකාශ නොකළ ද්‍රවිඩ ජාතික සන්ධානය දෙසැම්බර් 30 වැනිදා කොළඹ ජානකී හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කොන්දේසි විරහිතව පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමාට සහයෝගය දැක්වීය. මොවුන් චන්ද්‍රිකා මැතිනියගේ නිවසේ දී නිතර හමු වී සාකච්ඡා කළ අතර මෙසේ දෙසැම්බර් 30 දක්වා ඔවුන් නිශ්ශබ්දව සිටියේ උපක්‍රමිකව බව මීට පෙර දැක්වීය.
විශේෂයෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානයේ නිශ්ශබ්දතාවට සමගාමීව අප වෙත ලැබුණු සමහර ආරංචි මාර්ගවලින් කියවුණේ මඩකළපුව දිස්ත්‍රික්කය තුළ කරුණා හා පිල්ලෙයාන් වෙන් වෙන්ව දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදෙමින් සිටින බවත්, ඔවුන්ගේ ඉලක්කය ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාකිරීම හෝ හොර ඡන්ද දැමීම බවයි. මේ අනුව එ.ජා.ප.ය පාර්ශ්වයෙන් මඩකළපුව දිස්ත්‍රික්කය භාරව සිටියේ එරාන් වික්‍රමරත්න මහතා වූ අතර අප ඔහු සමඟ නිරන්තරයෙන්ම සාකච්ඡා කරමින් එම දිස්ත්‍රික්කයේ වර්ධනයන් පිළිබඳ තොරතුරු එක්රැස් කළෙමු.


සමෘද්ධිලාභීන් අතර බෙදාහැරීම සඳහා දිවිනැඟුම දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරන ලද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් දෙසැම්බර් මස අවසන් වන විට රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බෙදාහැර තිබුණි. කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයාට මේ පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසුව කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සමෘද්ධි නිලධාරීන් මඟින් ඒවා බෙදාහැරීම අත්හිටවනු ලැබීය. එහෙත් අවසානයේ එම ලිත් වෙනත් මාර්ග තුළින් ජනතාව අතරට බෙදාහැරීම සිදුවිය.


මේ අතර සමෘද්ධිලාභීන් සඳහා රුපියල් 10,000ක මුදලක් ලබාදෙන බව පැවසූ ආණ්ඩුව එහි පළමු පියවර ලෙස මැතිවරණයට පෙර රුපියල් 2,500 ක් ලබාදුන්නේය. ඉතිරි මුදල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යළි තේරීපත් වූ පසුවය.


ඊට සමගාමී ලෙස මැතිවරණ කොමසාරිස්වරයාහට ලැබුණු තවත් පැමිණිල්ලකින් කියවුණේ යුද හමුදා මූලස්ථානය රුපියල් ලක්‍ෂ 55ක් වටිනා මුද්දර ප්‍රමාණයක් මධ්‍යම තැපැල් කාර්යාලයෙන් මිලදී ගැනීමට සැරසෙන බවයි. ලැබුණු පැමිණිල්ලට අනුව එය පරීක්‍ෂා කිරීමේදී හෙළි වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ඡන්දය දියයුත්තේ ඇයි යන්නට හේතු දක්වා රණවිරු පවුල් අතර යැවීම සඳහා සැකසූ විශේෂිත ලිපියක් තැපැල් කිරීමට මෙම මුද්දර මිලදී ගැනීමට හමුදාව කටයුතු කර ඇති බවයි.


මැතිවරණ කොමසාරිස්වරයාගේ තර්කය වූයේ වර්ෂ අවසානයේ රණවිරු පවුල් අතර බෙදාහැරීමට යුද හමුදාව මඟින් මුද්‍රණය කළ සුබපැතුම් පතක් ඒ තුළ වී නම් ඒවා තැපැල් කිරීමට කිසිදු බාධාවක් නැතත් ජනාධිපති අපේක්‍ෂකයකුට ඡන්දය දෙන ලෙස කරන ඉල්ලීමක් සහිත ලිපියක් තැපැල් කිරීම සඳහා පවතින මැතිවරණ නීතිය අනුව ඉඩදිය නොහැකි බවයි. කෙසේ වෙතත් ඉන් ද යම් ප්‍රමාණයක් වෙනත් මාර්ග ඔස්සේ තැපැල් කරනු ලැබීය.

 

මේ සියල්ලම අතර එ.ජා.ප.ය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වෙනස් ආකාරයක විග්‍රහයක් ඉදිරිපත් කළේය. එනම්, ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ජයග්‍රහණය කළහොත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟම අගමැති වනු ඇත. එවිට ඔහු පක්‍ෂය තුළ යළි සජිත්ට හිස එසවීමට නොහැකි පරිදි ස්ථාවර වනු ඇත. අනෙක් අතට පොදු අපේක්‍ෂකයා පරාජය වූ කල එය පෙරළා ඍජු ලෙසම රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුබෑමක් වනු ඇත. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එ.ජා.ප නායකත්වයේ රැඳී සිටීම සාධාරණීයකරණය කළ නොහැක. ඒ තුළ පක්‍ෂ නායකත්වය පිළිබඳ සටන යළිත් විවෘත වනු ඇත. මේ අනුව බලන කල පොදු අපේක්‍ෂකයාගේ පරාජය එ.ජා.පයේ නව දේශපාලන අරගලයකට පාර කපනු ඇත. මෙම සමීකරණයට අනුව සජිත් ප්‍රේමදාස මහතා කුමක් සිතුවේද යන්න දන්නේ ඔහුම පමණි.


මේ අතර දිනක් “මව්බිම” පුවත්පත් කාර්යාලයේදී ටිරාන් අලස්, ශිරාල් හා මෛත්‍රී ගුණරත්න අතර හමුවක් පැවැත්විණි. මාතෘකාව පොදු අපේක්‍ෂකයාය. එහිදී ටිරාන් මෙම දෙදෙනාගෙන් පුන පුනා ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂකයා කරවීමට බාධා නොකරන ලෙසය. විශේෂයෙන්ම මේ වන විට ශිරාල් මගේ සංඛ්‍යාදත්ත විග්‍රහය නරඹා තිබූ අතර ඔහු ස්ථිර වශයෙන්ම කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා නොවන පොදු අපේක්‍ෂකයකුට ජනාධිපතිවරණය ජයගත හැකි බවයි. ඒ සඳහා ඔහු මාගේ විග්‍රහය පිළිබඳ එහිදී සඳහන් කළේය. නමුත් ඊට ප්‍රතිවිරුද්ධව යළිත් කතා කළ ටිරාන් අලස් මහතා රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කරගත හැකි නම්. එවිට ජනාධිපතිවරණයෙන් වික්‍රමසිංහ මහතා පරාජයට පත්වන බවත් ඒ අවසරයෙන් සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂයේ බලය ලබාගැනීමට හැකි වන බවත්ය. මෙම සූත්‍රය මත කටයුතු කර රනිල් වික්‍රමසිංහ මහතාගේ පොදු අපේක්‍ෂක නාමයෝජනාවට සහය දක්වන ලෙසට එහිදී ටිරාන් එම දෙදෙනාගෙන් ඉල්ලා සිටියේය. තවද, නොවැම්බර් මාසයේදී “මව්බිම” පුවත්පතේ ප්‍රධාන ශීර්ෂපාඨ ගණනාවකින්ම ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ලෙස ‘අලියා’ ලකුණින් රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන බවයි.


සාමාන්‍යයෙන් දයාන් ජයතිලක මහතා සිය දේශපාලන විග්‍රහයන් සඳහා උදාහරණ සපයා ගන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගෙනි. එම උදාහරණත් සමඟම ඔහු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ද අගය කරයි. 2012න් පසුව දයාන් ජයතිලක මහතාගේ දේශපාලන විචාර දෙස බලා සිටින්නකුට පෙනීයන්නේ ඔහු වර්තමානය දෙස බලා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ආදරය කළ අතර අනාගතය දෙස බලා සජිත් ප්‍රේමදාස මහතාට යටිසිතින් ආදරය කරන බවකි. එහි සත්‍යතාව තවදුරටත් වලංගු වන්නේ එ.ජා.පය තුළ සජිත් ප්‍රේමදාස මහතා සමග විරසක සියලු දෙනාටම දයාන් ද පෙරළා දැඩිව පහරදීම දෙස බලන විටය.


ජනවාරි පළමුවැනිදා නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පොදු අපේක්‍ෂක මෛත්‍රී ඇමතිතුමාට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳ මැදිහත්කාර ප්‍රයත්නය චන්ද්‍රිකා මැතිනිය විසින් මූලික වශයෙන් සිදු කරන ලදී. එහිදී සිදුවූ විශේෂත්වය නම් තම පියාගේ මෙම දේශපාලන තීරණය මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චින්තක ඒකනායක මහතා විසින් විවේචනය කිරීමය. තවද, මධ්‍යම පළාත් සභාවේ මහ ඇමති සරත් ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නන්දිමිත්‍ර ගියත් ඔහුගේ පුතා සහ මල්ලී වන තමා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර නොයන බවයි.

 

 


මතු සම්බන්ධයි.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්