මෛත්‍රීට චන්ද්‍රිකාගේ අත හිත


මා පෙර අවස්ථාවක සඳහන් කළාක් මෙන් තාත්තා සමග දේශපාලනය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ආ මහත්වරු 2013 වසරේ නොවැම්බර් මාසයේ දිනෙක විජේරාමේ පිහිටි තාත්තාගේ නිල නිවසට පැමිණියහ. ඒ වන විටත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන කතිකාව වී තිබුණේ පොදු අපේක්ෂකයා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකු ගෙන්වා ගැනීම පිළිබඳවයි.

 

මැදියම් රැය වනතෙක් ඇදී ගිය මේ සාකච්ඡාව අවසන් වී යන අතරමග මේ මහත්වරු කිහිපදෙනාගෙන් වික්ටර් අයිවන් මහතා බොහෝ වේලාවක් කල්පනාබරිතව සිට මෙසේ පවසා තිබුණි.
“පොදු අපේක්ෂකයා විදිහට අපිට මෙතුමාව ආණ්ඩුවෙන් එළියට ගන්න බැරිවෙයිද?” අයිවන් මහතා අනෙකා දෙස බලා විමසා තිබුණේ එසේය.


පසුකලෙක පොත ලිවීමට කරුණු සෙවීමේදී මට මේ පිළිබඳ පැවැසුවේ ඉන් එක් පුද්ගලයෙකුය. ඒ අනුව මා සොයාගත් ඉතිහාසය තුළ තාත්තා පොදු අපේක්ෂක වීම පිළිබඳව මුල්ම ඉඟිය ඊට වසරකට පෙර ලබාදී ඇත්තේ වික්ටර් අයිවන් මහතායි.


එසේම මීට ටික කලකට පසු රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ රාජිත සේනාරත්න මහතා, තාත්තාගේ දේශපාලන දිවියට වසර හතළිස් පහක් පිරීම නිමිතිකොටගෙන පොළොන්නරුවේ පැවැති උත්සවයකදී කරන ලද කතාවක ද මේ පිළිබඳ සියුම් අදහස් ප්‍රකාශ කර තිබුණි. එහිදී ඔහු තාත්තාගේ, ගතවූ දේශපාලන දිවියේ වර්ධනය අගය කර අනාගතයේ රටේ ඉහළම තැනකට පා තබන්නට හැකියාව හා ඊට ආශිර්වාදය ලැබෙන්නට යැයි සුබපතා තිබුණි.


මේ ප්‍රවෘත්තියත් සමග ඊට ආසන්න දිනකදී චන්ද්‍රිකා මැතිණිය තම සමීපතමයකු සමග පොදු අපේක්ෂකයෙකු තෝරා ගැනීමේ වත්මන් තත්ත්වය සාකච්ඡා කළා නම් ඒ චන්ද්‍රිකා මැතිනියගේ කාර්ය මණ්ඩල ප්‍රධානී පී. දිසානායක මහතායි.


ඒ මහතා මේ ඓතිහාසික ක්‍රියාවලියේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙකු වූ අතර ඔහු ඊට සම්බන්ධ වන්නේ 2014 වසර ආරම්භයේ සිටදීය. මේ ඔහු පැවසූ එක් කතාවකි.


දිනක් ඔහු රාජකාරි අවශ්‍යතාවක් සඳහා 2014 වසර ආරම්භයේදීම ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුගේ අමාත්‍යාංශයේ එතුමාගේ කාර්යාලයට ගොස් ඇත. එහිදී ඔහු ගිය රාජකාරි අවශ්‍යතාව පිළිබඳ විමසීමද පසෙක දැමූ ඇමැතිවරයා ඊට වඩා බෙහෙවින් වැදගත් කාර්යයක් රට වෙනුවෙන් ඉටු කිරීමට ඇති බව පවසා ඔහුට සිය නිවසට පැමිණෙන්න යැයි ආරාධනා කොට තිබුණි.


ඉන්පසු දිනෙක එතුමාගේ නිවසට ගිය විට ආණ්ඩු පක්ෂයේ හැටකට අධික දේශපාලකයන් පිරිසක් රාජපක්ෂ පාලනය පිළිබඳ දැඩි කලකිරීමකින් සිටින බවත් එය බිඳ දැමීමට ඔවුන් සියලු දෙනාගේ සහයෝගය ස්ථිර ලෙසම ලැබෙන බවත් අමාත්‍යවරයා විසින් දිසානායක මහතාට පවසා තිබුණි. එබැවින් චන්ද්‍රිකා මැතිණියට පෙරට එන ලෙසත් එවිට මේ පාලනය ඉතා ඉක්මනින් අවසන් කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි. නමුත් නොවැම්බර් විසි එක් වැනි දින ඒ තීරණාත්මක අවස්ථාවේදී සහයට නොපැමිණි එම ඇමතිවරයා එය මගහැරියේ “අනේ මට අද එන්න වෙන්නෙ නෑ, මට අද මගුල් ගෙදරක යන්න තියෙනවා” යැයි චන්ද්‍රිකා මැතිණියට පවසමිනි.


එවන් සිදුවීම් ද සුලබ ව සිදුවූ නමුත් ආරම්භයේ සිටම රාජපක්ෂ පාලනය අවසන් කිරීමට තිරයේ පිටුපස සිට ඉතා වටිනා මෙහෙවරක් සිදුකළ පුද්ගලයෝ ද වූහ.


චන්ද්‍රිකා මැතිණිය, කලෙක තම ලේකම්වරයෙකුවූ දිසානායක මහතා සමග පොදු අපේක්ෂකයා කවුරුන් වියයුතුදැයි සාකච්ඡා කරන අතරතුර, දිනක් ඔහුගෙන් ඒ සඳහා සුදුසු කවුදැයි විමසා සිටියාය. දිසානායක මහතාගේ පිළිතුර වූයේ ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ අර්ජුන රණතුංග මහතා බවයි. එවිට චන්ද්‍රිකා මහත්මිය, “අර්ජුනත් හොඳ නායකයෙක්. නමුත් තව මුහුකුරා ගිහින් මදි. ඔහුට හොඳ අනාගතයක් තියෙනවා. මටත් හිතෙන්නෙ මේ සඳහා සුදුසුම පුද්ගලයා මෛත්‍රී. ඔහු හම්බවෙලා මේ ගැන ටිකක් අහලා බලන්න” යැයි පවසා තිබුණි.


ඒ වන විටත් තාත්තා තුළ පොදු අපේක්ෂක වීමට කිසිදු ආකාරයේ අදහසක් නොතිබූ නමුත් විපක්ෂයෙන් පැමිණෙන පොදු අපේක්ෂකයාට තම සහයෝගය දෙන්නට නම් යම් අදහසක් පැවැතුණි.


ඉන් සතියකට පමණ පසු චන්ද්‍රිකා මැතිණිය ටොරින්ටන් චතුරශ්‍රයේ උදෑසන ව්‍යායාම කිරීම සඳහා පිටත්ව ගිය දිනක අහම්බෙන් මෙන් දැක හුරු පුරුදු මුහුණක් තමා පසු කරගෙන ගිය බව දැනී හැරී බලා ඇත. ඒ තාත්තා බව හඳුනා ගත් මැතිණිය ඔහු සමග කතා කිරීමේ අභිලාෂයෙන් මොහොතක් නැවැතී සිට ඇත්තේ අහම්බෙන් සිදුවූ ඒ හමුව වුව වඩා වැදගත්වූ නිසාවෙනි. නමුත් තාත්තා, මැතිණිය තමා සමග සුවිශේෂ යමක් කතා කිරීමට මාන බලනවා යැයි හැඟී මේ එයට සුදුසු මොහොත නොවන බව තේරුම් ගෙන, “මැඩම් මේ ගස් උඩත් සී.අයි.ඩී. එකෙන් ඉන්නවා පරිස්සම් වෙන්න” යැයි පවසා පිටව ගොස් තිබුණි.