යට කළ මහ වගුරු බිමක නව නුවරක් ඉදිකළ මහලු මිනිසා


 

 

දෛවයේ මහා නිර්මාපකයා සමහර පුද්ගලයන් පුදුම සහගත අන්දමින් අතදී ඉහළින් ඉහළටම ගෙන යන්නේය. එය ලෝක ධර්මතාවකි.


කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මධ්‍යම පාන්තික පවුලක කුළුදුල් දරුවා වශයෙන් උපන් ප්‍රේමදාස නම් තරුණයෙකුට ද ඒ ධර්මතාව සැලකුවේ එලෙසටය. කුඩා කල සිටම ලද දහම් පාසල් ආශ්‍රයෙන් හා සමකාලීන වැඩිහිටියන්ගේ දැනුමැතියන්ගේද ඇසුර නිසා සුචරිත මගකට යොමුවූ මෙම තරුණයා කෙමෙන් ජීවිතයේ වැටකඩොලු පැන ගෙනැවිත් දැන් සිටින්නේ රටේ පාලන භාරයේ තරමක වගකිවයුතු තැනකය. එනම් රජයේ පළාත්පාලන උප අමාත්‍ය පදවියේය.


තමන්ගේ සේවා කොට්ඨාසය වූ මැද කොළඹ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සැලසීම උදෙසා ඔහු දිවා රැයේ කටයුතු කරද්දී දිනෙන් දින උග්‍රවන නිවාස ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් ද මහත් කැපවීමක් කරන්නට ද ඔහුට සිදුවිය.


මැද කොළඹට අයත් වූ මාළිගාවත්ත ප්‍රදේශයේ තිබූ බිම් තීරුවක් වූ අතිවිශාල ප්‍රදේශයක් වගුරුබිමක්ව තිබෙනු ඔහුට දකින්නට ලැබුණි. වන පඳුරු වලින් යුතු මෙම පෙදෙසට වට වැස්සෙන් එම වගුරු බිම තවතවත් පල්වෙන බිමක් බවට පත්වී අසලින් යන එන අයට තම නාස් වසාගෙන යන්නට ද තරම් වූ දුඟදක් ද එයින් නික්මෙන බව දක්නට ලැබුණි.
මෙම කොටසේ වගුරු බිම් ප්‍රදේශය සංවර්ධනය කර එහි නිවාස යෝජනා ක්‍රමයක් ඇති කරවිය හැකිය යන අදහස ප්‍රේමදාස උප ඇමතිවරයාගේ සිත තුළ සනිටුහන්ව පැවතිණ. එහෙයින් දිනක් උදෑසනම පළාත් පාලන අමාත්‍යාංශයේ ඉංජිනේරුවරුන් දෙදෙනෙකුටත් එතැනට එන්නැයි නියෝග කළ ප්‍රේමදාස උප ඇමතිවරයා තමන්ගේ මොරිස් මයිනර් මෝටර් රථය පදවාගෙන එහි ගියේ තනිවමය.


ඉංජිනේරුවරුන් දෙදෙනා එතැනට පැමිණියේ ප්‍රේමදාස උප ඇමතිතුමා එහි පැමිණ තරමක කාලවේලාවක් පසුවීමෙන්ය.
“මේ මහත්වරු සොයලා බලන්නකෝ මේ බිමේ තියෙන මඩගොහොරුව ඉවත් කරන්නේ කොහොමද කියලා” යනුවෙන් මෙහිදී ප්‍රේමදාස මහතා ඉතා නිහතමානීව එම ඉංජිනේරු මහතුන් දෙදෙනා හමුවේ විමසා සිටියේය.


ඇමතිතුමා, අපි නොයෙක් අන්දමින් සොයා බැලුවා, මේ මඩ ගොහොරුව කොහොමටවත් ඉවත් කරන්න බැරි බවයි පෙනෙන්නෙ”යි ඔව්හු කියා සිටියහ.
මෙයට පෙර කිහිපවතාවක්ම අමාත්‍යංශයෙන් ද ඔවුන් වෙත එතුමා එසේ කියා සිටි නමුදු එදා ද මෙදාද ඔවුන්ගෙන් කියැවුණේ මේ බැරිවාදය පමණක්මය. මෙහිදී ලිපිගොනු දෙකක්ද අතේ රඳවාගෙන කිසිදු අදහසකින් තොරව එසේ සිටින ඔවුන්ගෙන් මිදී ආපසු බලන ප්‍රේමදාස උප ඇමතිවරයා දුටුවේ මේ පාන්දරම තම සරම උඩුකයට ද පොරවාගෙන අසල පැල්පතක් ළඟ බිම වාඩිවී සිටින මහලු පුද්ගලයෙකි. ඇමතිතුමා ක්ෂණයෙන්ම ඔහු අසළට ගමන් කරනු පෙනිණ.
“මොකද ලොකු උන්නැහේ උදේම සීතලද? යි එතුමා ඉවසිලිමත්ව විමසා සිටියේය.
“සීතල නම් තමයි මහත්තයෝ, මම මේ බලා හිටියේ මහත්තයෝ, මේ උදේම ඔය මහත්තුරු, මේ මඩ ගොහොරුවේ මොනවා කරන්නද යන්නේ. කියලයි.” පුද්ගලයා කියා සිටියේය.
“ලොකු උන්නැහේ මේ මහත්වරු ඇවිල්ලා ඉන්නේ, මේ බිමෙන් මේ මඩගොහොරුව ඉවත් කරන්නේ කොහොමද කියලා බලන්නයි, නමුත් මේ ගොල්ලට මේ ගැන කිසිම අදහසක් නැහැ තාම ඇතිවෙලා. ඒක මටත් ලොකු ප්‍රශ්නයක් වෙලායි” ඇමතිතුමා කියා සිටියේය.
“ආ ඒකද? මෙතැන ඔහොම ගඳ ගහන මඩ ගොහොරුවක් කරන්න මුල්වුණෙත් ඔය වාගේ මහත්වරුම තමා යි,” මහල්ලා මෙහිදී කියා සිටියේය.
ඒක වුණේ කොහොමද ලොකු උන්නැහේ?
ඒක වුණේ මෙහෙමයි, ඔය වගෙ මහත්වරුන්ගේ වැඩ නිසා තමයි මහත්තයෝ මේ මඩ වගුරෙන් වතුර බැහැලා යන මාර්ග අවහිර කෙරුණේ. මට යන්න එන්න නම් බැහැ තමයි. නමුත් ඒ තැන්වලට මට යන්න ලැබුණොත් පෙන්නන්න පුළුවන් එහෙම වතුර ගලා යන මාර්ග අවහිර වුණ හැටි. යනුවෙන් එම පුද්ගලයා කියද්දී ප්‍රේමදාස උප ඇමැතිවරයාට නව අදහස් මතු වූවාසේය.


“එන්න ලොකු උන්නැහේ යමු මගේ කාර් එකෙන්ම ගිහින් අපි ඒ තැන් බලමු” යි එතුමා මහලු පුද්ලයා අතින් අල්ලාගෙන විත් තම කාරයේ ඉදිරි අසුනේ ඉන්දුවේය. වහාම තම රථය පදවාගෙන මහලු පුද්ගලයා කියන තැනට ඔහු කැටිව ආවේය.


එහිදී මේ මඩගොහොරුවට නුදුරින් වූ ජලය බැස යන තැනක් පිටතින් ගෙනැවිත් එහි දමන ගල් ගොඩවල්, ලී කැබැලි ගස් කැපූ අතු ආදී අපද්‍රව්‍ය වලින් පිරී තිබෙන බව දක්නට ලැබුණි. එසේම මහලු පුද්ගලයා උප ඇමතිවරයා සමග තවත් කීප තැනකටම ගොස් මඩවගුරුවට හේතුවූ එසේ ජලය බැස යන්නට තිබුණු ස්ථාන කීපයක්ම අවහිර කෙරී තිබෙන අයුරු පෙන්වා දුන්නේය. උප ඇමතිවරයාට මෙතෙක් ඇස නොගැසුණු ස්ථාන ලෙස එතුමා මේවා ගැන හොඳට සිතේ අවබෝධයෙන් යුතුව සනිටුහන් කරගත්තේය.
මේකට කළ යුත්තෙ මහත්තයා මේ ජලය බැසයන මාර්ග ආපසු හදලා දෙන එක විතරයි. වටේම එහෙම හදලා දැම්මාම එක සුමානෙන් මේ මඩ වතුර සවිවෙලා වැඩක් ගන්න පුළුවන් වෙයි. යනුවෙන් මහලු පුද්ගලයා කියා සිටියේය. එතුමාට මේ මහලු පුද්ගලයා පෙන්වා දුන් අදහස මනාව අවබෝධයක් ලබාදුන් බැවින් තදින් සිතෙහි සනිටුහන් විය. ඉන්පසු එතුමන් කළේ තම මෝටර් රථය යළිත් ඉංජිනේරුවන් දෙදෙන සිටින තැනට පදවාගෙන යාමය.


මේ මහත්වරුන්ට මේ මඩවගුර නැතිකර දැමීම ගැන තවම අදහසක් පහළ වුණේ නැද්ද? එතුමා විමසීය.


යළිත් ඔවුන්ගේ පිළිතුරක් ලෙස ලැබුණේ “නැහැ ඇමතිතුමා කිසිම අදහසක් ඇතිවුණේ නැහැයි” යන්නය.


“හොඳයි එහෙම නම් මේ මහත්වරු ආපහු අමාත්‍යාංශයට යන්න. මට අලුත් ඉංජිනේරුවෙක් හමුවුණා. එයා හොඳයි. එයාගේ උපදෙස් අනුව මේ වැඬේ අදම පටන් අරගෙන ඉක්මනින් මේකේ වතුර බස්සවනවා”යි උප ඇමතිතුමාගේ නියෝගයෙන් ඔවුහු එතැනින් නික්ම ගියහ.


මෙහිදී මහලු පුද්ගලයාට ස්තුති කළ ප්‍රේමදාස උප ඇමතිතුමා කෙළින්ම ගියේ කොළඹ මහ නගර සභාවටය. එහිදී කම්කරුවන් පිරිසක්ම ලොරියකින් මාලිගාවත්ත වගුරු බිම වෙත එක්කරගෙන ආ එතුමා කළේ එක්වරම එහි තුන්හතර පොළකම වූ අබලි ද්‍රව්‍ය ඉවත් කරවා ජල මං පාදා ගැනීමයි. පැය ගණනක් ඇතුළත මේ කටයුත්ත නිමා කිරීමට කම්කරුවන්ට හැකිවිය. එවේලේම ජල මං පෑදී ජලය අවහිර වූ තැන්වලින් ජලය බැස ගොස් වගුරු බිම ජලයෙන් නිදහස්ව තම අදහස මල්ඵල ගැන්වෙනු බලා සිටියදීම ප්‍රේමදාස උප ඇමතිතුමාට සාර්ථක ප්‍රතිඵල ලබාදුන්නේය. සතියක් ගතවීමට ද පෙර එම මඩ ගොහොරුව සිඳී ගොස් පල්වූ මඩ ගඳද සෑහෙන තරමකට පහව ගොස් ඇති බව දක්නට ලැබුණි.
වහා ක්‍රියාත්මකවූ ප්‍රේමදාස උප ඇමතිතුමා කළේ මෙම වගුරු බිමේ නව ගොඩනැගිලි කීපයක්ම නිවාස සංකීර්ණයක් ලෙසින් නිම කිරීම උදෙසා අතිගරු ඩඞ්ලි සේනානායක අගමැතිතුමා අතින් මුල්ගල තැබීමේ මහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමය. එයට ප්‍රේමදාස ඇමතිතුමාගේ කටයුතු ගැන දන්නා සියල්ලන්ගේම උපරිම සහයෝගය ලැබිණ.
“යට කල මහ වගුරුබිමකි. එහි නැඟ එන නව නුවරකි” යනුවෙන් වූ සිරස්තලය යටතේවූ මුල්ගල ඩඞ්ලි සේනානායක ඇමතිතුමා අතින් පිහිටුවෙද්දී ප්‍රේමදාස උප ඇමතිවරයාට එහි මූලික අදහස දුන් මහලු පුද්ගලයාද එතැනට කැඳවා, අගමැතිතුමාට ද සෙසු අයට ද හඳුන්වා දීමට ද ප්‍රේමදාස මැතිතුමා කටයුතු සංවිධානය කොට තිබීම කාගේත් ප්‍රශංසාවට ද හේතු විය.


මේ අයුරින් නව නුවරක් වහ වහා ගොඩනැගෙන්නට විය. නව නිවාස දහස් ගණනක් ඉදිවුණි. තමන්ට මෙම මඩ වගුර ඉවත්කර ගන්නට මුල් අදහස දුන් පුද්ගලයාට ද මෙහි නව නිවසක් ලබාදෙන්නට ද ඔහුගේ ඥාති තරුණයෙකුට රැකියා ලබාදෙන්නට ද ප්‍රේමදාස උප ඇමතිවරයා කටයුතු කළේය.


මෙම මහානර්ඝ කටයුත්තේ සුබ ඵලයක් ලෙසින්ම එයින් සුළු කලකට පසුව එතෙක් කල් සිටි තිරුචෙල්වම් ඇමතිතුමා අස්ව ගියෙන් පළාත් පාලන ඇමතිකම ප්‍රේමදාස මහතාට හිමිවිය. ඉන්පසුව ප්‍රේමදාස මැතිතුමා තව තවත් දිරිමත්ව රටපුරා උදා ගම්මාන පිහිටුවමින් අති විශිෂ්ට සේවාවක නිරත විය. පසු කලෙක එතුමෝ රටේ අග්‍රාමාත්‍ය පදවියට ද, එයින් වසර කීපයකට පසුව රටේ ජනාධිපති පදවියට ද පත් විය.


මේ සියල්ලටම මෙසේ දුක්විඳින පොදු ජනතාව වෙනුවෙන් හිසට සෙවණක් ගතට නිවනක් තේමාව යටතේ කළ හැකි මෙහෙවර ද ඉටු කළේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

 

 

සෝමසිරි කස්තුරිආරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි