යතිවරුන්ට මැර ප්‍රහාර


විදුලකර පිරිවෙනේ සිසු සටන් - 02

 

‘බෞද්ධ ආයතනයක ලේ වැගිරවීමක්’ දේශපාලන භික්‍ෂූ කලබලයට එක්වෙති’ ‘භික්‍ෂූන්ද ඇතුළත් ගුටි බැට හුවමාරු’ යන ශීර්ෂවලින් ලේක්හවුස් පත්‍රවල මෙය වාර්තාවිණ.


පොලිස් නඩුවේ පළමු චූදිතයා වූයේ යක්කඩුවේ හාමුදුරුවන්ය. දෙවැනි චූදිතයා එච්. එම්. තිසේරා ය. තුන්වැනි චූදිත වූයේ ඩබ්. ඇස්. ද සොයිසාය. පහරදීම් අවස්ථාවේ එහි නොසිටි බව ඔප්පු වූ නිසා යක්කඩුවේ හාමුදුරුවෝ නිදහස් වූහ. මෙම ප්‍රශ්නය නිසා විද්‍යාලංකාර පිරිවනට ඉංග්‍රීසි විද්‍යාලය අහිමි විය. ඩී. බී. ධනපාල දේශපාලන භික්‍ෂූන්ට එරෙහිව බලපෑම් කළ ලේක්හවුස්’ ප්‍රකාශනවලට පිළිතුරුදීමට ලංකාදීප පුවත්පත ඇරඹීය. 
නැති වූ ඉංග්‍රීසි විද්‍යාලයට යළි පණ පෙවුණේ ‘ගුරුකුල’ මැයින් නව රාත්‍රී ඉංග්‍රීසි පාසලක් ඇරඹීමෙනි.


දේශපාලන භික්‍ෂූන්ගෙන් විද්‍යාලංකාර භූමිය පිරිසිදුකර ගැනීමට යැයි ප්‍රතිගාමී බලවේග තවත් පියවරක් ගත්හ. 


එනම් යක්කඩුවේ හාමුදුරුවන්ද වල්පොළ රාහුල, කලල්ඇල්ලේ ආනන්ද සාගර, නාත්තණ්ඩියේ පක්‍ඳ්ඤාකර යන පස්නම විද්‍යාලංකාරයෙන් අස්කිරීමටය. එම පියවර පරාජය කිරීමට සමත් වූ අතර අනතුරුව ලංකා එක්සත් භික්‍ෂු මණ්ඩලය ගෝල්ෆේස් පිට්ටනියේ පැවැත් වූ රැලිය කසාවතින් බැබළුණි.


සෝල්බරි ආණ්ඩුක්‍රමය ප්‍රතික්‍ෂේප කරමින් සමාජවාදී ස්වෛරී නිදහස් රාජ්‍යයක් ඉල්ලා ඔවුහු රටපුරා රැස්වීම් සියගණනක් පැවැත්වූහ. දිගින් දිගටම ආණ්ඩුව විසින් කල්දැමූ නිදහස් අධ්‍යාපන පනත මැයි 13 වැනිදා රාජ්‍යමන්ත්‍රණ සභාවේදී සම්මත කරන ලෙස බලකරන්නට ද දේශපාලන භික්‍ෂූ පෙරමුණ ගත්හ. භික්‍ෂූන් දේශපාලනය කරනවාට මුලදී දැඩි ලෙස විරුද්ධ වූ ඩී. ඇස්. සේනානායකයන්ගේ මතවාදය තරමක් දුරට වෙනස් වූයේ අහඹු සිද්ධියක් නිසාය.


ශ්‍රී ලංකාවෙන් සාමය සඳහා සිංගප්පුරුවට යවා සිටි මෙරට හමුදා භටයන්ට නිසි පරිදි සැලකුම් නොලැබීම නිසා ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවිණ. කොටින්ම හමුදා භටයෝ වැඩ රාජකාරි වර්ජනය කළහ. මේ අර්බුදය විසඳීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගනුලැබූ පියවර අසාර්ථක විණ. එකල බම්බලපිටියේ වජිරාරාම විහාරස්ථානයේ හිමිවරුන් පිළිබඳ රට තුළත් බෞද්ධ රටවලත් පැවතියේ මහත් පැහැදීමකි. ඒ අනුව වජිරාරාමවාසි නාරද හිමිපාණන් ධර්ම දූතයකු ලෙස සිංගප්පූරුව වෙත යවන ලදහ. එහෙත් සතුටුදායක ප්‍රතිඵල නොලැබිණ. කැරැල්ල තව තවත් උග්‍රවිය.


ඊළඟ මොහොතේ යුද නිලධාරියකු සමග එහි වැඩම කළේ වජිරාරාමවාසී කාශ්‍යප හිමියෝය. පැවිදි වෙන්නට පෙර කැෂියස් ඒ පෙරෙයිරා ලෙස උන්වහන්සේ ප්‍රකටව සිටියහ. අග්‍රාමාත්‍ය ඩී. ඇස්. ගේ අනුදැනුම ඇතිව විශේෂිත අහස් යානාවකින් මේ දෙදෙනා සිංගප්පූරුවට යැවිණ. රජ කාලයෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට භික්‍ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් කළ පළමුවතාව ලෙස මෙය හැඳින්වේ. එය ඉතා සාර්ථකව ඉටුකෙරිණ. 
දේශපාලන කටයුතුවලට භික්‍ෂූන් වහන්සේලා සහභාගි වෙනවාට විරුද්ධ වූ රාජ්‍ය නායකයන්ගේ මෙන්ම නායක හිමිවරුන්ගේද අදහස්වල යම් වෙනසක් මෙහිදී සිදුවිය.


ඒ වෙන විට ලංකා එක්සත් භික්‍ෂු මණ්ඩලයට එරෙහිව ආණ්ඩුව තුළ සිටි දැඩි මතධාරින්ගේ වාග්ප්‍රහාර අවි ප්‍රහාර බවට පත්ව තිබිණ. විද්‍යලංකාර පිරිවෙන් භික්‍ෂුන් බුද්ධාගම වනසන සමසමාජකාරයන් බවට පොත් සහ පත්‍රිකා පවා බෙදාහැර තිබිණ. 


බෝමිරියේ පැවති රැස්වීමක වේගවත් කතාවක් කළ කොටහේනේ පක්‍ඳ්ඤාකිත්ති හිමියන්ට ප්‍රභූවරුන්ගෙන් බලවත් අප්‍රසාදයක් එල්ලවිය. රැස්වීම අවසානයේදී මැරයෝ උන්වහන්සේට ළං වූහ. “ඔය කණ්ණාඩි පොළඟා මෙහාට ඇදගනිවු” කියමින් එහිමියන්ට අතවර කිරීමට පවා සූදානම් වූහ. එදා පක්‍ඳ්ඤාකිත්ති හිමියන්ගේ දිවි රැකුණේ දේව ප්‍රාතිහාර්යකිනි.


ඩී. ඇස්. ට එරෙහිව මීරිගම පැවැත් වූ රැළිය නියෝජනය කළ භික්‍ෂූන් වහන්සේලා මරා දැමීමට තර්ජනය කරමින් වාහන තුනකින් රිය හඹායන ලදී. වටලන්නට ඔන්න මෙන්න කියා තිබියදී රියැදුරු කේ. පුංචි බණ්ඩාගේ නිර්භීත හා අවංකකම නිසා රිය නිට්ටඹුව පොලිසියට හරවන්නට හැකිවිය. ජේ. ආර්. ට එරෙහිව ප්‍රචාරක රැළියකට ගිය වල්පොළ රාහුල හිමයන්ට සහ කළුපහණ රේවත හිමියන්ට අත්වූයේ වෙනත් ඉරණමකි. ඔවුන් දෙනම රියෙන් බිමට ඇදදමා සිහි නැති වෙනතුරු පහරදී පිහියෙන් ඇනීමටද සූදානම් වූයේ මිනිස් වෙසින් සිටි තිරිසනුන් පිරිසකි. බරපතළ තුවාල ලැබ රෝහල්ගත වූ නමුත් නීතියේ පිළිසරණක් පවා නොලැබිණ.
නිදහස් අධ්‍යාපන පනත සම්මත වෙන්නට නොදී නොයෙක් කෙණහිලිකම් කළ සම සමාජ හා කොමියුනිස්ට් විරෝධී බලවතුන් නොයෙක් අණපනත් ගෙනෙවිත් භික්‍ෂු බලය අඩපණ කරන්නට ගත් උත්සාහයක් සාර්ථක නොවූයේ භික්‍ෂු උද්ඝෝෂණ නිසාය. පොදු ජනතාවද සිටියේ ඔවුන් සමගය.


යක්කඩුවේ නාහිමියෝ ‘අපේ ගමන්මග’ ලිපි එකතුවට මෙසේ අදහස් පළකරති.


අපේ ප්‍රධානතම ආයුධය වූයේ කොටහේනේ පක්‍ඳ්ඤාකිත්ති ස්වාමිවරයන් සංස්කරණය කළ කාලය පත්‍රයයි. අනිත් ආයුධ තිබුණේ අපේ කටවල්වල හා අවංක එඩිතර හිත්වල පමණයි. ප්‍රධාන සංස්කාරක ධුරයේ සිට ලේබල් ඇලවීමේ සුළු සේවක කෑම දක්වා හැම වැඩක්ම කෙරුණේ නොමිලේය. පත්‍රය අලෙවියෙන් ලැබූ ආදායම කඩදාසිවලටත් මුද්‍රණකම්කරු වැටුපටත් ප්‍රමාණවත් නොවිණ.


හය වසරකට පසු අන්තිමට ප්‍රභූ පැලැන්තිය සඟරුවනට අමතක වූහ. මේ කාලයේදී ප්‍රභූ පැලැන්තියේ බලපෑම් නැතත් මහසඟරුවනට වැඩකළ හැකි බව සනාථ කර තිබිණ. අලුත් ගොඩනැගිලි තනවා ත්‍රිපිටක ධර්ම සංගීතියක් පවත්වා මහා වැඩ කොටසක් විද්‍යාලංකාර හිමිවරුන් විසින් ඉටුකර තිබිණ. එම ආත්ම පරිත්‍යාග පිළිබද හොඳම පිළිගැනීම අගමැති බණ්ඩාරනායක මැතිදුන්ගෙන් ලැබිණ.


1965 වෙනතුරු එඩිතර සමාජවාදියකු ලෙස කටයුතු කළ පිලිප් ගුණවර්ධන ඩබ්. දහනායක ඇතුළු පිරිසක්ද විද්‍යාලංකාර පිරිවෙනට විශ්ව විද්‍යාල තත්ත්වය ලබාදීමට වෙහෙසුණහ. ඉන්පසු පිලිප් ගුණවර්ධනයන්ගේ දේශපාලන දර්ශනය වෙනස්වීම ඛේදජනක සිද්ධියක් විය.


පිලිප් ඔබ අපේ රටේ සමාජවාදය ඇතිකරන්න හැමදාමත් වැඩකළා. ඔබට පුළුවන් වුණාට අපට බැහැ කවදාවත්ම යූ.ඇන්.පීයට හේත්තු වෙන්න”


යක්කඩුවේ හාමුදුරුවෝ තම දේශපාලන හිතවතාට සමුදුන්නේ එසේය.


‘බෞද්ධ මතයටත් ධර්මයටත් මුළු මනින්ම එකඟවූ සමාජවාදය බහුජන හිතසුව පිණිස මේ රටේ ඇතිවිය යුතුයි. සර්වජන ඡන්දබලය ඇති නිසා එය ලේ නොහොල්ලන විප්ලවයක් වෙනවා නොඅනුමානයි.


ප්‍රතිගාමී ප්‍රභූ පැලැන්තිය විද්‍යලංකාර පිරිවෙනට කෙණෙහිලිකම් කළ යුගයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේගේ අධ්‍යාපය කඩා නොවැටීමටත් ඔවුන්ට ආරක්ෂාව හා පෝෂණය ලබාදීමටත් විද්‍යාලංකාර සඟ පරපුර විසින් සිදුකරන ලද ක්‍රියාදාමය අති විශාලය.


යක්කඩුවේ හාමුදුරුවෝ ‘වනකතා’ සහ සඟිබණ ආදී පොත් පෙළක්ම ලියා පළකළ අතර විද්‍යාලංකාරය නඩත්තු වූයේ එම පොත් අලෙවියෙනි. අනාගතයේ මාපිටිගම බුද්ධ රක්ඛිත වැනි පැවිද්දන්ගෙන් විය හැකි ජාතික හා ආගමික ව්‍යසනයක් පිළිබඳව ‘සඟිබණෙහි’ අඩංගු වේ. දේශපාලන භික්‍ෂූන් යැයි ආණ්ඩුව විසින් හංවඩු ගැසුණු එක්සත් භික්‍ෂු බල මණ්ඩලය බිහි වූ ‘විද්‍යාලංකාර පිරිවෙන සමතලා කොට උදු වපුළ යුතු යැයි ප්‍රතිගාමී දේශපාලනඥයෝ වරක් ප්‍රකාශකර තිබිණි.


නිදහස් අධ්‍යාපන පනත දිගින් දිගටම කල්නොයවා රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ සම්මත කළ යුතුයැයි ලංකා එක්සත් භික්‍ෂු මණ්ඩලය රජයට බලකර තිබිණ. ඊට එරෙහිව අයි. ඇක්ස් පෙරේරාගේ මාර්ගයෙන් කතෝලික පක්‍ෂය විසින් අසූදහසකගේ අත්සනින් පෙත්සමක් එවා තිබිණ. ඊට අභියෝග කරමින් ලංකා එක්සත් භික්‍ෂු බලමණ්ඩලය සැතැප්ම ගණන් දිග පෙත්සමක් භාරදුන්නේය. ඊට බෞද්ධයන් පමණක් නොව හින්දු, මුස්ලිම්, කිතුණු හා කතෝලික ජනතාවද අත්සන් කර තිබිණි. මෙම උද්යෝගය දුටු රාජ්‍ය මන්ත්‍රණ සභාව දෙවැනිවර කියවීමේදී අධ්‍යාපන සංශෝධන පනත විරෝධයක් නොදක්වාම ස්ථිර කළේය.

 


මතු සම්බන්ධයි.

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි