යමුනා නිවෙසේ රහස් කතා බහ


එම මතවාදයට එරෙහිව නව ලිබරල්වාදී ප්‍රගතිශීලී දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර මහනුවර සමාජවාදී පෙරමුණ ආරම්භ කිරීමෙන් එහි සභාපති ධුරයට ද පත්විය. 


ටී.බී. ඉලංගරත්න, ටී.බී. තෙන්නකෝන් වැනි තවත් වාම මතධාරී නායකයන් සමග දේශපාලන ගමන් මගට යොමුවූවේ මෙම මහනුවර සමාජවාදී පෙරමුණ හරහාය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා ප්‍රථම මහා මැතිවරණය එළඹුණේ මෙම වකවානුව තුළදීය. ටී.බී. ඉලංගරත්න මහතා මහනුවර ආසනයටත් එච්. ශ්‍රී නිශ්ශංක මහතා කුරුණෑගල ආසනයටත් ස්වාධීන සමාජවාදී අපේක්ෂකයන් වශයෙන් තරග බිමට පිවිසුණේ මෙම වාතාවරණය හමුවේය. කුරුණෑගල ආසනය ජයගත් ශ්‍රී නිශ්ශංක මහතා විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස මැති සබයේ වාඩි විය.

 
රජයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය බහුතරය කිසිදු පක්ෂයකට හිමිව තිබුණේ නැත. එනිසා තීරණාත්මක බලවේගය වූවේ ස්වාධීන මන්ත්‍රීවරුය. වහා ක්‍රියාත්මක වූ කුරුණෑගල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පත්ව සිටින එජාප නොවන සියලු_ මන්ත්‍රීන් තම නිවස වූ පාමංකඩ මායා මාවතේ, යමුනා නම් නිවසට කැඳවා කතිකාවක් ආරම්භ කළේය. එහි අරමුණ වූවේ එවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ඔහුගේ සිංහල මහා සභාව එම පක්ෂයෙන් ඉවත්කොට ගෙන විපක්ෂයේ සහාය ඇතිව බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුතුව යූ.ඇන්.පී. විරෝධී, වාමාංශික මතධාරී රජයක් පිහිටුවීමයි. 


චිරප්‍රසිද්ධ ස්වාධීන මන්ත්‍රීන් ඔළු තුනේ බූරුවන් යැයි කියවුණු ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ අකාරුණික විග්‍රහය නිසා කලකිරීමට පත් ස්වාධීන මන්ත්‍රීවරු කීපදෙනෙකු මෙම ප්‍රයත්නයෙන් ඉවත්වීම නිසා එය බිඳ වැටුණි. යමුනා සම්මේලනය වශයෙන් ඉතිහාසයට එක්ව ඇත්තේ මෙම සාකච්ඡාවයි. 


ප්‍රථම පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කර ගැනීමේ අවස්ථාවේදී රජයට එකතු වන්නේ නම් ප්‍රබල ඇමැති ධුරයකටද ශ්‍රී නිශ්ශංක මහතාට ආරාධනා ලැබුණු බවද සඳහන් වේ. එහෙත් කිසිවිටෙකත් තනතුරු ලෝභයෙන් නොපෙළුන අවංක බවේ ප්‍රතිමූර්තියක් වූ මෙම කීර්තිමත් දේශපාලනඥයා එම තනතුරු කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. 
සිංහල මහා සභාවේ මාදම්පේ සම්මේලනයේ තීරණය ඩී.ඇස්. සේනානායක රජය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතිවූ මතභේද නිසා එම රජයේ නියෝජ්‍ය නායකයා වූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1951 ජූලි 12 වැනිදා තමන් දැරූ සභානායක ධුරයෙන් සහ සෞඛ්‍ය හා පළාත් පාලන ඇමැති ධුරයෙන් ද ඉවත්ව විපක්ෂයට පැමිණියේය. 
වෙනම පක්ෂයක් ලෙස සංවිධානය වීමේ අවශ්‍යතාව එම කණ්ඩායමට අවබෝධ වී තිබුණි. මේ කාර්යයේ මහා බරට උර දුන් ප්‍රබලයකු වූවේ එච්. ශ්‍රී නිශ්ශංකයන්ය. මහනුවර සමාජවාදී පෙරමුණ මුළුමනින්ම නව පක්ෂයට සම්බන්ධ කරවූ ඔහු එවකට මහනුවර මන්ත්‍රී ධුරය දැරූ තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය ද එයට බඳවා ගත්තේය. නව පක්ෂයට එම මන්ත්‍රී දෙපොළ එක්වීම මහත් ශක්තියක් විය. 


1951 සැප්තැම්බර් 02 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමේ දී එයට නාම යෝජනා කරන ලද්දේ ශ්‍රී නිශ්ශංක මහතා බව සැවොම දන්නා කරුණකි. එම පක්ෂයට නිල් පාට තෝරා දුන්නේ ද ඒ මහතා විසින් බව කියවේ. නිල් අහසත්, නිල් සමුද්‍රයත් අතර අවකාශය ද බැබළවිය හැක්කේ නිල් පාටටම පමණක් බව නිශ්ශංකයන් පවසා ඇත. නීල වර්ණය පිරිසිදු බවේ සංකේතය ලෙස ද ඔහුගේ විශ්වාසය වී ඇත. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය පවත්වන මෙම මොහොත පක්ෂයේ මෙම පුරෝගාමී නායකයා සිහිපත් කිරීම ඉතා කදිම අවස්ථාවක් ලෙස සැලකීම අතිශයින්ම උචිතය. 


සිය මෑණියන්ගේ සොහොයුරු වූ ගරු මුනි රොබට් සොයිසා මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බළපිටිය මන්ත්‍රීවරයා ලෙස පත්වූවේ 1931 වසරේදී ය. ප්‍රකට සමාජ සේවකයකු සහ අමද්‍යප ව්‍යාපාරයේ ප්‍රාදේශීය නායකයකු වූ ඒ මහතා ප්‍රදේශයේ අධ්‍යාපන දියුණුවට විශාල පෞද්ගලික ධනයක් වැය කළ දානපතියෙකි. 

 

ඔහු බළපිටිය සිද්ධාර්ථ විද්‍යාලය, සිද්ධාර්ථ පිරිවෙන, සිද්ධාර්ථ ගුරු අභ්‍යාස විද්‍යාලය, (පිරිමි) සිද්ධාර්ථ ගුරු අභ්‍යාස විද්‍යාලය, (කාන්තා) සිද්ධාර්ථ අනාථ ළමා නිවාසය, සිද්ධාර්ථ පේෂකර්ම විද්‍යාලය වැනි ආයතන රාශියක් පිහිටුවා තමන්ගේම ධනයෙන් පවත්වාගෙන ගියේය. තම වැඩිහිටි ඥාතීන්ගේ මෙවැනි සමාජ සේවා කටයුතුවලට සහාය දීමෙන් එම ආභාෂය ශ්‍රී නිශ්ශංක දරුවාට ලැබෙන්නට ඇතුවා නිසැකය. 


ගරු මුණි රොබට් ද සොයිසා මහතාගෙන් පසු බළපිටිය නියෝජනය කළ ආතර් ද සොයිසා මහතා ඔහුගේ සොහොයුරෙකි. මහත්මා දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳව නිදසුනක් ලෙස බහුලව දක්වනු ලබන 1953 බළපිටිය අතුරු මැතිවරණයේ වොල්වින් ඒ. ද සිල්වා සහ ඉයන් ද සොයිසා මහත්වරුන් දෙදෙනා අතර වූ සටන වර්තමාන දේශපාලන ක්‍රියාකාරිකයන්ට මහගුආදර්ශයකි. 


හොඳින් හෝ නරකින් හෝ ජයග්‍රහණය අත්කර ගැනීම නොව යුක්තියට ගරු කිරීම පිළිබඳව එම සටන ඉතිහාසයට එක්ව ඇත. මේ කියන ඉයන් ද සොයිසා මහතා පෙර කී රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයාගේ පුත්‍රයෙකි. ශ්‍රී නිශ්ශංකයන්ගේ ඥාති සොහොයුරාය. 

 

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ අකාරුණික විග්‍රහය නිසා කලකිරීමට පත් ස්වාධීන මන්ත්‍රීවරු කීපදෙනෙකු මෙම ප්‍රයත්නයෙන් ඉවත්වීම නිසා එය බිඳ වැටුණි. යමුනා සම්මේලනය වශයෙන් ඉතිහාසයට එක්ව ඇත්තේ මෙම සාකච්ඡාවයි. 

 


අධිරාජ්‍යවාදී යුගයේදී සිංහල කථා කිරීම, ප්‍රසිද්ධියේ සිංහල සිරිත් විරිත් චාරිත්‍ර ඉටුකිරීම ආදිය සිංහල සමාජය විසින් ලැජ්ජාවට කරුණක් ලෙස සලකනු ලැබූ සමයක ජාතික ඇඳුමක් නිර්මාණය කර දීමේ පුරෝගාමියා ශ්‍රී නිශ්ශංක මහතා බව දන්නේ වර්තමාන සමාජයේ ටික දෙනෙකි. අනගාරික ධර්මපාලතුමාගේ සහාය ද එයට ලැබුණි. 


පී. ද ඇස්. කුලරත්න, ඇල්.එච්. මෙත්තානන්ද, ඊ.ඩබ්ලිව්. අදිකාරම් වැනි දේශ හිතෛෂීන්ද සමග 1925 වසරේ ආනන්ද මහා විද්‍යාලයේ පැවති රැස්වීම ජාතික ඇඳුම පිළිබඳ සටනේ ආරම්භයයි. රාජනීතිඥ වැනි උසස් තනතුරක් දරමින් වුවද සරල ඇඳුමක් කෙරෙහි උනන්දුවක් දැක්වීම දේශප්‍රේමී බවේ සහ නිහතමානී බවේත් සංකලනයක් ලෙස සැලකිය හැකිය. 


වර්තමාන දේශපාලන ක්ෂේත්‍රය අල්ලස, දූෂණය, වංචාව, රාජ්‍ය සම්පත් අවභාවිතය ආදී දුර්ගුණයන් රජ කරන දුඟද හමන පල් මඩ ගොහොරුවක් ලෙස බොහෝ දෙනා හඳුන්වති. එහෙත් ශ්‍රී නිශ්ශංකයන් වැනි අව්‍යාජ සිල්වත්, ගුණගරුක, සදාචාර සම්පන්න පුද්ගලයන් එම ක්ෂේත්‍රය නිල්වන් දිය දහරෙන් හා පස් පියුමෙන් සුසැදි සුවඳ හමන පොකුණක්ව පවත්වාගෙන ගිය බවට සාක්ෂි අපමණය. 


මෙවැනි පරමාදර්ශී චරිතයකින් හෙබි හර්බට් ශ්‍රී නිශ්ශංක නම් වූ උදාර පුරුෂයා තමා විසින්ම අඳින ලද බුදුරුවක් දෙස නෙත් යොමාගෙන භාවනාවෙහි යෙදී සිටියදී 1954 පෙබරවාරි 26 වැනි දින ශාන්ත මරණයට මුහුණ දුන්නේය. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැට හය වැනි සංවත්සරය සමරන මේ මොහොතේ දී ශ්‍රී නිශ්ශංක වැනි පුරෝගාමී නායකයන් සිහිපත් කළ යුතු වන්නේ එතුමාගේ පරමාදර්ශී ප්‍රතිපත්තිගරුක දේශපාලන ක්‍රියාදාමය තම ජීවිතවලට අනුගතකර ගැනීමේ අධිෂ්ඨානය ඇතිවය. තනතුරු ලෝභය, පිටු දකිමින් කටයුතු කළ උදාර නායකයාගේ චරිතය ඕනෑම දේශපාලන නායකයකුට ආලෝකය සහ කීර්තිය අත්කර දෙන ප්‍රදීපස්ථම්භයක් වනවා නොඅනුමානය. මක් නිසාදයත් මේ ශ්‍රී නිශ්ශංකයන් වැනි නායකයන් බොහෝදෙනෙකු අවශ්‍ය යුගයක් වන බැවිනි. 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ