යාපා පටුනෙන් බිහිවූ නිදහස් අදහස්


කුල වාදයෙන් උපන් ගින්දර - 02

 

සෑම පුරවැසියෙකුටම සමාජ සාධාරණයෙන් යුතුව ජීවත් වීමට නිදහස තිබිය යුතු යැයි ඔවුහු ප්‍රකාශ කළහ. එම පෙරළිකාරී තත්ත්වයට බලපෑ ප්‍රධාන සාධක දෙකක් විය. එකක් නම් ඉන්දියානු නිදහස් අරගලය මගින් ඇති වූ ධෛර්යදීමයි. දෙවැන්න ඇමරිකානු මිෂනාරීන් විසින් යාපනයේ ආරම්භ කරන ලද පාසල් මගින් ශිෂ්‍යයන් වෙත ලබා දුන් නිදහස්වාදී දේශපාලන චින්තනයයි. 


මෙම අදහස් ප්‍රචලිත වීමට ප්‍රධාන බලපෑම ඇති කරන ලද්දේ වඞ්ඩුකොඩෙයි ඇමරිකානු මිෂනාරීන් විසින් ඇති කළ යාපන මහා විද්‍යාලයයි. එම යුගයේ එම විදුහලේ ප්‍රධානියා වූ ඇමරිකානු ජාතික ධර්මදූතයෙකු වූවේ ජෝන් බික්නෙල් පියතුමාය. සිතීමේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ ඒ අනුව ක්‍රියා කිරීමේ නිදහස වෙනුවෙන් ඔහු ප්‍රකටව සිටියේය. හැන්ඩි පෙරිම්පනායගම් වැන්නන් යාපනයේ බිහි වීමට මෙවැනි නිදහස් මතධාරීන්ගේ ඇසුර හේතු වන්නට ඇතිවා නිසැකය. 


හැන්ඞ් පෙරිම්පනායගම්ගේ මෙහෙයවීම යටතේ යාපනය ශිෂ්‍ය කොන්ග්‍රසය බිහි වූයේ මෙම පසුබිම යටතේය. විශ්වවිද්‍යාල ජීවිතය නිමාවී උපාධිධාරීන් වශයෙන් මෙම තරුණයෝ සමාජගත වූහ. එහිදී තම සංවිධානය අතහැර දැමීමට මෙම බුද්ධිමත්හු අදහස් නොකළහ. තමන්ගේ වයසට සරිලන අන්දමින් එහි නම වෙනස් කොට යාපනයේ තරුණ කොන්ග්‍රසය නමින් එය දිගටම පවත්වාගෙන යාමට ඔවුහු කටයුතු කළහ. එහි ප්‍රධානත්වය ගත් පිරිස අතර එස්. කුලේන්ද්‍රන්, සී. සුබ්‍රමනියම්, එස්. නඬේසන්, එස්. යූ. සෝමසේකරම්, ස්වාමි විපුලානන්ද, එම්. බාලසුන්දරම්, එස්. දුරෙයි රාජසිංහම්, පී. නාගලිංගම්, ඒ. ඊ. තාම්බර්, එස්. සුබ්‍රමනියම්, වී. තිල්ලෙයි නාදන්, එස්. රාජ නායගම්, කේ. නවරත්නම්, වී. මුතුකුමාරු, ජේ. සී. අමරසිංහම්, එස්. එස්. සිවප්‍රගාසම්, ජේ. ඩබ්ලිව්. ඒ. කදිරගාමර්, ඒ. ඇම්. කේ. කුමාරස්වාමි, වී. කේ. නාදන්, ඇස්. ජේ. ගුණසේගරම්, කේ. නේසයියා, සෑම් සහාපති, එස්. ඩී. චිදම්බරනාදන් යනාදීහු වූහ. 


මෙසේ යාපනය තරුණ කොන්ග්‍රසය ක්‍රියාත්මක වීමේ දී 1931 වන විට සර්ව ජන ඡන්ද අයිතිය ලබා දීම ප්‍රකාශයට පත් විය. ඩොනමෝර් කොමිසමේ නිර්දේශය පරිදි ක්‍රියාත්මක වූ මෙම වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවනු ලැබූ අතර එය භූගෝලීය පදනමින් බෙදා වෙන් කරන ලද ආසන පනහකින් සමන්විත වූවේය. මෙයින් ආසන හතරක් උතුරු පළාත සඳහා වෙන් වූවේය. ඒවා නම් යාපනය, පේදුරුතුඩුව, කයිට්ස් සහ කන්කසන්තුරේ යනුවෙනි. මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් නොකර වර්ජනය කළ යුතුය යන අදහසක් මෙකී තරුණ කොන්ග්‍රසය තුළ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබුණි. මේ ගැන තීරණයක් ගැනීමට 1931 අප්‍රේල් 23 වැනිදා මෙම සම්මේලනය පැවැත්වූ යාපනය පොදු ක්‍රීඩාංගණයේ තාවකාලිකව තැනූ විශාල කූඩාරමක් තුළය. විශේෂයෙන් කරන ලද ආරාධනයක් අනුව මෙරටට පැමිණ සිටි ඉන්දියා නිදහස් සටනේ ප්‍රබලම නායිකාවක වූ කමලාදේවි චච්ඨෝපච්‍යාය මැතිනිය යාපනයේ තරුණ කොන්ග්‍රසයේ සම්මේලන වාරයේ මුලසුන හෙබවූවාය. සමුළුව තීරණය කළේ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වර්ජනය කිරීමටය. එම අපේක්ෂකයන් අතර ඩබ්ලිව්. දොරෙයිසාමි, කේ. බාලසිංහම්, අරුණාචලම් මහාදේව, එම්. ඒ. පී. චන්ද්‍රසේගර්, කේ. ඩී. ආර්. ශ්‍රී පද්මනාදන් සහ ඒ අප්පුදුරෙයි ආදීහු එසේ නාම යෝජනා භාර නොදී ඉවත් වූහ.
මෙම වකවානුව වන විට උතුරේ කුල පීඩනය ද බොහෝ සෙයින් උත්සන්නව තිබුණි. පාසල්වල ශිෂ්‍යයන්ට සම අසුන් පැනවීම කුලීනයෝ තරයේ හෙළා දැක්කෝය. සමහර කුලවල ශිෂ්‍යයන්ට දූවිලි සහිත පොළවේ වාඩි වීමට සිදු විය. තවත් සමහර අය පහත පුටුවල වාඩි වූහ. කුලීනයෝ උස් පුටුවල සිට අධ්‍යාපනය ලැබූහ. යාපන තරුණ කොන්ග්‍රස් ව්‍යාපාරය මෙම තත්ත්වයට විරුද්ධව කුලහීන ජනතාවට පක්ෂව ඉදිරිපත් විය. ළමුන් අතර සම අසුන් පැන වූ සමහර පාසල්වලට ගිනි තැබූ අවස්ථා බොහෝ විය. කුල භේදයට විරුද්ධව කටයුතු කිරීම නිසා තරුණ කොන්ග්‍රසය කෙරෙහි වෛර බැඳගත් සමහර කුලීනයෝ තරුණ බලවේගයේ ප්‍රගතිශීලී මතවාදයට විරුද්ධව සංවිධානය වීමට පටන් ගත්හ. එයට හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ කොන්ග්‍රසයේ තිරුනෙල්වේලි හි පැවති සම්මේලන වාරයට බාධා හා විරෝධතා ඇති කිරීමයි. 


තරුණ කොන්ග්‍රසයේ තිරුනෙල්වෙලි සමුළුව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණේ ශිවාගමික අභ්‍යාස ආයතනයේ රැස්වීම් ශාලාවේ දීය. එහි මෙම රැස්වීම පැවැත්වීම ගැන ප්‍රතිවාදීහු මුලින්ම විරෝධය පෑවෝය. අනතුරුව එයට පිවිසෙන මාර්ගවල සහ මංසන්ධිවල පිකටින්කරුවෝ විරෝධතා දැක්වූහ. ආවේගයෙන් උසි ගන්වනු ලැබ සිටි පිරිස් එම ස්ථානයට කිට්ටුව පිහිටි සියලුම ළිංවලින් දිය ලබා ගත නොහැකි අයුරින් බාධා කර තිබුණි. රැස්වීම පවත්වන ස්ථානයේ තිබූ ළිඳ සම්පූර්ණයෙන්ම අපවිත්‍ර කර ජලය බීමට ගත නොහැකි තැනට පත් කර තිබුණි. කොන්ග්‍රසයේ සභාපතිවරයාගේ මෝටර් රථයට අවහිර කර පසුව ගල් පහර එල්ල කරනු ලැබීය. 
ඉවසීමෙන් මෙම තත්ත්වයට මුහුණ දුන් කොන්ග්‍රස් අනුගාමිකයෝ පසුව වෙනත් බාධාවලින් තොරව සමුළු වාරාය පවත්වනු ලැබූහ. සිසුන්ට සම අසුන් පැන වූ පාසල් විශාල සංඛ්‍යාවක් ගිනි තබා විනාශ කළ අතර දරුණු ගැටුම් ද ඇති වූ බව වාර්තා විය. 


දේශපාලන අතින් සලකන විට පොන්නම්බලම් අරුණාචලම් පොන්නම්බලම් රාමනාදන් ආදීන් වෙත පැවරී තිබුණු බලය 1947 පමණ වන විට ඇස්. ජේ. වී. චෙල්වනායම් ප්‍රමුඛ කණ්ඩායමක් අතට මාරු වූ බවක් දක්නට ලැබුණි. වික්ටර් අයිවන් ඔහුගේ කෘතියේ දක්වන ආකාරයට ඔහු ද උසස් යැයි සම්මත වෙල්ලාල කුලයේ සාමාජිකයෙකැයි කියැවේ. 1956 මහා මැතිවරණයේ පේදුරු තුඩුව ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ පී. කන්දයියා මහතා ජයග්‍රහණය ලැබීම ලංකාවේ සිදු වූ අදහාගත නොහැකි සිදුවීමක් වූ බව කියනු ලැබේ. එතෙක් මෙතෙක් උතුරේ ආසනයක් දිනා ගත් එකම මාක්ස්වාදියා ඔහු පමණකි. මෙම ජයග්‍රහණයට විශේෂයෙන්ම හේතු වූයේ උතුරේ පවතින කුල පීඩනය යැයි පී. කන්දයියා මහතා කොළඹ දී පවසනු මම අසා සිටියෙමි. 


වේලුපිල්ලේ ප්‍රභාකරන් උපත ලැබුවේ මෙවැනි පීඩනයන්ගෙන් ගහණ පේදුරුතුඩුව ආසනයේය. ඉන්දියාවට හොර බඩු රැගෙන යාම, එරටින් ලංකාවට හොර බඩු ගෙන ඒම සහ බෙදා හැරීම, එකල පැවති කල්ලතෝනි ජාවාරාම ආදී සමාජ අපචාරයන්ට කේන්ද්‍රස්ථානය වූයේ වැල්වැටිතුරේ පේදුරුතුඩුව ආදී උතුරේ වෙරළ බඩ ප්‍රදේශයයි. කරයාර් කුලයට අයත් වූවේ යැයි කියන ප්‍රභාකරන් පෙර සඳහන් කළ සමාජ අසමානතා නිසා නොයෙක් අසහනයන්ට ගොදුරු වූවෙකු වූවා නිසැකය. ළමා අවදියේ අසහනයට පීඩාවට පත් වූවෙකු නොමග යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින්ම වැඩි බව අධ්‍යාපන මනෝ විද්‍යාවේ කියැවේ. කුඩා කාලයේ සිටම සතුන් මැරීමේ විශේෂයෙන්ම තලගොයින් මැරීම ඔවුන්ගේ මස් සහ දිව අනුභව කිරීම පුරුද්දක් කරගෙන සිටි ප්‍රභාකරන් මෙසේ නොමගට පෙලැඹීමට ඔහු සහ එම සමාජය අත්විඳි කටුක දිවිය ද හේතු වූවා නිසැකය. එකල උතුරේ දෙමළ තරුණයෝ පෝක් සමුද්‍ර සන්ධිය කුඩා බෝට්ටුවලින් තරණය කර දකුණු ඉන්දියාවේ සිනමාහල්වල දෙමළ චිත්‍රපට නැරඹීම පුරුද්දක් කරගෙන සිටියහ. ඇම්. ජී. රාමචන්ද්‍රන් නමැති සටන් නළුවා මෙම තරුණයන්ගේ වීරයා විය. කුල පීඩනය, මැර බලය, ධනේශ්වර සූරා කැම ආදියට විරුද්ධව සටන් කර ජය ගන්නා වීරයා වූ රාමචන්ද්‍රන්ගේ සටන් ජවනිකා ඇතුළත් ක්‍රියාදාම චිත්‍රපට ඔවුන්ගේ මනස වෙනස් කරන්න සමත් විය. 


හින්දු ආගම කුල වාදයට ධෛර්යය දෙන්නක් බවට විද්වත්හු මත පළ කරති. එයට ප්‍රධානම හේතු මෙසේ පැහැදිලි කළ හැකිය. හින්දු විශ්වාසය අනුව ලෝකය මැවූ බලවන්තයා වන්නේ බ්‍රහ්මයාය. සමාජයේ ජීවත් වන මනුෂ්‍යයන් කොටස් හතරක් වේ. එනම් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර වශයෙනි. මෙම ජන වර්ගයන් ලොවට බිහි වූයේ බ්‍රාහ්මණ කුලයේ අය මහා බ්‍රාහ්මයාගේ මුඛයෙන්, ක්ෂත්‍රිය කුලයේ අය මහා බ්‍රහ්මයාගේ බාහුවලින්, වෛශ්‍ය කුලයේ අය මහා බ්‍රහ්මයාගේ කලවාවලින් ශුද්‍ර කුලයේ අය මහා බ්‍රහ්මයාගේ පාදවලින් යනාදී වශයෙනි. බැලූ බැල්මට පෙනෙන ආකාරයට සමාජයට ගුණ දහම් කියා දෙන, රජුන්ට ද උපදෙස් අවවාද අනුශාසනා කරන බ්‍රහ්මණයන් උසස්ම කුලය ලෙස සැලකේ. දෙවැන්ත රාජ්‍ය පාලනය කරන රජුන් අයත් වන ක්ෂත්‍රිය කුලයයි. වෛශ්‍යයෝ වෙළඳාම සහ ගොවිතැන් භාරව කටයුතු කළහ. ඔවුහු ධනපතියෝ වූහ. සිටුවරු වූහ. ශුද්‍ර කුලයට අයත් වූවන්ගේ රැකියාව සහ සමාජ චාරිත්‍රය අනුව සතුන්ට තණ කැපීම, දඩයම් කිරීම, මසුන් ඇල්ලීම කසළ බැහැර කිරීම වැනි කටයුතුය. මෙම කුල බෙදීම හින්දු දහම මගින් සාධාරණීයකරණය කරන ආකාරයක් හින්දු සාහිත්‍ය සහ ඍග්වේදයෙන් පවා දැක ගත හැකිය. අති දීර්ඝ කාලයක් මෙම දහමේ ආභාසය ලැබූ ද්‍රවිඩ ජනයා එම කුල භේදයට ඇබ්බැහි වූ මානසිකත්වයකට හුරු වූවාක් වැනිය. තම ජාතියට වෙනම රාජ්‍යයක් ඉල්ලා යුද වැදුණු පිරිසකට තමන්ගේම භාෂාව කතා කරන තමන්ගේම ආගම අදහන සහෝදර ජනතාවකට මෙසේ වෙනස්කම් කරනුයේ නම් අහම්බෙන්වත් ඊළාම් රාජ්‍යයක් ලැබුණා නම් මෙම දෙපිරිස අතර තවත් යුද්ධයක් ඇති වන බව නම් ඉර හඳ බඳු සත්‍යයකි.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ