උතුරු පළාතෙන් නිතරම ප්‍රවෘත්ති මැවේ. විජය කලාගේ රංගනයෙන් පසුව කරළියට ආවේ මහ ඇමැති විග්නේශ්වරන්ගේ යෝජනාවක් වූ නාම පුවරුවල මුල් තැන දෙමළ භාෂාවට හිමිවිය යුතු බව කියන කතාවය. රටේ කිසි කෙනෙක් අධෝ වාතයක් පමණටවත් එම යෝජනාව ගණන් ගත් බවක් දක්නට නොලැබුණි. පසුගිය තිස් වසරක් මුළුල්ලේ සිදුවූ දේ මතක ඇති අයට උඩ - යට ගැන සිතන්නට අවශ්‍ය නැත. දැන් අලුතෙන්ම එන යෝජනාව ගැන නම් එසේ නිහඬව සිටින්නට බැරිය. එයින් කියැවෙන්නේ සම්බුද්ධ පාදස්පර්ශයෙන් අති පරිශුද්ධ වූ නාගදීප විහාරයද ඇතුළත් බෞද්ධ වෙහෙර විහාර මෙන්ම පුරාවස්තු ස්ථාන රාශියක්ද යාපනය නගර සභාව භාරයට ලබාගතයුතු බවය. එය එම සභාවේදී යෝජනා ස්ථිරත්වයෙන් සම්මතව ඇති බවද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. මෙයට කලින් අවස්ථාවකදී නාගදීප විහාරය නගර සභාවට අයත්යැයි කියමින් එම විහාරය පරීක්‍ෂාවට බඳුන් කරනු ලැබූ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනකු ගැනද සඳහන් විය.
අනාදිමත් කාලයක සිට සිංහල, දෙමළ ජනවර්ග දෙකම ලංකාවේ සහෝදරත්වයෙන් ජීවත්වූ බව කව්රුත් පිළිගනනා සත්‍යයකි. උතුරු - නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රධාන වාස භූමි ලෙස පතළව පැවතියද එම ප්‍රදේශවල පවා සිංහලයෝ රැකියා කරමින්ද අසල්වැසියන් ලෙසද ජීවත්වූහ. කොළඹ අග නගරයේ පමණක් නොව ඈත ප්‍රත්‍යන්ත ගම් දනව්වලද සාමයෙන් යුතුව වාසය කළහ. අසල්වාසීන් හැටියට නැති බැතිකම්වලට පිහිට වෙමින්ද අන්‍යොන්‍ය වශයෙන් සුහදතාවෙන් යුතුවද ඔවුහු කටයුතු කළහ. දෙමළ ජනයා සිංහලයන්ට බොහෝ සෙයින් ගෞරව කළ අතර ඔවුනට වැඩිපුර සැලකූහ. වඩාත් කිට්ටු සම්බන්ධතා ගොඩනැගුණු අතර විවාහයන් පවා සිදුවිය. ආදරයට ජාති භේද නැතැයි ඇදහූ මෙම පිරිස් දරු මල්ලන් ඇතිකර ගනිමින් සාමයෙන් යුතුව දිවි පෙවෙත ගත කළහ. පෞද්ගලික හේතුවක් මත සිංහල සහ ද්‍රවිඩ පවුල් දෙකක් අතර විරසක කමක් ඇතිවී අඬදබර ඇතිවීම අරුමයක් නොවුණාවුවත් එය කිසිවිටෙකවත් ජාතිභේද ආරාවුලක් බවට පත්වූවේ නැත. දින හෝ සති කීපයකදී ඒවා අකා මකා වී පුරුදු සහජීවනයෙන් යුතුව කටයුතු කළහ. ඔවුන් පොදුවේ, දුකේදී දුක්වූ අතර සතුටේදී එක්ව ප්‍රීතිවෙනු දක්නා ලදී. නෑදෑකම් නොතිබුණා වුවත් වයසට ගැළපෙන පරිදි නෑකම් කියමින් ආමන්ත්‍රණය කළහ. ගරු බුහුමන් කළහ. ආගම් භේදයක්ද කිසිසේත්ම නොවීය.
උතුරේ පැවති සම්ප්‍රදායික දේශපාලන ගමන් මග නියෝජනය කළේ ජී. ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසයයි. උතුරේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී ජනතාව වෙත ගොස් කටයුතු කළා වුවද පොන්නම්බලම් මහතා ජීවත්වූවේ කොළඹ ප්‍රභූ සමාජයේය. කීර්තිමත් නීතිඥයෙකු වශයෙන් ඔහු දිනගෙන තිබුණු ජනප්‍රියත්වය නිසා ඔහුට එසේ දිවි ගෙවීම පහසු කළේය.
එක්දහස් නවසිය හතළිස් හතේ මෙරට ප්‍රථම මහා මැතිවරණයේදී කිසිම පක්‍ෂයකට බහුතර බලයක් හිමිවූයේ නැත. මෙයින් අපහසුතාවට පත්වූවේ එක්සත් ජාතික පක්‍ෂයේ නායක ඩී.ඇස්. සේනානායක මහතාය. එම පක්‍ෂයට හිමිව තිබුණේ ආසන හතළිස් දෙකක් පමණි. පොන්නම්බලම් මහතා රජයට සහාය දීමට ඉදිරිපත් වූවේ කොළඹ ඉහළ සමාජයේ පැවති සම්බන්ධකම්වල බලපෑම නිසාය. එහෙත් එම සහයෝගය දීම විවේචනය කළ අයද බහුලව සිටියහ. එම මත ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් කන්කසන්තුරේ මන්ත්‍රී රාජ නීතිඥ ඇස්. ජේ. වී. චෙල්වනායගම් සහ කෝපායි මන්ත්‍රී සී. වන්නියසිංහම් යන මහත්වරු එම පක්‍ෂයෙන් ඉවත්ව වෙනම දෙමළ මතවාදයක් ගොඩනැගූහ. එවකට උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සභිකයෙකු වූ දොස්තර ඊ. ඇම්. වී. නාගනාදන් මහතාගේ ආශිර්වාදය ලැබුණේද පොන්නම්බලම් මහතාට එරෙහිව චෙල්වනායගම් මහතාටය. මේ අය වෙනම දේශපාලන පක්‍ෂයක් ගොඩනැගූ අතර එය නම් කළේ දෙමළ ස්වරාජ්‍ය පක්‍ෂය යනුවෙනි. දෙමළ බසින් එය ඉලංගෙයි තමිල් අරසු කච්චි ලෙසිනි. පවතින දේශපාලන ක්‍රමය මගින් දෙමළ ජනතාවට සුගතියක් අත්කර ගත නොහැකි බවත් එනිසා උතුරු - නැගෙනහිර පළාත්වල සන්ධීය ආණ්ඩු ක්‍රමයක් ඇති කළ යුතු යැයි ඔව්හු යෝජනා කළහ. එවකට විශ්වවිද්‍යාල සිසුන්ද, සරසවි ඇදුරන්, ගැමි ජනතාවද බහුල වශයෙන් මෙම නව පක්‍ෂය වෙත ආකර්ෂණය කර ගැනීමට මෙම නායකයෝ සමත්වූහ. 1956 මහා මැතිවරණය එළඹුණේ මෙවැනි වාතාවරණයක් පවතිද්දීය. සන්ධීය ආණ්ඩු ක්‍රමයක් සඳහා සටන් කරන පක්‍ෂයක් ලෙස වටහා ගැනීම නිසා සිංහල ජනතාව මෙම පක්‍ෂය හැඳින්වූවේ ෆෙඩරල් පක්‍ෂය වශයෙනි. එම මැතිවරණයේදී යාපනය සහ පේදුරුතුඩුව යන ආසන දෙක හැර උතුරේ සියලුම ආසන දිනා ගැනීමට ෆෙඩරල් පක්‍ෂය සමත් විය. යාපනය ආසනය පොන්නම්බලම් මහතා දිනාගත් අතර පේදුරුතුඩුව ජයග්‍රහණය කළේ කොමියුනිස්ට් පක්‍ෂයේ පී. කන්දයියා මහතාය. වවුනියාව ආසනය දිනුවේ ස්වාධීන අපේක්‍ෂකයකු වූ සී. සුන්දරලිංගම් මහතා වුවත් ඔහු කටයුතු කළේද ෆෙඩරල් පක්‍ෂයේ අපේක්‍ෂාවන්ට සමපාතවය.
සිංහල පාර්ශ්වය ගැන සැලකිලිමත් වුවහොත් එම සමාජයේදී ද මෙවැනි ප්‍රවණතා බහුල වූවේය. රටේ බහුතරය සිංහලයන් වුවත් රාජ්‍ය පාලනය සිදුකෙරුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. රජයේ සියලු කටයුතු කෙරුණේ ඉංග්‍රීසියෙනි. බහුතර ජනතාව වූ ගොවි කම්කරුවන්ගේ දූ දරුවන්ට එය ඉතා අහිතකර ලෙස බලපෑවේය. ඔවුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයක් නොලැබෙන නිසා සුදුසු රැකියාවකට යාමට නොහැකි විය. අධිකරණයේ විත්ති පැමිණිලි සියලු පාර්ශ්ව කතා කළේ එම භාෂාවෙනි. නඩුවේ වෙන්නේ කුමක්දැයි ඉංග්‍රීසි නොදන්නා විත්තිකරු දැන සිටියේ නැත. මෙවැනි අසමානතා බොහෝ විය. රටේ පැවති මෙම පරිසරය වටහාගත් මහජන එක්සත් පෙරමුණ සන්ධානයේ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එම මැතිවරණයේදී පැහැදිලිවම සහ අතිශයෝක්තියට බරව ප්‍රකාශ කළේ තම පක්‍ෂය බලයට පත්වුවහොත් පැය විසිහතරක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවයි. ප්‍රායෝගිකව එය කිසිසේත්ම ඉටු කළ නොහැක්කක් බව පෙනි පෙනීත් ජනතාව එම රජයකට ජනවරම දුන්නේ විශාල බලාපොරොත්තු ඇතිවය. එම ආණ්ඩුව තුළද සිංහල අන්තවාදීහු බොහෝ වූහ.
රජය පිහිටුවීමට බොහෝ කොට උදව් කළ ප්‍රබල පුද්ගලයෝ මෙම මතය දැරූහ. තැපැල් උප ඇමති කේ. ඇම්. පී. රාජරත්න, මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය ආදීහු මෙහි මූලිකයෝ වූහ. තවත් ආධාරකරුවන් වූ මහා සංඝයා වහසේලා පිරිසක්ද මෙම මතය දැරූහ. රජය පිහිටුවා සතියක් දෙකක් යාමටත් පෙර මොවුහු “පොරොන්දු වූ පරිදි සිංහලය රාජ්‍ය භාෂාව කරන ලෙස” අගමැතිවරයාට බලකළහ. 1956 ජුනි මස 05 වැනිදා සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත කරනු ලැබීය. ෆෙඩරල් පක්‍ෂය මෙම පනතට එකහෙළාම විරුද්ධ වූ අතර පාර්ලිමේන්තුවේදීත් ඉන් බාහිරවත් එම මන්ත්‍රීවරු දැඩි ලෙස විරෝධතාව පළකළහ. රටම උණුසුම් විය. දෙමළ පාර්ශ්වය සමග සාකච්ඡා කළ අගමැතිවරයා ඔවුන්ටද සාධාරණයක් ඉටු කෙරෙන අයුරින් සහනයක් ලබාදීම උදෙසා බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම නම් වූ සම්මුතියකට අත්සන් තැබූහ. එය ප්‍රශ්නය තව තවත් උග්‍ර කරවන්නක් බවට පත්වූයේ නිරායාසයෙනි. පෙළපාළි, සත්‍යග්‍රහ, උපවාස නිමක් නොවීය. මෙහිදී විශේෂ කරුණක් වූවේ විරුද්ධ පක්‍ෂයේ සිටි ලංකා සමසමාජ පක්‍ෂය සහ කොමියුනිස්ට් පක්‍ෂය, සිංහල භාෂාවට රාජ්‍ය භාෂා තත්ත්වයට පත් කිරීමට එකඟ නොවීමය. සිංහල - දෙමළ භාෂා දෙකට සමතැන දිය යුතු යැයිකියා සිටි ඔවුහු එසේ නොවුනහොත් ජාතීන් දෙක අතර නොනවතින ගැටුමක් නිර්මාණය ව බවද පැවසූහ.
උතුරේ ජනතාවගේ ගමනා ගමන පහසුව සැලසීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ විශාල සංඛ්‍යාවක් උතුරට යවා තිබුණි. ඒවායේ වාහන අංකය යොදා තිබුණේ ශ්‍රී කාණ්ඩය යටතේය. ඊට පෙර එම අංකය සටහන් කෙරුණේ ලංකාවේ නමට ඉංග්‍රීසියෙන් සිලෝන් යන නාමය සඳහා එන ක්‍ෑශඛධභ යන වචනයට අදාළවෙන අයුරින් ක්‍ෑල ක්‍ශල ක්‍ඛල ක්‍භ ආදී වශයෙනි. ඉන්පසු 1 ශ්‍රී, 2 ශ්‍රී, 3 ශ්‍රී යෙදීමට බලාපොරොත්තු විය. 1 ශ්‍රී අංක දරණ බස් රථ යාපනයට යැවීමේදී එය දෙමළ ජනතාව වටහා ගත්තේ සිංහලයට තවත් තැනක් ලැබුණු ආකාරයෙනි. එනිසා ශ්‍රී අකුරේ තාර ගෑමට අන්තවාදී දෙමළ තරුණයෝ කටයුතු කළහ. එය සැලවීමත් සමග දකුණේ සිංහලයෝ ප්‍රකෝප වූහ. දෙමළ නාම පුවරුවල තාරගෑම ආරම්භ විය. ප්‍රචණ්ඩත්වය ආරම්භ වූයේ එතැනිනි.
උතුරේ සිංහලයන්ට හිංසාකිරීම පටන් ගත්තාක් මෙන්ම දකුණේද සම ප්‍රතිචාර ලැබුණි. කල කෝලාහල ආරම්භ විය. රට පුරා සිංහල - දෙමළ ජාතිවාදී අරගලයන් නිර්මාණය විය. දෙපාර්ශ්වයේම සිය ගණන් මිනිස්සු මරුමුවට පත්වූහ. ලංකා දේශයම ගිනි ජාලාවක් වූවේය. මහජන ආරක්‍ෂක පනත යටතේ හදිසි නීතිය පනවා රටේ නීතිය හා සාමය ආරක්ෂාකිරීමටත් රටේ රජ කරන පළිගැනීමට හා කැලෑ නීතිය පිටුදැකීමටත් ආණ්ඩුව කටයුතු කළේය.
එවකට ක්‍රියාත්මක වූ සෝල්බරි ව්‍යවස්ථාව අනුව හදිසි නීතිය පැනවූ වහාම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය පාලන බලතල ඉවත්ව අග්‍රාණ්ඩුකාර ධුරයේ කටයුතු කරන්නාට රාජ්‍යයේ බලවතා බවට පත්වීම සාමාන්‍ය ක්‍රමය වේ. දිනක දෙකක අර්බුදයකදී මෙම තත්ත්වය ජනතාවට නොදැනෙන නමුදු මාස ගණනක් ක්‍රියාත්මකවූ 58 හදිසි අවස්ථාවේදී මෙය හොඳටම ප්‍රදර්ශනය වුණි. මාධ්‍ය හැසිරවීම ඇතුළුව සියලුම ආරක්‍ෂක පියවරයන් ගැනීමේ වගකීම එදා අග්‍රාණ්ඩුකාර ධුරයේ කටයුතු කළ සර් ඔලිවර් ගුණතිලක මහතාට බාරවුණි. දැඩි තීරණ ගන්නා හිතුවක්කාරයෙකු වුවත් අගමැති බණ්ඩාරනායක මහතාටත් පහසුවක් වන අයුරින් ඔහුගේ අදහස් ද විමසමින් ත්‍රිවිධ හමුදාවට අණදීමේ යෙදුණි. නීතිය කඩ කරන හෝ මංකොල්ල කෑම්වල යෙදෙන හෝ ඕනෑ කෙනෙකුට තරාතිරම නොබලා දුටු තැන වෙඩි තබන ලෙස සර් ඔලිවර් ආරක්ෂක අංශවලට නියෝග කළේය. රට මදක් සාමකාමී අතට හැරෙන අයුරින් පාලනය කර ගැනීමට අග්‍රාණ්ඩුකාරවරයා සමත් වූවේය. තමා දේශපාලනඥයෙකු නොවන නිසාත් මහජන ඡන්දය අපේක්‍ෂා කරන්නෙක් නොවන නිසාත් ජන ප්‍රසාදය රැක ගැනීමක් අවශ්‍ය නැති බැවින් අපක්‍ෂපාතව හා දැඩි තීරණ ගනිමින් වගකීම ඉටු කිරිමට හැකියාව ඇතැයි ඔහු තරයේ විශ්වාස කළේය. එනිසා දැඩි තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් ඔහු පසුබට නොවීය. නීතියට අවනත නොවන කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදෙන ඕනෑම කෙනෙකු මරා දමන ලෙස ඔහු ආරක්ෂක අංශවලට බලය දුන්නේ එම මතයේ පිහිටමිනි. මේ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත් සිංහල බහුතරයක් වෙසෙන නගරවලත් කලහකාරී සිදුවීම් බොහෝ සෙයින් අඩුවිය. එමෙන්ම ඒ ඒ ප්‍රදේශවලට පත්කර සිටි හමුදා සම්බන්ධීකරණ නිලධාරීන්ගේ වාර්තා අනුවද එම තත්ත්වය සනාථ විය. එහෙත් උතුරේ ප්‍රදේශවලින් බරපතළ සිදුවීම් වාර්තා විය.
කයිට්ස් සහ වැල්වැටිතුරේ රේගු කාර්යාල ගිනි තබා විනාශ කළ දෙමළ අන්තවාදීහූ ඒවායේ තිබුණු වටිනා දේ පැහැර ගත්හ. මෙම අපරාධය සිදුකළේ එවකට උතුරේ සරුවට කෙරුණු හොර බඩු ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් රැසක් බවට වාර්තා විය. මේ අතර කටකතාවක් වශයෙන් පැතිර ගිය දූෂමාණ ආරංචියකින් සර් ඔලිවර් කම්පාවට පත්විය. එම ආරංචිය කිසිදු ආකාරයකින් සත්‍ය්‍යක් නොවේවායි සර් ඔලිවර් දෙවියන්ට යාඥා කළේය. එම ආරංචියෙන් කියවුණේ සම්බුද්ධ පාදස්පර්ෂයෙන් පවිත්‍ර වූ නාගදීප පුදබිම විනාශ කර ඇති බවය. වර්තමානයේ මෙන් තාක්‍ෂණික සන්නිවේදනය ක්‍රියාත්මක නොවූ එම යුගයේ මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට අග්‍රාණ්ඩුකාවරයාට පවා ක්‍රමයක් නොවුණි. ඔහු කළේ මෙම කරුණු සොයා බලා තමාට දන්වන්නැයි උපදෙස් දී එවකට නාවුක හමුදාපති අද්මිරාල් රොයිස් ද මැල් මහතා නාගදීපයට යැවීමය. එහි ගිය මැල් මහතා සර් ඔලිවර්ට වාර්තා කළේ කටකතාවලින් කියවුණු පුවත සත්‍ය බවය. දකුණේ සිංහල ජනතාව මෙම අපරාධය පිළිබඳ නිසි පරිදි දැනගතහොත් රට මහා විනාශයකට පත්වවෙන බව අග්‍රාණ්ඩුකාරවරයා දැන සිටියේය. එනිසා එදා පැවති පහසුකම් ප්‍රමාණයේ හැටියට සර් ඔලිවර් අවධාරණය කළේ නාගදීපය ශුද්ධ භූමියට කිසිදු අනතුරක් සිදුව නැති බවය. එහෙත් ඒ වනවිට නාගදීප විහාරය ගිනි තබා විනාශ කර එම විහාරයේ තිබූ විශාල බුදු පිළිමය ඇදගෙන ගොස් මුහුදට විසිකර තිබුණි. ආරංචිය එසේ වුවද පිළිමය සොයාගත නොහැකි විය. වහාම ක්‍රියාත්මක වූ අග්‍රාණ්ඩුකාරවරයා නාගදීප විහාරය වහාම තනන ලෙස රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය. ඉතා රහසිගතව එම කාර්ය සිදුවෙද්දී මතුවූ ගැටලුව වූයේ බුද්ධ ප්‍රතිමාව කෙසේ තනා ගන්නේද යන්නය. එම ප්‍රතිමාව බුරුම රජය විසින් තනා නාගදීප විහාරයට පූජා කරන ලද්දක් විය. ලක්දිව මෙන්ම ථෙරවාදී බුදු දහම පවත්නා රාජ්‍යයක් වූ බුරුමය (වර්තමාන මියන්මාරය) අදට වඩා කිට්ටු සම්බන්ධකමක් එකල පැවතුණි. එරට අගමැති ඌනූ මහතා සතර පෝයට සිල් ගන්නා බෞද්ධයකු වූ අතර නිතරම පාහේ මෙරටට පැමිණ අනුරාධපුර, කැලණිය, මහියංගණය ආදී පූජනීය ස්ථානවල සිල් සමාදන්වීම පුරුද්දක් කරගෙන සිටි නායකයෙකි. මෙම හදිසි අවස්ථාවේදී ඔහුගේ උපකාරය පැතූ ශ්‍රී ලංකාවේ අග්‍ර ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා එවැනි බුදු පිළිමයක් අලුතෙන් තනා දෙන ලෙස අගමැති ඌ නු ගෙන් ඉල්ලීමක් කළේය. නොපමාව ලංකාවේ හදිසි අවශ්‍යතාව ඉටුකර දීමට අගමැති ඌ නු ක්‍රියා කළේය. රට තවත් ගිනිගෙන දැවෙන්නට හේතුවන ගැටලුවක් සර් ඔලිවර් විචක්‍ෂණ බුද්ධියෙන් එසේ නිමාවට පත්කෙළේය.
ජාතිවාදය සහ ආගම්වාදය තිත්ත අබින් වැනි යැයි කාර්ල් මාක්ස් ප්‍රකාශ කළේය. එහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවත් එම කරුණු දෙක මිනිසාගේ හැඟීම් අවුස්සා නිරයට හෝ ගෙන යා හැකි සාධක දෙකක් බවට ලෝකයේ බොහෝ නිදසුන් දැකිය හැකිය. තිස් වසරක යුද්ධයකට මග පෑදීමට 1958 ජාතිභේද කෝලාහලය හේතු වූ බව කියනු ලැබේ. එනිසා කෲර යුද්ධය නමැති ගිනිහුළෙන් බැට කා සිටින ශ්‍රී ලාංකීය ජනතාව ජාති භේදය පතුරන සුළු සිදුවීමකට හෝ හේතුවන කනාමැදිරි එළියකට වුවද බිය වීම යුක්තිසහගතය. ජාති භේදය පතුරන ඕනෑම සාධකය කලින් හඳුනාගෙන ඒවා පිටුදැකීම යුගයේ අවශ්‍යතාවක් වන්නේ එම නිසාය.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි