2005 දෙසැම්බර් 19 වැනිදා අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඉදිරියේ ප්‍රථම වරට ජනාධිපති තනතුරේ වැඩභාරගත් මහින්ද රාජපක්ෂ මහතා 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කම්කරු ඇමැතිවරයාද පසුව ධීවර ඇමැති ලෙසද කටයුතු කර අගමැති ධුරයේද කටයුතු කළ කෘතහස්ථ දේශපාලනඥයෙක් විය. ශ්‍රීලනිපයේ උපසභාපතිවරයෙක්ද වූ ඔහු 2005 දී ජනාධිපති ධුරයේ වැඩභාරගන්නා ලද්දේ මැතිවරණයට ඉදිරිපත් කළ මහින්ද චින්තනය වැඩ සැලැස්ම තුළින් අලුත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ කාර්ය භාරයට උර දෙමිනි.
ඒ වන විට රටේ ආරක්ෂාව ගිලිහී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට උතුර, නැගෙනහිර පමණක් නොව දකුණේ අගනුවර ඇතුළු සියලු ප්‍රදේශද ගොදුරුවී සිටි අතර ජනතාව බියෙන් ත්‍රස්තව සිටියහ. මේ නිසා බලයට පත් වහාම දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමග (එල්.ටී.ටී.ඊ.) සාකච්ඡා ඇරඹුවද ඒවා බිඳවැටුණි. ඒ අතර 2006 අප්‍රියෙල් මාසයේදී නැගෙනහිර ප්‍රදේශයේ මාවිල්ආරු සොරොව්ව වසා දමා ගොවීන්ට ජල පහසුකම් මෙන්ම පනස් දහසකට අධික ජනතාවට බීමට පවා ජලය ලබා නොදීම හේතුවෙන් සොරොව්ව විවෘත කර නැගෙනහිරින් ත්‍රස්තවාදීන් පලවා හැරීමට හමුදාව මෙහෙය වීය.
2007 ජුලි මාසයේදී එය අවසන් කිරීමෙන් පසු උතුරේ මානුෂීය මෙහෙයුම ආරම්භ කළේය. 2008 සැප්තැම්බර් මාසයේ පටන් එල්.ටී.ටී.ඊ. ය සතුව තිබූ පුනරින්, කිලිනොච්චි, අලිමංකඩ හා මුලතිවු ප්‍රදේශ හමුදා පාලනයට නතුකර ගැන්මෙන් පසු 2009 මැයි 19 වැනිදා නන්දිකඩාල් කළපුවේදී ප්‍රභාකරන් මරා දැමීමෙන් පසු එල්.ටී.ටී.ඊ. බලය සහමුලින්ම විනාශ කෙරිණි. අනතුරුව නැගෙනහිර පළාත් සභා පිහිටුවා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ අතර යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර ප්‍රදේශ යළි නගාසිටුවා ජන ජීවිතය යථාවත් කළේය. 2005 දී ලබා තිබූ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල කාලය 2011 දී අවසන් වීමට නියමිතව තිබුණද දෙවැනි වතාවටද බලය ලබා ගැන්ම පිණිස ජනතා වරමක් ලබා ගැන්ම සඳහා 2009 නොවැම්බර් 23 දා නැවත ජනපති වරණයක් නිවේදනය කළේය. ඒ අනුව 2009 දෙසැම්බර් 17 වැනිදා නාමයෝජනා ලබාගැන්මට දින ලබා දුන් අතර මැතිවරණය 2010 ජනවාරි 26 වැනිදාට නියම විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක විශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවද එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයකු තෝරා ගැන්මේ ගැටලුවක් මතුවිය. ඒවන විට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙවරක් ජනාධිපති අපේක්ෂකත්වය ලබා පරාජයට පත්ව සිටියේය.
ඒ නිසා මෙවර පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකර ඒ වෙනුවට පක්ෂ කිහිපයක් එකතුවී සන්ධානයක් පිහිටුවා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව 2009 නොවැම්බර් 03 වැනිදා පක්ෂ හා විවිධ කණ්ඩායම් 12 සමග පොදු ජාතික පෙරමුණක් පිහිටුවනු ලැබීය.
එහි ප්‍රධාන හවුල්කරුවන් වූයේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සහ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව සිටි අතර එක්සත් ජාතික පෙරමුණ සමග විශ්‍රාමික හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට සාකච්ඡා කරන ලදී. අවසානයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙසින් මහින්ද විරෝධී පොදු අපේක්ෂකයා ලෙසට නායකත්වය දුන් සරත් ෆොන්සේකා හංසයා ලකුණින් තරග බිමට පිවිසියේය.
2009 දෙසැම්බර් 17 වැනිදා අපේක්ෂකයින් 23 දෙනෙක් නාමයෝජනා භාරදුන් අතර ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවෙන් ඉදිරිපත් වූයේ මෙම මැතිවරණයේදීය. අපේක්ෂකයින් 23 දෙනෙක් නාමයෝජනා දුන්නද එක් අපේක්ෂකයකුගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය. ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ ජේ. ඒ. පීටර් නෙල්සන් පෙරේරාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ නාමයෝජනාව විය. දේශපාලන පක්ෂවලින් 17 දෙනෙක්ද ස්වාධීන අපේක්ෂකයින් 05 දෙනෙක්ද වශයෙන් 22 සමන්විත විය. පළමු වතාවට එක් බෞද්ධ හිමිනමක් තරග කළ අතර 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ 05 දෙනෙක්ද (මහින්ද රාජපක්ෂ සමග) මෙවරද තරග බිමට බැස සිටියේය. දෙමළ ජාතික සන්ධානය තරග නොකළත් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ස්වාධීනව ඉදිරිපත් විය.
මෙවර ඡන්දය දීම සඳහා 14,088,500 ක් ලියාපදිංචි සිටියහ. ඡන්දපොළවල් 10,875 කදී ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ සලසා තිබිණි. 74.4% ක් මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කර තිබිණි. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා 2005 මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා 1,228,782 ක් ලබා ඡන්ද 6,015,934 ක් හෙවත් ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 57.88% ලබාගත්තේය. පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ලබා ගනු ලැබුවේ 4,173,185 හෙවත් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 40.15% පමණි. 2005 දී එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා තනිව තරග කර ඡන්ද 4,706,366 ක් හෙවත් 48.43% ක් ලබාගත්තද ජනරාල් සරත් ෆොන්සේකා එජාපය හා ජවිපෙ ඇතුළු පක්ෂ හා කණ්ඩායම් ගණනාවක් එකට එකතුවී පොදු අපේක්ෂකයා ලෙස ලබාගනු ලැබුවේ ඡන්ද 4,173,185 හෙවත් 40.15% කි.
දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල දෙස බැලූවිට දිස්ත්‍රික්ක 22 න් 16 ක්ම ඉතා ඉහළින් ජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකිවූ අතර දිස්ත්‍රික්ක 08 ක් ජයගත්තේ ලක්ෂයකට වඩා වැඩි ඡන්ද ලබා ගනිමිනි. ඒ දිස්ත්‍රික්ක නම් ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුර, රත්නපුර යන දිස්ත්‍රික්කයි. සරත් ෆොන්සේකා ජයගත් දිස්ත්‍රික්ක වන්නේ යාපනය, වන්නි, මඩකළපුව, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, නුවරඑළිය යන දිස්ත්‍රික්ක 06 යි.
2005 දී රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික්ක 11 ජයගෙන තිබුණි. මැතිවරණ කොට්ඨාස මට්ටමින් බැලූ විට කොට්ඨාස 160 න් 125 ක් මහින්ද රාජපක්ෂ මහතා ජයගෙන තිබූ අතර සරත් ෆොන්සේකා මහතා ජයගෙන තිබුණේ කොට්ඨාස 35 පමණි. දකුණු පළාතේ ගාල්ල හැර අනෙක් සියලු ඡන්ද කොට්ඨාස මහින්ද රාජපක්ෂ මහතා ජයගෙන තිබුණි. සරත් ෆොන්සේකා උපන් ගම වූ අම්බලන්ගොඩ ඡන්ද කොට්ඨාසය වැඩි ඡන්ද 14,297 කින් ජයගැන්මට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වූ අතර එතුමා වැඩිම වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්තේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයෙනි. එහි වැඩිඡන්ද සංඛ්‍යාව 41,385 විය.
බණ්ඩාරගම සමරසේන මුදලිගේ ඡායාරූපය : අන්තර්ජාලයෙනි