සර් ජෝන්ගේ නොපළ කතා
ජර්මනිය ලෝක යුද්ධයේ වැඩි බලයක් දිනාගනිමින් තිබිණි. සෑම මුහුදු ගමන් මාර්ගයක් ඔස්සේ ම අටවා තිබූ පාවෙන බෝම්බවල ගැටී නැව් රැසක් විනාශ වී ගියේය. ඒ අතර ජර්මන් සබ්මැරීන විසින් ද නැව් විනාශකර දැමිණි. මෙවන් තත්ත්වයක් පවතිද්දී යුරෝපයට යාම ඉතා අසීරු කර්තව්‍යයකි. එක් අතකින් එය මහත් වික්‍රමාන්විත ක්‍රියාවකි.
ජෝන් කොතලාවල මේ කාලයේ සිටි වයස අනුව ඔහුට තනියම එංගලන්තයට යාමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ හේතුවෙන් ඔහුගේ තනියට තවත් තරුණයකු යෙදවිණි. මේ තරුණයා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
“අපිට යුරෝපයට යන්න සිදුවුණේ ප්‍රංශ සමාගමකට අයත් නැවක. මේ නැවේ ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් කිසිම කෙනෙක් ඉන්න බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඔවුන් කතා කරන්නේ ප්‍රංශ භාෂාව. මේ නිසා කිසිම කෙනෙක් අපි දෙදෙනා සමග හිතවත් වුණේ නැහැ. ඒ අය කතාකරන දේවල් අපිට තේරෙන්නේ නැහැ. අවශ්‍ය දෙයක් ඉල්ලා ගන්නේත් අමාරුවෙන්. අපි මහත් සේ බියටත් දුකටත් පත්ව සිටියා. නමුත් ගමන් ආරම්භ කර දින කිහිපයකින් අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මහත්මයකු හමු වුණා. එයා බි්‍රතාන්‍ය ජාතිකයෙක්. සිංගප්පූරුවේ සිට එංගලන්තයට යමින් සිටියා.”
ජෝන් කොතලාවල පවසන්නේ යන්තම් ළමා විය ඉක්මවමින් සිටින ඔහුත් ඔහුගේ සඟයාත් කෙරෙහි මේ එංගලන්ත ජාතිකයා දැක්වූයේ පියකු වැනි සෙනෙහසක් බවයි. කෑම බීම ඇතුළු සියලු වුවමනා එපාකම් ඔහු සොයා බැලුවේ මහත් ආදරයෙන් බව ද කොතලාවල සටහන් කර ඇත.
නෞකාව යුරෝප වෙරළට ළඟා වෙමින් තිබිණි. සැතපුම් සිය ගණනක් දින කිහිපයක් ආ මේ ගමනේ දී කිසිදු අන්තරායක් නොවූව ද අවසන් මොහොතේ දැනගන්නට ලැබුණේ ජර්මන් සබ්මැරීනයක් නැව ලුහුබැඳ පැමිණෙන බවයි. තවත් මොහොතකින් නැව විනාශ කිරිමට ඉඩ ඇති බව නිවේදනය කැරිණි. ඒ අනුව සියලු දෙනාට නැව ගිලුණු විට බේරී සිටීමට අවශ්‍ය ජීවිතාරක්ෂක උපකරණ පැළඳගන්නා ලෙස ද දන්වන ලදී. මේ සිද්ධිය ගැන ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පසු කළෙක සටහන් කර ඇත්තේ මේ ආකාරයෙනි.
“මම බියගුල්ලෙක් නොවෙමි. එහෙත් තරුණ විය ලැබුවා පමණි. මගේ ළමා කාලය ගෙවී යාමටත් පෙර මගේ ජීවිතය අවසාන වනු ඇතැයි හැඟීමෙන් වෙහෙසට පත්වීමි. ප්‍රයෝජනවත් කිසිවක් ඒ කාලයේ කරන්නට හැකියාවක් ලැබුණේ නැත. නැවේ උඩතට්ටුවට වී මොහොතකින් සිදුවන පිපිරීමකින් නැව ගිලෙන සැටිත් කිසියම් යාත්‍රාවකින් පැමිණ අප බේරා ගැනීමට උත්සාහ ගන්නා තුරු මුහුදේ පාවෙමින් සිටින සැටිත් මට මැවි මැවී පෙනෙන්නට විය. ඇතැම්විට මුහුදේ ම මිය යන්නට ඉඩ ඇති බව ද මට සිතිණි. ඕස්ටේ්‍රලියාවට නොගොස් එංගලන්තයට යාමට මා තීරණය කළේ මේ අත්දැකීම ලබන්නට දැයි මට සිතිණි. නැවේ තට්ටුවට වී මේ සිතිවිලිවල ගිලී සිටිය දී අපේ නැව හැකි වේගයෙන් මාර්සේල්ස් වරායට ළඟා විය. අපි පොරකමින් වේගයෙන් නැවෙන් බැස ගතිමු. අප යා යුත්තේ එංගලන්තයට වුව ද ගොඩබැස ඇත්තේ ප්‍රංශයේ දකුණු වෙරළේ වරායකයට. දැන් එංගලන්තයට යා යුතුය. මෙතැන් සිට එංගලන්තයට යාම ලංකාවේ සිට මාර්සේල්ස් වරායට පැමිණියා මෙන් සිය දහස් ගුණයකින් අවදානම් සහිතය.”
මේ වනවිට ජර්මන් හමුදා ප්‍රංශයට ඇතුළු වී තිබිණි. ඔවුහු පැරිසිය ආසන්නයේ ම සටන් කරති. මාර්සේල්ස් සිට එංගලන්තයට යන දුම්රිය මාර්ගය වැටී ඇත්තේ පැරිසිය හරහාය. මෙය දැන දැන ම අමාරුවේ වැටීමකි. ප්‍රංශ භාෂාව නොදත් මේ දෙදෙනාගේ හැඟීම් කිසිවෙකුට තේරුම් ගැනීමට හැකියාවක් නැත. ඔවුන්ට සිටි එකම ගැලවුම්කරුවා වූයේ පෙර කී බි්‍රතාන්‍ය ජාතිකයාය. ඔහුගේ පිහිටෙන් බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයට ගිය මේ දෙදෙනා අවසානයේ උතුරු ප්‍රංශ වෙරළට ගොස් ඉංග්‍රීසි ඕඩය හරහා ලන්ඩන් නගරයට ගියහ.
“මට මත්විමේ අවශ්‍යතාවක් ඇති වුව ද ප්‍රංශයට පා තැබූ මොහොතේ පටන් එයට අවකාශයක් ලැබුණේ නැත. ඔහු ප්‍රංශයේ දීත් ලන්ඩන් නගරයේ දීත් අපට නවාතැන් ලබාදුන්නේ මත්පැන් නැති හෝටල්ය. මේ ලාබාලයන් දෙදෙනාට මත්පැන් අනවශ්‍යයැයි ඔහු සිතන්නට ඇත. ඔහු ඉටුකළේ අපේ පියාගේ කාර්ය භාරයයි.”
සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි