ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජාතීන් අතර සංහිඳියාව ප්‍රතිසන්ධානය සහ කල් පවත්නා සාමය ඇති කිරීම සඳහා රජය විසින් නොයෙකුත් පියවරයන් ගනිමින් සිටින බව ප්‍රකට කරුණකි. පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මගින් පවා මෙම ක්‍රියාමාර්ගය ඉදිරියට යාම සිදුවේ. තිස් අවුරුදු යුද්ධය නිසා සිංහල - දෙමළ ජනවර්ගයන් අතර ඇතිවී තිබෙන සිත් රිදවීම සමනය කිරීම මෙහි මූලික අපේක්ෂාව බවද කියවේ. දීර්ඝ කාලීන යුද්ධයක කටුක අත්දැකීම් විඳීමට සිදුවන තරමේ මහා ව්‍යසනයක් ඇති කළ මෙම ආරාවුල ටිකෙන් ටික වඩා වර්ධනය වූ ආකාරයත් එයට විසඳුම් වශයෙන් ඉදිරිපත් වූ යෝජනා එකඟතා සහ ගිවිසුම් ගැනත් අවධානය යොමු කිරීම කාලෝචිතය. මේ සියල්ල ගැන සලකන විට දැනට හැට වසරක් සපිරෙන බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ප්‍රධාන තැනක් ගනී. එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යව සිටි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාත් දෙමළ ජනතාවගේ ප්‍රධාන දේශපාලන බලවේගය වශයෙන් එදා පැවති ෆෙඩරල් පක්ෂයේ නායක ඇස්. ජේ. වී. චෙල්වනායගම් මහතාත් අතර ජාතිභේදය නිමා කොට එක්සත් ශ්‍රී ලංකාවක් පවත්වාගෙන යනු සඳහා 1957දී එකඟ වූ යෝජනා මාලාව බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම නම් වේ.
අනාදිමත් කාලයක් එකම ලාංකේය ජාතියක් වශයෙන් සමගියෙන් ජීවත් වූ මෙම ජනවර්ග දෙක අතර පැවති බැඳීම විශ්වාස කිරීමට නොහැකි පමණට ශක්තිමත්ව තිබුණි. යටත් විජිත යුගයේ අන්ධකාරම සමයේ 1900 ශතකය ආරම්භ වෙද්දී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යපාරයේත් ව්‍යවස්ථාදායකයේ දේශීය නියෝජනයේත් ප්‍රබලම නායකත්වය දැරුවේ ද්‍රවිඩ ජාතිකයන් බව පැවසීම සාවද්‍ය නොවේ. ව්‍යවස්ථාදායකය නියෝජනය කළ දේශීය ප්‍රභූ නියෝජිතයෝ නිසැකවම අධිරාජ්‍යවාදී පාලකයන් සමග ඇඟ ඇළුම් පෑ ඔවුන්ගේ සුවච කීකරු සුරතලුන්ව සිටියහ. එම පසුබිම හමුවේ ස්වදේශික අවශ්‍යතා සඳහා පෙනී සිටියේ සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම් වැනි ද්‍රවිඩ නායකයෝය. විශේෂයෙන්ම 1915 සිදුවූ සිංහල මුස්ලිම් කෝලහලයේදී බි්‍රතාන්‍ය පාලනය යටතේ සිංහල බෞද්ධ ජනතාවට සිදු වූ අසාධාරණයන්ට එරෙහිව ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදී සෘජුවම සටන් කළේ සර් පොන්නම්බලම් රාමනාදන් තුමාය.
මෙම සමගිය මුල් වරට පළුදු වී ගියේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ කොළඹ නගරය අසනයේ අපේක්ෂකත්වය ලබා ගැනීම පිළිබඳ ජාතික දේශපාලන නායකත්වයේ ඇති වූ අර්බුදයක් නිසාය. ආසන වැඩි කිරීමේදී පහත රට නිෂ්පාදකයන් වෙනුවෙන් ද අසුනක් නිර්මාණය කිරීම ගැන සර් පොන්නම්බලම් අරුණාචලම් විරුද්ධතාව ප්‍රකාශ කළේ ප්‍රතිපත්තියක් වශයෙනි. “භූගෝලීය වශයෙන් පමණක් කොට්ඨාස බෙදා වෙන් කළ යුතුය” යන්න ඔහුගේ මතය විය. ඊළඟට පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලය සඳහා මැතිවරණයේදී කොළඹ නගරය කොට්ඨාසයෙන් තරග කිරීමට සර් පොන්නම්බලම් අරුණාචලම් අපේක්ෂා කළේය. එහෙත් කොළඹ දේශපාලන නායකත්වය, විශේෂයෙන්ම ලංකා ජාතික සංගමයේ නායක පිරිසගේ තේරීම වූයේ සර් ජේම්ස් පීරිස් එම ධූරයට පත් කර පහත රට නිෂ්පාදන කරුවන් නියෝජනය අරුණාචලම් මහතා පත් කිරීමය. ලංකා ජාතික සංගමය ආරම්භ කර ලංකාවට නිදහස ලබාගැනීමේ කාර්යයටද පුරෝගාමී නායකයා ලෙස සැලකෙන එතුමා මෙම මතභේදය හේතු කොටගෙන ජාතික දේශපාලනයෙන් ඉවත්ව යාපනයට ගොස් එහි සමාජ සේවයට යොමු වූවේය. මෙරට දේශපාලනයේ දෙමළ සිංහල භේදයේ මුල්ම සිද්ධිය ලෙස ඉතිහාසයේ දැක්වෙන්නේ මෙයයි.
ගතානුගතික සම්ප්‍රදායික මතවල එල්බ සිටි පොන්නම්බලම් රාමනාදන් මෙරට ජනතාවට සර්ව ජන ඡන්ද බලය ලබාදීමට එකහෙළා විරුද්ධ වූ බව ප්‍රකට කරුණකි. විශේෂයෙන්ම කාන්තාවන්ට ඡන්ද බලය දීමෙන් ශ්‍රී ලාංකේය ජන සමාජය මහත් විපතකට පත්වනු ඇතැයි යන්න ඔහුගේ මතය විය. එසේද වුවත් ඩොනමෝර් කොමිසම සර්ව ජන ඡන්ද බලය ද සහිතව රාජ්‍ය මන්ත්‍රණ සභාවක් 1931 දී මෙරටට හඳුන්වා දෙන ලදී. උතුරු පළාත වෙනුවෙන් ආසන හතරක් වෙන් කෙරුණි. එකල දෙමළ ජනයාගේ නායකත්වය ගෙන ක්‍රියා කළේ ජී. ජී. පොන්නම්බලම් මහතාය. ඔහු පනහට පනහේ දේශපාලන සංකල්පය ඉදිරිපත් කරමින් සිටි අතර යාපනයේ ක්‍රියාත්මක වූ යාපනය තරුණ සංගමය විශාල මහජන මතයක් ගොඩනැගුවේ උතුරේ ආසන හතරේම මැතිවරණය වර්ජනය කළ යුතු බව කියමිනි. හෙන්රි පෙරිම්පනායගම්, ඇස්. නඬේසන් ආදීහු එහි නායකයෝ වූහ. එම මැතිවරණය වර්ජන ව්‍යාපාරය කෙතරම් සාර්ථක වීද යත් යාපනය, කයිට්ස්, පේදුරු තුඩුව කන්කසන්තුරේ යන ආසන හතරටම කිසිම අපේක්ෂකයෙකු නාමයෝජනා භාර දුන්නේ නැත. වසර තුනකට වැඩි කාලයක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මෙම ආසන හතර හිස්ව පැවතුනි. පනහට පනහේ ව්‍යාපාරය දකුණේ සිංහල ජනතාවගේ සිත් රිදවීමට හේතු වූ අතර දෙපාර්ශ්වය තවදුරටත් විරසකවීම සිදු විය. සමහර දේශපාලන නායකයෝ සිංහල පමණක් යැයි සඳහන් කරමින් එවැනි අන්තවාදී පක්ෂ හා බලවේග ආරම්භ කිරීමටද පෙළඹුණහ.
1947 සෝල්බරි ආණඩු ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම මහා මැතිවරණයේදී කිසිම තනි පක්ෂයටක බහුතර බලයක් ලැබී තිබුණේ නැත. එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබුණේ ආසන හතළිස් දෙකක් පමණි. ආසන්නයට වැඩිි ආසන ගණනක් ලැබූ පක්ෂයක් නොතිබුණා වුවද ඉන්දියානු වතු කම්කරුවන්ගේ දේශපාලන පක්ෂය වූ ලංකා ඉන්දියානු සංගමය දිනාගෙන තිබුණු ආසන හත ඉතාමත්ම තීරණාත්මක විය. එම මන්ත්‍රීවරුන්ගේ සහාය එ.ජා.පයට ලැබුණානම් සරල බහුතරය ලැබීමට හොඳටම ඉඩ තිබුණි. එහෙත් වතු කම්කරුවන්ගේ නියෝජිතයෝ වැඩි බර තබා කටයුතු කළේ වාමාංශික සහ කම්කරු පන්ති මතවාදයට එකඟ ප්‍රතිපත්තියක සිටගෙනය. වතු කම්කරු ඡන්දය නිසා ආසන හතක් ලංකා ඉන්දියානු සංගමය දිනා ගත්තා පමණක් නොව ආසන විස්සක් විරුද්ධ පක්ෂවලට දිනා ගැනීමට ද බලපා තිබුණි. මෙම තත්ත්වය තමන්ගේ රජය අනතුරේ හෙළන්නක් බවට වටහා ගත් රජය 1949 දී සම්මත කරනු ලැබූ පනත් දෙකක් මගින් වතු කම්කරු ඡන්ද බලය අහෝසි කළේය. මෙය සිදු වෙන විට පනහට පනහේ නායකයා වූ ජී. ජී. පෙන්නම්බලම් මහතා එම රජයේ කැබිනට් ඇමතිවරයෙක් විය. මෙම පනත සම්මත කිරීමට ඔහුගේ ඡන්දයද ලැබුණි. ලක්ෂ සංඛ්‍යාත වතු දෙමළ ප්‍රජාවකට ඡන්ද බලය අහිමි කරන ලදී. මේ සියල්ලෝම රටක් නැති අය ලෙස හැඳින්වුනි. පොන්නම්බලම් මහතාගේ ද්‍රවිඩ සංගමය දෙකට බෙදී ගියේය. ඇස්. ජේ. වී. චෙල්වනායගම් සහ සී. වන්නිය සිංහම් යන මහත්වරු එසේ ඉවත්ව ගිය කණ්ඩායමට නායකත්වය දෙමින් දෙමළ ස්වරාජ්‍ය පක්ෂය නමින් වෙනම පක්ෂයක් ගොඩ නගා ගන්නා ලදී. එය සිංහල ජනයා අතර ප්‍රචලිත වූයේ ෆෙඩරල් පක්ෂය යන නමිනි. උතුරු හා නැගෙනහිර පළාත් දෙකට බලපාන අයුරු ප්‍රාන්ත ආණ්ඩුවක හැඩ තල ඇති පාලන ක්‍රමයක් අවශ්‍ය බවට නව පක්ෂය තම ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශ කෙරුණි. මෙම ප්‍රතිපත්තිය දෙමළ ජනයා අතර අතිශයින් ජනප්‍රිය වූවාක් මෙන්ම පොන්නම්බලම්ගේ නායකත්වය අතහැර දමා ඔව්හු පොදිය පිටින්ම ෆෙඩරල් පක්ෂයට එක් වූහ. එය කොතෙක් දුර ගියාදැයි කියතොත් 1956 මැතිවරණයේදී උතුර හා නැගෙනහිර පළාත් දෙකින්ම පොන්නම්බලම් මහතාගේ පක්ෂයට ජය ලබාගත හැකි වූවේ ඔහු නියෝජනය කළ යාපනය ආසනය පමණි. බහුතරයක් දෙමළ ජනයා සිටි අනෙක් (එකක් හැර) ඡන්ද කොට්ඨාස සියල්ලම ෆෙඩරල් පක්ෂයට හිමි විය. පේදුරු තුඩුව ආසනය කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ පී. කන්දයියා මහතා ජයග්‍රහණය කළේය. එකල මාක්ස්වාදී පක්ෂවල භාෂා ප්‍රතිපත්තිය වූයේ සිංහල දෙමළ භාෂා දෙකටම සමතැන දිය යුතු බවයි. මෙසේ දෙමළ ජන හදවත් දිග්විජය කළ ෆෙඩරල් පක්ෂය වැඩට බැස්සේය. ඉල්ලීම් උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාළි බහුල විය. චෙල්වනායගම් මහතාගේ ආකර්ෂණීය නායකත්වය යටතේ මෙම සියලු කාර්යයන් දියත් විය. ඒ. අමිර්තලිංගම්, සී. රාජදොරේ, වී. ඇන්. නවරත්නම් ආදී උගත් තරුණ මන්ත්‍රීවරු වේගවත් කථා මගින් ද්‍රවිඩ අයිතිවාසිකම් පිළිබඳව හැඟීම් ඇවිස්සීමේ නියැළුනහ.
මේ වන විට රටම මෙම භාෂා ප්‍රශ්නයෙන් කැලඹී තිබුණි. යටත් විජිත පාලනයේදී පැවති අයුරින්ම රටේ රාජ්‍ය භාෂාව වශයෙන් ඉංග්‍රීසිය භාවිත වෙමින් පැවතුනි. නිදහසින් පසුව වුවද එහි වෙනසක් වී නොතිබුණි. මෙම තත්ත්වය රටේ බහුතරය වූ ඉංග්‍රීසි නොදත් අති විශාල ජනතාවට මහත් අපහසුවක් ගෙන දුන්නේය. විශේෂයෙන් මෙරට දුප්පත් ජනයාට ඉංග්‍රීසි භාෂාව නොදැනීම නිසා සිදු වූ හිරිහැර, පීඩා, නිමක් නොවීය. රජයේ කාර්යාලයකින් සුළු කාර්යයක් ඉටු කර ගැනීමට යන ගැමියෙකුට ඉංග්‍රීසි දන්නා අතරමැදියෙකු කැඳවාගෙන යාමට සිදු විය. තැපැල් කාර්්‍යාලයකින් මනි ඕඩරයක් ගැනීම මාරුකර ගැනීම, පොලිසියකට පැමිණිල්ලක් කිරීමට පවා මෙම පසුබිම බලපෑවේය. මේ සුළු පටු කරුණුය. අධිකරණයේ තත්ත්වය අතිශයින්ම බැරූරුම් විය. ඒවායේ සියලු කටයුතු කෙරුණේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා තමාගේ නඩුවේ සිදුවන්නේ කුමක් දැයි භාෂා නොදත් අය පීඩාවට පත්වූහ. විනිසුරු, විත්තිය, හා පැමිණිල්ල, දෙපාර්ශ්වයේ නීතිඥයෝ මේ සියල්ලෝම සිංහලයෝය. එහෙත් නඩුව ඇසෙන්නේ ඉංග්‍රීසියෙනි. සමහරවිට මරණීය දණ්ඩණය නියම වූ විත්තිකරුවෙකුට සිංහලෙන් කළ හැකිව තිබුණේ තොණ්ඩුවට ගෙල දිගු කිරීමට පමණය. අධ්‍යාපනය පැවතියේද ඒ ආකාරයටය. ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රභූ සහ ධනවත් පංතියට පමණක් වූ වරප්‍රසාදයක් ලෙස රැඳී තිබුණි. කාර්යාල කාර්ය සහායක තනතුරකටත් ඉංග්‍රීසි දැනුම අවශ්‍ය විය. උසස් අධ්‍යාපනය මුළුමනින්ම කෙරුණේ ඉංග්‍රීසියෙනි. ඒ ගැන සිතන්නටවත් දුප්පතුන්ට ඉඩක් නොවුණි. මේ පැවති තත්ත්වයේ අංශු මාත්‍රයක් පමණි. ජනයා සිටියේ අසහනයෙනි.
දෙමළ සමාජයට භාෂා ප්‍රශ්නය බලපෑවේ මෙයට මඳක් වෙනස් අයුරිනි. පෘතුගීසි ඕලන්ද සහ ඉංග්‍රීසි යන සෑම යටත් විජිත සමයකදීම මිෂනාරි අධ්‍යාපනයේ පහසුකම යාපනයට ලැබුණි. සරු පසක් නොමැති ජල හිගයෙන් පෙළෙන යාපන අර්ධද්වීපයේ ජනයාගේ ප්‍රමුඛම ආදායම් මාර්ගය වූයේ අධ්‍යාපනය ලබා රජයේ රැකියාවකට බැඳීමයි. අධිරාජ්‍යවාදී පාලනයක් යටතේ නිසැකවම සිදුවන්නාක් මෙන් සුළුතරයට විශේෂ සැලකිල්ලක් දැක්වීමේ වාසියද ඔවුන්ට තිබුණි. එනිසා රාජ්‍ය තන්ත්‍රයේ බොහෝ තනතුරු දෙමළ ජනයාටද හිමිව තිබුණි.
එක්දහස් නවසිය පනස් හයේ මහා මැතිවරණය එළඹුණේ මෙම වාතාවරණය තුළය. රජය පවතින එක්සත් ජාතික පක්ෂයේ භාෂා ප්‍රතිපත්තිය වූයේ ඉංග්‍රීසියම පවත්වාගෙන යාම වුවත් තමනට විරුද්ධ ප්‍රධාන බලවේගයට මුහුණ දීමට අවශ්‍ය නිසා සිංහලය රාජ්‍ය භාෂාව විය යුතු බව පිළිගත්තාය එයට එරෙහි ප්‍රධාන බලවේගය වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ ආකර්ෂණීය පොරොන්දුවක් දෙමින් කියා සිටියේ තමන් බලයට පත්වුවහොත් පැය විසිහතරකින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවකි. සමසමාජය සහ කොමියුනිස්ට් පක්ෂය භාෂා දෙකටම සමතැන දීම පිළිගෙන සිටියේය. මහජනයාගේ උනන්දුව වැඩිවීම නිසාම මෙම මැතිවරණයේ ප්‍රධාන තේමාව වූවේ භාෂා ප්‍රශ්නයයි. ම.එ.පෙට හිතවාදීව මැතිවරණ සටනට පැමිණ සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලාද හරවත් හා රසවත් බවින් යුතුව ගැමි ජනයාට මෙම පොරොන්දුව විස්තර කර දුන්හ. මැතිවරණය අවසන් වූවේ බණ්ඩාරනායක කඳවුරට විශාල ජයග්‍රහණයක් අත්කර දෙමිනි.
රජය පත් වූ දා සිටම පොරාන්දු ඉටු කරන ලෙස රජයට බලපෑම් නිමක් නොවීය. විශේෂයෙන්ම රාජ්‍ය භාෂාව සම්බන්ධයෙනි. එය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ශ්‍රී.ල.නි.ප සාමාජිකයන් වූ මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය මහතාත් තවත් භික්ෂූන් වහන්සේලා තුන් නමක්ද පාර්ලිමේන්තු පිවිසුමේ උපවාසයක් ආරම්භ කළහ.
සිදුවීම් මෙසේ පෙළ ගැසෙද්දී අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මැති සබයට ඉදිරිපත් කළ සිංහල භාෂාව රාජ්‍ය භාෂා පනතේ මෙසේ සඳහන් විය.
“මෙම පාර්ලිමේන්තු වාරයට රැස්වූ ලංකාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුශාසනය හා අනුමැතිය ඇතිව එහිම බලය අනුව අත්‍යුත්තම මහා රාජිනිය විසින් මෙසේ පනවනු ලැබේ.
1. මේ පනත 1956 අංක 33 දරණ රාජ්‍ය භාෂා පනත යනුවෙන් හැඳින්විය හැකිය.
2. සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේ.
එසේ වුවද මේ පනත වලංගු වූ වහාම යම් කිසි රාජ්‍ය කටුයත්තක් සඳහා සිංහල භාෂාව පමණක් භාවිත කිරීමට පටන් ගැනීම ක්‍රියාවේ යෙදිය නොහැකි යැයි අමාත්‍යවරයා පටන් ගැනීම ක්‍රියාවේ යෙදිය නොහැකියැයි අමාත්‍යවරයා සලකතොත් 1960 දෙසැම්බර් 31 වැනිදා පසු වෙන්නට පෙර හැකි පමණ ඉක්මණින් අවශ්‍ය භාෂා මාරුව කරන තුරු ඒ කටයුත්ත සඳහා මේ තාක් භාවිත කළ භාෂාව හෝ භාෂාවන් ඒ අන්දමටම භාවිත කර ගෙන යාමට ඒ භාෂා මාරුව පාලන ආඥාවකින් කරවිය නොහැකි නම් ඒ මාරුව සඳහා මේ පනත යටතේ නියෝග සැදීමටත් පිළිවන.
(31) මේ පනතෙන් නියෝග සෑදීමට බලය ලැබී ඇති සියලු කරුණු පිළිබඳවද සාමාන්‍ය වශයෙන් ප්‍රතිපත්ති සහ විධිවිධානයන් ක්‍රියාත්මක කරවීම සඳහාද නියෝග සෑදීමට අමාත්‍යවරයාට පුළුවන.
(පෙර කී 3I) වන වගන්තිය යටතේ සම්පාදිත කිසිම නියෝගයක් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සහ නියෝජිත මන්තී මණ්ඩලයේදී අනුමැතිය ලැබ එසේ අනුමැතිය ලද බවට නිවේදනයක් ගැසට් පත්‍රයේ පළවන තෙක් වලංගු නොවන්නේය.
මෙම පනත ඉදිරිපත් කිරීමෙන් පසු ඇතිවුණු තත්ත්වය අතිශයින්ම පුදුමාකාර වූවකි. දෙමළ බලවේගය නොයෙකුත් විරෝධතා සංවිධානය කළ අතර එයින් ප්‍රධානම සිද්ධියක් වූවේ පනත විවාද කෙරෙන දින පාරේලිමේන්තු සබා ගර්භයේ පියගැට පෙළ මත ෆෙඩරල් පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ආරම්භ කරන ලද උපවාසයයි. එය පැවැත්වීමට පොලිසිය බාධා ඇති කරන ලදී. එනිසා එම උපවාසය ගෝල්ෆේස් පිටියේදී පැවැත්වීමට සිදුවිය. එහිදී වරාය කම්කරුවන් සමග ඇති වූ ගැටුමක් නිසා එම උපවාසය අතහැර දමා පොලිස් ආරක්ෂාව යටතේ ඉවත්ව යාමට ඔවුනට සිදු විය. මෙම උණුසුම මත කොළඹ නගරයේ තැන තැන කලබල ඇතිවූ බවද වාර්තා විය. එදින පාර්ලිමේන්තුව අවට රැස්ව සිටි පනතට පක්ෂ විශාල පිරිස වෙත පෞද්ගලිකවම ගිය අගමැති බණ්ඩාරනායක මහතා ඔවුන් අමතා කරුණු පැහැදිලි කර විසිර යන ලෙස ඉල්ලා සිටියේය. පසුව එම පිරිස් විසිර යනු දක්නා ලදී.
පසුව පාර්ලිමේන්තුව ඇමතූ අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා “මෙම පනත නියම වශයෙන් ක්‍රියාත්මක වන හැටි සුළු ජාතීන්ට පෙනෙන විට ඔවුන් පනත ගැන ඇති කර ගත් බිය පදනම් විරහිත බව ඔවුන්ට පෙනෙනු ඇතැයි මම විශ්වාස කරමි. එවිට අප එක්සත් වූ එකම ජාතියක් වශයෙන් ඉදිරිපයට පා තබනු ඇත” යනුවෙන් ප්‍රකාශ කළ බව හැන්සාඞ් වාර්තාවේ දැක්වේ.
සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයේ නායක යාපනය මන්ත්‍රී ජී. ජී. පොන්නම්බලම් මහතා ප්‍රකාශ කළේ මේ පනත දෙමළ බස කථා කරන ජනතාවගේ පෞද්ගලිකත්වයද, මිනිසුන්ගේ මූලික මානව අයිතිවාසිකම් ද නැති කරන්නක් ලෙස මෙම සභාව සලකන්නීය” යනුවෙන් අතුරු යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. තවත් අතුරු යෝජනාවක් ඉදිරිපත් කළ පොන්නම්බලම් මහතා “මෙම පනත තුන්වැනි වර කියවීම වර්ෂ 2956 දක්වා (වසර දහසකින්) කල් දැමිය යුතුයැයි” පැවසීය. මෙම යෝජනා දෙකම පරාජයට පත් විය.
අවසානයේ සිංහල භාෂා පනතට පක්ෂව ඡන්ද හැට හයක් ද විපක්ෂව විසි නවයක්ද ලැබීමෙන් සම්මත විය. රජය ගෙන ගිය මහජන එක්සත් පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එයට පක්ෂ වූ අතර සමසමාජ කොමියුනිස්ට්, ෆෙඩරල් පක්ෂ සහ ද්‍රවිඩ සංගමයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය දුන්හ.
ඉතිරිය ලබන සතියට.
සෝමසිරි වික්‍රමසිංහ