යූඑන්පියට එරෙහිව එන්නැයි ඩඞ්ලිට ඇරැයුම්


දිගින් දිගටම ඩී. ඇස්. සේනානායකගේ නායකත්වය යටතේ පෙළගැසුණු එක්සත් ජාතික පක්ෂයත් එය තුළින් මෙරට දේශපාලන  පරිපාලනය  මෙහෙයවීමත් නිසා ප්‍රගතිශීලි අදහස් දැරූ බහුතර ජනතාව නොසන්සුන් වූහ. අගමැති ජෝන් කොතලාවලට නායකත්වය ලැබුණු පසු නම්‍යශීලි අදහස් දැරූ ඩඞ්ලි සේනානායක නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.  පක්ෂය එතෙක් කර තිබූ කටයුතු කෙරෙහි සෑහීමකට පත් නොවූ බවට පළවූ මතය ඩඞ්ලි ද සනාථ කළ බව පෙනිණි.


එබැවින් ප්‍රගතිශීලි කඳවුරට ඩඞ්ලිගේ පැහැදිලි දේශපාලන මතය දැන ගැනීමට වුවමනා විය. 1955 දී ඩඞ්ලිට විවෘත සංදේශයක්  මැයෙන් එකල රටේ සුප්‍රසිද්ධ  ධර්ම දේශකයාණන් වහන්සේ නමකවූ හේන්පිටගෙදර ඤාණසීහ හිමියෝ පුවත්පත්වලට ලිපි ලියූහ.


ජාතිය පුවත්පතේ සංවාද පිටුවේ පළවූ එම ලිපිය නම්කර තිබුණේ ඩඞ්ලි මේ ගැන මොකද කියන්නේ? යන හිසිනි. මෙය දුටු ඩඞ්ලි තම වුඞ්ලන්ඞ් නිවසට එහිමියන් කැඳවීය. ඒ සමගම නිකුලස් ආටිගල හා අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල යන මහත්වරුද ඊට එක්වූහ. 


ජාතිය පුවත්පතේ මෙසේද සඳහන් වී තිබිණි. 


ඩඞ්ලි මහතාණනි ඔබේ පියා ගරා වැටුණු මහියංගන චෛත්‍යය බැඳීමට පටන් ගැනීමත් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ආරක්ෂක සභාවේ සභාපති පදවිය දැරීමත් හැර කළ බෞද්ධ වැඩක් ඔබට කිව හැකිද? 


වුඞ්ලන්ඞ් හමුවේදී මෙම පැනවලට පිළිතුරු දීමට ඩඞ්ලිට අපහසු විය. ඒ වෙනුවට වුඞ්ලන්ඞ් මැදුරෙන් එදා ඇසුණේ කෝපයත් කලකිරීමත් මුසුවූ කෙඳිරිල්ලක් පමණි. යූඇන්පී  ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනයට ලක්වූ අතර මෙම ආරංචිය පුවත්පත්වල පළවීමත් සමග පුවත්පත් උණු කැවුම් සේ විකිණෙන්නට විය. 


එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගතය භාර ගැනීමට සුදුසු දේශපාලන පක්ෂයක් හා නායකත්වයක් බිහිකර ගැනීම සඳහා මූලික වැඩ පිළිවෙළක් සකසා ගැනීමට හේන්පිට ගෙදර ඤාණසීහ හිමියෝ ආටිගල හා ඊරියගොල්ල වැනි මහත්වරුන් සමග එකඟ වූහ. 


ඤාණසීහ හිමියෝ මේ වනවිට ඇන්කියු ඩයස් මහතා ඇතුළු බෞද්ධ නායකයන් සමග දිවයිනේම බෞද්ධ සමිති ඒකරාශි කර ගැනීමේ  ප්‍රයත්නයක නියැළී සිටියහ. බෞද්ධයන් එක්සත් කර ඉදිරි මැතිවරණයේදී සිංහල  බෞද්ධ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු සුදානම් විය. ප්‍රගතිශීලි කඳවුරේ නව පිබිදීම ගැන ඇසූ බණ්ඩාරනායක මහතා ඤාණසීහ හිමියන් හමුවිය. 

 

 

හාමුදුරුවනේ මොකක්ද මෙතන වන්නේ. කලබල වෙන්න එපා. මම අලුත් වැඩපිළිවෙළක් හදනවා. ඒක සාර්ථක වනතුරු කතා නොකර ඉන්නකෝ. ඤාණසීහ  හිමියෝ පැවසූහ 
මට විශ්වාස ඔබ වහන්සේ පමණයි. බණ්ඩාරනායක නිහඬව බලා සිටියේය.  ඤාණසීහ   හිමියෝ   මෙසේද පැවසූහ. 


“සමහර විට ලබන පාර අගමැතිකම ඔබතුමාට ලැබෙන්න පුළුවන්. සූදානමින් ඉන්න. වැදගත්ම සටන වූයේ කතෝලික පක්ෂයක් ලෙස හංවඩු ගැසුණු යූඇන්පියත් බෞද්ධ බලවේගයත් අතරය. ආටිගල නිවසේ හොර රහසේ සිදු කෙරුණු සංවිධාන  රැස්වීම්වලට ඊරියගොල්ල සමග ආර්. ජී. සේනානායක ද එක්විය. 


අලුත් බලවේගයේ නායකත්වය දෙන්න ඕනෑ කාටද? ඤාණසීහ හිමියෝ ඩඞ්ලිගෙන් ඇසූහ. යූඇන්පිය ගැන කලකිරීමෙන් සිටි ඩඞ්ලි අනේ හාමුදුරුවනේ මගේ ජීවිතේ තියෙනතුරා ආයෙත් අගමැතිකම භාර ගන්නෙ නෑ. මට බලපෑම් කරන්න නම් එපා. වෙනත් ඕනෑම වගකීමක් භාර ගන්නම් යැයි බැගෑපත් විය. 


එහෙත් පිය උරුමයෙන් ඩඞ්ලි ලැබු යූඇන්පි නායකත්වය  එකවරම අත්හල නොහැකි බව දත් ප්‍රගිතිශීලීහු ඩඞ්ලිට තව තවත් අවස්ථාව දුන්හ. 


වුඞ්ලන්ඞ් නිවසේ තීරණාත්මක සාකච්ඡා ආරම්භ විය. ඔබතුමා අලුත් පක්ෂ නායකත්වය ගැන අවසාන තීරණයක් ගත්තද? උන්වහන්සේ ඇසූහ. ඩඞ්ලි නිහඬ විය.  එහෙනම් මං නමක් යෝජනා කරන්නද? ඩඞ්ලි  හිස වැනීය. 


කොහොමද බණ්ඩාරනායක මහත්තයා ආවොත්. බණ්ඩාරනායකගේ ආත්ම පරිත්‍යාගය ගැන ඤාණසීහ හිමියෝ විනාඩි විස්සක් දේශනා කළහ. මට තේරෙනවා බණ්ඩාරනායක ගැන නම් මගේ දෝසයක් නෑ. ඕනැනම් එතුමාගේ නම වුණත් යෝජනා කරන්නම්. ඩඞ්ලි කීය. 


ඤාණසීහ හිමියෝ දිගු සුසුමක් හෙලූහ. වහා ආටිගල නිවසට ගිය උන්වහන්සේ හමුවට ආර්. ජී. පැමිණියේය. ඊරියගොල්ල ද පැමිණි අතර ඩඞ්ලි ද එනු පෙනුණි. 


යූඇන්පී පාලනයෙන් මිදී සිංහල බෞද්ධ නායකත්වය  යටතේ රටට නායකත්වයක් දීමට සුදුසු නායකයා ඩඞ්ලිද? බණ්ඩාරනායකද රට හෙල්ලූ ගැටලුව විය. ඩඞ්ලි බණ්ඩාරනායකට කැමති වුවද අනිකුත් සභිකයෝ එය අනුමත නොකළහ. 


ඒ වෙනුවට බණ්ඩාරනායකලාගේ වැරදි හා අඩුපාඩු නිර්දය ලෙස විවේචනයට ලක්කළහ. අවසානයේ හේන්පිටගෙදර ඤාණසීහ හිමියෝම මීට මැදිහත් වූහ. 


මං හිතන් හිටියෙ මෙතන ඉන්නෙ මහත්තුරු කියලයි. සභාව විමතියට පත්විය. 


ඉදිරියේ නැති මිනිහෙකුට බණින එක අශීලාචාරකමක්. 


මෙසේ පැවසූ ඤාණසිීහ හිමියෝ බණ්ඩාරනායකගේ පවුල් පසුබිමත් සියලු සම්පත් හැරදා මහජන සේවයට කැපවූ සැටිත් නිර්මල චරිතාපාදානයක් නම්‍යශීලි  බවත් එසේම බහුශ්‍රැත බවත් පෙන්වා දී නායකත්වයට ඔහු තරම්  සුදුස්සකු නොමැති බව පෙන්වා දුන්හ. අවසානයේදී කවුරුත් උන්වහන්සේට එකඟ වුහ. 


යූඇන්පී මන්ත්‍රීවරුන්ටත් මේ ගැන කියනවා ඩඞ්ලි පොරොන්දු විය.

 

කීදෙනෙක් විතර මේ පැත්තට එයිද?


පහළොවක් විතර. ඩඞ්ලි මෙසේ පැවසූවද එම පෙරළියට ඔන්න මෙන්න කියා තිබියදී අගමැති ජෝන් කොතලාවල ආණ්ඩුව විසුරුවා හැරීම නිසා උත්සාහය අසාර්ථක විය. පසුදිනක එනම් 1962 අගෝස්තු මස 23 වැනිදා පුවත්පත්වල සඳහන් වූ  පරිදි අලුත් බලවේගයට එකතුවීමට සිටි මන්ත්‍රීවරුන්  අතර බුලන්කුලමේ එම්. ඩී. බණ්ඩා සිරිල් ආටිගල, හැරල්ඞ් වේරගම වැනි නම් වූ බව ඤාණසීහ හිමියෝ ප්‍රකාශ කර තිබිණි. 

 

 

අලුත් පක්ෂය පිහිටුවීමත් මහ මැතිවරණයට මුහුණ දීමත් අතර මහා කාර්යභාරයක් ඤාණසීහ හිමියන්ට පැවරිණ. මෙහිදී ඩඞ්ලි අපුරු යෝජනාවක් ඉදිරිපත් කළේය. හාමුදුරුවනේ යූඑන්පිය කියන්නේ මගේ පියාගේ  පක්ෂය. ඒ නිසා පියාට විරුද්ධව වැඩකරන්න මට බෑ. ඒත් බණ්ඩාරනායකට සහයෝගයක් විදියට යූඇන්පියේ  මැතිවරණවලට සහභාගි නොවෙන්න මං පොරොන්දු වෙන්නම්. 


කෙසේ වෙතත් ඩඞ්ලිගේ චංචල සිතුවිලි අනාගතයට බලපෑමක් විය හැකි බව ඤාණසීහ හිමියන්ට  වැටහිණ. එබැවින් කුමක් හෝ කළ යුතු බව කල්පනා විය. සමීපතමයන් සමග කතාබහ කළ ඤාණසීහ හිමියෝ දුරකථනය ගෙන ඩඞ්ලිටත් බණ්ඩාරනායකටත් දවල් කෑම සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළහ. ඔවුහු ඇරයුම පිළිගත්හ.


ඩඞ්ලිට හා බණ්ඩාරනායක සිතුසේ කතාබහ කරන්නට තනිපංගලමේ කටයුතු සලසා ඤාණසීහ හිමියෝ හදිසි කටයුත්තකට යැයි රත්නපුරේට වැඩම කළහ. සමීපතමයන්ගෙන් දැනගත් තොරතුරු අනුව සාදය ඉතා සුහදව කෙරීගෙන ගිය අතර ඔවුන්ගේ මිත්‍රතත්වයද දැඩිව තිබිණි. 


අලුත් බලවේගයේ නායකත්වය භාර ගන්න. බණ්ඩාරනායක ඩඞ්ලිගෙන් ඉල්ලීය. එහෙත් ඩඞ්ලි පැවසුවේ ඊට නියම සුදුස්සා බණ්ඩාරනායක බවය. 


පසුවදා බණ්ඩාරනායක ඤාණසීහ හිමියන් හමුවිය. ඔහු තුළ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු විය. 


හාමුදුරුවනේ වැඬේ හරි. ඩඞ්ලිගේ සම්පූර්ණ සහයෝගය අපට ලැබෙනවා. ඔබවහන්සේ මේ වැඬේ කළ එක ප්‍රාතිහාර්යයක්මයි. 


1956 මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය ඩඞ්ලි බණ්ඩාරනායක මිත්‍රත්වයේ සංකේතයක් බඳු විය. බණ්ඩාරනායක අගමැති වූ දා සිට දිවංගත වනතුරුම තමන් සමග එකම පෙරමුණක සිටිනු ඇතැයි බණ්ඩාරනායක මෙන්ම ප්‍රගතිශීලීහු කල්පනා කළහ. 


එහෙත් එක්සත් ජාතික පක්ෂයද වැළලෙන්නට ඉඩනොදී ජීවය පිඹිය යුතු යැයි කල්පනා කළ පිරිසක්ද රටේ වූහ. ඊට හේතුව ප්‍රධාන පක්ෂ දෙක වූ ශ්‍රීලනිපය සහ යූඇන්පිය නැතිවුහොත් රට කොමියුනිස්ට් වාදයට ගමන් කරන හෙයිනි. ඤාණසීහ හිමියන්ගේ අදහස අනුව මෙම පක්ෂ දෙකෙන් මන්ත්‍රීවරු මාරු වූවාට වරදක් නොවේ. එකම පරාසයක ගමන් ගන්නා පක්ෂ බැවිනි. 
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී  සිංහල බෞද්ධ රටක් හා දේශපාලන පරිපාලනයක්  උදෙසා යූඇන්පිය ධනපතිවාදය  සහමුලින්ම ඉවත්කරදමා ජන සම්මත සමාජවාදය පිළිගත යුතුය. ඇමරිකාව හෝ රුසියාවෙන් චීනයෙන් පමණක් නොව රටේ අභිවෘද්ධිය  පතා අනුග්‍රහ ලබාගෙන මැදිහත් ජාතියක් ලෙස රට දියුණු කළ යුතු බව උන්වහන්සේ මාධ්‍යයට පැවසූහ.

 

 

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි