“සෑම සාර්ථක මිනිසකු පසුපසම දිරිය ගැහැනියක ඇත” යන වැකිය ලොව පුරා සාර්ථක කළ චරිත රැසක් හමුවේ සත්‍යයක්ම විය.
භාරතයේ පියා ලෙස විරුදාවලිය ලත් මහත්මා ගාන්ධිගේ පෞරුෂවත් චරිතය ඔප්නංවන්නට හා ඔහුගේ දුකේ දී මෙන්ම සැපතෙහිදීත් සෙවණ දුන් උණුසුමත් ශක්තියක් දෙන්නට ළඟින් සිටියේ එවන් ගැහැනියකි.
මහත්මා ගාන්ධිව “බාපු” යැයි ජනතාව අමතද්දී ඇයට ජනතාව ඇමතුවේ “බා” නොහොත් අම්මා කියාය. ගාන්ධිට ලොව සැදැහැවත් කතුන්ගේ ආකර්ෂණය ඕනෑවටත් වඩා ලැබෙද්දී ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ වූ කස්තුර්බා ගාන්ධි නොසැලී සදාකල්හිම ඔහුගේ පිළිවෙත් රැක්කාය.
මහත්මා ගාන්ධි සිරබත් කද්දී අධිරාජ්‍ය විරෝධී සටන් ධජය අතට ගෙන සෙබළුන් දිරිමත් කළේ ඇයයි. ඒ නිසා ඇයට ද සිරබත් රස නීරස බලන්නට වූ වාර අනන්තය.
බාල වයසින් විවාගැන්වීමේ සම්ප්‍රදායික සිරිත අනුව කස්තුර්බා හා මහත්මා අතර විවාහ ගිවිසීම සිදුවූයේ 13 වන වියේදීය. එතෙක් ඔවුන් සෙල්ලක්කාර මිතුරෝ වූහ. කස්තුර්බාට පළමු දරුවා ලැබෙන විට වයස යම්තම් 15කි. අඩු වයසින් ලද දරුවා මව මෝරා නොතිබූ හෙයින් උපන් ගෙයිම මිය ගියේය.
මුළු ඉන්දියාවම මෙවැනි විකාර රූපී සංස්කෘතික රටාවක වෙළී තිබීම නිසා මවුවරුන් සහ ළදරු මරණ ගණන හා රෝගී දරු උපත් ගණන එන්න එන්නම වැඩිවීම කස්තුර් බාගේ හද පාරන්නට හේතු විය.
“කස්තුර්බා මුල් කාලයේ ඉතා මුරණ්ඩු දඟකාර කෙල්ලක්”
මහත්මා වරක් තම බිරිඳ හැඳින්විය. එහෙත් සමාජ අවබෝධය හා සැමියාගේ දර්ශනය ඉක්මනින් අවබෝධ කර ගත් කස්තුර්බා කඳුළු මැදින් සිනා වූවාය..
යොවුන් වියේදීම ගාන්ධි දකුණු අප්‍රිකාවට ගියේ නීතිඥ වෘත්තිය සඳහාය. ඇයද ඔහු හා ගොස් පීඩිත සමාජය හඳුනාගත්තාය. සැමියා මාරාන්තික උපවාසයකට පිවිසි අවස්ථාවල ඇය ද ආහාර පානයෙන් වැළකී බිම එළුෑ පැදුර මත ඔහුගේ පාමුල දිගෑදුණාය.
ගාන්ධි ජාතික මෙහෙය සඳහා ගම් නගර මෙන්ම වනදුර්ග ගිරි දුර්ගවල සැරිසරද්දී කස්තුර්බා ඔහු තනි නොකර පාවහන් රහිතව ඇවිද්දාය. ඔහුගේ කුඩා අසනීපයකදී ද කම්පිතව ප්‍රතිකාර කළාය.
මහත්මා ගාන්ධිටත් වඩා කස්තුර්බා මැතිනිය අහිංසාවාදියි”
ජනතාව කීහ. කිසිවිටෙකත් මස් මාංශ හෝ කිරි අනුභව නොකළ ඇය කලාතුරකින් සැහැල්ලු පාවහන් පැලඳුවාය. තදබල රෝගී තත්ත්වයක් එනතුරු පමණක් කිසිවකුට කරදර නොකළාය.
“බා මැතිනිය, ඔහොම ඉඳල බෑ. ඉක්මනට සනීප වෙන්න. ඕනෑනම් මස් සුප් කෝප්පයක් දිනපතා බොන්න වේවි”
දිනක් වෛද්‍යවරයා අවවාද දුන් වහාම ඇය පැවසුවේ, වහාම වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගැනීම නවතා වෙනත් වෛද්‍යවරයකු ගෙන එන ලෙසය.
මැදි වියේදී ස්වරාජ්‍ය සංකල්පය මහත්මා ගාන්ධිගේ හිසේ බොහෝ වැඩ කළේය. පූර්ණ කාලීනව ඔහු ඒ සඳහා යෙදුණ අතර, උද්ඝෝෂණ හා ජන රැලිවල දී ඇයගේ සහය නැතුවම බැරි විය. එහි දී තම නූගත්කම ගැන ඇය තැවුණාය.
“මං අකුරු දැනන් හිටිය නම් බාබුට මීට වඩා උදව් කරනවා”
කස්තුර්බා කීවාය. 74 වියේ දී ගුජරාටි බස ඉගෙනීමටත් ගාන්ධිගේ උදව්වෙන් අකුරු ලිවීමටත් කළ උත්සාහය නිරර්ථක විය. ඒ මතක ශක්තිය දුර්වල වීම නිසාය.
එහෙත් ඇය “භගවත් ගීතාව” හා රාමායනය කට පාඩමින් කිව්වාය.
ඉන්දියාවට නිදහස ලැබෙන්නට වසර කිහිපයකට පෙර ආණ්ඩු විරෝධී චෝදනා මත කස්තුර්බා 1944දී සිරගත කෙරිණ. එම වසරේ පෙබරවාරි 23දා ඇය මරු වසඟයට ගියාය.
අවසන් ඉල්ලීම අනුව මහත්මා ගාන්ධි ඇය බැලීමට සිර කුටියට විත් ඇයගේ හිස ඔහුගේ උරහිස මතට ගත්තේය.
කස්තුර්බා සිරගත කිරීමට එරෙහිව ලෝකාපවාදය නැගී එන්නට විය. ඉහළින් ලැබුණු නියෝගය අනුව සිර ගෙදර නිලධාරීහු ඇගේ දේහය සඳුන් දර සෑයක ආදාහනය කිරීමට සැරසුණහ.
ගාන්ධි ඊට එරෙහි විය.
“කස්තුර්බා දිළිඳු මිනිසකුගේ බිරිඳක්. ඇය පිළිස්සිය යුත්තේ කුඩා දර ගොඩකයි. ධනවතුන් මෙන් ඇය පිළිස්සීම ඇයට කරන අගෞරවයක්” ඔහු පැවසීය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි