ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ දේහයට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අවසන් ගෞරව දැක්වූ අයුරු.
එදා මහජන දිනයයි. බත්තරමුල්ල සෙත්සිරිපායේ දොරටුව අසල ලොකු කලබැගැණියකි. ආරක්ෂක නිලධාරීහු දුව පැන කෑගසමින් ජනතාව විසුරුවා හළහ.
“දැන් ඇමතිතුමා එන්න ළඟයි. සේරම පැත්තකට වෙලා ඉන්නවලා”
ජාතික ඇඳුමින් සැරසුණු ගැමි පෙනුමක් ඇති මහතෙකු ද බුලත් විට සපමින් ඇතුළට යමින් සිටියේය.
“තමුසෙ කොහෙද යන්නේ. එළියට වෙලා ඉන්න ඇමතිතුමා යනකල්”
ආරක්ෂකයාගේ දොස්මුරයට අවනතවී ඔහු පසෙකට වී බුලත් විට හපමින් කල් මැරුවේය. එතැනින් අමාත්‍යංශයට යන්න ආ අමාත්‍ය ඉන්දික ගුණවර්ධන මහතා මදක් නතර වී අමුත්තා දෙස බැලුවේය.
“සර් මොකද මෙතන?” කාගෙත් අවධානය ඔහු වෙත යොමු වූයේය.
“මං අමාත්‍යාංශයට යන්න හදනකොට කවුද ඇමැතිකෙනෙක් එනවා කියලා සිකුරිටිය අපිව නැවැත්තුවා. ඒකයි හිටියෙ”
ඉන්දික ඇමැතිවරයා නිලධාරීන් දෙස බැලුවේ කෝපයෙනි. ‘තමුසෙලා දන්නවද මේ අපට උඩ තට්ටුවෙ ඉන්න ලක්ෂ්මන් ජයකොඩි ඇමතිතුමා. තමුසෙලා අඳුනන්නේ නැද්ද?”
ඇමැතිතුමාගේ ගෝරණාඩුවට අන්දමන්ද වූ නිලධාරීහු ඇමැතිවරයා ළඟට විත් සමාව ඉල්ලූහ.
“අනේ සර්, අපිට කියන්න එපායැ” ලක්ෂ්මන් ජයකොඩි මහතා බුලත් කෙළ පාරක් ගසා මෙසේ පැවැසීය.
‘මං ඇමැතියි කියලා මං මොකටද කියාගන්නේ? ඔහේලා කළේ ඔහේලාගෙ ඩියුටියනේ. හැබැයි ඇඳුමෙන් මිනිහෙක් මනින එක නම් වැරදියි”
1930 අගෝස්තු 24 වැනිදා ප්‍රබල එක්සත් ජාතික පක්ෂයට ළැදි පවුලක සිව්වැනි දරුවා ලෙස උපත ලැබ කොළඹ කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්වීතික අධ්‍යාපනයත් ලත් ඔහු පාසලේ ක්‍රිකට් සහ රගර් කණ්ඩායම්වලට එක්විය.
පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුර ද ඔහුට පිරිනැමිණ. කුඩා කල සිටම ගැමි කලාව ගැනත් ටවර්හෝල් නාට්‍ය කලාව කෙරෙහි මවගේ ආභාෂයෙන් උනන්දු වූ එතුමා නාට්‍ය කලාව හා සංගීතය දෙසට නැඹුරු විය. නූර්ති හා නාඩගම් ගී ගැයීමෙන් ද වෙස්සන්තර නාටකය ඇතුළු නාට්‍ය රැසකට රංගනයෙන් ද දායක වූවේය.
1956 දී බණ්ඩාරනායක දර්ශනයට නැඹුරුවූ ලක්ෂ්මන් ජයකොඩි මහතා ක්‍රියාකාරීව ශ්‍රීලනිපයෙන් දේශපාලනයට පිවිසියේය. 1960-70 මැතිවරණ කඩඉම් වලින් ජය මාවතට පිවිසි එතුමාට සංස්කෘතිය හා ආගමික මෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය පදවිය ද පිරිනැමිණ.
ජයකොඩි මහතා ජනතාව දෙස බැලුවේ නිර්ව්‍යාජ ගැමි ඇසිනි. තම රටට මහත් මෙහෙයක් ඉටුකරන පොලිස් නිලධාරීන් දෙස ද සානුකම්පිත ඇස යොමු විය. ඔහුට රාජ්‍යාරක්ෂක නියෝජ්‍ය ඇමැතිකම ලද වහාම කළේ අතීතයේ සිට පොලිස් නිලධාරීන් ඇඳි කොට කාකි නිල ඇඳුම වෙනස් කර වර්තමානයට ගැළපෙන අයුරින් අංගසම්පූර්ණ නව පොලිස් ඇඳුමක් නිර්මාණය කර නීතිගත කිරීමය.
පැරණි කලාකරුවන් හා කලා කෘති විනාශ වෙමින් පැවතීම ඔහුට දරා ගැනීමට බැරි තරම් විය. පැරණි නාට්‍ය, පොත් සහ සංයුක්ත තැටි සංරක්ෂණයට පියවරගත් ලක්ෂ්මන් ජයකොඩි කලාකරුවා නාට්‍යශාලා දියුණු කිරීමට මහත් වෙහෙසක් ගත්තේය.
“වෙසක් පෝය ලෝක නිවාඩු දිනයක් කරන්න. මං එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කරනවා. මට ඔබතුමාත් සහයෝගය දෙන්න ඕන”
බුද්ධ ශාසන අමාත්‍ය ලක්ෂ්මන් ජයකොඩි මහතා එසේ උපකාර ඉල්ලුවේ විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගෙනි. ආගම් දෙකක ලක්ෂ්මන්වරුන්ගේ අභිප්‍රාය ඉටු කරමින් වෙසක් පුන් පෝදින ලොවට නිවාඩු දිනයක් ලෙස පිළිගැන්විණ.
සෞන්දර්ය විශ්වවිද්‍යාල තුළ පැවති ඕලාරික භාවය දුරහැර එය ජාත්‍යන්තර තලයට ගෙන ඒමට එතුමා කළ උත්සාහය විශිෂ්ටය. 71 කැරැල්ල නිසා අලුත හැදු සමගි පෙරමුණ ආණ්ඩුවට බලවත් අර්බුදයකට මුහුණ පෑමට සිදුවිය. තරුණ තරුණියෝ අකාලේ දිවි පිදූහ.
“අනාගතය බාර ගන්න ඉන්න කොල්ලො කෙල්ලෝ විනාශ කරලා ප්‍රශ්න විසඳන්න බෑ. අපි පුළු පුළුවන් හැටියට ඒ ළමයි ටික පුනරුත්ථාපනය කරමු.”
නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ලක්ෂ්මන් ජයකොඩි අගමැතිවරයාට යෝජනා කළේය. ඔහු නියෝජනය කළ අත්තනගල්ල, දිවුලපිටිය ප්‍රධාන ගම්පහ දිස්ත්‍රික්කයේ වෙසෙන හිරිමල් වියේ තරුණ තරුණියන් රැසකගේ ජීවිත මරණින් බේරී පුනරුත්ථාපනය වීමෙන් රටට වැඩ ඇති පරපුරක් ඉන් බිහි වූහ.
මෙහිලා බි්‍රගේඩියර් ආනන්ද වීරසේකර ඇතුළු මානව හිතවාදීන් දුන් සහය ද ප්‍රශංසා කටයුතුය.
1970 දශකයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුද රැසක් නිර්මාණය විය. බණ්ඩාරනායක නාමය දරන අනුර, චන්ද්‍රිකා හා බණ්ඩාරනායක මැතිනිය ද පක්ෂය දෙදරීමේ අර්බුදයට ලක් වූහ. ලක්ෂ්මන් ජයකොඩි ඇතුළු බහුතරයක් මෙම තුන් හවුල සමගි කර පක්ෂය ඉදිරියට ගෙනයාමට වෙහෙස දැරූහ.
77 එජාප රජය බලයට පැමිණ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ වකවානුවේ දී ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ස්ථාවරය වෙනස් නොවිණ.
ලක්ෂ්මන් ජයකොඩි මහතා විපක්ෂ නායකධුරය සඳහා ඉදිරිපත් කිරීමට පිරිසක් කටයුතු කළ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කළේ මෙසේ කියමිනි.
“ලෝකෙට පරකාසේ කරන්න කලින් පක්ෂය ඇතුළේ මරගාතෙ විසඳගන්න ඕනෙ”
හද්දා පිටිසර ගමක උපත ලබා ගැමි සුවඳින් කුල්මත් වූ ලක්ෂ්මන් ජයකොඩි මැතිඳු මැතිසබයට ගියද කිසිදා ගැමිකම අත් නොහලේය. ඔහුගේ මඩිස්සලයේ වූයේ රාජකාරී ලියවිලි නොව බුලත් විටය. කොටින්ම ඔහු වටා ආරක්ෂක වළල්ලක් ද නොවීය. සුඛෝපභෝගී මෝටර් රථයක් ද නොවීය. ඔහුගේ සැහැල්ලු රියේ රියැදුරු ද ඔහුම විය.
ජනතාවගේ ප්‍රශ්න හා රාජකාරී ගැටලු පිළිබඳව ලිපි සකස් කළේ ලිපිකරුවන් විසින් නොව ලක්ෂ්මන් ජයකොඩි ඇමැතිවරයාම විසිනි.
“මා ඔබේ හිතවත් ලක්ෂ්මන් ජයකොඩි”
ලිපි ශීර්ෂවල ඔහු අත්සන් තැබීය. නිලධාරීන් ගමට එනතුරු නොසිටි එතුමා ගම් නියම් ගම්වල පයින් ඇවිදිමින් පවුල් 6000ක ජීවන තත්ත්වය නංවාලීමට තම මුදල් වැය කරමින් සේවය කළේය.
ඇමැතිවරයකු ගමට පැමිණි බවක් ජනතාවට දැනුණේ නැත. එතුමා නිර්වාජ ගැමියෙකු බැවිනි.
වරක් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කටයුත්තකට අනුරාධපුර චාරිකාවක් සංවිධානය කෙරිණ. නිලධාරීන් කටයුතු සම්පාදනය කිරීමට යුහුසුලු වෙද්දී අමාත්‍යවරයා පාර දෙපස ගැමි ගෙවල්, සිල්ලර කඩවල ගැවසෙමින් කඩචෝරු හා බුලත් විට සප්පායම් වෙමින් කතා බහේ යෙදෙමින් කල් මැරීය.
කිසිවකු ඔහු හැඳින ගත්තේ නැත. එක් කඩහිමි ගැමියකු පමණක් එතුමා ගැන විමසිල්ලෙන් සිට ඇත.
“තමුනැහැව මට හරි හුරුයි වගේ. කොළඹ පළාතේ කීව නේද? රූප පෙට්ටියේ එහෙම හිටිය ද? රැස්වීම්වලට යනවා ද?” ගැමියා විමසිලිමත් විය.
“මං? කවුද කියන්නෙ?” ඇමැතිවරයා ඇසීය
“නැහැ මං හොඳටම දන්නවා. මේ අර ලක්ෂ්මන් ජයකොඩි ඇමැතිතුමා නේද” ගැමියා කෙළින්ම ඇසීය. “එහෙම වෙන්න ඇති” ලක්ෂ්මන් ජයකොඩි මහතා හිමින් සීරුවේ අනිත් කඩයට මාරුවිය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි