රජරට “බල්ටි” ගැසූ බර්ටි දිසානායක


 

දේශපාලන වාසිය තකා පිල්මාරු කරන මහජන නියfා්ජිතයන්ගෙන් අඩුවක් නොමැති සමාජයක තමන්ට ඡන්දය දුන් ජනතාවගේ ඕනෑ-එපාකම් තේරුම් ගෙන පක්ෂයේ අරමුණුවලට සාධාරණය ඉටු කරමින් දිවි පරදුවට තබා කටයුතු කරන පුද්ගලයන් හමුවන්නේ කලාතුරකිනි. 


රජරට වෙනුවෙන් තම ධනය, කාලය, ශ්‍රමය කැප කරමින් නායකත්ව ඉනිමක් තරඟ කළ දුර්ලභ ගණයේ දේශපාලන නායකයකු ලෙස මින් පස්වසරකට පෙර දිවංගත වූ බර්ටි ප්‍රේමලාල් දිසානායකයන්ගේ නාමය සිහිපත් කළ හැකි ය. 


“කොයි මොහොතෙත් අවදියෙන් සිටින රජරට යෝධයා” යනුවෙන් මාධ්‍ය ඔහුගේ නිර්ව්‍යාජ ගති - පැවතුම් එදා වර්ණනා කළේය.


1954 ජුලි මස 15 දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම් දහතුනේ පහළ තලාව ගමේ රන් බණ්ඩා දිසානායක සහ නන්දාවතී මැණිකේ දිසානායක යුවළගේ වැඩිමහල් පුත්‍රයා ලෙස අනුරපුර පැරැණි ආරෝග්‍යශාලාවේ දී උපත ලද බර්ටි ප්‍රේමලාල් හතරැස්වල ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ළමා වියේ සිට ම දඟකාර, කඩිසර, නිර්භීත නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළ ඔහු අනුරාධපුර මැදි විදුහලෙන් හා කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. පියාගේ අභාවය නිසා අධ්‍යාපන කටයුතු නතර වූ නමුත් දේශපාලනය ඔහුගේ ඒකායන අරමුණ කර ගත්තේය.


කැකිරාව ශ්‍රීල.නි.ප. මන්ත්‍රී ඒ. එම්. ජිනදාසයන්ගේ මඟ පෙන්වීම මත සක්‍රීය දේශපාලනයට එක්වූ බර්ටි ප්‍රේමලාල් තරුණයාට 1977 දී අභියෝගාත්මක දේශපාලන අරගලයකට මුහුණ දෙන්නට සිදුවිය. 


ශ්‍රීලනිපයේ පාලන බලය අන්තයටම පිරිහී 1977 දී ආසන අටකට සීමාවන්නට සිදුවූ යුගයක තම සදාදරණීය පක්ෂයට ජීවය පිඹීම සඳහා රජරටින් එක් වූ තරුණ රැල්ලට නායකත්වය දුන්නේ බර්ටි ය. 


එතෙක් පසුබෑමට ලක්ව සිටි එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලධාරිත්වයකින් ගොඩනගන්නට ජනපති ජේ. ආර්. ජයවර්ධනයන්ට හැකිවිණි. අවාසනාවකට මෙන් එම කඳවුරේ බලධාරින් තුළ නම්‍යශීලී, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන හදවත් නොවිණ. 


විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට එක්සත් ජාතික පක්ෂයේ අන්තගාමී පිරිස් වලට එම තීරණය මහෝපකාරී විය. විපක්ෂයේ අයට පහර දෙමින් නිවාස, දේපළ විනාශ කරමින් රැකියා වලින් එළවා දමමින් මහා විනාශයක් මෙම සතිය තුළ සිදුවිය. ශ්‍රීලනිපයේ ප්‍රබලයන් පවා මෙම අසාධාරණය ඉදිරියේ තුෂ්ණිම්භූතව බලා සිටියදී බර්ටි ප්‍රේමලාල් ඇතුළු තරුණ කල්ලිය විරුද්ධවාදීන්ට නොබියව මුහුණදුන්හ. 


ජනතාව දැනුම්වත් කරමින් ඔවුන්ගේ ජීවිත හා දේපළ බේරාගැනීමට පෙරට ආවේ තම ජීවිත හා දේපළ පරදුවට තබමිනි. බර්ටි එහිදී දැක්වූ නිර්භීතකම හා එඩිතරකම නිසාම ශ්‍රීල.නි.ප. නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කලාවැව ආසනයේ සම සංවිධායක ධුරයෙන් ඔහු පිදුවාය. 


එදා ඔහු ගැටුණේ ජී. ඩී. පියසෝම, ඒ. එම්. එස්. අධිකාරි වැනි බලකණු සමගය. එජාප බළකොටුවක්ව තිබු කලාවැව 1989 පෙබරවාරි 15 වැනිදා පැවති මෙරට පළමු අනුපාත ඡන්ද ක්‍රමයට පැවැත්වූ මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට හිමිවිය. ඊට පෙර 1988 පළාත් සභා ඡන්දයේදීම බර්ටි ප්‍රේමලාල් මෙම ජයග්‍රහණය සංකේතවත් කර තිබිණි. 


1989 මහ මැතිවරණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් පාර්ලිමේන්තුවට පත්විණ.


1993 පළාත් සභා මැතිවරණය ළඟාවන විට දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩ රාශියක් ක්‍රියාත්මක කිරීමට බර්ටිට හැකි විය. 1994 වන විට ඔහු දිස්ත්‍රික් ශ්‍රීල.නි.ප. දේශපාලන නායකයා බවට අභිෂේක ලැබීය. 
එස්.එම්. චන්ද්‍රසේන වැනි ජවසම්පන්න තරුණ නායකයන් පිරිසක් පළාත් සභාව හරහා රජරටට හඳුන්වාදුන්නේ බර්ටි ප්‍රේමලාල්ගේ දේශපාලන ඥානයෙනි. තමන් පමණක් වැජඹීමට ලකුණු රැස්කිරීම බර්ටිගේ සිරිත නොවීය. අංකුර දේශපාලනඥයන්ට ඔහුගෙන් ගත හැකි පූර්වාදර්ශ බොහෝය. 


කොටින්ම 1994 වනාහි අඩපණව තිබූ ශ්‍රීලනිප අළු ගසා දමා පිබිදුණු යුගයකි. ජනපතිනි චන්ද්‍රිකා බාණ්ඩාරනායක රජය යටතේ බර්ටි ප්‍රේමලාල්, කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරයෙන් පිදුම් ලැබීය. ඔහුගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වූයේ දිවංගත සී. වී. ගුණරත්නයන්ය. 


1997 දී ජනපති චන්ද්‍රිකා ජ්‍යෙෂ්ඨ ඇමැති ධුරයක් ඔහුට දුන්නාය. ඒ ඔහුටම ගැළපෙන ධුරයකි. සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ජාතික සමාජ සංවර්ධන ආයතනය, සමාජ සේවා විද්‍යාලය, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, වැඩිහිටි ලේකම් කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විය. 


ආපදා කළමනාකාර අංශය ද ඊට අයත් විය. ස්වයං රැකියා වල නියුක්ත ලාංකිකයනට සහ විදේශ රැකියා නියුක්තිකයනට විශ්‍රාම වැටුපක් නිර්මාණය වූයේ බර්ටි ප්‍රේමලාල් නමැති මානවවාදී ඇමැතිවරයා අතිනි. 
ජනසෙත අරමුදල අරඹා ජාතික සමාජ සංවර්ධන ආයතනය පිළිගත් විශ්වවිද්‍යාලයක් බවට පත්කර එම්.එෆ්.ඩබ්. උපාධිය පිරිනැමිණ. 


සැමියා ගත් මඟ යමින් බර්ටිගේ බිරිඳ ජයනි 1999 උතුරු මැද පළාත් සභාව ජයගෙන මහ ඇමැති ධුරයට පත් වීමට වරම් ලද්දාය. උතුරු මැද පළාතේ ජනතාවගේ බලවත් ඉල්ලීම හා සංවර්ධන ගමන කඩිනම් කිරීමේ බලවත් වුවවමනාව නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෙනුවට උතුරු මැද මහ ඇමැති ධුරය භාරගැනීමට චන්ද්‍රිකා අවසර දුන්නාය. මේ අනුව දස වසරක මන්ත්‍රී පදවිය අතහැර උතුරු මැද ජනතා අවශ්‍යතා සඳහා බර්ටි අභිනිෂ්ක්‍රමණය කළේය.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් අනුරාධපුර නගරයේ අංග සම්පූර්ණ නවීන පහසකුම් ඇති රෝහලක් ඉදිකිරීම, කැබිතිගොල්ලෑව වැනි ග්‍රාමීය රෝහල් සංවර්ධනය කිරීම, ස්වයං රැකියාලාභීන්ට සංවර්ධන දොරටු විවර කිරීම, විධිමත් මාර්ග පද්ධතියක් ඇති කිරීම ඔහුගෙන් වූ සේවාය. 


උතුරු මැද ගොවි ජනපදිකයන් සඳහා මහා පරිමාණ, මධ්‍ය, කුඩා සහ ග්‍රාමීය වැව්, ඇළ-වේලි මෙන්ම කුඩා පොකුණු නිර්මාණය කිරීමට දායකත්වය දෙමින් කටයුතු කළ මහ ඇමැතිවරයාට එදා තාක්ෂණික නිලධාරීන් සමග රාජකාරිමය ගැටුම් ඇතිකර ගැනීමට ද සිදුවිය. 


රජරට බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කිරීමෙන් ගොවියා ආර්ථික වශයෙන් නගාසිටුවීම ගැන ගොවි ජනතාව බර්ටි ප්‍රේමලාල්ට පින් දෙති. ගොවි ජනතාවගේ ගැටලු හඳුනාගෙන ක්ෂණික හා නිසි පිළියම් යෙදීමට බර්ටි තරම් සමතෙක් තවත් නොමැති විය. 

 


රජරට වෛද්‍ය පීඨය පිහිටුවීමේදී ශික්ෂණ රෝහලක අවශ්‍යතාව වැදගත් විය. මහ ඇමැති බර්ටි ඊට මැදිහත් වී අනුරාධපුර මහ රෝහල මධ්‍යම රජයට පවරා ගන්නට කටයුතු කළේය. එසේම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය කාර්මික විද්‍යාලයක් බවට පත්කිරීමට ඔහු දුන් සහයෝගය ශිෂ්‍ය ප්‍රජාව අදත් සිහිකරති. 


උතුරු මැද ගැටලු ගැන පමණක් නොව සමස්ත ලංකාවට ම බලපාන ගැටලු, ජාතික ප්‍රශ්න, අරගල ගැන ද බර්ටි අදහස් දැක්වූයේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අභියෝග කරමිනි. 


එබැවින් පක්ෂය තුළින් ම ඔහුට එරෙහිව යම් යම් මතවාද පළවූ අවස්ථා ද ඇත. කෙසේ වෙතත් උතුරු මැද එතෙක් රජයමින් තිබූ ප්‍රතිගාමී අධිපතිවාදය පලවා හැර නීල වර්ණ සමාජවාදී ධජය පතළ කළ ප්‍රබල චරිතයක් ලෙස බර්ටි ප්‍රේමලාල් දිසානායක නම් කළ හැකිය.


2005 ජනාධිපති මැතිවරණයේ දී බර්ටි තම පූර්ණ ශක්තිය යෙදවූයේ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙනි. ඒ සඳහා උතුරු මැද පමණක් නොව වවුනියාව, ත්‍රිකුණාමලය පළාත්වල සංවිධාන කටයුතු ද නො පිරිහෙළා ඉටුකළේ ය. 


භීෂණ සමයේ බර්ටි ප්‍රේමලාල් කොටි ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් ලෙස සැලකිණි. ඔහු පසුපස ගිනි අවියේ ඉලක්කය එල්ල වී තිබිණ. අභයවැව දී අත්අඩංගුවට ගත් කොටි සාමාජිකයකු පසුව ඒ ගැන පාපෝච්චාරණය කර තිබිණි. 


මල් පොකුරු මෙන් ම ගල් මුගුරු ද බර්ටි සතුටින් පිළිගත්තේය. ජයේ දී මෙන්ම පරාජයේදී ද බර්ටි නොසැලුණි. සතළිස් වසරක දේශපාලන දිවිය මෙන්ම සැට වසරක දිවි ගමන නිමාකර 2013 සැප්තැම්බර් 27 වැනිදා දැයෙන් සමුගත් ‘රජරට යෝධයාගේ’ ගුණ සුවඳ තවමත් කළගුණ දත් ජනතා හදවත් සුගන්ධවත් කරයි.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි