රජරට වැව් බැඳි රාජ්‍යයේ ප්‍රධාන නගරය අනුරාධපුරයයි. අනුරාධපුරය මෙරට වසර දහසක්ම අගනගරය බවට පත්ව තිබුණේය. එපමණ කාලයක් එකම නගරයක් රටක අගනුවර ලෙස සැලකූ වෙනත් නගරයක් ලෝකයේ කුමන රටකවත් තිබේදැයි ප්‍රශ්නයකි. අනුරාධපුරය මුල්කරගත් රජරට මෙරට ත්‍රිසිංහලයේ එක් කොටසක් විය. සියල්ල අනිත්‍ය බව කියන බුදු වදනට අනුව රජරට ශ්‍රී විභූතියද ඇතිවී නැතිවී ගියේය. ඒ අනුව වැව් ඇළවේළි කැඩීබිඳී ගොස් රජරටම වන ගහනයෙන් වැසීගොස් සතා සිව්පාවාගේ රජ දහනක් විය. රජරට වැසියෝ මැලේරියා වැනි වසංගත රෝගවලට ගොදුරු වී මිය ඇදුණහ. වෙහෙර විහාර දාගැබ් පෙති පිළිම වනගතව අසරණ විය. මේ තත්ත්වය යළි වෙනස් වන්නට වූයේ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පදවිය ඩී. ඇස්. සේනානායක මැතිතුමන්ට ලැබී ආරම්භ කළ ගොවි ජනපද ව්‍යාපාරයත් සමගය.
1947 මෙරට ශ්‍රී ලාංකික ජනතාවගේ ඡන්ද බලයෙන් ආණ්ඩුවක් පිහිටුවා 1948 දී රටට නිදහස ලබාගත්තද, නිදහස් ලංකාවේ ප්‍රථම ආණ්ඩුවේ ඇමති ධූරයක් රජරටට ලැබුණේ නැත. ලැබුණේ නියෝජ්‍ය ඇමති පදවියකි. නිදහස ලැබී ලබන වසරට උදාවන්නේ 69 වන වසරයි. මේ වන විට ලංකාවේ ප්‍රධාන පුරවැසියා වන ජනපති ධුරය හිමිවී තිබෙන්නේ රජරට පුරවැසියෙකුටය. රජරට දේශපාලනඥයෙකුටය. එවන් අයෙකු මුළු රටම පාලනය කරන මෙම අවස්ථාවේදී රජරටින් බිහිවූ ප්‍රථම ලාංකික මන්ත්‍රීවරයාත්, නියෝජ්‍ය ඇමතිවරයාත්, කැබිනට් ඇමතිවරයාත් වූ පී. බී. බුලන්කුලම දිසාව හෙවත් අධිනීතිඥ පුංචිබණ්ඩා බුලන්කුලම දිසාව පිළිබඳව සිහිපත් කිරීම වැදගත් කරුණක් වනු ඇතැයි සිතමි.
රජරටින් බිහිවූ කීර්තිමත් දේශපාලකයන් හා ඇමතිවරුන් වූ සී. පී. ද සිල්වා, මෛත්‍රීපාල සේනානායක, ඊ. ඇල්. බී. හුරුල්ල, ඒ. ඇම්. ඇස්. අධිකාරි, මෛත්‍රිපාල සිරිසේන වැනි නායකයන් අතර පළමුවැන්නා වූ පී. බී. බුලන්කුලම දිසාව කීර්තිමත් ඉතිහාසයක් ඇති පරපුරකින් පැවත එන්නෙකි.
මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සූරීන්ගේ උඩරට කැරැල්ල නම් ග්‍රන්ථයට අනුව බුලන්කුලම පරපුර පැවත එන්නේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ සිරිමා බෝධිය මෙරටට වැඩම කරවීමේදී ඒ සමග පැමිණි රාජ දූත පිරිසේ පැවත එන අයෙකුගෙනි. සිරිමා බෝධියට රැකවරණය දුන් මෙම පරපුර මෙරට රාජ රාජ මහා අමාත්‍යවරුන්ගෙන් සුවිශේෂී වරප්‍රසාදයන්ද, රැකවරණයන්ද ලබමින් රජරට ජීවත් වූහ. මෙම පරපුරෙන් පැවත එන්නෙකු වූ සූරිය කුමාර වන්නිසිංහ නමැති ප්‍රභූවරයාට රාජාධි රාජසිංහ රජු විසින් සිය රාජපාක්ෂික භාවය සලකා වර්ෂ 1793 දී “බුලන්කුලම” යන ගෞරව නාමය සමග රජරට ප්‍රදේශයේ ගම්බිම් රාශියක් නින්දගම් වශයෙන් පවරා දී ඔහු ඉහළට ඔසවා තබන ලදී. ඔහුගේ මුනුබුරෙකු වූ ලොකු බණ්ඩාර බුලන්කුලම මහතාට ඉංග්‍රීසි ආණ්ඩුව මගින් රජරට පළාතේ “රටේ මහත්මා” තනතුර ප්‍රදානය කර ගෞරව දැක්වූයේ සිය රාජපාක්ෂිකභාවය නිසාය. මෙම පදවියට අමතරව ලොකු බණ්ඩාර බුලන්කුලම මහතා අනුරපුර අටමස්ථාන භාරකාර කමිටුවේ සභාපති තනතුරද හොබවා ඇත. මෙතුමන් විවාහ වූයේ පුංචි බණ්ඩාර කහඳව නිලමේගේ දියණිය වූ කහඳව ටිකිරි කුමාරිහාමි මෙනවිය සමගය. මෙම දෙදෙනාට 1890 දෙසැම්බර් 21 වැනි දින උපත ලද පුතණුවන් වූයේ පසු කලෙක රජරටින් බිහිවූ ප්‍රථම ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලන්කුලම මහතාය.
පුංචි බණ්ඩා බුලන්කුලම කුඩා අවධියේදී පාසල් අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. එයින් පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබාගත්තේය. පාසල් අධ්‍යාපනයෙන් පසුව නීතිය හදාරා නීතිඥයෙකු වශයෙන් පත්ව අනුරාධපුර අධිකරණයේ පෙනී සිටි බුලන්කුලම මහතා සිය වෘත්තියේ දස්කම් පෙන්වූ නිහතමානී සාධාරණ නීතිඥයෙක් විය. මොහුගේ කීර්තිය රටපුරා පැතිරී ගියේය. විවාහ දිවියට නිසි කල පැමිණි විට විවාහ ගිවිස ගත්තේ අප රටේ කීර්තිමත් ජාතික නායකයන් රැසක් බිහිකළ මීරිගම බෝතලේ වලව්වෙනි. ඩී. ඇස්. සේනානායක මහතාගේ වැඩිමහල් සොහොයුරා වූ ඩී. සී. සේනානායක මහතාගේ වැඩිමහල් දියණිය වූ වි. අයි. සේනානායක මෙනවිය සමගය. දරුවන් සත් දෙනෙකුගේ පිය පදවියට පත් බුලන්කුලම මහතා දේශපාලනයට සිත යොමු කළේය. ඒ වන විට බුලන්කුලම මහතා තම පියා දැරූ රටේ මහත්මා පදවිය ද දරමින් සිටි නිසා රජරට ජනතාවගේ විශාල ගෞරවයක් හා ප්‍රසාදයක් දිනාගෙන සිටිසේය.
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුරාධපුර මන්ත්‍රී පදවිය එවකට දරන ලද්දේ ඉංග්‍රීසි ජාතිකයෙකු වූ එච්. ආර්. ප්‍රීමන් මහතාය. ලක්දිව සිටි කීර්තිමත් ඉංග්‍රීසි ජාතික මන්ත්‍රීවරයෙකු වූ ප්‍රීමන් මහතාගේ අභාවය නිසා 1945 පැවති අතුරු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයා වූයේ පී. බී. බුලන්කුලම මහතාය. මේ අනුව ලංකා ව්‍යවස්ථාදායකය නියෝජනය කළ රජරට ප්‍රථම ලාංකික මන්ත්‍රීවරයා වන්නේ බුලන්කුලම දිසාව වීම විශේෂ සිද්ධියකි. 1947 වසරේ පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුරාධපුර මැතිවරණ කොට්ඨාසය ජයගෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස මැති සබයට පිවිසි බුලන්කුලම මහතා ඩී. ඇස්. සේනානායක රජයේ කෘෂිකර්ම ඇමති ධූරයට පත් ඩඞ්ලි සේනානායක මහතාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා නොහොත් නියෝජ්‍ය ඇමති ධුරයට පත්විය. මෙම පදවිය මෙරට ප්‍රථම වරට රජරටින් පැමිණි මන්ත්‍රීවරයෙකුට ලැබුණු නියෝජ්‍ය අමාත්‍ය තනතුරද වන්නේය.
ඩී. ඇස්. සේනානායක අගමැතිතුමන්ගේ අභාවයෙන් පසු 1952 දී පැවති මහ මැතිවරණයෙන් යළිත් අනුරාධපුර මහජන මන්ත්‍රීවරයා වශයෙන් තේරීපත්වී මැති සබයට පැමිණි පී. බී. බුලන්කුලම මහතා අගමැති ඩඞ්ලි සේනානායක රජයේ ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිවරයා වශයෙන් පත්වීම රජරට දේශපාලකයෙකුට ලැබුණු ප්‍රථම අමාත්‍ය ධුරය ලෙස ඉතිහාසයට එකතු වන්නේය. එම අමාත්‍ය පදවිය 1956 දක්වා දැරූ බුලන්කුලම මහතා 1956 දී පැවැත්වූ මහ මැතිවරණයට ඉදිරිපත් නොවී පක්ෂ දේශපාලනයෙන් සමුගත්තේය.
ඉතා දුෂ්කර සමයක රජරට ලාංකික දේශපාලන නායකයා වශයෙන් පත්ව සිය ප්‍රදේශයේ ජනතාවට දහසක් කරදර බාධක මැද සේවය කළ බුලන්කුලම මහතා විනාශයට ගිය වැව් අමුණු යළිත් ගොඩ නංවන්නට ක්‍රියා කළේය. නව ගොවි ජනපද නිර්මාණය කළේය. නව මංමාවත්, පාසල් තමා නියෝජනය කළ රජරටට ලබාගන්නට උනන්දු විය. ජීවිතයේ සැඳෑ සමය උදාවන විට සියලු දේවලින් විශ්‍රාම ගෙන ඊළඟ පරපුරට කටයුතු කිරීමට ඉඩ සැලසීම ඔහුගේ පිළිවෙත විය. දිවිමග 69 වන වියට පත්ව සිටි මෙම කෘතහස්ත දේශපාලකයා 1959 දෙසැම්බර් 17 වන දින සිය දිවි මගෙන් සදහටම සමුගත්තේය. එතුමන්ගේ අභාවයෙන් මේ ගෙවී යන්නේ 57 වන වසරයි. එදා මෙදාතුර යළිත් බුලන්කුලම කෙනෙකුද මැති සබයට පැමිණ නොතිබීම විශේෂ සිද්ධියකි.
අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා