යටිනුවරින් ගෙනා කඩුව
රත්තරනින් හැදුව කඩුව
පරසතුරන් නසන කඩුව
අපේ කඩුව කොබ්බැකඩුව
ඒ හඬ නැගුණේ 1982 ජනපතිවරණ පොර පිටියෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන සමග ජන බලය උරගා බැලීමට සටන් වැදුණු වමේ පිලේ පතාක යෝධයකු ලෙස ගෞරවාදරයට පත්වූ හෙක්ටර් කොබ්බෑකඩුව නම් දේශපාලනඥයා වෙනුවෙනි.
රටම භිෂණයෙන් ඇළලී ගිය වකවානුවක ඊට බියෙන් දේශපාලන චරිත මුළුගැන්වී සිටියදි විරුද්ධ පක්‍ෂය වූ ශ්‍රිලනිපය පවා භේදභින්නව සිටි යුගයක ජාතියේ වාසනාවට පැන නැගුණු මෙම නිහතමානි දේශපාලන චරිතය තම දිවි පරදුවට තබා රටම උඩුගම් බලා පිහිනීමට පන්නරය දුන්නේය.
1916 අගෝස්තු මස 29 වැනිදා යටිනුවර, දෙල්දෙණියේ පාරම්පරික ප්‍රභූ පවුලක ඉපිද මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීති විද්‍යාලයට පිවිසුණු තරුණ හෙක්ටර් නීතිවේදියකු ලෙස ගමරට බලා ආවේය.
1952 දී මහනුවරදී නාගරික මන්ත්‍රීවරයකු ලෙස දේශපාලන බිමට පැමිණ 1954 දි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බැඳී 1960 ජුලි මහ මැතිවරණයෙන් යටිනුවර අසුන දිනාගෙන 1970 දී එම ජයග්‍රහණය තහවුරු කළ ඔහුට අගමැතිනි සිරිමාවෝ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ධුර පිරිනැමුවාය.
සුදු අධිරදවාදින් ඇරඹූ වැවිලි ව්‍යාපාර නිසා විදේශිය වතු සමාගම්වලට මෙන්ම දේශීය ධනවතුන්හට ස්වදේශිය ජනතාව සතු ඉඩම් අක්කර දහස් ගණනක් අයත්වූ අතර ඊට මැදිවූ ගැමි ජනතාව අසරණව සිටින බව දැක කම්පාවූ අමාත්‍ය හෙක්ටර් කොබ්බෑකඩුව 1972 දී ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙන ආවේය.
මේ සංකල්පය 1970 දී බිහිවූ ශ්‍රීලනිප රජය මගින් සැබෑ කිරීමට සැලසුම් කර තිබුණද 1971 දී ඇතිවූ කැරලිකාර තත්ත්වය නිසා යටපත් විය. භීෂණ සමය තුරන් වූ වහාම මෙම පනත ගෙන එනු ලැබුවේ රටවැසියකුට හිමිවිය යුතු ඉඩම් ප්‍රමාණය අක්කර 50 ට සීමා කරමිනි.
මේ පිළිබඳව රට තුළත් ජාත්‍යන්තරවත් මහත් ආන්දෝලයක් ඇතිවූ අතර බොහෝ දෙනා අගමැතිනිය හමුවී කරුණු දැක්වූ නමුත් ඇය එම තීරණය මඳකුදු වෙනස් නොකළාය. අන්තිමට ජේ. ආර්. ජයවර්ධන පවා හෙක්ටර් කොබ්බෑකඩුව හමුවී උපකාර ඉල්ලා සිටියේය. අවසානයේ කාගේත් එකඟතාව මත උපරිම ඉඩම් හිමි සීමාව අක්කර 50 දක්වා වෙනස් විය.
අමාත්‍ය කොබ්බෑකඩුව වරක් පවසා තිබුණේ එක්තරා දේශපාලනඥයකු රාත්‍රි භෝජන සංග්‍රහයක දී තමන්ට අන්නාසිවලට වස මිශ්‍රකර දීමට ගත් උත්සාහයක් ආරක්‍ෂකයකු නිසා වැළකුණු බවයි. ඒ තරමට ධනපති පන්තිය ඉඩම් සීමා පනතට බිය වූහ.
මේ වනවිට ඉඩම් පනත් නිසා ඉන්දියාව, පිලිපීනය, බ්‍රසීලය වැනි රටවල ලේ වැගිරීම් පවා සිදුව තිබිණ. කොබ්බෑකඩුව මැතිදුන්ගේ ඇපකැපවීම, ආත්ම ශක්තිය, නොසැලෙන ගුණය, අවංක නිහතමානිකම මෙන්ම අල්ලස දූෂණ පිටුදැකීම යන ගුණාංග නිසා ලේ බිඳකුදු නොසොල්වා ඉඩම් ජනසතු ව්‍යාපාරය සාර්ථක කර ගැන්මට හැකිවිය.
මේ අනුව 1972 දී ඉඩම් අක්කර ලක්‍ෂ හයක්ද 1975 දී වතු ඉඩම් අක්කර ලක්‍ෂ නවයක්ද ඉඩම් හිඟයෙන් පෙළෙමින් සිටි රජයට පවරා ගන්නා ලදී. වඩාත්ම අභියෝගකාරි කටයුත්ත වූයේ පාරම්පරිකව ධනපතියන්ට උරුම වූ ඉඩම් පවරා ගැනීමයි. ඇතැම් සමාජවාදි මන්ත්‍රිවරු පනත සම්මත විමටත් පෙර කොහු ලණුවලින් ඉඩම් මැන ජනතාවට පැවරූ බව ආරංචි විය.
මෙම හපන්කම කොබ්බෑකඩුව ඇමැතිවරයාට කිරීමට පාදක වූ කරුණක් වූයේ 1972 දී සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඉඩම් පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් එතුමා වසර 06ක් තුළ පහත සඳහන් පනත් හා නීති කෙටුම්පත් හඳුන්වා දුන්නේය.
1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත, කෘෂි කාර්මික පලදාවර්ධන පනත, අංක 5 දරන ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් පනත, අංක 14 දරන රාජ්‍ය කෘෂිකාර්මික පනත ස්ථාපිත පනත, අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත, අංක 9 දරන වී නිෂ්පාදකයන්ගේ ඉතිරි කිරීමේ පනත, අංක 15 දරන ජාතික සාගිනි නිවීමේ මණ්ඩල පනත, අංක 30 දරන ලංකා පලතුරු මණ්ඩල පනත, 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් නීතිය හා 1976 ජනාවාස නීතියයි.
මේ අනුව අක්කර 50කට වැඩි වූ ගොඩ ඉඩම්ද අක්කර 25කට වැඩිවූ මඩ ඉඩම්ද පවරාගත් අතර රටපුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිකර හොඳ ප්‍රමිතියෙන් යුත් බීජ වර්ග, පොහොර හා රසායනික බෙහෙත්, විවිධ පැළ වර්ග බෙදාහරින ලද අතර ගොවින් සඳහා උපදේශන සේවාවක්ද ඇරඹිණ. එසේම වී හා අනෙකුත් භෝග වර්ග මිලදී ගැනීම ඇරඹුන අතර ඒ සියල්ලම සිදුවූයේ ගොවියාගේ සැබෑ ඕනෑකමට මිස බලවතුන්ගේ ඇඟිලි ගැසීම් මත නොවීම විශේෂත්වයකි.
සුඛෝපභෝගි සීත කාමරවල සිට විදෙස් සමාගම්වල හෝ අතරමැදියන්ගේ වුවමනාවන් සැපිරීම සඳහා නොව කෘෂිකර්මාන්තයෙන් රටම සශ්‍රීක කිරීමේ අරමුණින් ගොවින්ගේ උපදෙස් මත මේ සඳහා පිඹුරුපත් සැකසිණ.
21 වැනි සියවසට ගැළපෙන සේ තාක්‍ෂණ භාවිතය, කෘෂිකර්මික අධ්‍යාපනය, සේවාස්ථ පුහුණු, සමාජ ආර්ථික පර්යේෂණ, ග්‍රාමිය බැංකු, කෘෂිකාර්මික ණය හා කෘෂිකර්මික වෙළෙඳ ද්‍රව්‍ය සම්බන්ධිකරණය තුළින් ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ස්ථාපිත කිරීමෙන් කොබ්බෑකඩුව අමාත්‍යවරයා විසින් කළ යුග මෙහෙවර අද ද ගොවිහු සතුටින් සිහිපත් කරති.
පවරාගත් ඉඩම්වල ජනාවාස ඉදිකෙරිණි. ගමේ ජනතාවගේ ශ්‍රමය හා දැනුම උපයෝගී කරගත් සාමුහික ගොවිපළ ක්‍රමය හඳුන්වා දුන්නේ එතුමාය. මෙම පනත නිසා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට උරුම වූ අක්කර දහස් ගණනක්ද ඉඩම් ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුවට උරුමවූ ඉඩම් කන්දරාවක්ද ජනතාව අතර බෙදී ගියේය. රත්තොට නිකවැල්ල පොල්වත්ත පවරාදුන් එතුමා ඒ සඳහා ලැබිය යුතු මුදල් හෝ විකල්ප ඉඩම් හෝ ලබා නොගත් අතර එබැවින් ඥාති පරපුරද අමනාප වූ බව පැවසේ.
ලොව ආර්ථික අර්බුදයට මුහුණ පෑම සඳහා අගමැතිනිය විසින් ආහාර සීමා හා ප්‍රවාහන සීමා ඇති කරමින් නීති පැනවීම නිසා ස්වයංපෝෂණය සඳහා කෘෂිකාර්මික වැඩ පිළිවෙළක අවශ්‍යතාව තදින් ජනතාවට දැනිණ. “හාල්පොලු, මිරිස් පොලු යුගය යැයි ප්‍රතිගාමිහු මෙම තත්ත්වයට අපහාස උපහාස කළහ. පෝලිම් යුගය නැතිකර වගා ව්‍යාපාරය තුළින් ස්වයංපෝෂිත ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අඩිතාලම දැමුණේ කොබ්බෑකඩුවගේ දුරදක්නා සැලසුම් නිසාය.
තමන් සතු ඉඩම් බෙදාදීමෙන් පසු ඔහුට හා දියණියට ඉතිරි වූයේ ඉඩම් අක්කර සියයකි. එයිනුත් අක්කර 50ක් තබාගෙන ඉතිරි ඉඩම් ගොවි ජනතාවට දුන්නේය.
සියල්ල උඩු යටිකුරු වුණේ 1977 දී ශ්‍රීලනිපය අන්ත පරාජයකට පත්ව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ රජය බලයට පත් වූ යුගයේය. මේ වනවිට උතුරේ කොටි බලය කෙමෙන් වර්ධනය වෙමින් පැවති අතර, දකුණේ ධනවාදි බලවේග කෙමෙන් හිස ඔසවා එනු දක්නට ලැබිණ. එබැවින් ශ්‍රීලනිප පාලන සමයේ දිනාගත් ජනතා ජයග්‍රහණවලට කණකොකා හඬන්නට විය.
හිටපු පාලකයන්ට දිගට හරහට චෝදනා එල්ලවන්නට විය. හෙක්ටර් කොබ්බෑකඩුව වෙතද චෝදනා ගොනුකිරීමට කොමිසමක් පත්කළ නමුත් කිසිදු වරදක් සොයාගත නොහැකිවීමෙන් ඔහු නිදොස් විය.
එහෙත් හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට චෝදනා ගොනුකර ඇයගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කෙරිණි. මෙම සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙදරා යාම නිසා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙපිල බෙදීම පාලක පක්‍ෂයට වාසිදායක විය.
හෙක්ටර් කොබ්බෑකඩුවගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසා උතුර සහ දකුණ අතර වෙළෙඳමය ආර්ථිකය ශක්තිමත් විය. ඔවුනොවුන් අතර සබැඳියාව සංහිඳියාව ඇතිවිය.
බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සමඟ රටපුරා ඊට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වූ අතර හෙක්ටර් යාපනයේ මහමග ඇවිදිමින් ජනතාව අතරට ගොස් ඔවුන් දැනුම්වත් කළේය.
ශ්‍රීලනිපය අර්බුදයට ලක්ව අඩපණ වූ යුගයේ හෙක්ටර් දෙස ඇතැමුන් බැලුවේ වපර ඇසිනි. ඔහු ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස නම් කළ පසු පක්‍ෂයේම උදවිය ඔහුට බාධා කළහ. ඔහුගේ ජයග්‍රහණය සඳහා විජය කුමාරතුංග, ටී.බී. ඉලංගරත්න වැනි ක්‍රියාකාරීහු මහත් සහයක් දුන්හ. උතුරේ ජනතාවද ඔවුන් සමග වූහ.
වමේ බලවේගවල ආශිර්වාදයෙන් සටනට බට කොබ්බෑකඩුව වීරයාට වූ කෙනෙහිලිකම් නිසාම ඔහුගේ ඡන්ද පදනම බිඳ වැටිණ. ජනාධිපතිවරණ පරාජයෙන් පසු රාජ්‍ය විරෝධි ‘නැක්සලයිට්’ චෝදනාව මත හෙක්ටර් - විජය ඇතුළු පිරිසක් දිගු කලක් සිරගත කරන ලදී.
කිසිදා දේශපාලන බලය මත තීන්දු තීරණ ගෙන රාජ ඌෂ්ණයෙන් ඔද්දල් වුණු ඇමැති චරිතයන් නොවූ හෙක්ටර් කොබ්බෑකඩුව තම දියණියන්ට මෙන්ම සමස්ත නිර්ධන පන්තියටම ආදරය කළේය. ඔහුගේ උරුමයන් පවා ජනතාව උදෙසා පිදීය.
1983 සැප්තැම්බර් 18 වැනිදා එතුමා දැයෙන් සමුගත් විට දේහය තැන්පත් කර තිබුණේද පැරණි වලව්වේ කුඩා කාමරයකය.
“මම රජුන්ට සේවය කළෙමි. රජුන් විසින් මා නිරුවත්කර පවා දෙනු ලැබිණි.”
මෙලෙස තම මතක පොතේ ලියූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පිළිබඳව මෙම සටහන ගැළපේ යැයි සිතේ.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි