රට අලුත් කළ ජේ.ආර්.


 

 

ඇතැම් සුවිශේෂි පුද්ගලයන් හඳුනාගන්නට ඔවුන්ගේ සම්පුර්ණ නාමය අවශ්‍ය නොවේ. ජේ. ආර්. කියූවිට පාසල් දරවෝ පවා එතුමා හඳුනති. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජූනියස් රිචඞ් ජයවර්ධන නාමය දේශපාලනය ඉතිහාසයට පමණක් නොව බෞද්ධ දර්ශනයටද අදාළ වීම සුවිශේෂීය.


‘ධම්මො හවේ රක්ඛති ධම්මචාරි’ යන බුදු වදන අනුව ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ යන්න ජේ.ආර්ගේ ජීවිතයේ මුහුණපා ඇති අභියෝගවලින් ජයගෙන ඇති අයුරින්ම පෙනී යයි.


අනගාරික ධර්මපාලතුමා උපන් සැප්තැම්බර් මස 17 වැනිදා ජේ.ආර්ගේ උපතද සිදුවිය. ඒ 1906 සැප්තැම්බර් 17 වැනිදාය. රාජනීතිඥ ඊ. ඩබ්ලිව්. ජයවර්ධන මැතිදුන්ගේත් ඇග්නස් හෙලන් මැතිනියගේත් වැඩිමහල්  පුතු වූ ජේ. ආර්. 1911 සිට රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. 


බොක්සින්, රගර්, පාපන්දු ශූරයකු වූ තරුණ ජේ. ආර්. 1925 දී එම විදුහලේ දක්‍ෂතම කථිකයාද විය. කොලඹ යුනිවර්සිටි කොලේජියට ඇතුළත්වූ අතර මැටික්්‍යුලේෂන් විභාගය සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි  තර්ක ශාස්ත්‍රය ලතින් සහ ආර්ථික විද්‍යාව හැදෑරීය.


1928 දී නීති විද්‍යාලයට බැඳුණු තරුණ ජේ. ආර්. හෙක්ටර් ජයවර්ධන රන් පදක්කම හා නීති පර්යේෂණ වෝල්ටර් පෙරේරා ත්‍යාගද දිනාගත් අතර 1932 දී ශ්‍රේෂ්ඨාධිකරණ අධි නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේය.


ජේ.ආර්ගේ දිවියේ නව නැම්මක් ඇති වූයේ 1928.02.28 වැනිදා එලිනා බී. රූපසිංහ මෙනවිය සමග  අතිනත ගත් දින සිටය. කැලණිය බෞද්ධ පරිසරයේ විශාල පාරම්පරික ඉඩම් ප්‍රමාණයක් ඇය සතු විය. ජේ. ආර්. ගේ දැහැමි දිවියට ඒ පෙදෙස තෝතැන්නක් විය. 


ජේ. ආර්. දැසි දසුන්, කම්කරුවන්, පාලනයෙහි මෙන්ම දේශපාලනයේදී පාක්‍ෂිකයන් මෙන්ම විරුද්ධ පාක්‍ෂිකයන් පාලනයෙහි දක්‍ෂ විය. ඔහුට එල්ල වූ උපහාස අපහාස තර්ජන ගර්ජන, ගිනි අවි ප්‍රහාර පවා ඔහු සතු ඉවසීමේ ගුණය නිසා පාලනය කර ගැනීමට හැකිවූ බවත් ඒ තුළින්ම විධායක ජනාධිපතිධූරය දක්වා ඉහළට එසවීමට වාසනාව ලැබූ බවද පෙනේ.


ජේ. ආර්. ගැන අලුත් තොරතුරු සොයා යන ගමනේදී ඔහු සමඟ ළඟින් ඇසුරු කළ අපූරු ලේඛකයකු ගැන දැනගන්නට ලැබිණ. ජේ. ආර්. තමාට පෞද්ගලිකව පැවසූ රහස් පවා ගොනුකර චරිතාපදානයක් සකසාගෙන යන ඔහු කැලණිය පොල්හේනේ අංක 369 දරන සරසවි නිවසේ වෙසෙන කේ.එම්.ඩී. ජයසිංහ මහතා හෙවත් මහින්ද ජයසිංහය.
ඔහු පොල්හේන ග්‍රාම සංවර්ධන සමිතියේ හිටපු සභාපතිවරයා වූ අතර ව්‍යාපාරිකයෙකි.


“ජේ. ආර්. මහත්තයා දකින කොට මට අවුරුදු 10යි. මා වෙසෙන කැලණි ආසනයට එක්සත් ජාතික පක්‍ෂයෙන් 1960දී එතුමා තරග කළා. එදා එතුමාගේ කතාවට මාතෘකාව වුණේ ආලවක දමනයයි. එය දේශපාලන කතාවක් නොවුණත් බෞද්ධ දර්ශනය අනුව අපූරුවට ගලපාගෙන නිරූපණය කළා.


එදා සිට එතුමාගේ කතා අසීමටත් ඉන් දෙන අවවාද පිළිපැදීමටත් මා ඇබ්බැහි වුණා. මාගේ ප්‍රියතම කථිකයා 1977 දී රටේම අගමැති වුණාම මට ඉහිලුම් නැතුව ගියා. එතුමා දළදා මාළිගාවේ පත්තිරිප්පුවේදී දිවුරුම් දෙනවා බලන්නත් මං ගියා. 


“ධර්මිෂ්ඨ සමාජයක් හදනතුරු මේ රටේ ව්‍යාකූලත්වය සමනය කරන්න බෑ. ඒ සඳහා තමයි මං කැපවෙන්නෙ” එතුමා කිව්වා. 


මහින්ද ජයසිංහ ඇතුළු ගමේ පැරැන්නන් කියන පරිදි ජේ. ආර්. යුගය (1977 - 1982) මේ රටේ ස්වර්ණමය සමය විය. එහෙත් 1982න් පසු උදාවූ යුගය ගැන ජනතා ප්‍රසාදයක් නොවූ බව ඔවුන්ට පෙනී ගියේය. 


“1982 න් පසු මැති ඇමැතිවරුන් පිළිබඳව අසන්නට ලැබුණු තොරතුරු එච්චර හොඳ නැහැ. ඔවුන්ගේ දුෂණ වංචා හොරකම් මැරකම් නිසා රටේ ජනතාව තුළ අප්‍රසාදයක් ගොඩනැගුණා. මමත් මධ්‍යස්ථ වුණා. දන්නා විදිහට මෙම තත්ත්වය පත්තරවලට ලිවුවා. ඒත් පළවුණේ නෑ. භීෂණ වාතාවරණයක් රටේ තිබෙන බව දැනුණා.” 
මහින්ද ජයසිංහ ඊළඟට කළේ තම ස්වාධීන මත ඔහුගේ වීරයා වූ ජේ. ආර්. වෙත වෝඞ් ප්ලේස්හි එතුමාගේ නිවසට තැපැල් කිරීමය. දිගට හරහට රෑ දහවල් නොබලා ලිපි යවමින් ජේ. ආර්. දැනුම්වත් කළේය.


නොසිතු විරු ලෙස දිනක රාජ්‍ය මුද්‍රාව සහිත ලිපියක් මහින්ද වෙත ලැබිණි. “වහා මා හමුවන්න - ජේ. ආර්.” එවකට විශ්‍රාම සුවයෙන් සිටි ජේ. ආර්. පළමුවරට ඔහුට කළ කැඳවීම නිසා බියක් සැකයක් මහින්දට ඇතිවිය. 


එහෙත් හිතට ධෛර්ය ගත් ලේඛකයා හිටපු විධායක ජනපතිගේ මැදුරට ගියේය. ඒ 1995.05.04 වැනිදා පෙරවරුවේය. 


“එලිනා මැතිනිය සේවකයකු සමග මිදුලේ මල්වලට වතුර දමමින් සිටියා. මට සවන් දුන් එතුමිය දොරහැර මා නිවසට ඇතුළුකර හිඳුවා තේ එකක් පිළිගැන්නුවා. ඊළඟට මා කොරිඩෝව කෙළවරේ තිබූ සැලුන් දොරින් ඇතුල්වී විසිත්ත කාමරයට ගියා.” 


මෙතෙක් තමාගේ සිහින වීරයාව සිටි ජේ. ආර්. ගේ දැවැන්ත සිරුර දකිත්ම මහින්දට හුනස්නෙන් නැගිටුණේය. ඉඳගන්නා ලෙස එතුමා අතින් සංඥා කළේය.


‘තමුන්නාන්සේද මට ලියුම් එවන්නේ’ 
‘ඔව් සර්’ 
‘මොනවද ඒකෙන් අදහස් කරන්නේ
‘සර් ගැන පොතක් ලියන්න 
‘මේ මං ගැන එතුමා හිස ඇළකර සිනාසුණේය. 
‘පොතක් ලියන්න කලින් ඉගෙන ගන්න දේවල් බොහොම තියෙනවා.’  
‘තමුන්නැහැ බුද්ධාගම දන්නවද? 


‘සර්ගෙ කතාවලත් බුද්ධාගම ගැන ගොඩක් දේවල් ගැබ්වෙලා තියෙනවා. ලේඛකයා කීය.


ජේ. ආර්. විමසිලිවත්ව තරුණයාට ළංවිය. 


‘මට ලියුම් ලිව්වට කමක් නෑ. හැබැයි පත්තරවලට ඔය අදහස් දෙන්න එපා. ඒක තමුන්නාන්සෙගෙ ජීවිතේට තර්ජනයක් වේවි.


මහින්ද විමතියෙන් බලා සිටියේය. 


“තමුන්නැහැ ලියල තියෙනවා පාර්ලිමේන්තුවම දුෂිතයි කියලා. ඒක කවුද නොදන්නේ. එදා බුදු හාමුදුරුවන්ටත් බැරිවුණ පවුකාරයන් විනාසෙන් ගලව ගන්න. ඉතින් ඔහේටයි මටයි පුළුවන්ද? බෑනේ. අයිසේ  දූෂිතයන්ට දඬුවම් දෙන්න ක්‍රමයක් මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ නෑ.” 


ජේ. ආර්. පවත්නා දේශපාලන තත්ත්වය එදා විග්‍රහ කළේ එසේය. “ඔය මිනිස්සු තාන්න මාන්න ලබලා තියෙන්නේ පෙර ආත්මෙ කරලා තියෙන කුසල්  නිසා වෙන්න ඇති. කවදා හරි අකුසල විපාක පලදෙන දවසක් එනවා. මං කියන්නෙ බුද්ධ දර්ශනය අනුවයි. එදාට ගැලවෙන්නෙ පන්සිල් පද පහවත් රැකගෙන ඉන්න අය විතරයි.” 
‘ඉතින් සර් මේවට විසඳුම් නැද්ද? ලේඛක මහින්ද ඇසුවේය. 


“එතකල් ඉවසමු. හොඳම දේ තමයි මේ කාලෙ ගෙවෙන කල් තමන්ගෙ ආරක්ෂාව තමන්ම බලාගන්න එක.” 

එදා ජේ. ආර්. තරුණ ලේඛකයාට දුන් අවවාද පසු කලෙක එකින් එක සත්‍යවන්නට විය. රටපුරා උද්ඝෝෂණ, ත්‍රස්තවාදය, ශිෂ්‍ය ගැටුම්, ජාත්‍යන්තර අත පෙවීම් හා අභ්‍යන්තර යුද තත්ත්වය මෙන්ම දේශපාලන බල අරගලය උග්‍රවිය. එහෙත් ඉන් ජේ. ආර්.ගේ ආත්මයට කිසිදු හානියක් නොවිණි. 
‘ඕවයි පොතේ ලියැවෙන්න ඕනෑ. හොඳයි. දැන් ගියා නම් ඕනෑම වෙලාවක දැනුම්දීලා මාව හමුවන්න. ජේ. ආර්. මහින්දට නියත විවරණ දුන්නේය. 
එතුමා මගේ පොතට අපූරු පෙරවදන් රැසක් දුන්නා. 


‘ශාපයත් සමග රුපියල් සියයක් හොයන්න මහන්සි වෙන්න එපා. ආශිර්වාදයත් සමග රුපියල් පහක් ලැබුණත් ඇති. 


“දෙවියෝ ඉන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ දේවාලේ නොවෙයි. තමන්ගෙම ගෙදර. තමන්ගේ බිරිඳටයි ස්වාමියාටයි, දරුවන්ටයි අවංකවුණු පුද්ගලයන්ට වැරදුණු තැනක් මං කියවපු ලෝක ඉතිහාසෙ කිසිම තැනක නැහැ.” 


ජේ. ආර්. ළමා පරපුර ගැන කතා කළේ මහත් භක්තියකින්. එහෙත් එතුමාගේ සමයේ ඉතිහාස විෂයය පාසල් විෂය  මාලාවෙන් ඉවත් කෙරිණි. එනිසා එතුමාට ඇතැම් විද්වතුන්ගෙන් එල්ලවූයේ දෝෂාරෝපණය. මහින්ද ජයසිංහ මේ ගැන ජේ. ආර්. ගෙන් විමසීය. 


“මම හැම තීරණයක්ම ගත්තෙ හොඳට හිතලා මතලා. අපේ රටේ ඉතිහාසය ගැන වැරදි තොරතුරු දරුවන්ට යනවට මං විරුද්ධයි. අපේ හාමුදුරුවරු ජාතියේ මුර දේවතාවෝ කියලා මාත් පිළිගන්නවා. ඒත් ඉතිහාසය ලිවීමේදී ඒ අය අතින් විකෘති වීමක් සිදුවෙලා කියලා මට හිතනවා.” 


එතුමාගේ එම වදන් ආන්දෝලනාත්මක වනු ඇතැයි ලේඛකයාට සිතුණි. එහෙත් ජේ. ආර්. ගේ මෙවැනි ප්‍රකාශ රැසක් එතුමාගේ අභාවයෙන් පසු ලියැවෙන තම ග්‍රන්ථයට ඇතුළත් වූ බව ඔහු පවසයි. 


ජේ. ආර්. මට කියපු දේවල් එතුමාගේ මුවින්ම පිටවුණේ මෙහෙමයි මහින්ද කියයි. 


‘අපේ ජාතිය ශිෂ්ට සම්පන්න වුණේ බුදුදහම නිසයි. බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කරලා යක්ෂ ගෝත්‍රයේ අරගල මැඩපැවැත්වූවා. නාගදීපයට වැඩම කරලා නාග ගෝත්‍රයේ අරගල මැඩ පැවැත්වූවා. කැලණියටයි ශ්‍රී පාදයටයි වැඩම කරලා පා සටහන් තියලයි ගියේ. ඊට පස්සේ ඉතිහාසේ ලියැවුණේ මොනවද ජේ. ආර්. අසයි. 
“මිහිදු හාමුදුරුවෝ වැඩිය දවසෙත් රජ්ජුරුවෝ දඩකෙළියෙ ගියා. පණ්ඩුකාබය රජුගේ සිටම මේ රටේ රජකමට තාත්තලා පුතාලා සහෝදරයො මාමලා මරාගන්න කතා. උතුරේ සැඩි දෙමළුය. දකුණේ ගොළු මුහුදය කියලා දුටුගැමුණු කුමාරයා වකුටුවෙලා නිදාගත්තා.” 


මෙවැනි කතා දිගින් දිගටම කියැවීමෙන් ළමා මනස තුළ එකිනෙකා අතර බද්ධ වෛරය ලියලන බව වැටහීම නිසා කාහටත් නොදැනෙන්නට ඉතිහාසය පාසල් විෂය ධාරාවෙන් ඉවත් කළ බව ජේ. ආර්. කියා ඇත. 


සුදු අධිරාජ්‍යවාධීන්ගෙන් ලත් නිදහස ගැන ජේ. ආර්. දරන්නේ මෙවැනි අදහසකි. 


“අපි සුදු පාලකයන් එළවා ගත්තා තමයි. නමුත් මොකද අද වෙලා තියෙන්නේ. එයාලා යනවිට අපට භාරදීලා ගියෙත් නිකම්ම නිකම් භූමියක් විතරක්ද? නැහැ. දියුණු කෘෂිකර්ම හා මහාමාර්ග පද්ධතියක් දුන්නා. නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති සමාජයක් දුන්නා. ඒ විතරක්ද එක්කෝටි විසි ලක්ෂයක බැංකු ගිණුමක් දුන්නා. අපේ දුර්වලකම නිසා එතැනින් එහාට රට ගෙනයන්න බැරිවුණා.” 


තරුණ නැගී සිටීම් පිලිබඳව ජේ. ආර්. මහින්දගේ පොතට කරුණු දක්වා ඇත. 


“71 කැරැල්ලට හේතුව පීඩිත පන්තියේ ජනතාවට විශේෂයෙන් තරුණ ජනතාවට තම අදහස් කියන්න පාර්ලිමේන්තුවට එන්න අවකාශයක් නොලැබීමයි. එනිසා මම අනුපාත ඡන්ද ක්‍රමය හදලා එයාලට පාර්ලිමේන්තු එන්න අවස්ථා දුන්නා. අද ඒ අයම තමයි ජේ. ආර්. මරණු කියලා තාප්පවල ලියන්නෙ.”


“හැබැයි මනාප ඡන්දය තුළින් ඕනෑම දේශපාලන පක්ෂයක දූෂිතයන් ඉවත් කිරීමේ බලය මා ජනතාව සතු කළා. ජනතාව බුද්ධිමත් නැත්නම් මම මොනවා කරන්නද” ජේ. ආර්. මහින්දගෙන් විමසා ඇත.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි