රට කරවන තැන කල් තැබූ පුරාණය


 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්‍ෂ මහතා පත් කිරීමෙන් හටගත් ආන්දෝලනය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නිමාවිය. එහෙත් ඊළඟට අතුරු මාතෘකාවක් ගැන වැඩි අවධානය යොමු විය. ඒ පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම ගැනය. එය සිදු කළ ආකාරය නීත්‍යනුකූලද? නැද්ද? නැවත පාර්ලිමේන්තුව කැඳවිය යුතු වන්නේ කව්රුන් විසින්ද? ජනාධිපතිවරයාද? නොඑසේ නම් කතානායකවරයාද? යන මාතෘකා යටතේ කරළියේ කතාබහ යොමු වී තිබුණි.


විවිධ පාර්ශ්ව ජනමාධ්‍ය ඔස්සේ තමන්ට වාසිදායක අන්දමින් නීති හා දේශපාලන තර්ක ඉදිරිපත් කරමින් සිටිනු දක්නට ලැබුණි. දැනුමැත්තෝ තර්ක කරති. ඒවායේ නිරවද්‍යතාව තීරණය කර තීන්දු තීරණ දිය හැකි අදාළ ආයතන පවතින නිසා මාධ්‍යවේදීහු ඒ ගැන අදහස් නොදක්වති. එහෙත් මෙවැනි අවස්ථාවක දී කෙනෙකුට අතීතය සිහිපත්වීම වැළැක්විය නොහැක. අවස්ථා ගණනාවකදී මෙවැනි සැසිවාර කල්දැමීම සිදු වී ඇති බව කාටත් මතක ය. ඒ සියල්ල මෙවැනි ලිපියකට ගොනු කිරීම ප්‍රායෝගික නොවේ. එනිසා මැති සභා සැසිවාරය කල් දැමූ අවස්ථා දෙක තුනක අතීතය මතක් කිරීමට මෙම අවස්ථාව ඉතා උචිත යයි මම සිතමි.


විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය ඇතිවීමට පෙර පැවති සෝල්බරි ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ යුගයේ සමගාමී සිදුවීමකට අපි අවධානය යොමු කරමු. 1960 ජූලි මැතිවරණයේ දී ජයග්‍රහණය අත්පත් කර ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. එහෙත් පක්‍ෂ නායිකාව පාර්ලිමේන්තුවේ ආසනයකට තරග නොකළාය. මේ නිසා ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු නොවන අයකු අගමැති ධුරයට පත් කිරීම නීතිමය ගැටලුවක් බවට පත්වුණි. එකල ව්‍යවස්ථාදායකය අංග දෙකකින් යුක්ත විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ උත්තර මන්ත්‍රී මණ්ඩලය යනුවෙනි. මහජන ඡන්දයෙන් පත්ව එන මන්ත්‍රීවරුන් අනූ පස් දෙනෙකුගෙන් සැදුම්ලත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එහි ප්‍රධාන අංගය විය. මහජන ඡන්දයකට ඉදිරිපත්ව ජය ගත නොහැකි එහෙත් යම් යම් ක්ෂේත්‍ර ගැන විශේෂඥ දැනුමක් ඇති ප්‍රවීණයන්ගේ සහාය රාජ්‍ය පාලනයට ලබා ගැනීමේ පියවරක් වශයෙන් උත්තර මන්ත්‍රී මණ්ඩලය නම් ආයතනයක්ද එකල හඳුන්වා දී තිබුණි. එහි මන්ත්‍රී සංඛ්‍යාව තිස් දෙනෙක් වූහ. එයින් පහළොස් දෙනෙක් අගමැතිවරයාගේ නිර්දේශය මත අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරනු ලැබීය. අනෙක් පහළොස් දෙනා ඒ ඒ දේශපාලන පක්‍ෂවලින් යෝජනා කරනු ලැබ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා ගැනීම සිදුවිය. අගමැතිනිය වශයෙන් පත් කරනු සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට උපයෝගී කර ගත හැකි මෙම නීතිමය ප්‍රතිපාදනය එකල සිටි නීති විශාරදයෝ පෙන්වා දුන්හ. ඒ නිසා උත්තර මන්ත්‍රී මණ්ඩලයේ කටයුතු කරමින් සිටි මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට සලස්වා ඇය එම සභාවේ මන්ත්‍රීවරියක ලෙස පත් කරනු ලැබුවාය.


මෙම රජයේ හිතවතුන් ලෙස කටයුතු කළේ වාමාංශික පක්‍ෂ දෙකක් වූ ලංකා සමසමාජ පක්‍ෂය හා ලංකා කොමියුනිස්ට් පක්‍ෂයයි. 1960 ජුලි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තරග කළේ මෙම පක්‍ෂ දෙක සමඟ නිතරග ගිවිසුමක් මත සමගියෙනි. එම පක්‍ෂ දෙක ඇමති පදවි භාරගෙන රජයට සම්බන්ධ නොවූ නමුදු පිටතින් සිට නොයෙකුත් බලපෑම් කරනු දැකිය හැකි විය. විශේෂයෙන් මෙම බලපෑම් මත පුවත්පත් මාධ්‍යයන්ගේ කටයුතු පාලනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පුවත්පත් කොමිසමක් පත් කිරීමට රජය තීරණය කළේය. 1964 ජූනි 11 වැනිදා ලංකා සමසමාජ පක්‍ෂය රජයට ඇතුළුව වගකිවයුතු ඇමති පදවි භාර ගැනීම නිසා මෙම තත්ත්වය තවත් ඉක්මන් විය. මෙම වැඩ පිළිවෙළ ආරම්භයේ සිටම මතභේදකාරී විය. බොහෝ දෙනා මෙම ක්‍රියාව හඳුන්වා දුන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් වූ කතාකිරීමේ නිදහස සීමාකිරීමක් වශයෙනි.


පෙර කී කොමිසමේ නිර්දේශ ලැබුණු අතර එයින් කියැවුණේ ද පුවත්පත්වල ක්‍රියාකලාපය පාලනය කළ යුතු බවයි. එම කොමිසමේ සංයුතිය ගැනද බරපතළ චෝදනා එල්ලවෙමින් තිබුණි. කෙසේ වුවත් කෙටුම්පත් කරන ලද පුවත්පත් මණ්ඩල පනත ඉදිරිපත් කරනු ලැබුවේ අගමැතිනිය නියෝජනය කරන උත්තර මන්ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව) ටය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ එහි චිරාගත වත්පිළිවෙත් අනුව පාර්ලිමේන්තුවට (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරන පනතකට වඩා වෙනස් ආකාරයක විධිවිධාන සෙනෙට් සභාවෙන් සම්මතව එන පනතකට අනුගමනය කෙරේ). එවකට විපක්‍ෂයේ දෙවැනියා වශයෙන් කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන මහතා මේ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය ගැන විමසිල්ලෙන් සොයා බැලුවේය. ඔහුට තැනක් අසුවිය. කතානායක හියු ප්‍රනාන්දු මහතාගේ සහායද ඔහුට ලැබුණු බවක් ද කියවේ.


පුවත්පත් මණ්ඩල පනත මැතිසබයට ඉදිරිපත් කරන ලද්දේ එවකට කම්කරු හා ජනසතු සේවා ඇමති මිනුවන්ගොඩ මන්ත්‍රී ඇම්. පී. ද ඉසෙඞ් සිරිවර්ධන මහතා විසිනි. සිරිවර්ධන ඇමතිවරයා දක්‍ෂ විචක්‍ෂණ පුද්ගලයෙකු නොවීය. බාර දුන් දේ කිරීමට අමතරව වාද විවාදවලට පැටලීම ඔහුට හුරු නොවීය. පනත සභා ගත කළ ඔහු වාඩි විය. කතානායකවරයා මෙම පනත දෙවැනිවර විවාදයට ගන්නේ කවුදා දැයි විමසුවේය. ඇමතිවරයා හෙට යැයි පිළිතුරු දුන්නේය. එය ස්ථාවර නියෝගවලට පටහැනි පිළිතුරක් විය. ජේ. ආර්. නැගී සිට දෙවැනි වරටත් පළමු පැනයම විමසුවේය. ඇමතිවරයා ද නැවතත් පෙර පිළිතුරම දුන්නේය. සැලසුම ක්‍රියාත්මක විය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සංඥාව මත නැගී සිටි තිස්සමහාරාම මන්ත්‍රී ලක්‍ෂ්මන් රාජපක්‍ෂ මහතා පනත පිළිබඳ දෙවැනි වර කියවීම මාස තුනකින් කල්තැබිය යුතු යැයි යෝජනා කළේය. පුත්තලම මන්ත්‍රී ඒ. එච්. ඇම්. නයින මරික්කාර් මහතා එම යෝජනාව ස්ථිර කළේය. පනත පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම යෝජක හා ස්ථිරකරු අතට පත් විය. මෙය අසාමාන්‍ය තත්ත්වයකි. සෙනෙට් සභාවෙන් සම්මත කර එවන පනතක් ඉදිරිපත් කිරීමේ දී හෙට යැයි පිළිතුරු දිය නොහැක. එය ස්ථාවර නියෝග කඩ කිරීමකි. පනත ඉක්මනින් සම්මත කරවා ගැනීමේ අරමුණ ආණ්ඩුවට තදින්ම බලපා තිබුණි. නව පනතක් ඉදිරිපත් කිරීමට ද නොහැක. 

 


එකම අභිලාෂයක් සඳහා පනතක් ඉදිරිපත්ව ඇති විටෙක සමගාමීව තවත් පනතක් ගෙනඒමට ද රජයට ඉඩක් නැත. පෙර කී පනත නැවත ගෙන ඒමට නම් කළ යුතු එකම දෙය නම් පාර්ලිමේන්තු සැසිවාරය කල් දැම්මයි. ආණ්ඩුව එම පියවර ගත්තේය.


නව පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කිරීමේදී එදා පිළිවෙත අනුව අග්‍රාණ්ඩුකාරවරයා ලවා රාජාසනයේ කතාවක් කියවිය යුතුය. එයද සිදුවිය. ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා ඉතා කෙටි, කරුණු දෙකකට පමණක් සීමා වූ රාජාසනයේ කථාව කියවනු ලැබීය. ඒ පිළිබඳ ස්තුති යෝජනාව විවාදයට ගන්නා ලදී. 1964 දෙසැම්බර් 03 වැනිදා සවස මේ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙද්දී එක් වැඩි ඡන්දයකින් රජයට පරාජය අත්විය. ආණ්ඩුවේ සභානායකවරයා ද ඇතුළුව මන්ත්‍රීවරු දාහතර දෙනෙක් විපක්‍ෂයට එක් වූහ. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. මේ පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමූ එක් අවස්ථාවකි.


එක් දහස් නවසිය හැත්තෑ හතේ මහා ජයග්‍රහණයෙන් පසුව හයෙන් පහේ බලයකින් යුතුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජයේ නිල ආයු කාලය ගෙවී ගියේය. දස වසරක් තමා දැරූ ජනාධිපති ධූරය හැර දැමූ එතුමා තම අනුප්‍රාප්තිකයා ලෙස අගමැති ආර්. ප්‍රේමදාස මහතා නම් කළේය. පක්‍ෂ නායකත්වය මෙන්ම ජනාධිපති ධුර අපේක්‍ෂකත්වයද එමගින් ඔහුට හිමි විය. ජනාධිපති ධූරයට පත් වූ ප්‍රේමදාස මහතා එහි කටයුතු කරමින් සිටියේය. දීර්ඝ කාලයක් පවතින ඕනෑම රජයක සිදුවන්නාක් මෙන් කල්ලිවාද, නොරුස්නාකම් වැනි ගැටලු එම රජය තුළ ගොඩනැගෙන්නට විය. ජේ. ආර්. සමග ඉතා සමීපව සිටි නායකයෝ නොසැලකිල්ලට ලක්ව ඇති බව සිතමින් සිටියහ. එවැනි පළා බෙදීම් තිබෙන බවට සාධක ද සුලබව දක්නට තිබුණි. විශේෂයෙන්ම අමාත්‍ය ධුර ලබාදීමේදී තමන් වෙනස් සැලකිල්ලට භාජනය වී ඇතැයි ඔව්හු තේරුම් ගත්හ. මෙසේ ඇති වූ කනස්සලු ස්වභාවයන් ප්‍රතිපත්තිමය ගැටුමක් බවට නිතැතින්ම වර්ධනය වූවේය. මෙය ජනාධිපතිවරයාට එරෙහිව රහසිගත ව්‍යාපාරයක් බවට පත් වූ බවද පසුව දැනගන්නට ලැබුණි. මෙසේ සංවිධානය වූ ප්‍රබල ඇමතිවරු තිදෙනෙක් පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් තමන් වෙත නතුකරගෙන විරුද්ධ පක්‍ෂයේ සම්පූර්ණ සහාය ඇතිව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් අත්සන් කර එවකට කතානායකවරයාව සිටි ඇම්. එච්. මොහොමඞ් මහතාට භාර දුන් බව ඔහු නිවේදනය කළේය. ඒ 1991 අගෝස්තු 28 වැනි දිනය. අවශ්‍ය පමණට මන්ත්‍රීවරුන් අත්සන් කර තිබෙන බවද කියවුණි. මෙම ආරංචිය ලද වහාම ජනාධිපතිතුමා මහත් කම්පනයට පත්විය. මෙම දෝෂාභියෝග ක්‍රියාමාර්ග අඩපණ කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගත්තේය. පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීය. දෝෂාභියෝගයේ නිර්මාතෘවරුන් වූ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරු පවා එවැනි දෙයකට තමන් සම්බන්ධ නොවූ බවටත් ජනාධිපතිවරයාට පක්‍ෂපාත බවටත් සපථ කළහ. දෝෂාභියෝගය පරාජය වන ලකුණු එතැන් සිටම නිර්මාණය විය එම තත්ත්වය මත අවශ්‍ය පමණ අත්සන් ප්‍රමාණය ලැබී නොමැති බව 1991 ඔක්තෝබර් 7 වැනි දින කතානායක ප්‍රකාශ කළේය. රාජද්‍රෝහීවීම, මානසික ආබාධිත බව ආදී බරපතළ චෝදනා නගා ඉදිරිපත් කර තිබුණු දෝෂාභියෝගය ඒ අයුරින් අකාලයේ විනාශ කිරීමට හැකි වූවේ පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැමීමේ ආරම්භක පියවර නිසාය. ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයෙන් මෙම දෝෂාභියෝගයට සහාය දුන් සැම දෙනාටම විනයානුකූලව දඬුවම් කිරීමක් වශයෙන් පක්‍ෂයෙන් නෙරපා හැරුණි. විවිධ පාර්ශ්වයන් අතර විශාල මුදල් සම්භාරයක් හුවමාරු වූ බවටද කටකතා පැවැතුනි. ඒ පාර්ලිමේන්තුව කල් දැමූ තවත් වැදගත් අවස්ථාවකි.


කාලය ගතව ගියේය. 2000 ඔක්තෝබර් 10 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණ නැවතත් බලයට පත් විය. හවුල් ආණ්ඩු නිතරම අවුල් යැයි කියන කතාව නැවත වරක් සනාථ කරමින් වැඩි කලක් නොයාම එම සන්ධාන ආණ්ඩුව තුළ බරපතළ මතභේද හටගත්තේය. ජනාධිපතිනිය විසින් අභ්‍යන්තර හා අන්තර් ජාතික වෙළඳ හා නාවික කටයුතු රාවුෆ් හකීම් මහතා තනතුරෙන් ඉවත් කිරීමත් සමග මහා අර්බුදයක් නිර්මාණය වූවේය. මුස්ලිම් කොන්ග්‍රසයේ සියලුම මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ වාඩි ගත්හ. එම සිදුවීමෙන් රජයට බහුතරය අහිමි විය. විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමට ආසන 115ක් වූ අතර ආණ්ඩුවට හිමි වූයේ 109ක් පමණි. තත්ත්වය මෙසේ පවතිද්දී 2001 ජූලි 10 වැනිදා රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් සකස් කළ විපක්‍ෂය තම කණ්ඩායමේ මන්ත්‍රීවරු 115 දෙනාගේ අත්සන් සහිතව එවකට කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ අතට භාර දුන්නේය. මෙය දැනගත් වහාම ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පාර්ලිමේන්තු සැසිවාරය සැප්තැම්බර් හත් වැනිදා දක්වා කල් දැමුවාය.


මෙම අතරවාරයේ ජනාධිපතිනිය ජනතා විමුක්ති පෙරමුණ සමග පරිවාස රජයක් පිහිටුවීම සඳහා සාකච්ඡා ආරම්භ කළාය. එය සාර්ථකව 2001 සැප්තැම්බර් පස්වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඒ අනුව සැප්තැම්බර් 14 වැනිදා පරිවාස ආණ්ඩුව දිවුරුම් දෙන ලදී.


මේ පසුගිය අතීතයයි. කාරිය කර ගැනීමට අවශ්‍ය වූ විට කවුරුත් භාවිතයට ගන්නා උපාය මාර්ගයක් ලෙස පාර්ලිමේන්තුව කල් දැමීමේ ආයුධය පාවිච්චි කර ඇති බව පෙනී යනවා ඇත. එය නීති විරෝධී වූවක් බව පෙනෙන්නේ විපක්‍ෂයේ සිටියදී බව මධ්‍යස්ථව හිතන ඕනෑම කෙනෙකුට පෙනී ගියහොත් එය පුදුමයට කරුණක් නොවේ. එමෙන්ම සභාවාරය කල් දැමීම නිසා තම ප්‍රශ්න විසඳාගත් අය මෙන්ම අමාරුවේ වැටුණු අයද සිටින බව පෙනී යනවා ඇත.


පසුගිය දිනවල මැතිසබය කල් තිබුණ නිසා ජනතාවගේ අවධානය නිසැකවම ඒ කෙරෙහි යොමුව තිබුණි. එය නොවැම්බර් 14 වැනිදාට යළි කැඳවා ඇති නිසා සිදුවන දේ එදිනට දැක බලා ගත හැකිවනු නොඅනුමානය. ලිහන්නට තිබෙන මල්ල ඔබා බැලීම අවශ්‍ය  නොවේ. එතෙක් ඉවසමු. ඉවසීමෙන් සැනසීම ලැබෙන නිසාය.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි