ජනතාව විසින් පත්කරගන්නා ලද ආණ්ඩු බිඳදැමීමේ කුමන්ත්‍රණ පිළිබඳ විදෙස් රටවලින් මෙන්ම මෙරටින් ද ඕනෑ තරම් නිදසුන් වෙයි. මෙරට රාජ්‍ය ආණ්ඩු සමයේද රැජිනගේ ආණ්ඩු සමයේදී මෙන්ම විධායක ජනපති ආණ්ඩුසමයේද මෙවැනි දේශපාලන කුමන්ත්‍රණ ගැන තොරතුරු ලැබේ.
මෙම කුමන්ත්‍රණ චෝදනාව කෙළින්ම ආරක්ෂක අංශවලට එල්ලවන නමුදු මේවා පිටුපස සිටින්නේ පාලන බලය ලබාගැනීමේ කපටි චේතනාවෙන් සිටින දේශපාලන බලවේග බව නොරහසකි.
ඇතැම් කුමන්ත්‍රණ ඉතාම සැලසුම්කාරී ඒවා වන අතර ඇතැම් කුමන්ත්‍රණ ආයුධ සන්නද්ධවම සිදුකිරීමට සැලසුම් කෙරෙයි. එසේම හුදෙක්ම බොරු චෝදනා හා මැවූ සාක්ෂිමත සඳහන් වූ ඒවා බැවින් අහිංසකයන් බොහෝ දෙනෙකුට අපරාධකාරී හංවඩුව වැදී සිරමැදිරිවල දිගුකල් කොටුවීමට සිදුවීම ස්වභාවිකය.
නොයෙකුත් හේතුන් නිසා කාලයේ වැලිතලාවෙන් වසාදමනු ලැබූ කුමන්ත්‍රණ මෙන්ම වෙනස් මුහුණුවරින් අද ද සිදුවන කුමන්ත්‍රණ පිළිබඳ තොරතුරු ලැබේ. කොටි ත්‍රස්තයන් පරාජය කර රට එක්සේසත් කළ රණවිරුවන් යුද අපරාධ චෝදනා එල්ලකර සිරගත කොට බෙදුම්වාදීන්ගේ මනදොළ පිරවීමේ කුමන්ත්‍රණයක් ගැන විපක්‍ෂය චෝදනා එල්ල කරයි.
1961 දී ශ්‍රීලනිප ආණ්ඩු සමයේ එතෙක් පෞද්ගලික හා මිෂනාරි බලවේග අත තිබූ පාසල් අධ්‍යාපනය රජයට පවරා ගැනිණ. මෙයින් කුපිත වූ දෙස් විදෙස් බලවේග දේශීය ආරක්ෂක හමුදා ලවා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කළහ.
මෙම කුමන්ත්‍රණය 1962 ජනවාරි 27 වැනිදා රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අතර කොළඹ නගරය, ගුවන් විදුලිය, දුරකථන සේවා ඇඳිරිනීති පනවා බණ්ඩාරනායක අගමැතිනිය හා ඇගේ දූ පුතුන් අමාත්‍යවරුන් විශේෂයෙන් වාමාංශික නායකයන් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ලොක්කන් හා පොලිස්පති ඇතුළු නිලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රිස්තියානි බලවේග සැලසුම් කළහ.
එහෙත් අවසන් මොහොතේ ජාති හිතෛෂීන්ගේ එළිදරව් කිරීම් හමුවේ කුමන්ත්‍රණය ව්‍යාර්ථ වූ අතර විශේෂ අධිකරණයක් ඉදිරියට චූදිතයන් යොමු කෙරිණ.
මිෂනාරි කුමන්ත්‍රණයේ පළමු විත්තිකරු වූයේ එකල ඉඩම් සංවර්ධන අධ්‍යක්‍ෂක වූ ඩග්ලස් ලියනගේය. කුමන්ත්‍රණයට හවුල් වූ සිංහලයන් දොළොසක්ද ද්‍රවිඩයන් හය දෙනෙක්ද බර්ගර් ජාතිකයන් හයදෙනෙක් අධිකරණයට යොමු කෙරිණ.
චූදිතයන්ට දස අවුරුදු සිරදඬුවම් දී දේපොළ රාජසන්තක කෙරිණ.
එහෙත් එකල පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා නීති පද්ධතියේ දුර්වලකම් නිසා එංගලන්තයේ ප්‍රිවි කවුන්සලය නීති ප්‍රශ්නයක් මත ඔවුන් නිදහස් කළේය. කෙසේ වෙතත් 1962 කුමන්ත්‍රණය පිටුපස සිටි දේශපාලන චරිතයන් කිහිපයකගේ නම් හෙළිවිය.
පළමු විත්තිකරු වූ ඩග්ලස් ලියනගේට පසුව යුඇන්පී ආණ්ඩුවක් යටතේ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් පදවිය ලැබිණ.
එකල සෑම වසරකම පාර්ලිමේන්තු සැසිවාරයක් ඇරඹිමේ දී රජයේ අරමුණ සහ ප්‍රතිපත්ති ඇතුළත් “රාජාසන කථාව” ආණ්ඩුකාරවරයා විසින් කියවනු ලැබේ. අනතුරුව එය මැතිසබයේදී විවාද කොට සම්මත කරගැනීම පිළිවෙත විය.
එදා ශ්‍රීලනිපයේ උපනායක මෙන්ම සභාපති පදවි දැරුවේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසනය නියෝජනය කළ සී. පී. ද සිල්වාය.
ඔහු ඇතුළු හතර දෙනාගේ කල්ලිය ලෙස නම් කළ මන්ත්‍රීවරුන් හතර දෙනා විසින් ආණ්ඩුවේ රාජාසන කථාව වැඩි ඡන්දයෙන් පරාජය කරන ලදී. එය දේශපාලන වේදිකාවේ හැඳින්වූයේ පිටුපස්සෙන් සිට පිහියෙන් ඇනීමක් ලෙසයි.
කථානායකගේ ඡන්දය ද ගෙන වැඩි ඡන්ද එකකින් පරාජය වූ පසු පාර්ලිමේන්තුව විසුරුවාහැර 1965 දී පැවැත් වූ මහඡන්දයෙන් ඩඞ්ලි සේනානායකගේ යු.ඇන්.පිය සහ පෙඩරල් පක්ෂයද ඇතුළු හත් හවුල් රජය බිහිවිය.
1966 දී හත්හවුල් ආණ්ඩුවට එරෙහි රාජ්‍ය කුමන්ත්‍රණයක යෙදුණ යැයි පස්වසරක් පුරා යාපනයේ අණදෙන නිලධාරී ලෙස උතුරේ ආරක්ෂාව සඳහා අගනා මෙහෙයක් කළ හමුදාපති රිචඞ් උඩුගම ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගැනිණ.
රිචඞ් උඩුගම බණ්ඩාරනායක මැතිනියගේ ඥතියකු ද වූ අතර ඉහළ ශ්‍රේණිවල නොවූ හමුදා භටයන් රැසක් හා සිවිල් වැසියන් රැසක්ද චෝදනා ලැබුවෝය.
මෙහිදී අත් අඩංගුවට ගත් කෝප්රල් තිලකවර්ධන සහ දොඩම්පේ මුදලාලි යන අය රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරන අතරේම අද්භූත ලෙස මරණයට පත්වූහ. දොඩම්පෙ මුදලාලිගේ මරණය රහස් පොලිස් මුලස්ථානයේ හතරවෙනි තට්ටුවෙන් බිමට වැටී සිදු වූවක් බව රජය නිවේදනය කළත් එය මිනීමැරුමක් බව නීතිඥයෝ උසාවියට ඔප්පු කළහ.
ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක වූ හේන්පිටගෙදර ඥණසීහ හිමියෝ ප්‍රධාන චූදිතයා වූ අතර සිංහල බෞද්ධ නිලධාරින් රැසක්ම කුමන්ත්‍රණ චෝදනාවට ලක්වූහ. එම පිරිස අනිවාර්ය නිවාඩු ගන්වන ලදි. රිචඞ් උඩුගම මෙරට පළමුවන සිංහල බෞද්ධ හමුදා නායකයා විය.
එවකට අගවිනිසුරු පදවිය දැරූ ජී. පී. ඒ. ද සිල්වා ඇතුළු විනිසුරුවන් පස්දෙනකු ඉදිරියේ මෙම නඩුව වසර දෙකක් විභාග විණ. මෙහිදී විත්තිකරුවන් උදෙසා පෙනී සිටියේ ප්‍රකට නීති විශාරදයකු වූ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වාගේ නීතිඥ කණ්ඩායමයි.
සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ කළ සාක්‍ෂි මතම මෙම අවනඩුව ගොනු වී ඇති බව හෙළිවීම නිසා සියලු චූදිතයන් නිදහස් කෙරිණ.
මෙය ඇත්ත පුවත්පත මගින් ‘වැසිකිළි කුමන්ත්‍රණයක්’ ලෙස උපහාසයට පත්කරන ලදී.
වසර දෙකක් පුරා චූදිතයන්ගේ මුවින් සහ ව්‍යාජ සාක්‍ෂිවලින් කරුණු හෙළිදරව් කරගෙන කුමන්ත්‍රණ චෝදනාව ඔප්පු කිරීමට ආණ්ඩුවේ නීතිපති ඒ. සී. ඇම්. අමිර්ගේ මෙහෙයුමෙන් දැරූ සියලු ප්‍රයත්න ව්‍යර්ථ වූයේය.
1966 ජුලි 07 වැනිදා යුද හමුදාපති මේජර් ජනරාල් රිචඞ් උඩුගම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ලක්දිවට පැමිණියේ එංගලන්තයේ කළ සංචාරයකට පසුවය. යුද හමුදාවට අවශ්‍ය යුදමය උපකරණ පරීක්ෂා කිරීම සංචාරයේ අරමුණ විය. ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ පණිවුඩයක් ඔහුට ලැබිණ.
‘වහාම ලංකාවට පැමිණෙන්න”
ගුවන් තොටුපළෙන් බසිනවිටදී ඔහුට කිසිදු අනතුරක සේයාවක්වත් නොලැබිණි. ඔහු වටා පොලිස් නිලධාරීහු රොද බැඳගත්හ. පොලිස්පතිතුමාගේ අණ පරිදි ඔබ අත් අඩංගුවට ගන්නවා.
හදිසි නීති රෙගුලාසි යටතේ රඳවාගැනීමේ නියෝගයද සහිතව පොලිස්පති ජෝන් ආටිගල ඔහු අත් අඩංගුවට ගත්තේය.
පළමු විත්තිකරු වූ හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් ඇතුළු 28 දෙනා දිගින් දිගටම රිමාන්ඞ් බන්ධනාගාර ගත කළ අතර රිචඞ් උඩුගම ඔවුන්ගෙන් වෙන්කර වැලිකඩ මැගසින් බන්ධනාගාර ගත කෙරිණ.
කුමන්ත්‍රණකරුවන් අතර කපිතාන් සිගේරා හා මායාදුන්නේ යන නිලධාරිහුද වූහ.
1965 දෙසැම්බර් 01 වැනිදා සිට 1966 පෙබරවාරි 18 වැනිදා දක්වා රැජිනගේ ආණ්ඩුව යුද බලයෙන් පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම හා එම කාල සීමාව තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට සූදානම් වීම ප්‍රධාන චෝදනා යටතේ නඩු පැවරිණ.
නඩු විභාගය නැරඹීමට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඇතුළු ප්‍රභූවරු රැසක් පැමිණියහ. ප්‍රින්ස් ගුණසේකර, අනිල් මුණසිංහ සහ බැටී වීරකෝන් යන අධිනීතිඥවරු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි අය අතර වූහ.
නඩුව විභාගවූයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බී. ජී. එස්. ඬේවිඞ් මහතා ඉදිරියේය.
1959 දී අගමැති බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයද මෙරට ශෝකයෙන් හා බියෙන් ඇළලී ගිය කුමන්ත්‍රණයකි. 1971 දී ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවූ අප්‍රේල් කැරැල්ල ආයුධ සන්නද්ධව කළ අරගලකාරී දේශපාලන පියවරකි. මෙහි කැරලිකරුවන්ට නීත්‍යනුකූලව නඩු පැවරූ අතර බොහෝ පිරිස් පුනරුත්ථාපනය කර සමාජ ගත කෙරිණ. ජේ. ආර්. ජයවර්දන ජනපතිදුන් විසින් 71 කැරැල්ලේ නායකයන් නිදහස් කර හරින ලද නමුත් ඔවුන් යළිත් 1988 - 89 කාලයේ භීෂණ වාතාවරණයක් රටපුරා ඇතිකරමින් සන්නද්ධ අරගලයක් නිර්මාණය කළේය.
උතුරේ වෙනම ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා එල්.ටී.ටී.ඊ සංවිධානය ඇරඹූ අරගලය 88-89 වනවිට බිහිසුණු යුද්ධ වාතාවරණයක් ඇති කොට තිබිණ. මහජනතාව විසින් පත්කරගන්නා ලද නියෝජිතයන් මෙන්ම ආරක්ෂක හමුදාවත්, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකායන් සමූල ඝාතනය කොට මුළු රටම ලේ විලක් බවට පත්කර රාජ්‍ය බලය දිනාගැනීමට ආයුධ සන්නද්ද කුමන්ත්‍රණයක්ද වසර 30 ක් තිස්සේ මෝරායමින් තිබිණ.
2009 වසරේ මැයි 18 දින එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසු යුද වාතාවරණය වෙනුවට සමකාමී පරිසරයක් ඇතිකර ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය යළි ස්ථාපිත කිරීමට ජනපති මහින්ද රාජපක්ෂගේ රජයට හැකිවිය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රධාන පොදු පෙරමුණ මුහුණදුන් මහමැතිවරණයට සමගාමීව ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු වාර්තාවිය.
මේ වෙනුවෙන්ම හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් සිසිල් වෛද්‍යරත්න යළි සියරටට කැඳවූ බවටද තොරතුරු හෙළිවිය. මහමැතිවරණ සමයේදී පළාලි යුද කඳවුරේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලට යූ.ඇන්.පී අපේක්ෂකයන්ට වාසි වන ලෙස බලෙන් ඡන්ද පත්‍රිකා ඇතුළු කළ බවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරි බි්‍රගේඩියර් සරත් ෆොන්සේකාට ඇඟිල්ල දිගුවිය. මේ සඳහා ජනපතිනිය නිර්දේශ ලබාගැනීම සඳහා මහාධිකරණ විනිසුරු වූ ජී. එම්. සමරවීරගේ ප්‍රධානත්වයෙන් ඒක පුද්ගල කොමිසමක් පත්කළ අතර රහස් පොලිසිය පරීක්ෂණ මෙහෙයවිය. එහි නිර්දේශ පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය නොවීම විමතියට කරුණක් බව ජනතාව පවසති.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි