විධායක ජනාධිපතිවරයා වශයෙන් තමාට හිමි බලතල යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය අවසන් කොට නැවතත් එය රැස්වන දිනය ලෙස මැයි 08 වැනි දිනය නම් කොට තිබේ. එවැනි සැසිවාර කල් දැමීමක් සිදුවන්නේ රජය පාර්ලිමේන්තුව තුළදී දැඩි අසීරුතාවකට මුහුණ දෙන අවස්ථාවක දී එයින් ගැලවීමේ උපාය මාර්ගයක් ලෙසින් බව අතීත අත්දැකීම් අනුව අපට වටහාගත හැකිය. මෙම ලිපිය සැකසෙන්නේ එවැනි අවස්ථා කීපයක් ගෙනහැර දැක්වීම පිණිසය. දැඩි අර්බුදකාරී දේශපාලන වාතාවරණයක් ගොඩ නැගී තිබුණු එම අවස්ථා කීපයේ දී රජයට ලැබුණු අත්දැකීම් ද මෙහිලා වැදගත් වනු ඇත.
එක්දහස් නවසිය හැටේ ජූලියේ දී බලයට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රජය තම ප්‍රථම රාජාසන කථාවේදීම ජනතාවට ප්‍රකාශ කර සිටියේ මෙපරිද්දෙනි.
“මේ වසරේ මාර්තු සහ ජූලි මාසවල දී පවත්වන ලද මහා මැතිවරණයන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පත්‍ර කටයුතු කළ ආකාරය සොයා බැලීම සඳහා කොමිසන් සභාවක් පත් කරනු ලබනවා ඇත. ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමත් සීමාසහිත ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගමත් විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍ර රජයට පවරා ගැනීම සඳහා මගේ රජය ව්‍යවස්ථා සම්පාදනය කරනු ලබනවා ඇත. සීමා රහිත කොටස් ප්‍රාග්ධනයක් ඇත්තාවූද, අයිතිය බොහෝ දෙනා අතර විහිදී යන පරිදි පුද්ගලයෙකුට හිමිකරගත හැකි කොටස් ප්‍රමාණය සීමා කරනු ලබන්නාවූ ද ව්‍යවස්ථාපිත රාජ්‍ය සංස්ථාවලට මේ ප්‍රවෘත්ති පත්‍ර පවරනු ලබනවා ඇත. මෙරට ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තහවුරු කිරීමත් අයෝග්‍ය ඒකාධිකාරයක් තුළින් ප්‍රවෘත්ති පත්‍ර අනිසි අවි ලෙස යොදා ගැනීම වළක්වාලීමත් මේ නීති සම්පාදනය මගින් අපේක්ෂා කෙරේ.”
රාජාසන කතාවේ සඳහන් වූ ඉහත ප්‍රකාශය පරිදි පුවත්පත් පාලනය පිළිබඳව මහජන අදහස් ලබාගෙන නිර්දේශ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ත්‍රී පුද්ගල කොමිසන් සභාවක් 1963 සැප්තැම්බර් 25 වැනිදා පත්කරනු ලැබීය. වසරක පමණ කාලයක් ගතවන තෙක් කරන ලද සාක්‍ෂි විභාගයකින් පසු 1964 අගෝස්තු මාසයේ දී එම කොමිසමේ වාර්තාව නිකුත් විය. එහි ඇතුළත් වූ නිර්දේශ මෙසේ විය. “පුවත්පත් මණ්ඩලයක් සහ පුවත්පත් අධිකරණයක් පිහිටුවීම, සමූපකාර සංගමයක් පිහිටුවා සීමාසහිත ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම එයට පවරාදීම, සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පවරාගෙන සංස්ථාවක් යටතට පත් කිරීම” ආදිය ඇතුළත් විය.
මෙම යෝජනා ප්‍රකාශයට පත් වීමත් සමග ජනතාව නොසන්සුන් විය. තමන් සතු කතා කිරීමේ නිදහස අහිමි කිරීමේ ප්‍රයත්නයක් මෙම යෝජනා තුළ ගැබ්ව ඇතැයි ඔවුහු හඬ නැගුහ. මේ අතර වාරයේ රජයේ අයවැය ලේඛනය මගින් මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ද මහජනයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූවේය. එනම් අවශ්‍ය පුද්ගලයකුට තම ඉඩමේ පොල් ගසක් රා සඳහා මැද ගැනීමට අවසර දිය යුතු යැයි සඳහන් යෝජනාවයි. එය බෞද්ධ ඉගැන්වීම්වලට පටහැනියයි ද, එමගින් සුරාව බහුලවීමෙන් බුදු දහම විනාශව යනු ඇතැයි ද මහා සංඝරත්නයේ විග්‍රහය විය. සිය ගණනක් සංඝ සභා සහ මහජන රැලි පවත්වමින් පුවත්පත් පනතට සහ රා යෝජනාවට එරෙහිව ඒකාබද්ධ සටනක් දියත් විය. ජන මතයක් ගොඩ නැගුණි. දස දහස් ගණන් ජනයා සම්බන්ධ වූ මහා රැස්වීම් ප්‍රධාන නගරවල පැවැත්වුණි.
ප්‍රවෘත්ති පත්‍ර කොමිසන් සභාවේ අතුරු වාර්තාව 1964 ජූලි 27 වැනිදා නිකුත් විය. එය අග්‍රාණ්ඩුකාරවරයාට භාර දුන් අවස්ථාවේ සිටම වාගේ එම නිර්දේශ ඇතුළත් ප්‍රවෘත්ති පත්‍ර මණ්ඩල පනතක් සකස් කර උත්තර මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට රජය ක්‍රියා කළේය. 1964 ඔක්තෝබර් 6 වැනිදා එම පනත එම සභාවේ අනුමැතිය ලැබුණි. මේ පනත පාර්ලිමේන්තුවට (පහළ මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමේදී එය නිමා කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් ස්ථාවර නියෝග මගින් සැලසී ඇතිදැයි විපක්‍ෂයේ දෙවැන්නා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා සොයා බැලුවේය. එම ක්‍රියාවලිය ගැන ජේ. ආර්. ජයවර්ධන මහතා මෙසේ සටහන් කර ඇත “සෙනෙට් සභාවේ පනතක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවට ගෙන එනු ලබන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ස්ථාවර නියෝග අධ්‍යයනය කරගෙන යද්දී ස්ථාවර නියෝගවල 72සස සහ 77සස යන වගන්ති යටතේ පහත සඳහන් විධි විධාන යෙදී ඇති බව දැන ගතිමි. එනම් සෙනෙට් සභාවේ පනතක් කතානායකවරයා විසින් සභා මේසය මත තබනු ලබන බවත් මේ පනත ඉදිරිපත් කරනු ලබන්නේ කවරෙක්ද යනුවෙන් ඔහු ප්‍රශ්න කරනු ලබන බවත්ය. එම අවස්ථාවේ දී එය රජය විසින් සෙනෙට් සභාවට ඉදිරිපත් කරන ලද පනතක් වුවද රජයේ වේවා, විපක්‍ෂයේ වේවා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කවර හෝ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් “අපි පනත ඉදිරිපත් කරන්නෙමු” යැයි ප්‍රකාශ කරනු ලැබිය හැකි බවත් පනත සභා මේසය මත තැබූ දින පටන් දින පහකට නොඅඩුකාලයක් ඉක්මවන දිනක් පනත දෙවැනි වර කියවීමේ දිනය වශයෙන් ලිඛිතව සඳහන් කළ යුතු බවත් ඉහත සඳහන් ස්ථාවර නියෝගවල දක්වා තිබේ. මේ වූකලී රජයේ පනතක් විපක්‍ෂයේ මන්තීවරයෙකු විසින් වුවද ඉදිරිපත් කරනු ලැබිය හැකි වනසේ සැලසූ අරුම පුදුම කාර්ය පටිපාටියකැයි මම කල්පනා කළෙමි” ස්ථාවර නියෝගවලින් ඉඩ සැලසී තිබුණු අයුරින් ප්‍රයෝජනයට ගැනීමට ජේ. ආර්. තීරණය කළේය. උපක්‍රම සැලසුම් කළේය.
දැනට සෙනෙට් සභාවෙන් සම්මතව නුදුරු දිනක දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පැමිණෙන පුවත්පත් පනත ඉදිරිපත් කරන්නේ තමන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම් දෙන ලෙස එවකට පුත්තලම මන්ත්‍රී ඇම්. එච්. නයින මරික්කාර් මහතා (එ.ජා.ප) සහ හම්බන්තොට මන්ත්‍රී ලක්ෂ්මන් රාජපක්ෂ (ම.එ.පෙ) යන දෙදෙනාට පැවරුවේය. ඒ අනුව පනත ඉදිරිපත් කිරීම මරික්කාර් මහතාත් සිදු කරන බවත් දැක්වෙන ලියවිල්ලක් ඉතා රහසිගතව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන්නේය. එහි සඳහන් වූවේ පනත දෙවැනිවර කියවීම ඊළඟ වසරේ පෙබරවාරි 02 වැනි දින සිදුවිය යුතු යැයි සඳහන් කර තිබුණි.
පනත ඉදිරිපත් කිරීමේ වගකීම රජය මගින් පවරා තිබුණේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකයා සහ කම්කරු හා ජනසතු සේවා ඇමති ලෙස කටයුතු කළ මිනුවන්ගොඩ මන්ත්‍රී මයිකල් සිරිවර්ධන මහතා වෙතය. ඔහු එම පනත මැතිසභයට ඉදිරිපත් කළේය. කවදා පනත කියවිය හැකිදැයි කතානායක හියූ ප්‍රනාන්දු මහතා මයිකල් සිරිවර්ධන මහතාගෙන් විමසුවේය. ‘හෙට’ යැයි සිරිවර්ධන මහතා පිළිතුරු දුන්නේය. එය කාර්ය පටිපාටිමය වරදක් බව වටහා ගත් ජේ. ආර්. ජයවර්ධන මහතා නැවතත් ප්‍රශ්නයක් නගමින් ‘ඔබ කීවේ කවදා කියාදැයි” විමසුවේය. එම වරදම නැවතත් කරමින් දෙවැනි වර කියවීම හෙට සිදුකළ හැකියයි සිරිවර්ධන ඇමතිවරයා පිළිතුරු දුන්නේය. කිසියම් පනතක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමේදී ‘හෙට’ යනුවෙන් සඳහන් කිරීම අවිධිමත් ක්‍රියාවක් නොවේ. එහෙත් සෙනෙට් සභාවෙන් සම්මත කළ පනතක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යොමු කිරීමේ දී එය අවිධිමත් හා පටිපාටියට එකඟ නොවන ක්‍රියාවක් ලෙස සැලකෙන බව ජේ. ආර්. දැන සිටියේය. වහා නැගී සිටි ඔහු මේ බව පෙන්වා දුන්නේය. ඇමතිවරයා ස්ථාවර නියෝගවලට අනුව පනත ඉදිරිපත් කර නැති නිසා විපක්‍ෂ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ යොමු කිරීම පිළිගත යුතු යැයි ඔහු යෝජනා කළේය. එය කතානායක හියු ප්‍රනාන්දු මහතා පිළිගත්තේය. ඉක්මනින් පුවත්පත් මණ්ඩල පනත සම්මත කිරීම අපේක්ෂා කළ රජයේ පැතුම බොඳ වී ගියේය. පනත දෙවැනිවර විවාදය පෙබරවාරි දෙවැනිදාට කල් ගියේය. එය රජයට මරු පහරක් විය. ඒ නිසා ලේක්හවුස් ආයතනය හෙවත් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම රජයට පවරා ගැනීම සඳහා වෙනම පනතක් නැවත ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළේය. එය තවත් වරදක් විය. සමාන පරමාර්ථ ඇතිව ඉදිරිපත් වූ පනත් දෙකක් එකවිට න්‍යාය පත්‍රයට ඇතුළත් කළ නොහැකි බවට සභා රීතියක් පවතී. එය උල්ලංඝනය වී ඇති බව විපක්‍ෂය පෙන්වා දුන්නේය. රජය තවත් උගුලක හිරවුණි. මෙයින් බේරීමට ඇති එකම ක්‍රමය වශයෙන් සලකා පාර්ලිමේන්තු සැසිවාරය අහෝසිකර මැති සබය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළේය.
මැති සබාවාරය අහෝසි කරන්නේ එවිට ඉදිරිපත්ව ඇති අණ පනත් සියල්ල අවසන් කිරීමටය. එම පියවර ගතහොත් එදා පැවති ක්‍රමවේදය අනුව අග්‍රාණ්ඩුකාරවරයා ලවා රාජාසනයේ කථාව පැවැත්විය යුතුය. ඒ පිළිබඳ ස්තුති යෝජනාවක් පැවැත්විය යුතුය. එය ජයගත යුතුය. මේ අනුව පස්වැනි පාර්ලිමේන්තුවේ හයවැනි සැසිවාරය අග්‍රාණ්ඩුකාරවරයා විසින් විවෘත කරන ලද්දේ 1964 නොවැම්බර් 26 වැනිදාය. විවාදය අවසන් කළේ 1964 දෙසැම්බර් 3 වැනිදාය එම විවාදයේදී ඒ වනවිට ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නොමැත්තේය යනුවෙන් විපක්‍ෂයේ පොදු සංශෝධනයක් ඉදිරිපත් කර තිබුණි. එම පොදු සංශෝධනය එක් වැඩි ඡන්දයකින් සම්මත විය. එසේ වූයේ රජයේ දෙවැනියා ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු විපක්‍ෂය සමග එක් වූ නිසාය. එම පරාජය නිසා මැති සබය විසුරුවා හැරීමට සිදුවිය. 1965 මාර්තු 22 වැනිදා පැවති මැතිවරණයේ දී පැවති රජය පරාජය විය. පාර්ලිමේන්තු සැසිය අහෝසි කිරීමෙන් ඇති වූ මෙම භයානක ප්‍රථිඵලය එක්තරා විචාරකයෙකු විස්තර කළේ “එකක් කඩතොලු වසා ගන්නට ගොසින් සිදුවුණු කාරියා - දහක් කඩතොලු සදා ගන්නයි ඉඳුරුවේ ආචාරියා” යන උපහාසාත්මක කියමනෙකි.
එක් දහස් නවසිය හැත්තෑ හතේදී අති මහත් බහුතර බලයකින් යුතු රජයක් පිහිටුවීමට ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්‍ෂයට හැකිවිය. එම අති විශාල බලය අත දරා සිටි ජේ. ආර්. සමතුලිතතාවෙන් යුතුව තම බලය පක්‍ෂය තුළ පවත්වාගෙන ගියේය. 1978 දී දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සමීමත කොටගෙන විධායක ජනාධිපති ධුරයක් ස්ථාපනය කළේය. ඔහුගේ පාලන ක්‍රියා පිළිවෙත ගැන විපක්‍ෂයෙන් බොහෝ චෝදනා එල්ලවුවත් පක්‍ෂය අභ්‍යන්තරයේ ඔහුට චෝදනා කරන්නන් සිටියේ නැත. දෙවැනි ධුර කාලය අවසන්වීමෙන් පසු ඔහු කරළියෙන් බැස ගියේය. අනුප්‍රාප්තිකයා වූවේ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාය.
මතු සම්බන්ධයි.
සෝමසිරි වික්‍රමසිංහ