රට හදන තැන ගුටිකෙළි පුරාණයෙන්


 

කතානායක ධුරයේ කටයුතු ගැන ඇති මතභේද දුර දිග යමින් තිබේ. එය ජනතාවගේ පැත්තෙන් බලන විට නොසලකා සිටිය හැකි තත්ත්වයක් නොවේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය එම සභා රැස්වීම් වර්ජනය කර ඇත. එයට හේතුව ලෙස ඔවුන් ප්‍රකාශ කර තිබුණේ කතානායකවරයා කටයුතු කරන පක්‍ෂග්‍රාහී ආකාරය තමන් නොපිළිගන්නා බවයි. දැන් කතානායකවරයාගේ ක්‍රියා කලාපයේ කාරණයක් මත නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇති බව මාධ්‍ය වාර්තා කළේය. එය කතානායක ධුරයට අදාළව සැලකීමේදී අතිශය බරපතළ තත්ත්වයකි. මෙයට පෙර කතානායකවරුන්ගේ පෞද්ගලික හැසිරීම් හෝ වෙනත් පෞද්ගලික කරුණු අරබයා නඩු පැවරීමේ අවස්ථා එකක් හෝ දෙකක් සිදුව ඇතිවා විය හැකි නමුදු ධුරයේ ක්‍රියා කළ ආකාරය ගැන උසාවියේ අභියෝගයට ලක් කර ඇතැයි මම නොසිතමි. එයින්ම මෙම සිදුවීමේ බරපතළකම මනාව විද්‍යමාන වේ.


පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවිය යුතු ආකාරයට මග පෙන්වන ස්ථාවර නියෝග මාලාවේ පළමුවැනි වගන්තියේ මුළුමනින්ම විස්තර කෙරෙන්නේ කතානායකවරයකු පත් කර ගන්නා ආකාරය, ප්‍රතිඥා දීම, නියෝජ්‍ය කතානායක යන කාරක සභා උප සභාපති පත් කර ගැනීම ආදි කරුණු සම්බන්ධයෙන්ම වෙන්ව තිබේ. රාජ්‍ය ධුරාවලියට අනුව තුන්වැනි පුරවැසියා වශයෙන්ද සම්මානයට පත්වන මෙම තනතුර සුවිශේෂීවම මධ්‍යස්ථ හා අපක්‍ෂපාතව රාජකාරි කරනු ඇතැයි ජනතාව අපේක්‍ෂා කරයි. මෙහිදී තවත් පැත්තක් මෙසේ දැක්විය හැකිය. හැටේ දශකයේ මුල භාගයේදී මම එක්තරා විකල්ප පුවත්පතක සේවය කළෙමි. රටේ ප්‍රකට පුවත්පත් කලාවේදියකු වූ එහි කතුවරයා වූ බී. ඒ. සිරිවර්ධන මහතා දිනක් මෙසේ ලීවේය. අපේ රටේ සියලු පුවත්පත් කතුවරු තමන් මධ්‍යස්ථ යැයි කියති. එහෙත් මාත් මගේ පත්‍රයත් අපක්‍ෂපාතී නැත. අපි අත්‍යන්තයෙන්ම ජනතාවට පක්‍ෂ වෙමු. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නෙමු.” වත්මන් කතානායකවරයා කටයුතු කරන්නේ එම න්‍යාය අනුව යැයි මම විටෙක අනුමාන කරමි.


කණ්ඩායමක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම යනු සුළුපටු තත්ත්වයක් නොවේ. එහි බරපතළකම දැක් වූ ප්‍රධාන අවස්ථාවක් වූවේ හයවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒකීය රාජ්‍යයකට පක්‍ෂපාතී වීමේ ප්‍රතිඥාව දීම ප්‍රතික්‍ෂේප කරමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තම මන්ත්‍රී ධුර අහෝසිවීමට ඉඩ සැලැස්වූ සිදුවීමයි. එම සිද්ධිය ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා මහත් අසීරුවට පත් කළේය. එහි අර්ථය වූවේ මැතිසබය තුළ දෙමළ ජනතාව නියෝජනය නොවන බවයි. එම සිදුවීම මගින් ඛගඔගඔගෑ යේ උතුරේ පාලනයට යම් නිල තත්ත්වයක් හිමි වූ බව කියැවුණි. ඒ මන්ත්‍රීවරු දාහතර දෙනකුගේ ඉවත් වීම දේශපාලන ක්ෂේත්‍රයට දැනුණු ආකාරයයි. 


වර්තමානයේදී රටෙන් අඩක් පමණ මැතිසබයේ නියෝජනය නොවන වාතාවරණයක් තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්වීම වැළැක්විය නොහැක. “කැමති නම් වරෙල්ලා, නැති නම් නිකා හිටපල්ලා” යැයි සිතා සිටිනුයේ නම් ජනතාවගෙන් විශාල කොටසක් ද ඒ ආකාරයෙන්ම ඈත් වීම වැළැක්විය නොහැක.


කෙසේ වුවත් මෙම ලිපිය මගින් අපේක්‍ෂා කරනුයේ කතානායකවරයකු පත් කර ගැනීම උදෙසා පැවැත් වූ ප්‍රථම සභා රැස්වීමකදී ඇති වූ අලකලංචියක් පිළිබඳ සිදුවීමක් ඔබේ මතකයට නැංවීමටයි. බොහෝ විට නිතරගයෙන් කතානායකවරයකු පත්කර ගන්නා චාරිත්‍රයක් ඇති බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරන අපේ රටේ, එම අවස්ථාව ගුටිබැට හුවමාරු පමණක් නොව සමහර මන්ත්‍රීවරුන්ට ශල්‍යකර්ම පවා සිදුවන ආකාරයට ප්‍රචණ්ඩ වූ ආකාරය පුදුමසහගතය. මේ දිගහැරෙන්නේ එම කතා පුවතයි.
මහා මැතිවරණයකින් පසුව ප්‍රථම වතාවට රැස්වෙන නව මන්ත්‍රී මණ්ඩලයේ මුල්ම කාර්්‍යභාරය විය යුත්තේ නව කතානායකවරයකු පත් කර ගැනීම බව ස්ථාවර නියෝග අංක එක වගන්තියේ සඳහන් වේ. 2004 මහා මැතිවරණයේදී පත් වූ නව මන්ත්‍රී මණ්ඩලයද එම ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් නව කතානායකවරයකු පත් කර ගැනීමට නියමිත විය. එකල ජනාධිපති පදවිය දැරූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට අවශ්‍යව තිබුණේ පොදුජන එක්සත් පෙරමුණෙන් පත්ව සිටි කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා එම තනතුරට පත් කර ගැනීමටය. දිනක් දුරකථනයෙන් ඩිව් ගුණසේකර මහතා ඇමතූ ජනාධිපතිනිය මෙම අදහස ඉදිරිපත් කළාය. එහෙත් ඩිව් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය ඇය බලාපොරොත්තු වූ ආකාරයට නොවූවේය. ගත්කටටම තනතුරුවලට එකඟවීමේ ක්‍රියාමාර්ගය මාක්ස්වාදීහු අනුගමනය නොකරති. 

 


ඔවුන්ගේ දර්ශනය වෙනත් අයුරකින් විය. ජනාධිපතිතුමියනි, මට එයට එක්වරම පිළිතුරක් දීමට අමාරුයි. මම ඒ සඳහා පක්‍ෂයෙන් අවසර ගත යුතුයි. පක්‍ෂයේ අවසරය දුන්නත් එය භාර ගැනීම පෞද්ගලිකව මට ගැටලුවක් තිබෙනවා. එය නම් මම මේ තනතුර භාර ගත්තොත් මගේ දේශපාලන ජීවිතය එතෙකින් අවසාන වෙනවා. මෙම පදවිය දරමින් දේශපාලන කටයුතු කරන්නට බැරි නිසා මට මගේ පක්‍ෂය අතහැර දමන්නට සිදුවෙනවා. 


කිසි සේත්ම එය කරන්නට මගේ සිත මට ඉඩ දෙන්නේ නැහැ. එහෙත් ඔබතුමිය කියන නිසා මම මේ ගැන පක්‍ෂයෙන් විමසා බලන්නම් ඩිව් පිළිතුරු දුන්නේය. මේ වචනවලින්ම නොවුනත් ඔහුගේ පිළිතුරේ ගැබ්ව තිබුණේ මෙම අර්ථයයි. කෙසේ වුවත් පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය රැස්කරන ලදුව ජනාධිපතිනියගේ අදහස එහි විමසිල්ලට භාජනය කරනු ලැබීය. එහි ස්ථාවරය වූවේ ද ඩිව් ගුණසේකර මහතා දැරූ මතයමය. කෙසේ වුවත් රාජ්‍ය නායිකාව කොමියුනිස්ට් පක්‍ෂයට ගෞරවයක් වශයෙන් පිරිනමා ඇති මෙම උසස් තනතුර එකහෙළාම ප්‍රතික්‍ෂේප කිරීම උචිත නොවන බවද සැලකූ දේශපාලන මණ්ඩලය මෙම කාරණයේදී ජනාධිපතිවරිය ද අසීරුවට පත් නොවන අයුරින් සලකා බලා ඉතා කෙටි කාලයක් පමණක් කතානායක ධුරය දැරීමට සිය ප්‍රධාන ලේකම්වරයාට අවසර දුන්නේය. මෙම පිළිතුර ලැබීමෙන් පසු ජනාධිපතිවරිය සැනසුම් සුසුමක් හෙළුවාය.
ඉතා සුළු බහුතරයක් ඇතිව රට කරගෙන යාමට සූදානම්ව සිටින ආණ්ඩුවට මෙම තනතුර දිනා ගැනීම සඳහා විශාල ඡන්ද මෙහෙයුමක් දියත් කිරීමට සිදුව තිබුණි. විපක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් නම් කර තිබුණේ ඉතා සුන්දර මිනිසකු ලෙස නම් දරා සිටි අධිනීතීඥ වි.ජ.මු. ලොකු බණ්ඩාරයන්ය. ඉතිහාසය, බෞද්ධ දර්ශනය වැනි ගැඹුරු කරුණු කාරණා ගැන මනා දැනුමකින් හෙබි වි.ජ.මු. කවිය, සාහිත්‍ය කලාව ගැනද පරතෙරට දැන සිටි රසවතෙකි. ඔහුගේ කතාබහද රස වෑහෙන්නකි.


මෙම වකවානුවේ පාර්ලිමේන්තුව තුළ තීරණාත්මක බලවේගය බවට පත්ව තිබුණේ ආසන නවයක් අතැතිව සිටි ජාතික හෙළ උරුමය පක්‍ෂයයි. එම මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා වූ නිසා මාක්ස්වාදියකු හා කොමියුනිස්ට් පක්‍ෂ නායකයාද වන ඩිව් ගුණසේකර මහතාට වඩා උන්වහන්සේලාගේ සහාය වි.ජ.මු.ට නැඹුරුවීම බලාපොරොත්තු විය හැක්කක්ව තිබුණි. ඒ නිසා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තර්කානුකූලව තක්සේරු කර තිබුණේ ජාතිකවාදී ප්‍රතිපත්තියකට අනුගත නොවී දේශපාලනයේ නිරත වන ඩිව් ගුණසේකර මහතාට ද්‍රවිඩ සහ මුස්ලිම් පක්‍ෂවල ඡන්ද නිසැකවම ලබාගත හැකි බවයි. 


එය ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදි අනුමාන කිරීමකි. එහෙත් ලංකාවේ දේශපාලනය හැසිරෙන්නේ ප්‍රතිපත්ති මත නොව පොදු හතුරාට විරුද්ධව බව ඇය වටහාගෙන නොසිටියාය. ඩිව් ගුණසේකර මහතා දේශපාලන භේදයෙන් තොරව කාටත් ආශ්‍රය කළ හැකි සුහද මිත්‍රයෙකි. වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ද සරල සුන්දර මිනිසෙකි. මේ දෙදෙනා කල්‍යාණ මිතුරෝ වූහ. ඩිව් කතානායක තනතුර සඳහා ඉදිරිපත් වන බව වි.ජ.මු.ට දැනගන්නට ලැබී තිබිණ. ඔහු මිතුරා ඇමතුවේය. මචෝ උඹ කතානායක ධුරයට තරග කරනවා කියලා ආරංචියි. ඒක ඇත්තද? කියා විමසුවේය. 


එවැනි යෝජනාවක් තිබෙනවා. ඒත් මම තවම තීරණයක් අරන් නෑ.” ඩිව් බාගෙට පිළිතුරක් දුන්නේය. රහසින් මෙන් පැවති ඡන්ද ව්‍යාපාරය කලඑළියට පැමිණියේය. තරගය උග්‍රය. ඒ නිසා සෑම ඡන්දයක්ම වැදගත්ය. තීරණාත්මකය. ජනාධිපතිනිය ද සටනට බැස්සාය. ඡන්දයට පෙර දා ඩිව් ඇමතූ ඇය හෙළ උරුමයේ හිමිවරුන් හමුවීමට යාමට අවශ්‍ය බවත්, ඒ සඳහා සූදානම් වන ලෙසත් දැන්වූවාය. තමාද එන බවත් පැවසුවාය.


යම් කිසි ස්ථානයකදී ඔව්හු මුණගැසී සාකච්ඡා කළහ. මන්ත්‍රී හිමිවරුන් වහන්සේලා සියලු දෙනාද එහි වැඩ සිටියහ. ජනාධිපතිනියද පැමිණියාය. සාකච්ඡා සාර්ථකය. තම ඡන්ද සියල්ලම ඩිව් ගුණසේකර මහතාට ලබා දෙන බවට හිමිවරු සපථ කළහ. එපමණක් නොව පිරිත් පැන් ලබාදී පිරිත් නූල් බැඳ ඩිව් ගුණසේකරයන්ගේ ජයග්‍රහණය පතා ආශිර්වාද කළහ.


පසු දින උදේ පාර්ලිමේන්තුව රැස්වූවේ නව කතානායකවරයා තෝරාපත් කර ගැනීමේ අපේක්‍ෂාවෙනි. එහෙත් සභා ගර්භය පුරාම පැවතියේ අවිනිශ්චිත බවකි. කුමකින් කුමක් සිදුවේද යන කුතුහලය සෑම මුහුණකම රැඳී තිබුණි. කෙසේ හෝ තනතුර තම පාර්ශ්වයට ලබාගත යුතු යැයි හැඟීමෙන් කටයුතු කළ අයද වූහ. යම් උණුසුම් මුහුණුවරක් ඇති වන ලකුණු නොයෙක් අතින් දක්නට ලැබුණි. පාර්ලිමේන්තු මහ ලේකම් ප්‍රියානි විජේසේකර මහත්මිය ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කළාය. 


ස්ථාවර නියෝගවලට අනුව කටයුතු සිදුවිය යුතු ආකාරය ඇය හොඳින් දැන සිටි අතර, තම නිලධාරීන් ඒ අනුව මෙහෙයවීමට වග බලා ගත්තාය. ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නැගී සිට නව කතානායක ධුරය සඳහා ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් කොමියුනිස්ට් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතාගේ නම යෝජනා කළේය. මන්ත්‍රී විමල් වීරවංශ මහතා එම යෝජනාව ස්ථිර කළේය. විරුද්ධ පක්‍ෂය පැත්තෙන් වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ නම ඉදිරිපත් විය. යෝජනා ස්ථිර විය. ඊළඟට නියමිත වූවේ ඡන්ද විමසුමයි. තියුණු තරගයකි. පොරොන්දු වූ පරිදි හෝ ප්‍රතිපත්තිමය වශයෙන් විය යුතු දේ සිදු නොවන බව පෙනෙන්නට තිබුණු සත්‍යය විය. කතානායක නිලවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. අපේක්‍ෂකයන් දෙදෙනාටම ඡන්ද එකසිය අට බැගින් ලැබී තිබුණි.


මේ වන විට මැතිසබය මුළුමනින්ම යුද පිටියක් බවට පත්ව තිබුණි. සමහර මන්ත්‍රීවරු එකිනෙකාට අභියෝග කර ගනිති. වහසි බස් දොඩති. සභා ගර්භය මැදට පැමිණ ඝෝෂා කරති. බැණ ගනිති. පරුෂ වචන ද දොඩති. ගුටි ඇන ගනිති. මේ කතානායකවරයකු තෝරා ගැනීමේදී සාමාන්‍ය වශයෙන් සිදුවන දේ නොවේ. ඡන්ද සංඛ්‍යාව සමවීම නිසා කතානායකවරයකු පත් කර ගැනීමට නොහැකි වූයෙන් තවත් ඡන්ද විමසීමකට යාමට සිදුව තිබේ. 


දෙවැනි වටයද ආරම්භ විය. එවිටද කලබල ගතිය එසේම පැවතුණි. ප්‍රධාන ධාරාවේ පක්‍ෂවල මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ප්‍රකාශ කර අවසාන විය. කලින් වතාවේ නිහඬව සිටි හෙළ උරුමයේ ස්වාමීන්වහන්සේලා දෙනමක් ඡන්දය දීමට ඉදිරියට වැඩියහ. උඩුවේ ධම්මාලෝක හිමියන් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩියේ ඩිව් ගුණසේකර මහතාගේ අසුන පසු කරමිනි. ඒ හිමියෝ ඩිව්ගේ හිස අත ගා ජයග්‍රහණය පිණිස ආශිර්වාද කළහ. 

 


අවසාන ප්‍රතිඵලය වූවේ එක් වැඩි ඡන්දයකින් ඩිව් ගුණසේකර මහතා පරාජය වී වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා ජයග්‍රහණය ලැබීමය. මෙයින් පසු ඇතිවුණු ගුටි කෙළිය පාර්ලිමේන්තු ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඇති වූ අවාසනාවන්තම තත්ත්වයක් බව සටහන්ව තිබේ. පසුගිය දිනවලත් බොහෝ විට කලබලකාරී සිදුවීම්වලින් ගහණව පැවති මැතිසබයේ කටයුතු දකින විට මෙම කතානායක තේරීමේ අතිශය භයානක අවස්ථාව සිහියට නැගුණේ නිරායාසයෙනි. එම කලබලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කොලොන්නාවේ සුමංගල හිමියෝ බරපතළ අතවරයකට මුහුණ දුන්හ. එකල පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්තරා දඩබ්බර මන්ත්‍රීවරයකුගේ අවිනීත ක්‍රියාවක් නිසා එම හිමියෝ බලවත් ලෙස රෝගාතුරව රෝහල් ගත වූහ. 


පසුව ශල්‍යකර්මයකට භාජනය වූහ. සුමුදු ජීවිතයකට හුරු වී සිටින නායක ස්වාමීන්වහන්සේලාට දේශපාලන ක්ෂේත්‍රය වැනි කටුක පරිසරයක අත්දැකීම් විඳීම පහසු නොවන බව උන්වහන්සේලාට පසක් වූවා වැනිය. ක්‍රමයෙන් එතුමෝ කරළියෙන් පසු බා ගියහ. එම සංඝයා වහන්සේලා පිරිසෙන් දේශපාලන බිමේ වැඩ වසන්නේ අතුරළියේ රතන හිමියන් පමණි. උන්වහන්සේටද පෙර කී අයුරින්ම දේශපාලනය එපා වී ඇතැයි අනුමාන කළ හැකිය.


එදත් අදත් කවදත් මැතිසබය ගැටුම්වලින් තොර වූවේ නැත. මන්දයත් ආණ්ඩුව හා විපක්‍ෂය යනුවෙන් මතභේදයක් නිරන්තරයෙන්ම එහි රජ කරන නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය අරුත් වෙන්නේ ඒ ආකාරයටය. කතානායක ධුරයට කෙනෙකු පත් කර ගැනීමේ අතිසාමකාමී චාරිත්‍රානුකූල අවස්ථාවක් ගෙවුණේ එසේ නම් මතභේදකාරී අවස්ථාවන් ගැන කියනුම කවරේද? මෙවැනි ගැටුම් සහිතව ධුරයට පත්වුවත් වි.ජ.මු. ලොකුබණ්ඩාර කතානායකවරයා ඉතා සාමකාමීව සහ සුහදශීලීව සම්පූර්ණ නිලකාලය ගෙවා ගැනීමට සමත් වූ බවද මෙහිලා සඳහන් කරනුයේ “උපාය දන්නෝ අපායේ නොවැටෙති” යන පැරණි කියමනට නව අර්ථකථනයක් සපයමිනි.

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි