ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත කර වසර හැත්තෑවක් ගතවීම පසුගිය සතියට යෙදී තිබණු සුවිශේෂි සිද්ධියකි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ උත්සවයක් පැවති බවත් එහිදි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශේෂ දේශනයන් කළ බවත් මාධ්‍යවල පළවිය.පාර්ලිමේන්තු ක්‍රමය තුළ රටක් පාලනය වීම යනුවෙන් අදහස් කරනුයේ එම දීර්ඝ කාල පරිච්ඡේදය පුරා එම රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යාය අනුගමනය කළ බවයි. සියයට සියයක් නිවැරැදිව ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත පාලනය වන රටක් ලෝකයේ ඇතිද යනු සැක සහිත කරුණකි. මක් නිසාද යත් රටක පාලනය ඒ අයුරින් ගෙන යාම ප්‍රායෝගික නොවන ක්‍රියාමාර්ගයක් වන බැවිනි. සියලු කරුණු සම්බන්ධයෙන් රටේ මුළු මහත් ජනතාවම කැඳවා අදහස් විමසා තීන්දු තීරණ ගැනීම් ප්‍රායෝගිකව කළ නොහැක්කක් බැවිනි.
එහෙත් මෙම ක්‍රමය ආරම්භ වී ඇති ග්‍රීසියේ පුරවර රාජ්‍යයන්හි එසේ කටයුතු සිදුවූ බව කියවේ. මෙම නගර රාජ්‍යයන්හි සිටියේ සීමිත ජන සංඛ්‍යාවක් නිසා ඔවුන් සියලු දෙනාම එක් තැනකට කැඳවා තීරණ ගැනීම අපහසු නොවීය. ඇතන්ස්, ඔලිම්පියා ආදි රාජ්‍යවලට මෙම ප්‍රතිපත්තිය අනුව කටයුතු කළ හැකිවුවත් විශාල රටවලට ඒ අනුව ක්‍රියා කළ නොහැකි විය. එනිසා එයට සරිලන පරිදි රටේ සියලු පුරවැසියන්ගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයන්ගේ බහුතර කැමැත්ත මත රාජ්‍ය පාලනය හා ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ කාර්යභාරය සිදුකිරීමේ ක්‍රමය නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය නමින් හැඳින්වුනි. දැනට ලෝකයේ බොහෝ රටවල මෙම සංකල්පය ක්‍රියාත්මක වේ.
ලංකාවට මෙම පාර්ලිමේන්තු ආණ්ඩු ව්‍යුහය ලැබුණේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් භාවයෙන් නිදහස ලබද්දී ලැබුණු දායාදයක් වශයෙනි. අද අප හැත්තෑ වසරක සංවත්සරය යනුවෙන් සමරනු ලබන්නේ එම දායාදයේ සංවත්සරයයි. 1947 ජූනි 18 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විශේෂ සැසිවාරයක් කැඳවූ එවකට බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් හෙන්රි මන්ක් මේෂන් මුවර් බි්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය සහිතව සම්පුර්ණ වගකීම් ඇති ආණ්ඩුක්‍රමයක් ලංකාවට ලබාදීමට බි්‍රතාන්‍යයේ හයවැනි ජෝර්ජ් මහරජාණන් වහන්සේගේ ආණ්ඩුව තීරණය කර ඇතැයි නිවේදනය කළේය.
මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට ඉඩ සැලසෙන පරිදි රාජ්‍ය මන්ත්‍රණ සභාව 1947 ජූලි 24 වැනිදා විසුරුවා හරින ලදි. ඉන් පසුව වැඩි බලතල සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවන ලබන බවද ප්‍රකාශයට පත්විය. මෙම නව සභාවට නීතිමය පසුබිම් සැකසුණේ සෝල්බරි සාමි ගේ සභාපතිත්වයෙන් සහ ජේ. ඇෆ්. රීස්, එෆ්. ජේ. බරොස් යන මහතුන් දෙදෙනාගේන් සැදුම්ලත් කොමිෂන් සභාවේ නිර්දේශ අනුවය. එම කොමිසන් සභාවාර්තාව 1945 ජූලි 11 වැනිදා නිකුත් වූ අතර එමගින් පාර්ලිමේන්තුව නමැති ආයතනය මේ රටේ ස්ථාපනය කරන ලදී. එය ආරම්භයේදී සභා දෙකකින් සමන්විත වූ අතර මහජන ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ගේ සභාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යැයි නම් කෙරුණි. මහජන ඡන්දයෙන් පත්විය නොහැකි එහෙත් විවිධ ක්‍ෂේත්‍රයන් පිළිබඳ මනා දැනුමකින් යුතු අයගේ උපදේශක මට්ටමේ සේවය ලබාගැනීම සඳහා උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව පිහිටුවන ලදී.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මන්ත්‍රීවරුන් 101 දෙනෙකුගෙන් සමන්විත වූවේය. එයින් හය දෙනෙක් සුළු ජාතීන් නියෝජනය කිරීම වෙනුවෙන් අගමැතිගේ නිර්දේශය මත අග්‍රාණ්ඩුකාර තුමා විසින් පත් කරන ලදී. ආසන 89කින් මන්ත්‍රීන් 95 දෙනෙකු පත්කර එවීම සිදුවිය. ආරම්භක පාර්ලිමේන්තුවේ මැද කොළඹ අසුනින් මන්ත්‍රීවරු තිදෙනක්ද අම්බලන්ගොඩ, බළපිටිය, බදුල්ල, බළංගොඩ, කඩුගන්නාව යන ආසනවලින් මන්ත්‍රීවරුන් දෙදෙනා බැගින්ද පත්කර ගැනීමට නියමිත විය. සර්වජන ඡන්ද බලය හිමිවී තිබුණු බැවින් පැවති තත්ත්වයේ හැටියට මෙය ඉතා හොඳ ක්‍රමයක් ලෙස බොහෝ දෙනා සලකනු ලැබීය.
උත්තර මන්ත්‍රි මණ්ඩලය මන්ත්‍රීවරුන් තිස් දෙනෙකුගෙන් සමන්විත විය. එයින් 15 දෙනෙකු අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත්කරන ලදි. ඉතිරි පහළොස් දෙනා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්කර ගත යුතුවිය. මෙකී මණ්ඩලයට පත්වීම සඳහා වයස අවුරුදු තිස් පහට වැඩිවිය යුතුය. එමෙන්ම විශිෂ්ට රාජ්‍ය සේවයක් ඉටු කළා වූ අය හෝ අධ්‍යාපනය, නීතිය, වෛද්‍ය, කර්මාන්ත හෝ ඉංජිනේරු ශිල්පය විද්‍යාව, බැංකු වෘත්තීය, යන ක්‍ෂේත්‍රයන් ගැන නිපුණ දැනුමකින් හෙබි අය පත්කරනු ලැබුවේ අග්‍රාණ්ඩුකාර තුමා විසිනි.
මුදල් පනතක් සංශෝධනය කිරීමට හෝ ප්‍රතික්‍ෂේප කිරීමට බලයක් සෙනෙට් සභාවට නොතිබුණි. එහෙත් මාසයක් පමා කිරීමට එයට හැකිවිය. එහෙත් පනත් ඉදිරිපත් කිරීමේ බලය සෙනෙට් සභාවට පවරා තිබුණි. ආරම්භයේ සිටම වාමාංශික මන්ත්‍රීවරුන් මෙම සෙනෙට් සභාව පවත්වාගෙන යාමට විරුද්ධ වූහ. ඔවුන් කියා සිටියේ එය අනවශ්‍ය අංගයක් බවයි. එමෙන්ම එය රටට අනවශ්‍ය බරක් බවද ඔව්හු ප්‍රකාශ කළහ. මෙහි වඩාත්ම අවධානයට ගත යුතු සිද්ධිය වන්නේ 1947 දී ලංකා සම සමාජ පක්‍ෂය නියෝජනය කරමින් පත්වූ ප්‍රථම සෙනෙට් සභිකයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව වූයේ සෙනෙට් සභාව අහෝසි කරන ලෙසය. 1972 දී පළමුවන ජනරජ ව්‍යවස්ථාව පැනවීමේදී ද්විතීය සභාව ගැන සඳහනක් නොවුණි.
1947 දී ක්‍රියාත්මක කළ සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය 1972 දක්වා ක්‍රියාත්මක විය. ඩී. ඇස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක යන අගමැතිවරු ජනතා වරමින් ජනතාව විසින් තමන්ට ලබාදෙන ලද පාර්ලිමේන්තු බලය උපයෝගී කර ගනිමින් රට පාලනය කළහ. මෙම කාලවකවානුව තුළ සිදුවූ පාර්ලිමේන්තුවේ තුළ පිල් මාරු කිරීමක් නිසා 1964 දෙසැම්බර් තුන්වැනිදා පැවති රජය පෙරළා දැමුණු අවස්ථාවක්ද අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ සටහන්ව තිබේ.
එයට සමාන අවස්ථාවක් එයට පෙරද දක්නට ලැබුණා වුවත් එම සිද්ධි දෙක සමස්තයක් වශයෙන්ම සමාන නොවේ. බහුතර බලයක් නොමැතිව පිහිටුවන ලද 1960 මාර්තු 19 වැනිදා පැවැති මැතිවරණයෙන් පසු බිහිවූ රජය පැවතියේ දින තිස් තුනක් පමණකි. ඒ මේ රටේ හතරවැනි පාර්ලිමේන්තුවයි.
ලංකාවේ පස්වැනි පාර්ලිමේන්තුව ආරම්භ වූයේ ලෝක වාර්තාවක්ද සමගය. ඒ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය අපේ රටෙන් බිහිවීමයි. 1960 ජූලි මහා මැතිවරණයෙන් බලයට පත්වූයේ ජයග්‍රාහී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. තමා නායකත්වය දුන් පක්‍ෂය බලයට පත්වුවත් ඇයට අගමැති පදවිය භාරදීමට නොහැකි ව්‍යවස්ථාමය ගැටලුවක් පැන නැගුණි. එයට හේතු වූයේ ඇය පක්‍ෂයට නායකත්වය දුන්නා වුවද ආසනයක් තරගකර පාර්ලිමේන්තු අසුනක් නියෝජනය නොකිරීමයි. එය බලවත් ගැටලුවක් වූ නමුදු ආණ්ඩු ක්‍රමය පිළිබඳ විශාරදයින්ගේ උපදෙස් අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති තනතුර භාරගෙන මාස තුනක් ඇතුළත උත්තර මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතවරියක ලෙස පත්වීම් ලැබුවාය. එකල ද්වි මණ්ඩල ක්‍රමයක් පැවතීමේ වාසිය නිසැකවම ඇය ලබා ගත්තාය.
1972 සම්මත කරන ලද ජනරජ ව්‍යවස්ථාවට අනුව එතෙක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යැයි හැඳින්වුණු පාර්ලිමේන්තුවේ පහළ මණ්ඩලය ජාතික රාජ්‍ය සභාව යැයි නම් කෙරුණි. ආරම්භයේ සිටම පාර්ලිමේන්තුවක ධූර කාලය ලෙස නියම කර තිබුණේ අවුරුදු පහකි. එය නිම වන දිනයේම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදුව නාමයෝජයා භාරගෙන නැවත මැතිවරණයක් පැවැත්විය යුතු විය. 1970 මැයි 27 වැනිදා බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කර සකස් කරන ලද ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලද්දේ 1972 මැයි 22දාය. ඒ වනවිට රජයේ නිල කාලය වසර දෙකක් ගෙවා නිම කර තිබුණත් නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දින සිට වසර පහක් එම සභාව පවතින බව එහි සඳහන් විය. ඒ අනුව එම පාර්ලිමේන්තුවේ නිල ආයු කාලය අවුරුදු හතක් විය. මෙම සිදුවීම මහත් ආන්දෝලනයකට හේතු වුවාක් මෙන්ම පවතින රජයට බරපතල චෝදනා එල්ල විය. එනිසා ඊළඟ මැතිවරණය පැවැත්වූයේ 1977 ජූලි මාසයේය. එහිදී දරුණු පරාජයකට මුහුණ දීමට එම රජයට සිදුවිය. 2/3ක ඇති බහුතර බලයක් හිමිව සිටි එකී රජයට එම මැතිවරණයෙන් හිමිවූයේ ආසන අටක් පමණි. එනිසා විපක්‍ෂ නායකත්වය පවා එම පක්‍ෂයට අහිමිවූ අතර අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයක් ප්‍රථම වරට විපක්‍ෂ නායක ධුරය උතුරේ ද්‍රවිඩ එක්සත් පෙරමුණට හිමිවිය. එතෙක් කලක් එවැන්නක් සිදුව නොතිබුණි.
හැත්තෑ හතේ ජයගත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ එක්සත් ජාතික පක්ෂ රජය 72 ජනරජ ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති ධුරයක් සහ අනුපාතික මැතිවරණ ක්‍රමයක්ද හඳුන්වා දෙන ලදී. ජාතික රාජ්‍ය සභාව යන නාමය නැවත වෙනස් කර පාර්ලිමේන්තුව යැයි නම් කරන ලදී. මෙම නව හඳුන්වාදීම හතළිස් වසරකට ආසන්න කාලයක් තිස්සේ නොයෙකුත් විවේචනයන්ට භාජනය වෙමින් වුවද ක්‍රියාත්මක වෙමින් තිබේ. 1977 බලයට පත්වූ රජයේ ආයු කාලය වසර හතකදී එනම් 1984 දී නිමවීමට නියමිතව තිබියදී ගෙනෙන ලද ව්‍යවස්ථා සංශෝධනයක් උපයෝගී කර ගනිමින් තවත් වසර හතකට දීර්ඝ කර ගැනුණි. එය සමස්ත ලංකා මට්ටමේ මැතිවරණයක් හා සමාන වූ ජනමත විචාරණයකින්ද අනුමත වී ක්‍රියාත්මක වූ බවද සිහිපත් කළ හැක. අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ දිගටම ආයු කාලය වැළදූ පාර්ලිමේන්තුව සභාවාරය එය විය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරමාදර්ශය ලෙස සැලකෙන්නේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවය. ශතවර්ෂ අටක පමණ කාලයක් තිස්සේ විකාශය වෙමින් දියුණු වූ පූර්වාදර්ශයන්, සම්ප්‍රදායන්, චාරිත්‍රයන් මෙන්ම වරප්‍රසාද බලතල හා පරිහාරද නිසැකවම බි්‍රතාන්‍යයේ එවැනි දෙයට අනුරූපව ගළපාගන්නාලද ඒවාය. මෙවැනි වැදගත්කම් නිසා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ වර්ධනය ගැනද සලකා බැලීම අතිශයින්ම කාලෝචිතය.
ඉතිහාසයේ ඉතා ඈත අතීතයක සිටම එංගලන්තයේ රජවරු එම යුගයේ යුරෝපයේ සිටි රජවරු බොහෝ දෙනෙකු මෙන්ම අත්තනෝමතික පාලනයක් ගෙනගිය ඒකාධිපති පාලකයෝ වූහ. තමන්ට රාජ්‍යත්වය ලබා සැප විඳීමට දෙවියන් වෙතින් වරප්‍රසාදයක් ලැබී ඇතැයි විශ්වාස කළ ඔව්හු තමන්ගේ අභිමතයට අනුවම රජකම් කළහ. අසල්වැසියන් සමගම යුද වැදුණහ. තමන්ගේත් සුරතල් අන්තඃපුරවාසීන්ගේත් සැපය පිණිස ජාතික ධනය නිර්ලෝභීව වැය කළහ. මෙම කටයුතු සඳහා ධනය හිඟ වූ විට පුරවැසියන් තලාපෙළා බදු අය කළහ. මෙවැනි පීඩාකාරි දේ නිසා කුපිතවූවත් පොදු ජනයාට කළ හැකි දෙයක් නොවීය. ඔවුනට සිදු වූයේ රජුන්ගේ රැජිනන්ගේත් පංචකාම සම්පත්තිය උදෙසා තමන්ගේ කුස පොත්ත හිස්ව තබාගෙන බදු ගෙවීමය. එසේ නොකළ අය රජ අණින් අනේක විධ වධයට පත් කළහ.
මෙවැනි වධ බන්ධන ඉවසීමට නොහැකි තරම් දරුණු අවධියකදී සංවිධානය වූ පුරවැසි පිරිසක් රජු තේම්ස් නදියේ ජලස්නානයේ යෙදී සිටියදී ඔහු ගංගාවේ දූපතකට කොටුකරගෙන හිසට කඩුහත තබා තර්ජනය කර යම්කිසි පොරොන්දු පත්‍රයකට අත්සන් ගන්නා ලදී. හිතුමතේ බදු අය නොකරන බවටත් සාධාරණ විනිශ්වයකින් තොරව කිසිම පුරවැසියෙකුගේ ශරීර අංග කපා දැමීම හෝ මරණයට පත් නොකරන බවත් ආදි වශයෙන් කරුණු ගණනාවක් ඇතුළත් එම ලියවිල්ල මානව අයිතිවාසිකම් පිළිබඳ සාඩම්බර ජයග්‍රහණයක් ලෙස අද ද සැලකේ. මානව අයිතිවාසකම් පිළිබඳ මහා ප්‍රඥප්තිය හෙවත් මැග්නා කාර්ට මහා අධිකාර පත්‍රය නමින් ඉතිහාසයට එක්වූ මෙම ඓතිහාසික ලියවිල්ල ප්‍රකාශය පත්වුයේ ක්‍රිස්තු වර්ෂ 1225 දීය.
මෙම තත්ත්වයෙන් ධෛර්යවන්ත වූ එංගලන්තවාසී පොදු ජනතාව පමණක් නොව නයිට්වරු බැරන්වරු ආදි වංශාධිපතිහුද රජුන් හීලෑ කිරීමට උත්සාහ කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රධාන වංශාධිපතින්, නයිට්වරු ඉඩම් හිමියන් සහ මහා පරිමාණ වෙළෙන්දන් සහ නගර වල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් නියෝජිත පිරිසක් රැස්කර රජුට අනුශාසනා කිරීම සඳහා යොදාගන්නා ලදී. මෙම නියෝජිත මණ්ඩලයට ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් රජුට පෙත්සම් ඉදිරිපත් කිරීමට බලයක් තිබුණි.
මේ වනවිට එංගලන්තයේ රාජ්‍ය පාලනය ගෙන ගිය ටියුඩර් වංශික රජවරු ඉතාමත් උපක්‍රමශීලී ලෙස මෙකී නාම මාත්‍රික පාර්ලිමේන්තුව සමග ගැටුම් ඇතිකර නොගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රවේශම් වූහ. මෙසේ සිදුවන අතරවායේ පළමුවන ජේම්ස් රජුගෙන් පසු ඔහුගේ පුත් පළමුවැනි චාර්ල්ස් 1625 එංගලන්තයේ සිහසුනට පත්වුවේය. ඉතා අහංකාර අඥානවත් පාලකයෙකු වූ ඔහු පාර්ලිමේන්තුවේ අදහස් උදහස් යෝජනා සහ අනුශාසනා පිළිගැනීම තමාට මදි කමක් ලෙස සැලකුවේය. එහි ප්‍රතිපලයක් වූයේ දෙපාර්ශවය අතර අනවශය්‍ය ගැටුමක් නිර්මාණය වීමයි. මෙයට වඩාත්ම බලපෑ කාරණය වූවේ ‘මහජන අයිතිවාසිකම් පිළිබඳ අභියාචනය’ නම් වූ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුව විසින් සකස් කොට රජු වෙත ඉදිරිපත් කිරීමයි. එයින් දන්වා සිටියේ රජු පූර්ණ බලැති ආඥාදායකයෙකු නොවන බවත් අසාධාරණ ලෙස බදු අයකිරීමත්, නීතියට පිටස්තරව රජුගේ අභිමතය පරිදි පුරවැසියන් බන්ධනාගාර ගත කිරීමත් අත්හිටුවිය යුතු බවටය. රජු කෝප විය. ඔහුගේ උදහස කොතරම් වීදයත් චාර්ල්ස් රජු පාර්ලිමේන්තුව විසුරුවා හැර හිතුවක්කාර ලෙස රට පාලනය කරන්නට විය. එහෙත් වැඩි කාලයක් ගත වුයේ නැත. රජුට මුදල් හිඟ විය. එදා පැවති ක්‍රමයට අනුව වුවත් රජුට මුදල් වෙන් කරවා ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය විය. රජු නව පාර්ලිමේන්තුවක් කැඳවන ලදී. එය පළමුවෙන් කියා සිටියේ කලින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට නව පාර්ලිමේන්තුව කැඳවීම දක්වා කාලය තුළ රජු හිතුවක්කාරි අන්දමින් කළ බොහෝ ක්‍රියාවන් ගැන එම සභාවද විරෝධය පල කළේය. මෙම මතභේදය දුර දිග යාම නිසා රජු සහ පාර්ලිමේන්තුව අතර මහා යුද්ධයක් ඇතිවිය. එංගලන්ත සමාජය දෙකට බෙදුනි. වංශාධිපතියන් හා යුද්ධ හමුදාවේ කොටසක් චාර්ල්ස් රජුගේ පක්‍ෂය ගත් අතර ධනවත් වෙළඳ ප්‍රජාව ලන්ඩන් නගරවාසීහුද සාමාන්‍ය ජනතාවද හමුදාවේ කොටසක්ද පාර්ලිමේන්තුවේ පාර්ශ්වය ගත්තේය. දක්‍ෂ නායකයෙකු සහ සංවිධායකයෙකු ද වූ ඔලිවර් ක්‍රොම්වෙල් පාර්ලිමේන්තුවේ පාර්ශ්වය මෙහෙයවිය. 1642 දී ආරම්භවූ මෙම යුද්ධය කලක් තිස්සේ ඇදී ගියේය. පාර්ලිමේන්තුවාදී හමුදාව ‘අයන් සයිඞ්’ නම් විය. එහි අර්ථය වුවේ අයෝමය සෙබළු යන්නය. රජුගේ පක්‍ෂය ගත් අය කැවලියර් නම් වූහ. මුහුණට මුහුණලා සිදුකෙරුණු මෙම යුද්ධයෙන් ඔලිවර් ක්‍රොම්වෙල්ගේ හමුදාව ජය ලැබීය. ඔහු “ආරක්‍ෂක සාමිවරයා” යන නව පදවියකින්ද පිදුම් ලැබීය.
මිනීමරුවෙකු, රාජ්‍ය ද්‍රෝහියෙකු හා කෲර පාලකයෙකු ලෙස චෝදනා ලැබ යුද්ධාධිකරණය හමුවට පමුණුවන ලද පළමුවැනි චාර්ල්ස් රජු හිස ගසා මරා දමන ලදි. පාර්ලිමේන්තුව ආරක්‍ෂා වී ශක්තිමත් විය. ඉන්පසු තම සම්ප්‍රදායන් ඔස්සේ ඉතා දියුණු මට්ටමට පැමිණීමට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබුණි.
මුදල් ගැන කියවෙන විට අපේ රටේ සිදුවන දේ ගැන ජනතාවගේ සිත් සතන් තුළ ඇත්තේ එතරම් ප්‍රසාදජනක හැඟීමක් නොවේ. විශේෂයෙන් දේශපාලකයා ගැන පොදුවේ පවතින්නේ යහපත් ආකල්පයක් නොවේ. හැත්තෑ වසරක් සපිරෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යශෝරාවය තවත් බොහෝ කලක් පවත්වා ගැනීමට නම් මෙවැනි දේ හැකි තරම් ඈතින් තැබිය යුතු යැයි යෝජනා කිරීමට මෙය අවස්ථාව කර ගනිමි.
සෝමසිරි වික්‍රමසිංහ