ඡායාරූපය අන්තර්ජාලයෙනි
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන ඇතුළු සම සමාජ නායකයන්ගේ කැපවීම නිසාම මෙතෙක් කලක් මුළුල්ලේ ගොවි කම්කරු ජනතාව මෙන්ම රජයේ රැකියාවන්හි නියුතු අතිවිශාල ජනතාවකට තරමක හෝ සැනසිල්ලක් උදාවිය. එහෙත් මේ සියලු දෙය ඔවුන් වෙත ලබාදීම වෙනුවෙන් පාක්ෂිකයන් සිරබත් කමින් දුක් වින්දා පමණක් නොව මේ වන විටත් සියදිවි අහිමි කරගත් කිහිප දෙනෙක්ද වූහ.
මේ අන්දමින් සමසමාජවාදීන් ගෙන ගිය උද්ඝෝෂණ මාලාව 1946 ඔක්තෝබර් මාසය වන විට උච්චස්ථානයට පත්ව තිබිණ. මෙම වර්ජන රැල්ල පැනනැගුණේ රත්මලාන දුම්රිය වැඩපොළිනි. මේ වන විට මුළු ලංකාවේ පැවැති ප්‍රධාන මාර්ග පහසුකම් සහිත දුම්රිය මාර්ග මුළුමනින්ම යොමුව පැවතියේ දුම්රිය වැඩපොළිනි. නඩත්තු කටයුතු නොපිරිහෙළා ඉටුකිරීම තුළින් මගී ජනතාව වඩාත් විශ්වාසයෙන් යුතුව තම ගමන් සඳහා යොදාගෙන තිබුණේ දුම්රිය පමණක් නොව ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ගය යොමු කෙරුණු තේ නිෂ්පාදන ප්‍රවාහනය කෙරුණේ දුම්රිය මගිනි. තවත් අතකින් කොළඹ සිට ඈත ප්‍රදේශවලද අත්‍යවශ්‍ය භාණ්ඩ යොමු කිරීමටද දුම්රිය සේවා අතිවිශාල මෙහෙවරක් ඉටු කරමින් තිබුණි. දුම්රිය ගමනාගමනය නතර විය. සේවකයෝ දුම්රිය මග තමන්ගේ ගෙදර දොර ලෙස සලසා ඉවුම්පිහුම් කටයුතු කළහ.
මුළු රටටම අත්‍යවශ්‍ය ආහාරපාන ගෙන එමින් තිබුණු නම්වලද වැඩ වර්ජනයකි. එතෙරින් පැමිණි විශාල නැව් සමූහයක් වරායේ නැංගූරම් ලා තිබිණ. එහෙත් සේවකයෝ එහි බඩු භාණ්ඩ පිටතට ගැනීම ප්‍රතික්‍ෂේප කළහ. දින කිහිපයක් තිස්සේ නැංගූරම් ලා තිබූ නැව් යළිත් තම දේශයට පිටත්ව ගියේ රජයට ඒ වෙනුවට වූ දඩ මුදල් ගෙවන්නට සිදු කරමිනි.
කොළොන්නාවේ රජයේ කර්මාන්තශාලාවේ කම්කරුවෝ සියලු වැඩ කටයුතු නවත්වා දැමූහ. විදුලිබල සම්පාදනාගාරය නෝටන්බි්‍රජ් වැඩපොළ කිසිවකුටත් නොදන්වා අතරමග නතර වී තිබිණ.
එදා මුළු කොළඹම ඒකාලෝක වූයේ ගෑස් සමාගම විසින් කරන ලද නිරන්තර සොයාබැලීම් හේතුවෙනි. ගෑස් සමාගමේ වැඩ වර්ජනයත් සමග අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන්නවුන්ට සිය එදා වේල උයා පිහා ගැනීමට කාලයක් නොවීය. රටම අඳුරුව පැවතිණ.
කොළොම්පුරය පිසදා මුළුමහත් දේශයම සමසමාජ පක්ෂය මෙහෙය වූ සටන් මගට අවතීර්ණ වන්නට වූහ. යන්නට එන්නට පාරක් තොටක් නැති විය. ඇමැතිවරු, මන්ත්‍රීවරු ගමන් ගන්නා බස් රථවලට සුඛෝපභෝගී වාහනවලට ගල් මුගුරු නිරන්තරව එල්ල වන්නට පටන්ගති.
මෙකී මහ විප්‍රකාරයට ගොදුරු වූයේ ආණ්ඩුවේ කම්කරු ජනතාව කිසිදු කෙනෙකුගෙන් අවසරයක් නොගෙන ජාතික ව්‍යාපාරයට එක්වන්නට පටන් ගති.
මහ ආණ්ඩුව මෙහිදී නිකුත් කළ නියෝගයක් විය. සේවයට වාර්තා නොකරන සියලුම අය සේවයෙන් ඉවත්ව ගිය බවත් දිනක් දෙකක් ඇතුළත නොපැමිණියහොත් මෙතෙක් තමන් විසින් ලබාගන්නා ලද ණය මුදල් හිලව් කිරීමක් වශයෙන් සියලුම නිශ්චිත දේපොළ රජයට පවරා ගන්නට තීරණය කර ඇති බවත්ය. එහෙත් මේ කිසිවක් වර්ජනයේ යෙදී සිටියවුන්ට සිය ඉල්ලීම් ලබාගැනීමේ ඒකායන තීරණයට බාධාවක් නොවීය. අවසන්හි සිදු වූයේ වර්ජනයේ යෙදී සිටින අයවලුන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡාවකට සූදානම් බවට වැඩබලන ආණ්ඩුකාර තැන්පත් නායක විනිශ්චයකාර සර් ජෝන් හොවාර්ඞ් ගුවන් විදුලිය මගින් දන්වා සිටීමය.
මෙයට ප්‍රතිචාරයක් වශයෙන් ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය ආණ්ඩුකාරවරයාට මෙසේ දන්වා යැවීය. “ඔබතුමන් විසින් රාත්‍රි 7.30ට කරන ලද ගුවන් විදුලි කතාව ගැන සලකා බැලූ අපි ඒ ගුවන් විදුලි කතාවෙහි සඳහන් වූ ඇතැම් කරුණුත් එයින් උද්ගත වන කරුණුත් පැහැදිලි කිරීම පිණිස අපේ නියෝජිත පිරිසක් පිළිගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලමු. ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයෙන් පත්කර සිටින පහත නම් දැක්වෙන අය නියෝජිත මණ්ඩලයට ඇතුළත් වන්නාහ. එයින් මුල් පස්දෙනා සම්මේලනයේ නියෝජිතයන් වශයෙන්ද අන්තිම සිව්දෙනා උපදේශකයන් වශයෙන් ද පෙනී සිටින්නාහ. ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ නියෝජිතයන් මෙසේය.
සී. ගන්දර, ඩී. ඩී. එදිරිසූරිය, ආර්. ඒ. පියදාස පී. එස්. සේරසිංහ, කේ. පී. සිල්වා උපදේශකයන් වනුයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ඒ. ඊ. ගුණසිංහ, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ එම්. ජී. මෙන්ඩිස් යන අයය.
මෙම ලිපියට ආණ්ඩුකාර ලේකම් සී. එච්. හාඞ්වෙල් එවූ පිළිතුරු ලිපියේ මෙසේ සඳහන් විය.
“ආණ්ඩුකාරතුමා ආණ්ඩුවේ සේවකයන්ගේ දුක් ගැනවිලි ගැන සොයා බැලීමට සෑම වේලාවකම සූදානම් හෙයින් ඔබ ලියමනෙහි සඳහන් සම්මේලනයේ පස්දෙනා පිළිගැනීමට එතුමා කැමති බව ඔක්තෝබර් 20 වැනි දින ඔබ එවූ ලියමනට පිළිතුරු වශයෙන් දන්වන ලෙස මට නියම කර තිබේ. ආණ්ඩුවේ සේවකයන් වෙනුවෙන් ආණ්ඩුවේ සේවකයන් නොවන අය විසින් කරුණු කීම සාමාන්‍ය සිරිත නොවන නමුත් සම්මේලනයට වෙන අයකුගේ සහාය අපේක්ෂා කරතොත් එසේ සහයවීම පිණිස යුෂ්මතුන්ට එක් අයකු කැඳවාගෙන යා හැකිය.”
ඇන්. ඇම්. ගුණසිංහ, කොල්වින්, ඇම්. ජී. යන උපදේශක නාම ලේඛනයෙහි සඳහන් කර තිබුණද සමිති සම්මේලනය ඒ සඳහා තෝරා ගත්තේ ආණ්ඩුකාර නියම පරිදි එක් අයකු පමණක් හෙයින් ඇන්. ඇම්. උපදේශකයා වශයෙන් සහභාගි කිරීමටය.
පොලිසිය මෙහිදී එන්. එම්. කිසිදු හේතුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබීය. සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නම් සිරගත කරනු ලැබූ ඇන්. ඇම්. මේ සඳහා එක්කර ගත යුතු යැයි නියෝජිතයෝ කීහ. වහාම ඇන්. ඇම්. රජගෙදර සාකච්ඡාවට රැගෙන එන ලෙස ආණ්ඩුකාරයා පොලිසියට නියෝග කළේය. එහෙත් සිරභාරයේ සිට පොලිස් ආරක්‍ෂාව ඇතිව ඒ සඳහා පැමිණීමට නොහැකි බව ඇන්. ඇම්. ගේ ස්ථාවරය විය.
වැඩ වර්ජකයෝ යළි නව පණක් ලැබූහ. මෙතෙක් වර්ජනයට සහභාගි නොවී සිටි වීදුරු කම්හලේ සේවකයන්, ටයිම්ස් සමාගමේ සේවකයන් හා සවුත් වෙස්ටර්න් බස් රථ සමාගමේ සේවකයෝද වර්ජනයට එක් වූහ. කර කියාගත හැකි කිසිවක් නොවූයෙන් ඇන්. ඇම්. සිරගෙයින් නිදහස් කරන ලෙස වැඩබලන ආණ්ඩුකාරවරයා නියෝගයක් නිකුත් කළේය. පස්වරු තුනට පමණ කම්කරු නියෝජිතයන් පිරිවරාගත් ඇන්. ඇම්. ආණ්ඩුකාරයා සමග සාකච්ඡාවට පැමිණියේය.
නන්දසේන සූරියආරච්චි ලියූ “ඇන්. ඇම්.” කෘතියෙනි