රටම කතා කරන කොළොන්නාවේ දේශපාලන පුරාණයෙන්


 

බක් මහ අසිරියෙන් මුළු රටම ඇළලී යමින් තිබුණි. දහස් ගණන් මිල ගෙවා ලබාගත් ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු ජනී ජනයා නැකතට ලිප් බැඳ ගිනි මොළවා කිරිබත් පිස වෙනත් රස කැවිලිද සමඟ කෑම මේස සූදානම් කළහ. සතුටින් ආහාර ගත්හ. කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ බොහෝ පිරිසකට එය තමන්ගේ අවසන් ආහාර වේල වේයයි ඔවුන්ද දැන සිටියේ නැත. එම ප්‍රදේශයේ වැසියන්ට වසර ගණනක් තිස්සේ ව්‍යසනයක් සැලසූ මහා කුණු කන්ද නාය ගොස් අවට ගෙවල් දොරවල් යට කරගෙන ගොස් තිබුණි. මොහොතකට පෙර උත්සව ශ්‍රීයෙන් නව අවුරුදු උදාව සමැරූ ස්ත්‍රී පුරුෂ, ළමා, තරුණ, වැඩිහිටි ජාති හෝ ආගම් ආදී ජනතාව කිසිදු භේදයකින් තොරව සුන්බුන් අතරේ සැඟවී ගත්හ. ඒ අය අතරින් තිස් දෙදෙනෙකුගේ මෘත ශරීර සොයාගෙන ඇති බව නිලවශයෙන් ප්‍රකාශව ඇත. විනාශව ගිය නිවාස සිය ගණනකි. සහන කටයුතු රජය පාර්ශ්වයෙන් නොකඩවා සිදුවෙමින් පවතී. රජයේ ඉහළ මට්ටමේ අවධානය විය යුතු පරිද්දෙන්ම යොමු වී ඇති ආකාරය පෙනී යයි. විසූවියස් ගිනි කන්ද විදාරණය වීමෙන් ගලාගිය ලාවා සහ භෂ්ම හේතුවෙන් පොම්පේ නගරය විනාශ වී ගිය ආකාරය රෝම ඉතිහාසය තුළින් අපි දැනසිටිමු. තමන්ගේ දෛනික කටයුතුවල නිරතව සටි පොම්පේ නගරවාසීහු එම ලාවා තුළ ගල්වී ගිය ආකාරය කැණීම් මගින් සොයාගෙන ඇති බව කියති.


මෙම කුණු කන්ද නාය යාම සහ එම ඛේදවාචකය නිසා හටගෙන ඇති ශෝචනීය තත්ත්වය ජාත්‍යන්තර අවධානයට යොමු වී ඇති ආකාරය අපි මාධ්‍ය මගින් දුටුවෙමු. මෙසේ කසළ කන්දකට යටවී ගිය කොළොන්නාවේ ඈත සහ මෑත දේශපාලන පුරාණය සිහිපත් කිරීමට මෙය කදිම අවස්ථාවක් වනවා නොඅනුමානය. ඒ හැර මෙම උවදුර ගැන වෙනත් දේශපාලන පන්දුව හුවමාරු කිරීම් ගැන අපි සැලකිල්ලක් නොදක්වමු. මෙයට හරියටම වසර පනස් හතකට පෙර එනම් 1960 මැයි පළමුවැනි දින මහජන එක්සත් පෙරමුණු මැයි දින රැලිය ඇමතූ එවකට ලංකා සමසමාජ පක්ෂයේ කෝට්ටේ මන්ත්‍රී රොබට් ගුණවර්ධන මහතා මෙසේ පැවසූ බව පසුදින පුවත්පත්වල පළ වී තිබුණි. “සමසමාජ නායකයන් වනාහී කුණු ගොඬේ බිහි වී, කුණු කා වැඩී කුණු ගොඬේම ජීවත්වන පණුවන් මෙනි. විප්ලවවාදය ගරුකරන අප වැන්නන්ට තවදුරටත් එම කුණු ගොඬේ ලැගිය නොහැක. එනිසා රදලවාදයට එකඟ නොවන පිරිසක් සමඟ මම මගේ ඉදිරි දේශපාලනය කරගෙන යන්නෙමි” දැඩි වේදනාවෙන් යුතුව රොබට් ගුණවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේ 1960 ජූලි මැතිවරණය සඳහා සමසමජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නිතරග ගිවිසුමකට එකඟ වීම ගැන රොබට් තරයේ විරුද්ධ වීම නිසාය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ධනපති පක්ෂයක් බවත් එයට නායකත්වය දෙස සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ධනවත් රදල කාන්තාවක් බවත් රොබට් ගුණවර්ධන මහතාගේ මතය විය. සමසමාජය 1935 දී ආරම්භ කරන විට ඇන්. ඇම්. පිලිප්, කොල්වින්, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ ආදීන් සමග පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ නායකයෙකි. එම පක්ෂයට ප්‍රතිවිරුද්ධ බලවේග විසින් සමසමාජ රැස්වීම් කඩාකප්පල් කිරීමට කටයුතු කරද්දී නොබියව ඉදිරියට කටයුතු කළේ රොබට්ය. හෝමාගම, මීරිගම, ලෝලුවාගොඩ, බුලත්කොහුපිටිය ආදී ස්ථානවල සිදුවූ එම ඓතිහාසික කෝලාහල සමසමාජ ඉතිහාසයේ අමරණීය සිදුවීම් ලෙස ඉතිහාසයට එක්ව තිබේ. පක්ෂය නීති විරෝධී කරන ලද අවස්ථාවේදී වෙස් වළාගෙන කුඩා ධීවර යාත්‍රාවකින් ඉන්දියාවට පැන ගිය ඔහු එරට නිදහස් සටනට එරට විප්ලවවාදීන් සමග එක්ව සිදුකළ අරගලය වීර වික්‍රමාන්විතයක් වශයෙන් වෘත්තයන්ගෙන් පිරී ඇත. පසුව බි්‍රතාන්‍ය අධිරාජ්‍ය පොලිසියට අසුව දුම්රියෙන් මෙරටට ගෙන එමින් සිටියදී එම භටයෙකු විසින් රයිපල් බඳෙන් පහර දෙන ලදුව එක් කකුලක් බිඳී ගිය නිසා ජීවත්ව සිටින තුරු ඔහු ඇවිද්දේ කොර ගසමිනි. එබඳු සටන්කාමියෙකු වූ රොබට් ගුණවර්ධන මහතා නිරන්තරයෙන්ම රදලවාදය හෙළා දැක්කේය. ඔහු එදා 1960 මැයි දිනයේදී ප්‍රකාශ කළ කුණු පිළිබඳ කතාව අප දන්නා ඉතිහාසයේ දේශපාලනයේදී කියවුණු පළමු ප්‍රසිද්ධ ‘කුණු’ කතාව යැයි මම අනුමාන කරමි. එහෙත් එකල කොළොන්නාවේ කුණු කන්දක් තබා කෙන්දක්වත් නොතිබුණි. 


අපේ පාර්ලිමේන්තුවේ කොළොන්නාව ආසනය පළමුවරට ප්‍රකාශයට පත්වුණේ 1960 මාර්තු මැතිවරණය සඳහාය. 1958 දී පත්කරන ලද වෝල්ටර් තල්ගොඩපිටිය කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි එම ආසනය නිර්මාණය කරන ලද්දේ උතුරු කොළඹ සහ අවිස්සාවේල්ල යන කොට්ඨාස දෙකෙන් කඩා වෙන් කරන ලද කොටස් එකතු කිරීමෙනි. 1936 දී දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිටම දිගින් දිගටම අවිස්සාවේල්ල ආසනය නියෝජනය කළේ වාමාංශික මතධාරී පිලිප් ගුණවර්ධන මහතා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ වූ කුසුමා ගුණවර්ධන මහත්මිය විසිනි. එම ආභාසය මත අවිස්සාවේල්ල ආසනයේ බිඳුණු කොටසක් එකතු වුණු කොළොන්නාව ආසනයේ වැඩි බලය පිලිප් ගුණවර්ධන මහතාට හිමි වූ බව සිතාගත හැකි කරුණු බොහෝ තිබුණි. 1960 මාර්තු මැතිවරණයේදී ප්‍රථමවරට කොළොන්නාව ආසනය ස්ථාපනය කිරීමෙන් පසු පැවති මැතිවරණයේදී ජයගත්තේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂක කේ. ඊ. පෙරේරා මහතාය. ඔහු අඹතලෙන් පහළ ගම්කාර්ය සභාවේ සභාපතිවරයා මෙන්ම ප්‍රකට සමාජ සේවකයෙක්ද විය. එක්සත් ජාතික පක්ෂයේ අධිනීතිඥ යූ. ඒ. ඇස්. පෙරේරා (සිරි අයියා) දෙවැන්නා වූ අතර ශ්‍රී.ල.නි.පයේ ගෝනදූව මහතා තෙවැනි තැන හිමිකර ගත්තේය. සමසමාජයේ රොබට් ගුණවර්ධන මහතාගේ බිරිඳ වූ රූපා ගුණවර්ධන මහත්මිය සිව්වැනි තැනට පත්වූ අතර තවත් අපේක්ෂකයෝ කීප දෙනෙක්ද තරඟ බිමේ වූහ.

 


හැටේ ජූලි නිතරග ගිවිසුම මත මෙම ආසනය හිමිවූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය. එවර එම පක්ෂයේ අපේක්ෂකයා වූවේ පසුව එහි සම ලේකම්වරයෙකුද වූ ඩී. ඇස්. සමරසිංහ මහතාය. එදා පැවති දේශපාලන සදාචාරය ගැන සඳහන් කිරීමට කදිම නිදසුනක් මෙහිලා සඳහන් කළ යුතුය. 1964 දෙසැම්බර් 03 වැනිදා ශ්‍රී ලංකා සමසමාජ සභාග රජය පාර්ලිමේන්තුවේදී රාජාසනයේ කථා ස්තූති යෝජනාව පරාජය වී රජය බිඳවැටෙන විට සමරසිංහ මහතා කර්මාන්ත කටයුතු පිළිබඳ උපඇමතිවරයා විය. ඊළඟ මැතිවරණ දිනය මාර්තු 22 වැනිදාට නියම කෙරුණි. හැට පහේ පෙබරවාරි මාසයේ කොළඹ තුරඟ තරඟපිටියේ කර්මාන්ත ප්‍රදර්ශනය නමින් දැවැන්ත ව්‍යාපෘතියක් කොළඹ නගරයේ පැවැත්වුණි.කර්මාන්ත ඇමතිරයා වූ මෛත්‍රීපාල සේනානායක මහතා වූ බැවින්ද ඒ මහතා නියෝජනය කළේ රජරට ඈත මැදවච්චිය අසුන වූ බැවින් ද මෙම වැඩසටහනෙන් බිහිවන තාවකාලික රැකියා සැපයීමේ වාසිය ලැබුණේ කොළඹ නගරයට යාබද කොළොන්නාව නියෝජනය කළ උපඇමති සමරසිංහ මහතාටය. මැතිවරණයට නාමයෝජනා භාර ගැනීමෙන් පසු ඔහු තම හිතවතෙකුට රැකියාවක් දෙන ලෙස අදාළ නිලධාරි -යෙකුට ලිපියක් නිකුත් කර තිබුණි. සමරසිංහ මහතා ජයගත් අතර මෙම ලිපිය නිකුත් කිරීම නිසා මැතිවරණ වරදක් කර ඇති බවට එදා මැතිවරණ නීතියේ හැටියට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කෙරුණි. එය ඡන්ද දායකයෙකුට අල්ලස් දීමේ වරදකැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තුමා ඩී. ඇස්. සමරසිංහ මහතාගේ කොළොන්නාවේ මන්ත්‍රී ධුරය අවලංගු කළේය. ඒ එදා හැටිය. මෑත යුගයේ දේශපාලන සදාචාරය කොතරම් බිඳවැටී ඇතිදැයි යන්න දන්නෝ දනිති. මැතිවරණ කාලයේ නොදෙන්නේ මොනවාද? යන්න සිතුවොත් පිළිතුර එතැනය. පසු කලෙක කොළොන්නාව ප්‍රදේශයේ කෙටිකලක් පදිංචි වී සිටීමට මට අවස්ථාව ලැබුණි. එකල දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුනා ගැනීමට මට හැකි විය. එයට හේතුව සමරසිංහ මහතාගේ අසුන අහිමිවීමෙන් ඇතිවූ පුරප්පාඩුවට අතුරු මැතිවරණයක් පැවැත්වෙන වකවානුව වූ හෙයිනි. ඡන්දය පැවතියේ 1967 පෙබරවාරි 28 වැනිදාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේකෂකයා වූවේ ටී. බී. ඉලංගරත්න මහතාය. වාමාංශික දේශපාලන මතවාදය කෙරෙහි නැඹුරුවෙමින් සිටි ගැටවරයින් වූ අපි ඔහුට ශක්ති පමණින් උදව් කළෙමු. මේ අතරවාරයේ දිනක් මට සමරසිංහ මහතා හඳුනා ගන්නට ලැබුණි. මෙම අතුරු මැතිවරණයේදී ඒ මහතාගේ බිරිඳ වූ තිලකා සමරසිංහ මහත්මියද ස්වාධීන අපේක්ෂිකාවක ලෙස එම තරගයට ඉදිරිපත්ව සිටියාය. එහිදී මම සමරසිංහ මහතාගෙන් මේ ගැන විමසුවෙමි. “ඇමතිතුමා! ඡන්දෙ කාලේ රැකියාවකට ලියුමක් දීම වරදක් කියා මතක් වුණේ නැද්ද? ඔහු දුන්නේ මෙම තේරුම දෙන පිළිතුරකි. “මේ ඡන්දෙකාලේ ලියුමක් දෙන්න බැහැ කීවට ඒ හිතවතා පිළිගන්නවාද? මට ඒ රැකියාව දෙන්න පුළුවන්කම තිබුණා. මම ඒක දුන්නා. පසුව වෙන දේවල් මම කල්පනා කළේ නැහැ. මට පුළුවන් දේ මම කළා. ඒ මනුස්සයා සතුටු වුණා. සිද්ධිය එච්චරයි. දැන් බලන්න තිලකා මේ ඡන්දෙට ආවා. ලොකු මෝඩකමක් කළා කියලා මිනිස්සු කියනවා. ඇත්ත. ඡන්ද දාහක්වත් ගන්ඩ බැහැ. නමුත් මම ගෙනියන්නේ මතවාදයක්. දැන් බලන්න අගමැතිතුමා මිය ගියා. සිරිමා මැතිනි ආවා. ඒක හොඳයි. බළංගොඩ ක්ලිෆඞ් රත්වත්තෙට ආසනේ නැතිව ගියා. එයාගේ නෝනා මල්ලිකා දානවා. දොඩන්ගස්ලන්ද රාජපක්ෂට නැතිව ගියා. ලැටිෂියා නෝනා දැම්මා. මේ වගේ තව කොච්චරක්ද? මට විතරක් හොඳ නෑ, නුවර ඉලංගරත්න මහත්තයාව දැම්ම. මම කියන්නේ මේ වැරැද්දයි”


හැට පහේ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට රජයක් පිහිටුවීමට බහුතර බලයක් ලැබී තිබුණේ නැත. එවැනි අවස්ථාවකදී යෙදා ගන්නා උපක්‍රමය වන්නේ ‘ජාතික’ රජයක් පිහිටුවීමයි. කලින් රජයේ පුවත්පත් පනතට විරුද්ධව සටන් කළ බලවේග තරමක සමගියෙන් සිටි නිසා ප්‍රතිවිරුද්ධ මත දරන පක්ෂ හතක් එකතු කර රජයක් පිහිටුවීමට ඩඞ්ලි සේනානායක මහතා සමත් විය. එහි කර්මාන්ත ඇමති වූවේ පිලිප් ගුණවර්ධන මහතාය. කොළොන්නාව අතුරු මැතිවරණයේදී රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂිකාව වූවේ පිලිප් ගුණවර්ධන මහතාගේ බිරිඳ කුසුමා ගුණවර්ධන මහත්මියයි. මේ නොයෙක් කරුණු නිසා ජාතික රජයේ දීප්තිය අඩුවෙමින් තිබුණු සමයයි.


මෙම අතුරු මැතිවරණයේදී වමේ වේදිකාවේ ජනප්‍රියම කථිකයෙකු වූවේ කැලණිය මන්ත්‍රී ආර්. ඇස්. පෙරේරා මහතාය. ඔහුගේ කතාවේ ප්‍රකට කියමනක් වූයේ මිත්‍රවරුනි! මම නෙමෙයි. බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා කුසුමා නෝනාට කොළොන්නාව දිනන්න බැහැයි කියලා. ඒකනේ අර ගාථාවක කියලා තියෙන්නේ “කුසුමේන නේන” කියලා. වැල්ලම්පිටිය හන්දියේදී පැවති යූ.ඇන්.පී. රැස්වීමේදී ඩඞ්ලි සේනානායක අගමැතිතුමා කථා කරමින් මෙම ප්‍රකාශයට විරුද්ධතාව පළ කළේය. බෞද්ධයෙකු නොවන ආර්. ඇස්. පෙරේරා මහතා එවැනි කථාවක් කීම සුදුසු නොවන බව එතුමාගේ තර්කය විය. ආර්. ඇස් ඉන් පසු ඒ කියමන නොකී බව අපට දැනගන්නට ලැබුණි.


ඡන්දය දිනයේ සවස වැල්ලම්පිටිය හන්දියේ මුහුණට මුහුණ ලා තිබුණු ප්‍රධාන පක්ෂ දෙකේ කාර්යාල ඉදිරිපිට සිය ගණන් ආධාරකරුවෝ පක්ෂවල වර්ණය සහිත කොඩි වනමින් උද්යෝග පාඨ කියමින් ඡන්ද පෙට්ටි රැගෙන යනු බලා සිටියහ. ඡන්ද පෙට්ටි රැගෙන යන රජයේ වාහන පසු පස පක්ෂවල ආධාරකරුවන්ගේ වාහන කීපයක් ගමන් කිරීම එකල සිරිතක් විය. එසේ ගමන් කරද්දී අදාළ පක්ෂවල අයට සුබ පතා ගැනීම නිසා තරමක උණුසුම් බවක් ඇති විය. මේ කාලයේ රටේ බොහෝ සිද්ධීන්වලට නම කියැවෙන අපකීර්තිමත් චරිතයක් වූ ඔසී කොරයා මහතා කොහෙන්දෝ මතුවී පාර මැදට පැමිණ තම අතේ තිබූ පිස්තෝලයෙන් උඩට වෙඩිල්ලක් තැබීය. “ශබ්ද බද්ද අනවශ්‍ය බවත් සද්ද කරන ඕනෑම කෙනෙක් තමා සමඟ සටනට එන ලෙසත් අභියෝග කළා මට මතකය. විශාල කරදරයක් සිදුවන්නට යන බව කල්පනා කළ බොහෝ දෙනා නිහඬ වූහ. මොහොතකින් නිල් ටී ෂර්ටයකින් සහ කොට කලිසමකින් සැරසුණු උත්තුංග දේශධාරී තරුණයෙකු පාරට බසිනු දැක සියල්ලෝ මවිත වූහ. පිස්තෝලයත් ගත් ඔසී කොරෙයා ඉදිරියට එන පණට ආදරයක් නැති මේ තරුණයා කව්දැයි කාටත් කුතුහලයක් වූවා නිසැකය. “දෙහිවල පොඩිරාලහාමි” යැයි හා හූවක් පැතිර ගියේය. පාර මැදට පැමිණි දෙහිවල පොඩි රාලහාමි “ඔසී ඔය පිස්තෝලය පැත්තකට දාපන් වාගුණ්ඩියෙක් නොවී මාත් එක්ක අතින් පයින් ගහගන්න වරෙන්, මෙන්න මම ආවා”යි අභියෝගය පිළිගත්තේය. එම යුගයේ අභියෝග මත කෙරෙන ද්වන්දව සටන් බහුල විය. එහෙත් ඔසී කොරෙයා සෙනග අතරින් අතුරුදන් විය. විනාඩි කීපයකට පසු කළු පාලමට පහළින්, ඔහුගේ ට්‍රෑම්ප් වර්ගයේ රේසින් කාරයේ මහා ශබ්දය ඇසුණි. ඔහු වෙන්නවත්ත පැත්තට පලා ගිය බව කාගේත් මතය විය. දෙහිවල පොඩිරාලහාමි යනු එකල “සටන් සෙල්ලම්” දත් ප්‍රකට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකි. කලක් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුද වූ ඔහුගේ නියම නම දැන් මට අමතකය.


දැන් බලා සිටින්නේ ප්‍රතිඵල නිකුත් වන තුරුය. අවිස්සාවේල්ල පාරෙන් හැරෙන සංඝබෝධි මාවතේ වතුර පයිප්පය ළඟ පාරේ පැදුරු දමාගෙන වාඩි වී අපි සියයකටත් වැඩි පිරිසක් රසකැවිලි කමින් තේ බොමින් විනෝදයෙන් ප්‍රතිඵල කියන තුරු ගුවන් විදුලි යන්ත්‍ර තබාගෙන සූදානමින් සිටියෙමු. දුටු තැන පොරයට වැටෙන තරමේ ප්‍රතිපාක්ෂිකයන් අතර වෛරයක් නොතිබුණු එම වකවානුවේ ඥාතීන් සහ අසල්වැසියන් අතර පක්ෂ භේදය නිසා වෛරයක් තිබුණේ නැත. ඡන්ද ප්‍රතිඵල ඇසුවේ කවුරුත් එකටය. මධ්‍යම රාත්‍රියේ ප්‍රතිඵල ගුවන් විදුලියෙන් ප්‍රකාශයට පත් විය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ටී. බී. ඉලංගරත්න මහතා ජයගත් බව නිවේදනය විය. එහෙත් අප සමග සිටි බර්ගර් ජාතික කාන්තාවක්වූ මිසිස් බාටා එය පිළිගත්තේ නැත. ඇය තම පුතෙක් කැඳවුවාය. එරල්! එරල්! මේක තව දෙතුන් පාරක් රේඩියෝ එකේ කියනවා. විගහට ටෝනි මහත්තලගේ ගෙදරට ගිහින් එහෙ රේඩියෝ ඒකෙන් අහගෙන වරෙන් මේකමද කියන්නේ කියලා”යි නියම කළාය. ටෝනි මහතා යැයි ඇය අදහස් කළේ ප්‍රකට නළු ටෝනි රණසිංහ මහතාය. එදා ඔහු පදිංචිව සිටියේ මෙම ඡන්ද ප්‍රතිඵල ඇසූ තැනට ආසන්නයේය. ඡන්ද ප්‍රතිඵල වෙනස්වී තිබුණේ නැත. එහෙත් කොළොන්නාවේ දේශපාලනය බොහෝ සෙයින් වෙනස් වූවේය. මහජන එක්සත් පෙරමුණ මුළුමනින්ම පාහේ බිඳවැටුණි. එම පක්ෂයට බලය හිමිව තිබුණු මුල්ලේරියාව සුළු නගර සභාවේ සභාපති කරුණාරත්න මහතාත් කොටිකාවත්ත සුළු නගර සභාවේ සභාපති ඇම්. ඇල්. පෙරේරා මහතාත් තම පාක්ෂික නියෝජිතයන්ද සමඟ ශ්‍රී.ල.නි.පයට එක් වූහ. පසුව පැවති කොළොන්නාව නගර සභා මැතිවරණයේදී ආසන බෙදී ගියේ මේ අයුරිනි.


අංක 1 කොට්ඨාසය විජයපාල ගඟබොඩආච්චි (ල.ස.ස.ප)
අංක 2 කොට්ඨාසය සෝමසිරි ගලගෙදර (ශ්‍රී.ල.නි.ප)
අංක 3 කොට්ඨාසය යූ. ඩී. ඇම්. අබේසේකර (ස්වාධීන)
අංක 4 කොට්ඨාසය කේ. අබේවංශ පෙරේරා (ශ්‍රී.ල.නි.ප.)
අංක 5 චන්ද්‍රදාස තිසේරා (ශ්‍රී.ල.නි.ප.)
අංක 6 ගිල්බට් ජේ. පෙරේරා (එ.ජා.ප.)
අංක 7 ප්‍රේමවංශ තිසේරා (ල.ස.ස.ප.)
අංක 8 ඇස්. ජේ. සිල්වා (ශ්‍රී.ල.නි.ප.)
අංක 9 කේ. සෝමා පෙරේරා මිය (ශ්‍රී.ල.නි.ප.)
අංක 10 නෙල්සන් දැරණියගල (ල.ස.ස.ප.)
අංක 11 එච්. ඩී. ඉන්ද්‍රසිංහ (ල.ස.ස.ප.)

 

 

මෙහි සඳහන් කළ අංක නවය කොට්ඨාසය ජයග්‍රහණය කළ කේ. සෝමා පෙරේරා මිය වූ කලි වර්තමාන කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතාගේ නැන්දණිය වූ අතර ඇය මෙයට සති දෙකකට පමණ පෙර අභාවප්‍රාප්ත වූවාය.
සියවස් කීපයකට එහා කොළොන්නාව දේශපාලන උරුමය සොයා ගැනීමට නම් කෝට්ටේ රාජධානි සමය වෙත යොමු විය යුතුය. එහි රජ කළ විජයබාහු නිරිඳුන්ට අග බිසව වූ කීරවැල්ලේ මහ බිසෝ බණ්ඩාර, රජු හා විවාහ වීමට පෙර උපන් දේවරාජ නම් කුමරෙකු ද විය. විජයබාහු ද ඔහුගේ වැඩිමහල් සොහොයුරු ශ්‍රී රාජසිංහ කුමරුගේ බිරිඳ සමඟ එකගෙයි දීග කෑමෙන් උපන් බුවනෙකබාහු රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ යනුවෙන් පුතුන් තිදෙනෙක් වූහ. රාජ්‍ය උරුමය මෙම වැඩිමහල් පුතුන් තිදෙනාට තිබුණු නමුදු තරුණ බිරිඳගේ බලවත් ඉල්ලීම වූ තම පුත් දේවරාජ කුමරුට රජකම ලබා දීමට එකඟවන බවක් ද පෙනෙන්නට තිබුණි. මෙයින් කෝපයට පත් පුතුන් තිදෙනා පිය රජු මරා රාජ්‍ය බලය අත්කර ගත් බව ඉතිහාසයේ කියවේ. බුවනෙකබාහු කුමාරයා කෝට්ටේ අගරජු බවට පත්වූ අතර බාලපුත් මායාදුන්නේ කුමරු සීතාවක රාජ්‍යය ලබාගත්තේය. රයිගම් බණ්ඩාර රාජ්‍ය කටයුතු ගැන උන්නදුවක් නොදැක්වූ හෙයින් රයිගම ප්‍රදේශයද සීතාවක රාජ්‍යයට අයත් වූ බව කියවේ.


මෙයින් බුවනෙකබාහු රජු ඒ වනවිට ලංකාවට පැමිණ සිටි පෘතුගීසි හමුදාවන් සමඟ නිරන්තර සහයෝගය, උපකාර ලබාගනිමින් මිත්‍ර ලීලාවෙන් කටයුතු කළේය. එහෙත් සීතාවක රජ පැමිණි මායාදුන්නේ උග්‍ර පෘතුගීසි විරෝධියෙකු වූවා පමණක් නොව ක්‍රියාවෙන්ම ඔවුන් පලවා හැරීම සඳහා මහ සටන් කළේය. කෝට්ටේ සහ සීතාවක රාජ්‍ය දෙකේ මායිම් ගම්මානය වූවේ කොළොන්නාව ප්‍රදේශයේ මුල්ලේරියාවයි. කොරතොට කුරුප්පු ආරච්චි, හේවාගම ආරච්චි, අඹතලේ වික්‍රමසිංහ, අතුරුගිරිය ආරච්චි හා හෝකන්දර නැටුම්ගුරු ආදී සේන්පතියන් යටතේ සහ ටිකිරි කුමරුගේ අග්‍ර සේනාධිපතිත්වය ඇතිව 1562 අගෝස්තු 23 වැනිදා ජයග්‍රහණයෙන් මුල්ලේරියා සටන නිමවන විට මුල්ලේරියා වෙල පෘතුගීසි ලෙයින් පිරී තිබුණි. ඔවුන්ගේ සමස්ත සේනාංකයම සමූලඝාතනය කිරීමට සීතාවක හමුදාවට හැකිවිනැයි කියති. මෙම සටනේ ප්‍රධාන සිංහල කඳවුරු දෙක පිහිටා තිබුණේ මුල්ලේරියාවේ සහ කොළොන්නාවේය. 


පරංගි සේනාවේ නායකයා වූ බැල්තසාර් හෙඩිස් පවා හී පහරකට ලක් වූ බව මූලාශ්‍රවල දැක්වේ. යුරෝපාකාරයන්ට මෙතරම් ප්‍රහාරයක් එල්ල කළ පෙරදිග මහා සටන් බිම වශයෙන් මුල්ලේරියා සටන ලෝක ඉතිහාසයට එක්ව ඇති බවද සමහර වාර්තාවල දැක්වේ. මෙම ජයග්‍රහණයෙන් පසු ඒකනායක මහා මන්ත්‍රීවරයාණන් විසින් විජයග්‍රාහී සිංහල ධජය නංවනු ලද ස්ථානය කොඩිගහවත්ත නම් වූ අතර වහරේදී කොටිකාවත්ත වූවේ යැයි විද්වත් මතයයි. කොළොන්නාවේ ඓතිහාසික දේශප්‍රේමී උරුමය ඒ ආකාරයෙන් විග්‍රහ කළ හැකිය. ඉඩකඩ සීමිතය. මේ එක නිදසුනම ප්‍රමාණවත්ය.


කොළොන්නාවේ දේශපාලන උරුමය පිළිබඳව අප ඉහතින් විස්තර කළ ඈත මෑත ඉතිහාසයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් පසුකාලයකදී එහි ගොඩනැගුණු ආකාරය කාටත් දැකගන්නට ලැබුණි. මීතොටමුල්ලේ කුණු කන්දට සාපේක්ෂව මෙම දේශපාලන කසළ කඳුද උස් මහත් වූ ආකාරය අධිකරණ වාර්තා ඔස්සේ මාධ්‍යවල පළ විය.


බලකාමය සහ යසස්කාමය නිවැරදි දේශපාලන ක්‍රියාකාරිත්වයක දැක්ම නොවිය යුතුය. හුදු ආත්මාර්ථයෙන් තොර දේශයට හා ජනතාවට සේවය කිරීමම පරමාදර්ශය කර ගත් අයට අවිබලය හෝ වෛරී දේශපාලනයක නියුක්ත වීමට සිදුවන්නේ නැත. එසේ වූවානම් අනෙක් බොහෝ දේ මෙන්ම කසළ කඳු පෝෂණය වන්නේවත් උස්මහත්වී වැඩෙන්නේවත් නැත. රොබට් ගුණවර්ධනයන්ගේ කියමන යළි සිහිපත් වේ. “කුණු ගොඩෙන් බිහි වී කුණු කා පෝෂණය ලබා කුණු ගොඬේම ජීවත් වන” එහෙත් එය අදාළ වන්නේ රොබට් කී පාර්ශ්වයන්ට නොවේ. කොළොන්නාවේ කසළ වසල බවට පත් කළ ඇත්තන්ටය. එනිසා පෙර පැවති මහත්මා දේශපාලනය යළි කැඳවා ගැනීම කොළොන්නාවේ පුරවැසියන්ගේද වගකීමක් බව සටහන් කරමි.

සෝමසිරි වික්‍රමසිංහ