“ඉර හඳ පවතින තුරු හාල් සේරුව ශත 25යි.”
නව අගමැති ඩබ්ලි සේනානායක ජනතාවට පොරොන්දු වී තිබිණ.. නිදහස් රටක අරුණලු දකිමින් සිටි ජනතාව එය අසා ඔල්වරසන් දුන්හ.
අපි රටේ ආර්ථිකය උඩුයටිකුරු කරනවා” මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන පැවසුවේය. 1950 දී ආණ්ඩුව ලෝක බැංකුවේ සාමාජිකත්වය ගත්තේය.
ආධාර හා ණය ආධාර ලබාදීමට මෙතෙක් දුන් සුබසාධන කපා හරින ලෙස ලෝක බැංකුව දැන්වීය. අලුත් ආණ්ඩුවට බලය ලබා නොබෝ කලකින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අහස උසට ඉහළ නැංගේය.
පාසල් දරුවන්ගේ ආහාරවේල අහිමි කෙරිණි. වැටුප් වර්ධක දීම පස්සට කල් ගියේය. වඩාත්ම භයානක ප්‍රතිඵලය වූයේ හාල් සේරුව ශත 70ට වැඩි කිරීමට 1953 අයවැයේ දී යෝජනා වීමය.
මේවා හරියට සිදුවනවාදැයි බැලීමට පැමිණි ලෝක බැංකු නිරීක්‍ෂක සර් සිඞ්නි කේස් ඇතුළු පිරිසට අයවැය රසඳුනක් විය.
මේ වන විට විපක්‍ෂය නියෝජනය කළ ලංකා සම සමාජ පක්‍ෂය ඇතුළු වාමාංශික බලවේග කෙරෙහි වැඩ කරන ජනතාව තුළ පැවතියේ මහත් ගෞරවයකි. ගතානුගතික රදල ධනේෂ්වර ගති පැවතුම්වල වහලුන් වී සිටි ජනතාවගේ ගැලවුම්කාරයා ලෙස බහුතරයක් පිළිගෙන තිබූ සම සමාජය ජනතාව අතරට ගොස් කරුණු විමසීය.
“එනපොට හොඳ නෑ ධනපති හැතිකරේ ආයෙත් වහල් යුගයක් බිහිකරන්නයි යන්නේ. එකමුතු වෙයල්ලා.”
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාත් කොමියුනිස්ට් පක්‍ෂයේ පීටර් කෙනමන් සහ විප්ලවකාරි සම සමාජයේ පිලිප් ගුණවර්ධන ප්‍රමුඛ වමේ කථිකයෝ ජනතාව අවදි කළහ. රටවටා පක්‍ෂ ශාඛා සමිති, කැඳවන ලදී. වරාය දුම්රිය ඇතුළු වැඩකරන ජනතාවගේ වෘත්තිය සමිති ලොකුම කාර්ය භාරය අතට ගත්හ. සංකේත වර්ජනයෙන් ඇරඹි ආණ්ඩු විරෝධය පිකටිං පෙළපාළි උද්ඝෝෂණ හා දැවැන්ත වර්ජනයක් කරා යොමු විය.
“වමේ උන් මිනිස්සු අවුස්සන්න කලින් කොහොම හරි අයවැය දිනවන්න ඕනෑ”
1953 ජුලි 23 වැනිදා අයවැය විවාදයට සූදානම් වෙමින් ජේ. ආර්. පැවසීය.
වමේ බලවේග පාර්ලිමේන්තුව ඉදිරිපිට ගෝල්ෆේස් පිටියේ මහ රැස්වීමට රොද බැඳගත්හ. ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ නිවාස වැටලූහ. අයවැයට එරෙහිව පළාත් පාලන ආයතනවල යෝජනා සම්මත වන්නට විය.
“වාදබේද අත හැරලා සියලු බලවේග 12 වැනිදා එක්තැන් කරමු.”
අගෝස්තු 12 වැනිදා මහා හර්තාලයට රටම සූදානම් වෙද්දී එම විරෝධය නොතකා අගෝස්තු 07 වැනිදා ආණ්ඩුවේ ඊනියා අයවැය වැඩි ඡන්ද 23කින් සම්මත කෙරිණ.
ආණ්ඩුවේ බලයට වඩා ජනබලය වැඩිබව දක්වමින් කිසිවකු සේවයට වාර්තා නොකළහ. නගර ගම් නියම් ගම්වල කළු කොඩි එසැවිණ.
උස් ගොඩනැගිලි මත ජාතික ධජය වෙනුවට කළුකොඩි ලෙළදිණි. මංමාවත් වල ගස් කපා කොටන් දැමීම නිසාත් ජනතාව පාර අවුරා ඝෝෂා කිරීම නිසාත් කිසිවකු ලවාවත් බස් දුම්රිය ධාවනය කිරීමට ආණ්ඩුව අපොහොසත් විය.
මහපාරේ නිදියන්ටත්, ලිප් බැඳ ආහාර පිසින්නටත්, රොටි පුච්චන්ටත් වූයෙන් පාරවල් සැණකෙළි සිරි ගත්තේය.
පාර්ලිමේන්තුව තුළත් රජයේ ගොඩනැගිලි තුළත් ඇමැති මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නොහැකි වූයේ විශේෂ තැනක ආණ්ඩුවේ ලොක්කෝ රැස් වූහ. ඒ කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ එම්. එස්. එම්. නිව් සවුත්ලන්ඞ් නෞකාවේය.
ආණ්ඩුව මුනිවත රකින්න හර්තාලය තව තවත් කල් දිගුවිය. එනිසා හදිසි නීතිය පනවා පොලිස් හමුදා යොදා විරෝධතාකරුවන් මෙල්ල කිරීමට ආණ්ඩුව තීරණය කළේය.
“අපි හර්තාලය නවත්වමු ආණ්ඩුව ජනතාවගේ මළමිනි උඩින් යන්නයි හදන්නේ” ඇන්. ඇම්. කීය.
ඒ ලෙසටම පොලිස් වෙඩි තැබීමෙන් පිටකොටුව බළපිටිය හා දොම්පේ ඇතුළු ප්‍රදේශ රැසක වැඩ කරන ජනතාව දිවි පිදුහ.
වමේ කැඳවුම්කරුවෝ එවන් පියවරක් ගත්තේ පාලකයන්ගේ යකඩ කඳන්වලින් ජනතාව බේරාගැනීම උදෙසාය. එහෙත් කඩා බිඳ වැටුණු පාරවල් බෝක්කු, දුම්රිය මාර්ග යථා තත්ත්වයට ගෙන ඒමට දිගුකලක් ගතවිය.
ජනතා විශ්වාසය බිඳවැටුණු වාතාවරණය තුළ ඩඞ්ලි සේනානායක අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූයේ තම සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවත් කියමිනි. එබැවින් සර් ජෝන් කොතලාවලට එම තනතුර භාරගන්නට සිදුවිය.
සර් ජෝන් මුලින්ම කළේ රටට මේසා විපතක් කළ ජේ. ආර්. ගේ අයවැය අවලංගු කිරීමය. ඊළඟට ජේ. ආර්. මුදල් ඇමැතිකමින් ඉවත් කර ඔහුට කෘෂිකර්මය භාර දීමය.
හාල් සේරුවේ මිල ශත 55ට අඩුකිරීමට කොතලාවල තිරණය කළේය.
එහෙත් මේ ඇස්බැන්දුම් වලින් ආණ්ඩු විරෝධය මැඩපැවැත්වීමට ඔහුට නොහැකි විය. එජාපය දිය වී යන්නට විය.
හර්තාලයෙන් ලත් අපූරු අත්දැකීම් තුළින් ඕනෑම ප්‍රබල ආණ්ඩුවක් පෙරළා දැමිය හැකි බව ජනතාව තේරුම් ගත්හ.
වැඩ කරන ජනතාව ප්‍රධාන පංචමහා බලවේගය ඒකරාශීකර ගැනීමට යූඇන්පියෙන් එළියට පැමිණි එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිඳුට හැකි වූයේ එබැවිනි.
හර්තාලය මෙහෙය වූ වාමාංශික බලවේග ශ්‍රීලනිපය සමඟ නිතරග ගිවිසුමක් සඳහා එළැඹීම නිසා ජනතා ආණ්ඩුවට බලයට ඒමට අවශ්‍ය පන්නරය සපිරිණි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි