රටම වසඟ කළ විජේවීරගේ ඡන්ද සටන


ජනාධිපතිවරණයට 1982 සැප්තැම්බර් 17 වැනිදා නාමයෝජනා දුන් අවස්ථාවේදී, එජාප ජේ. ආර්. ජයවර්ධන, ශ්‍රීලනිප හෙක්ටර් කොබ්බෑකඩුව සහ ජවිපෙ රෝහණ විජේවීර

 

 

1972 ව්‍යවස්ථාව සංශෝධනය කොට 1978 නව ව්‍යවස්ථාවක් මගින් එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගත වන පරිදි විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ 1977 වර්ෂයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය විසිනි.


1978 නිර්මාණය කළ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් විය. පළමු ජනාධිපතිවරයා ලෙස ජනාධිපතිවරණයක් නොපවත්වාම 1978 පෙබරවාරි 04 දින ගාලුමුවදොර පිටියේ දී ජේ. ආර්. ජයවර්ධන දිවුරුම් දුන් අතර ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුණේ 1984 වර්ෂයේ දීය. නමුත් මතුවෙමින් එන අර්බුදය තුළ එතරම් කාලයක් පමාවීම අවාසිදායක බව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තේරුම් ගෙන සිටියේය
.


මේ අනුව පළමු ජනාධිපති ධුර කාලයට වසර 4ක් පිරීමෙන් පසුව අවශ්‍ය නම් ජනාධිපතිවරණයකට යාම සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය 1982 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත් තුන්වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගන්නා ලදී. 1982 ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පවත්වන ලද්දේ ඒ අනුවය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ඉක්මන් ජනාධිපතිවරණයක් සඳහා ජයවර්ධන පාලනය සූදානම් වන්නේ, තවත් වසර 6 කට බලය ලබාගනිමින් ඒකාධිපති ගමනක් යාමට බව ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගත්තේය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ද? යන ප්‍රශ්නය රට හමුවේ තැබීමට පෙර එය ජවිපෙ දේශපාලන මණ්ඩලයේත්, මධ්‍යම කාරක සභාවේත්, සාකච්ඡාවට ලක්විය. ඒ අනුව ජයවර්ධන පාලනය ඒකාධිපති පාලනයක් දක්වා වර්ධනය වීම පරාජය කළ යුතු බවත්, ඒ සඳහා ජනාධිපතිවරණයෙන්  ජයවර්ධන ජයගැනීම වැළැක්විය යුතු බවත්, විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ දේශපාලන පියවර ගත යුතු බවත්, ජවිපෙ තීරණය විය. මේ තත්ත්වය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට විපක්ෂයේ සියලු පක්ෂවල සහාය ඔහුට ලබාදී ඔහු ජයග්‍රහණය කළ යුතු බවට උපක්‍රමික සටන් පාඨයක් ජවිපෙ විසින් තෝරන ලදී.


1982 වර්ෂයේ අගෝස්තු මාසයේ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමක දී ජවිපෙ විසින් ජනාධිපතිවරණය පිළිබඳව තම මතය කල එළි දැක්වූයේය. සෙසු එජාප විරෝධී පක්ෂ සමග සාකච්ඡා කර නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට විපක්ෂයේ සියලු පක්ෂවල සහාය ඔහුට ලබාදී ඔහු ජයග්‍රහණය කළ යුතු බව ජවිපෙ යෝජනාව විය. මේ තීරණය අනුව ජේ. ආර්. ජයවර්ධන පැරදවීම සඳහා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමු යන සිය යෝජනාව ඇතුළත් ලිපියක් ජවිපෙ විසින් එජාප විරෝධී සියලු පාර්ශවයන්ට යවන ලදී. 71 කැරැල්ල හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ දී ඇතිවූ ශ්‍රීලනිප ජවිපෙ ගැටුම හේතුවෙන් ශ්‍රීලනිපය හා ජවිපෙට එක් තැනකට පැමිණීමට නොහැකි තත්ත්වයක් මේ වන විට ද පැවතුණි. මේ හේතුවෙන් ජවිපෙ ඉදිරිපත් කළ යෝජනාව ඉන් ඔබ්බට ගමන් නොකළේය.
සිරිමාවෝ බණ්ඩාරනායකට අවශ්‍ය වූයේ තමන්ට ප්‍රජා අයිතිය ලැබී ඊළඟ ජනාධිපතිවරණයට තරගවැදීමට අවස්ථාව ලබාගැනීම සඳහා 1982 ජනාධිපතිවරණයට කවුරු හෝ දුර්වල අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමය. විපක්ෂයේ අභ්‍යන්තර අර්බුද මෙම තීරණයට හේතු වූ අතර පසුව ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඉදිරිපත් කරන බව ප්‍රකාශයට පත්කරන ලදී.

 

1982 දී රෝහණ විජේවීර මහජන රැස්වීමක් ඇමැතූ අයුරු.

 


එජාප විරෝධී බලවේග ඒකරාශී කරගෙන තම ගමන යා නොහැකි තත්ත්වයක් උද්ගතවීමෙන් පසුව ජවිපෙ ඊළඟ පියවරට එළඹුණි. එනම් වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමු යන පදනමේ සිට ජවිපෙ ක්‍රියාත්මක විය. එහිදී වමේ පොදු අපේක්ෂක අනිවාර්යයෙන්ම ජවිපෙන් විය යුතු බවත් ප්‍රකාශයට පත්කරන ලදී. සාකච්ඡා වට කිහිපයක් පැවැත් වුව ද ඒ යෝජනාව ද ඵල නොදැරීය. මෙහිදී කොල්වින් ආර්. ද සිල්වා (ලංකා සම සමාජ පක්ෂය) වමේ පොදු අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ අතර ඒ සමග වාසුදේව නානායක්කාර (නව සම සමාජ පක්ෂය) ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළේය.


මෙම තත්ත්වයන් සලකා බැලූ ජවිපෙ අවසන් තීරණයකට එළඹුණු අතර ජයග්‍රහණය සඳහා නොව ජනමතය ගොඩනැගීම සඳහා ජනාධිපතිවරණයට තනිවම තරග කිරීමට ජවිපෙ තීරණය කළේය. මහනුවර දී විශේෂ සම්මේලනයක් පවත්වා ජවිපෙ විසින් ජනාධිපතිවරණය සඳහා සිය අපේක්ෂකයා නම් කළේය. ඒ අනුව පක්ෂයේ තීරණය වූයේ ජවිපෙ අපේක්ෂකයා රෝහණ විජේවීර විය යුතු බවය. ජනාධිපතිවරණයේ නාම යෝජනා ඉදිරිපත් කිරීමට පෙර මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජවිපෙ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කරනු ලැබීය. පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ තරග වැදුණු පළමු ඡන්දය වූයේ ජනාධිපතිවරණයයි. සීනුව ලකුණ තම මැතිවරණ ලාංඡනය ලෙස තහවුරු කරගන්නා ලදී. ජනාධිපතිවරණ නියෝජිතයෙකු වශයෙන් අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර පත්කර ගැනීමට විජේවීර අදහස් කළේය. එය වගකීමක් සහිත තනතුරක් විය. දැනුම ඇති බුද්ධිමත් තරුණයන් ජවිපෙ සිටිය ද මැතිවරණ සංවිධාන කටයුතු පිළිබඳව කටයුතු කිරීමට තරම් ප්‍රවීණයකු නොමැති බව විජේවීරගේ අදහස විය. මැතිවරණ නීිතිය අනුව අපේක්ෂකයා වෙනුවෙන් පත්කරන නියෝජිතයාට විශාල බලතල හිමිවේ. ඒ අනුව ප්‍රින්ස් ගුණසේකර, විජේවීර විසින් ප්‍රදානය කළ තනතුර බාරගන්නට එකඟ විය. එමෙන්ම ජවිපෙට කාර්යාල පහසුකම් සඳහා කොළඹ රොස්මිඞ් පෙදෙසේ අංක 7/1 දරන නිවස ලබාදීමට ද එකඟ විය. ප්‍රින්ස් ගුණසේකර තම නීතිඥ වෘත්තිය සඳහා පාවිච්චි කරනු ලැබූ ඔහුගේ නිවසේ කාර්යාලය ජනාධිපතිවරණය අවසන් වනතුරු ජනාධිපතිවරණයේ ජවිපෙ සම්බන්ධීකරණ කාර්යාලය ලෙස මාරු කරන ලදී. නාම යෝජනා ඉදිරිපත් කළ දිනයේ දී රාජකාරි කාර්යාලය ලෙස කොළඹ 7 රොස්මිඞ් පෙදෙසේ අංක 7/1 දරන ස්ථානයේ ලිපිනය ඉදිරිපත් කරමින් මැතිවරණ නියෝජිතයෙකු ලෙස ප්‍රින්ස් ගුණසේකර නාම යෝජනා ඉදිරිපත් කළේය.


ප්‍රථම වරට ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා 1978 සම්මත කරගත් නව ව්‍යවස්ථාව අනුව නාමයෝජනා කැඳවීම 1982 සැප්තැම්බර් 17 වැනි දින සිදුවිය. ඒ සඳහා එජාපයෙන් ජේ. ආර්. ජයවර්ධන ද ශ්‍රීලනිපයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ද ජවිපෙන් රෝහණ විජේවීර ද ලසසපයෙන් කොල්වින් ආර්. ද සිල්වා ද නසසපයෙන් වාසුදේව නානායක්කාර ද සහ සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයෙන් කුමාර් පොන්නම්බලම් යන අයගේ නාමයෝජනා මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදුන් අතර මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගැනීමෙන් පසු ඔවුහු අපේක්ෂකයන් බවට පත්වූහ. ඒ අනුව මහජන ඡන්දයෙන් පත්වන ප්‍රථම ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් 20 දින පැවැත්විණි.


ජනාධිපතිවරණයේ දී ජවිපෙ තේමා පාඨය වූයේ ‘රට හදන්න අපට දෙන්න’ යන්නය. බැනර් පෝස්ටර් යොදා ගනිමින් ජවිපෙ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරනු ලැබිණි. රූපවාහිනී නාළිකා තුනකින් සහ ගුවන්විදුලියෙන් රෝහණ විජේවීර ජනතාව අමතා කතා කළේය. ඒ අනුව ජවිපෙ ඉතා සංයමයකින් මැතිවරණ කටයුතු කළේය. විජේවීර විසින් කළ කතාවන්ට මහජනතාව උනන්දුවෙන් ඇහුම්කන් දුන්හ. චතුර කතාබහෙන් විජේවීර තරම් ජනතාවගේ සිත් දිනාගැනීමට තරම් කිසිවෙක් නොවීය. මුළු පක්ෂයේම ජවය මෙන්ම සම්පත් ද ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යෙදවෙන්නට විය. වඩාත් උත්කර්ශවත් වඩාත් වර්ණවත් වඩාත් උද්යෝගිමත් වඩාත් සටන්කාමී ප්‍රචාරක රැලි පැවැත් වූයේ ජවිපෙ විසින්ය.


ජේ. ආර්. ජයවර්ධන තම ඡන්ද ව්‍යාපාරය පුරාම ජනාධිපති බලයත්, පාර්ලිමේන්තු බලයත්, මැර බලයත් උපරිම ලෙස යොදා ගත්තේය. මැතිවරණ වේදිකාවේ සිට ජේ. ආර්. ජයවර්ධනගේ මැර දේශපාලනයට අභියෝග කරමින් රෝහණ විජේවීර මෙසේ පැවසීය.


“අපි ජනතා විමුක්ති පෙරමුණ, මේ රටේ දේශපාලනය කරන්නේ කිසියම් ධනපති දේශපාලන පක්ෂ සමග හෝ ඔවුන්ගේ මැරයන් සමග කොන්දේසි සහිතව නොවන බව ප්‍රකාශ කරන්න කැමතියි. මේ රට තුළ ජනතා විමුක්ති පෙරමුණ යටත් වන කොන්දේසි තිබෙන්නේ ජනතාව සමග පමණයි. දේශපාලනය කිරීම අපේ ශුද්ධ වූ අයිතියක්. කිසිම ධනපති පාලකයෙක් හෝ ධනපති දේශපාලන කල්ලිවලින් හෝ ඔවුන්ගේ මැරයන්ගෙන් අවසර ගෙන දේශපාලනය කිරීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය නොවේ. ජේ. ආර්. ජයවර්ධන අවුරුදු 10කට ලංකාවේ මැතිවරණ සිතියම අකුළන බව ප්‍රකාශ කළේ ද මෙම ජනාධිපතිවරණයේ දීය. ශ්‍රීලනිප ඡන්ද ව්‍යාපාරය අතිශය දුර්වල මලානික ස්වභාවයක් ඉසිලීය. ඡන්ද ව්‍යාපාරය තුළ ජේ. ආර්. ජයවර්ධනට අභියෝගය වූ බලවේගය බවට ජවිපෙ පත්ව තිබුණි. විශේෂයෙන්ම ජවිපෙන් මැතිවරණ සාමාජිකයන් බඳවා ගැනීමට දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ අතර සාමාජිකයන් ලක්ෂ හතරකටත් වඩා වැඩියෙන් බඳවා ගන්නා ලදී. මේ හේතුවෙන් ජවිපෙ ඇතැම් ක්‍රියාකාරීහු ජනාධිපතිවරණයේ දී ලබාගන්නා ඡන්ද ප්‍රමාණය පිළිබඳව අධි තක්සේරුවකින් සිටියහ.


1982 ඔක්තෝබර් 20 වැනිදා පැවති පළමු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ජේ. ආර්. ජයවර්ධන ඡන්ද 3,450,811 ක් ලබාගනිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. මෙය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 52.91%ක් විය. දෙවැනියා වූ ශ්‍රීලනිපයෙන් තරග කරනු ලැබූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ලබාගනු ලැබූ ඡන්ද ප්‍රමාණය වූයේ 2,548,438කි. ඔහු ලබාගත් ප්‍රතිශතය වූයේ 39.07%කි. රෝහණ විජේවීර ලබාගත් ඡන්ද ප්‍රමාණය වූයේ ඡන්ද 273,428 කි. එහි ප්‍රතිශතය වූයේ 4.19%කි. ජී. ජී. පොන්නම්බලම් ඡන්ද 173,934ක් ලබාගත් අතර ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 2.67%කි. කොල්වින් ආර්. ද සිල්වා ඡන්ද 58,531ක් ලබාගත් අතර වාසුදේව නානායක්කාරට ඡන්ද 17,005ක් හිමිවිය. ජවිපෙට වැඩිම ඡන්ද ප්‍රමාණයක් වූ 28,835ක් හිමිවූයේ හම්බන්තොට ප්‍රදේශයෙනි. ඡන්ද 20,000කට වඩා හිමිවූ දිස්ත්‍රික්ක වූයේ කොළඹ 28,580, ගම්පහ 23,701, මාතර 22,117, කුරුණෑගල 21,835 සහ ගාල්ල 20,962ක් වශයෙනි.


ජනාධිපතිවරණ ප්‍රතිඵල ජවිපෙ තුළ අභියෝගයකට ලක්වූ අතර මෙම තත්ත්වය ඇතැම් නායකයින් සහ ක්‍රියාකාරීන්ගේ ඉච්ඡාභංගත්වයට හේතුවිය. ජනාධිපතිවරණයේ දී ජවිපෙ තුන්වැනියා බවටත්, වමේ ප්‍රධානියා බවටත්, පත්වුව ද ලද ඡන්ද ප්‍රමාණය බලාපොරොත්තු වූ ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවීය. මේ අනුව ඡන්ද ව්‍යාපාරයේ දී ඇති කරගත් අධිතක්සේරුව ප්‍රතිඵලය තුළ බිඳවැටීමක් නිසා ජනාධිපතිවරණයෙන් පසු පක්ෂයේ ඇතැම් ශ්‍රේණින් තුළ කිසියම් ප්‍රමාණයක බිඳවැටීමට ලක්ව දුර්වල වීම්, පසුබෑමේ තත්ත්වයක් නිර්මාණය විය. ඊට සාර්ථකව මුහුණ දෙමින් එම මනෝභාවයන් පරදවමින් පක්ෂය තුළ විශ්වාසය තහවුරු කරමින් පෙරට යාමට රෝහණ විජේවීර ප්‍රමුඛ පක්ෂ නායකයෝ පියවර ගත්හ. 1982 ජනාධිපතිවරණයේ දී ජවිපෙ කිරා මැන බැලුවේ තමන්ගේ ශක්ති ප්‍රමාණයයි. කොල්වින් ආර්. ද සිල්වා පසුකර තමන් තුන්වැනි තැනට පත්වීමත් සමග රටේ තීරණාත්මක දේශපාලන භූමිකාවක් තමන්ට ඇති බව ජවිපෙ එදා පෙන්නුම් කළේය. ඒ අභියෝගය ජේ. ආර්. ජයවර්ධනට ද දැනුණේය. 83 පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමට ජේ. ආර්. ජයවර්ධන යොමු වූයේ ද විජේවීර එදා දුන් අභියෝගය නිසාය.

 

 


එම්. තාරික්
ඡායාරූප අන්තර්ජාලයෙනි