යුද්ධයක් යනු විනාශයකි. එහිදී විනාශවන භෞතික සම්පත් මෙන්ම මිනිස් ජීවිත සංඛ්‍යාවද අසීමිතය. අතීතයේදී සිදු කෙරුණු යුද්ධවලදී මිය ගියේ යුද පෙරමුණේ මුහුණට මුහුණලා සටන් කළ දෙපාර්ශ්වයේ යුද පෙරමුණේ අය පමණි. එහෙත් පසුකාලීනව නවීන තාක්‍ෂණය නිසා තත්ත්වය වෙනස්ව ගියේය. එහෙත් ත්‍රස්තවාදය උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන ගරිල්ලා සටනකදී මිය යන නිරායුධ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව සුළු පටු නොවේ.
මේ අනුව සලකන විට තිස් අවුරුද්දක් මුළුල්ලේ ඇදී ගිය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුද්ධයේදී විනාශ වූ මිනිස් ජීවිත සහ සම්පත් ප්‍රමාණය කිසි දිනක නිවැරදිව වාර්තාවකට ඇතුළත් නොවනු ඇත. සටන පැවතුණේ උතුරේ මුහමාලේ ඉදිරි ආරක්‍ෂක වළල්ලේ වුවද රටේ කිසිම ස්ථානයක් ආරක්‍ෂා සහිත නොවීය. එය ලංකා භූමියෙන් එපිටට පැතිරී ඉන්දියාවේදී 1991-05-21 දා එරට අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීම දක්වා උග්‍ර අතට හැරුණි.
1992 වසර ගැන සැලකුවහොත් ජනවාරි මාසයේ දිනක කොටින් අම්පාර අරන්තලාවේ සිට බොරපොළ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක බෝම්බයක් පුපුරුවා හැර දහ දෙනෙකු මරා දමා විසි තුන් දෙනෙකුට බරපතළ තුවාල සිදු කරන ලදී. එම අප්‍රේල් මාසයේ 10 වැනි දින මිනීමරු ත්‍රස්තවාදීහු දිවයිනේ ස්ථාන තුනකදී බෝම්බ පුපුරුවා හැරියහ. මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී එයින් එකක් පිපුරුණි. එහිදී අහිංසක පුරවැසියන් නව දෙනෙකු මරා දමා විසි තුන් දෙනෙකුට තුවාල සිදුවිය. මරදානේදී කාර් බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් විසිතුන් දෙනෙක් තුවාල ලැබූහ. අම්පාර පුද්ගලික බස් නැවතුම් පොළේ නවතා තිබූ බස් රථයක බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියන් විසි අට දෙනෙක් මරණයට පත් වී තිස් හය දෙනෙක් තුවාල ලැබූහ. එයට දින කීපයකට පසු පොළොන්නරුවේ අලිංචිපොතාන මුස්ලිම් ගම්මානයේ මිනිසුන්ටත් කරපොල සහ මුතුගල යන ගම්වලටත් පහර දීමෙන් වැසියන් 130ක් මරා දමා 71 දෙනෙකුට තුවාල සිදු කරනු ලැබීය. මේ හැරුණු විට ලංකාවේ ක්‍රියාන්විතයට සහභාගි වූ ඉන්දීය සාම සාධක හමුදාවේ සෙබළු 1555ක් මරා දමා තිබුණු අතර තවත් විශාල පිරිසක් අතුරුදන් කර තිබුණි. තුවාල සිදුවූවන්ද විශාල පිරිසකි.
රුධිර ගංගා ගලා යන එම රුධිරයෙන් ලක් දෙරණ අපවිත්‍රව පැවති පසුබිමක 1992 වසරේ අගෝස්තු මාසය උදාවූවේය. ඒ මෙයට හරියටම වසර විසි පහකට එපිටදීය.
මෙම විනාශකාරී ඊළාම් ත්‍රස්තවාදය සහ විනාශකාරී යුද්ධය නිමා කර වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති ලේ පිපාසිතයා සහ ඔහුගේ සහචර කොටින් පලවා හැරීමට ආරක්‍ෂක සේනාවෝ යුද වැදී සිටියහ. එහි අරමුණ වූවේ මෙරට ජීවත්වන සිංහල, දෙමළ සහ මුස්ලිම් ආදී සෑම ජාතියකටම අයත් සාමකාමී පුරවැසියන්ට සාමයෙන් ජීවත් වීමට මග සලසා දීමය. ජාති භේදයෙන් තොරව බෞද්ධ හින්දු ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආදී සෑම ආගමකටම අයත් පුරවැසියන්ට තමන්ගේ මාතෘභූමිය ලෙස ශ්‍රී ලංකාව පතිරූප දේශයක් කරදීම ආරක්‍ෂක සේනාවන්ගේ සටන් කිරීමේ අරමුණ විය. මේ වන විට නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම බේරාගෙන තිබුණු නිසා එහි උතුරෙන් සංක්‍රමණය වූ කොටින් සිදු කරන පහර දීම්වලට පමණක් සීමා වී තිබුණි. යම් යම් සිදුවීම් සිදුවූවා වුවත් යුද්ධයේ මූලික අපේක්‍ෂාව යොමුව තිබුණේ උතුර කෙරෙහිය. හමුදාවේ පිරිස් බලය සීමිත වූ නිසා කොටින්ගේ උපක්‍රමය වූවේ හමුදාවන් උතුරේ මෙහෙයුම් දියත් කළ වහාම නැගෙනහිර ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීමය. කෙසේ වුවත් නැගෙනහිර ආරක්‍ෂා කර ගනිමින් උතුර මුදාගැනීම ආරක්‍ෂක හමුදාවන්ගේ පරිශ්‍රමය වූවේය.
උතුරේ සටන් බෙහෙවින් උග්‍රව පැවති මෙම දිනවල ඊළඟ තීරණාත්මක ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා එවකට එම මෙහෙයුම් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් කයිට්ස් දූපතේ අරාලි තුඩුව නම් ස්ථානයට ගොස් තිබුණි. මෙම සැලසුම නිසි පරිදි ක්‍රියාත්මක කර උතුරෙන්ද කොටි ත්‍රස්තවාදය අතුගා දැමීම මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන්ගේ අරමුණ වූ බව කියැවේ. මෙම කණ්ඩායමේ නායකත්වය දැරුවේ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාය. බි්‍රගේඩියර් විජය විමලරත්න මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨයෝ රැසක් මෙම විමර්ශන චාරිකාවට සහභාගි වූහ. මෙම අවධියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකුට එකම වාහනයක ගමන් කිරීම සිදු නොකරන ලෙස හමුදා මූලස්ථානය විසින් ඉතා පැහැදිලිව උපදෙස් දී තිබුණි. එසේ තිබියදී මෙවැනි නිලධාරින් විශාල පිරිසක් එකම වාහනයේ ගමන් කළේ මක්නිසාද යන ගැටලුව අදටත් ඉතිරිව පවතී.
නියමිත ස්ථානයට ගොස් අදාළ විමර්ශනය නිම කිරීමෙන් පසු මෙම නිලධාරීන් ගමන් කළ වාහනය අරාලි තුඩුවේ සිට ආපසු එමින් තිබුණි. වාහනය පදවමින් සිටියේ බි්‍රගේඩියර් විජය විමලරත්නය. යුද්ධය නිසා අබලන් වූ මාවතක වාහනය ධාවනය වෙමින් තිබුණි. එක් තැනකදී මාර්ගය හොඳටම අබලන් වූ නිසා ඉදිරියට යාම අතිශයින් දුෂ්කර වූ බැවින් එකී වාහනය පාරෙන් ඉවතට ගෙන වැලි සහිත බිමේ මීට පෙර වාහනයක් ගිය රෝද සලකුණු මතින් මෙම වාහනය පදවා ඇත. එවිට වැලි පොළවේ වළලා තිබුණු පීඩන බෝම්බයක් මෙම රථයේ රෝදයකට යටවීම නිසා පුපුරා ගොස් ඇත. මෙම අතිශය භයානක පිපිරීම නිසා මෙම පිරිස ගමන් කළ ලෑන්ඞ් රෝවර් රථය පුපුරා ඉහළ ගොස් සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණි. එම වාහනයේ සිටි බි්‍රගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් නියොමාල් පලිපාන, ලුතිනන් කර්නල් එම්. ආර්. ස්ටීවන්, ලුතිනන් කර්නල් සී. එම්. ආරියරත්න, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් අසංක ලංකාතිලක, ඩී. බී. ලංකාපුර, මේජර් නලින් අල්විස් සහ ජගත් වික්‍රමරත්න යන නිලධාරින් සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව සිටි අතර මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ බි්‍රගේඩියර් විජය විමලරත්න මහතාගේ ආරක්‍ෂක නිලධාරියා වූ කෝප්‍රල් උපාලි මාරසිංහ මහතාද මාරාන්තික තුවාල ලබා සිටියහ. සුවපත් කර ගැනීමේ අටියෙන් වෛද්‍යවරු නොයෙක් උත්සාහ ගත්තද ඒ සියල්ල ව්‍යර්ථ කරමින් මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව ද දැයෙන් සමුගත්තේය. මුළුමහත් දේශයේම අතිශය ගෞරවාදරය දිනා සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා රණබිමේදී දක්වන ලද සුවිශේෂී කැපවීම සහ වීර වික්‍රමාන්විත බව නිසාම වඩමාරච්චි පදක්කම, පූර්ණභූමි පදක්කම, සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විසිපස් වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා ජනරජයේ සන්නද්ධ සේවා පදක්කම, ජනාධිපති ධූර ප්‍රාප්ති පදක්කම, රණවික්‍රම පදක්කම ආදී ගෞරව සම්මාන රාශියකින් පුද ලද රණශූරයෙක් වූවේය. ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා කරන ලද අනුපමේය සේවාව නිසාත් ඔහුගේ යහපත් ගති පැවතුම් නිසාත් ජනතාව දැඩි ලෙස ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට ආදරය කළේය. එය කෙතරම් ඉහළ මට්ටමක පැවතියා දැයි කියතොත් එකල රට පාලනය කළ ඉහළම තලයේ බලවතුන් පවා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුගෙන් අභියෝගයක් එල්ලවනු ඇතැයි සැක කරමින් කටයුතු කළ බවට එකල කටකථා පැතිරී තිබුණි. එනිසා මෙම සාපරාධී ඝාතනය කොටි අතින් සිදුවූවක් නොව දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සැක කළ අයද බොහෝ වූහ. අද ද සිටිති.
දැඩි මානව හිතවාදී ගුණයකින් යුතුව නිතරම සිනා මුසු මුහුණින් සිටි ප්‍රියමනාප පුද්ගලයෙකු වූ කොබ්බෑකඩුව සෙනෙවියාගේ අභාවය සැලවූ වහාම සමස්ත ලංකාවම කම්පනයට පත් විය. පෙරකී සැකයද හේතුකොටගෙන එතුමාගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වීම සඳහා පැමිණි දහස් සංඛ්‍යාත පිරිස අතර නොසන්සුන්තාව පැතිර ගියේය. එය පාලනය කිරීමට පොලිසිය කළේ කෝකටත් තෛලය වශයෙන් භාවිත කරන කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමයි. තමන් ආදරය කළ රණවිරුවාණන්ගේ අවමංගල උත්සවයේදී පොලිසිය සිදු කළ, නොකළ යුතුව තිබූ අමනෝඥ ප්‍රහාරය නිසා මෙම ඝාතනය දේශපාලන කුමන්ත්‍රණයකැයි යන සැකය තහවුරු වීමක් ලෙස ජනයා සැලකූ බවද අපට මතකය.
මහනුවර රාජධානි සමයේ සිටම සිංහල ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් භාෂා සාහිත්‍යයටත් සුවිශාල සේවයක් ඉටු කළ කීර්තිමත් පරපුරක් ලෙස කොබ්බෑකඩුවරු ඉතිහාසයට එක්ව සිටිති. බුදු සසුන පරිහානියට පත්ව ශ්‍රී ලංකාව තුළ එකම උපසම්පදා භික්‍ෂූ නමක්වත් සොයා ගැනීමට නොහැකි වූ යුගයක මහනුවර රජවරු පොළඹවාගෙන සියම් රටට නියෝජිත පිරිස් යවා උපසම්පදාව මෙරට ස්ථාපනය කිරීම උදෙසා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ සමඟ ප්‍රමුඛව ක්‍රියා කළේ කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස නායක හිමිපාණන් වහන්සේ බව බෞද්ධ වංශ කථාවේ දැක්වේ. සියම් රටෙන් වැඩම කරන ලද උපාලි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූ සංඝයා වහන්සේ වෙතින් උපසම්පදාව ලැබූ ප්‍රථම භික්‍ෂු පිරිසටද උන්වහන්සේ අයත් වූ අතර පසුව මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරයටද පත්ව අවුරුදු අටක් එම ගෞරවණීය පදවිය හෙබ වූ සේක. කොබ්බෑකඩුව පවුලේ සෑම පරම්පරාවකම එක් අයෙකු මහණ කිරීමේ සිරිතක් පැවති අතර උන්වහන්සේලා අතින්ද සිදුවූ ජාතික ආගමික සේවය ඉමහත්ය.
ශ්‍රී ලංකා රාජ්‍යයේ රජකමට පමණක් දෙවැනි වන දියවඩන නිලමේ තනතුර දැරීමේ භාග්‍යයද මේ පරපුරේ ඇත්තන්ට හිමිවිය. 1815 උඩරට රාජ්‍යය යටත්වීමෙන් පසු කොළඹට පැමිණ ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් බැහැදැකීම ප්‍රතික්‍ෂේප කරමින් එවකට දියවඩන නිලමේ තනතුර දැරූ ලොකුබණ්ඩා කොබ්බෑකඩුව නිලමේ එම තනතුරෙන් ඉල්ලා අස් වූ බව සඳහන් වේ.
1818 ඌව වෙල්ලස්සේ ජාතික අරගලය අවස්ථාවේදී කොබ්බෑකඩුවේ නායක හිමියෝ එයට තරයේ අනුබල දුන්හ. එනිසාම එතුමන්ගේ ඥාති මුනුබුරෙකු වූ නුවර කලාවියේ පාලනය භාරව සිටි කොබ්බෑකඩුව දිසාවේ අධිරාජ්‍ය විරෝධී සටනට හවුල් ව සිටියේය. මෙම සටන බි්‍රතාන්‍යයන් විසින් මැඩපැවැත්වීමෙන් පසු 1820 දී තමන්කඩුවේ ජනතාව සංවිධානය කර නැවතත් අරගලයක් දියත් කිරීමට වෑයම් කළේය. එහිදී ඔහු සුද්දන් විසින් අල්ලා ගන්නා ලදුව මින්නේරි වෑකන්ද මතදී වෙඩි තබා මරා දමනු ලැබීය. මෙතැන් සිට කොබ්බෑකඩුව පරපුරේ සාමාජිකයන් බි්‍රතාන්‍යයන්ගේ උදහසට ලක් වූ අතර ගොඩ මඩ ඉඩ කඩම්, ගම් බිම් පවා අහිමි කරන ලදී.
මෙවැනි දේශප්‍රේමී පරපුරක සාමාජිකයෙකු වශයෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව දරුවා උපත ලද්දේ පිළිමතලාව දෙල්දෙණිය වලව්වේ ලොකුබණ්ඩාර කොබ්බෑකඩුව මහතාගේ සහ එම පතිනිය වූ අයෝනා රත්වත්තේ කුමාරිහාමිගේද දෙවැනි දරුවා වශයෙනි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කුඩා ඩෙන්සිල් ක්‍රීඩාවට මනා දස්කම් දැක්වූවේය. රගර් සහ හොකී ක්‍රීඩාවේ මනා දක්‍ෂකම් දැක්වූ ඔහුගේ ආශාව වූයේ යුද්ධ හමුදාවට බැඳී එමගින් රටට ජාතියට සේවය කිරීමටයි. පසුව බි්‍රතාන්‍යයේ සෑන්ඞ් හර්ස්ට් හිදී සුවිශේෂි යුද පුහුණුවක්ද ලැබූ මෙම විරෝදාර නිලධාරියා පියවරෙන් පියවර උසස් තනතුරු වෙත පිය මැන්නේය. ලිලී රත්වත්තේ මහත්මිය සමඟ විවාපත්වූ මෙම මේජර් ජෙනරාල්වරයා දරු දෙදෙනෙකුගේ පියා වූවේය.
මෙසේ බෝම්බ අනතුරින් ජීවිතය අහිමි වූ රණ සූරයන් අතර ජ්‍යෙෂ්ඨයා වශයෙනුත්, ජනතා ප්‍රසාදය වැඩියෙන්ම දිනා සිටි යුද නායකයා වශයෙන්ද පැවති සුවිශේෂි බව නිසා මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ගැන විශේෂයෙන් සඳහනක් කිරීමට පෙළඹුණු බව සත්‍යයකි. එහෙත් රට වෙනුවෙන් දිවි පිදූ එම අනතුරට මුණ දුන් බි්‍රගේඩියර් විජය විමලරත්න මහතා ඇතුළු වීරයන් සැම දෙනාම ජාති මාමක ලංකා පුත්‍රයෝය. තම වටිනා ජීවිතයේ අද දවස ශ්‍රී ලංකා මාතාවගේ සියලු දූ දරුවන්ගේ හෙට දවස ප්‍රභාමත් කිරීම උදෙසා පුද කරමින් කළ අපිරිමිත ජීවිත පරිත්‍යාගය සිරිලක් දෙරණ පවතිනා තුරු සදානුස්මරණීය විය යුත්තේය. ඔවුන්ගේ ජීවන සුසුම වා තලයට මුසුකර විසිපස් වසරක් පිරෙන මේ මොහොත ඒ සඳහා අධිෂ්ඨානයක් ඇති කර ගැනීමට ඉතා සුදුසු මොහොතකි.
සෝමසිරි වික්‍රමසිංහ