වමට ළය දුන් රතු ලියෝ-2
ජාතික නිදහස් සටනේ දී සමාජවාදී කඳවුර වෙනුවෙන් දිවි පරදුවට තබා ඇප කැපවූ පිරිමි නායකයන් අතර නොවරදවාම කියැවෙන කාන්තා නාමයකි ‘විවියන්’. ‘විවි’ යන ආදර නාමයෙන් ජනතාව හඳුන්වන ඇය රාජදෝහි වරෙන්තුකාරියක ලෙස අධිරාජ්‍යවාදී පොලිසිය විසින් නම්කරන ලදී.
පටු අදහස් හා බමුණුමත දැරූ ප්‍රභූවරයකු වූ පියාගේ දැඩි නීතිරීති මැද විවියන්ගේ ළමා හා තරුණ විය ගෙවුණි. රජයේ දොස්තර ඇලන්සන් ගුණතිලක කාන්තා අධ්‍යාපනය, සමාජවාදය හා ප්‍රේමය ලෙස බැලුවේ තමාටම ආවේණික වූ රළු දෘෂ්ටි කෝණයකිනි.
විවිගේ මවුපාර්ශ්වය එසේ නොවිණ, හෙළ සටන්කාමි පරපුරක් වූ බොරලුගොඩ රාලහාමිගේ දියණිය වූ ඇන්ජිලිකා ගුණවර්ධන මැතිනිය තුළ පැවතියේ ද නිදහස් මතධාරි හැඟුම් බැවින් විවියන්ගේ ලෝකය ඇගේ නැදෑ පරපුර විය.
ප්‍රථම බෞද්ධ බාලිකාව වූ මියුසියස් විදුහලේ නේවාසික කළ ඇය හාන්ස් ක්‍රිස්ටියස් ඇන්ඩර්සන්ස් සුරංගනා කතාවලට ප්‍රියකළත් මනසින් මෝරන විට විවාදවලට සහභාගි වනවිට ලොව නිදහස් සටන් ගැනත් ඊට උරදුන් වීරවරියන් ගැනත් දැනුම් වැඩෙන විට අන්කුර දේශපාලන චරිතයත් වීමේ ලක්‍ෂණ පෙන්වන්නට වුවාය.
ඇගේ වයස 16 වන විට මවගේ සොහොයුරු පිලිප් ගුණවර්ධන තම එංගලන්ත අධ්‍යාපනය නිමකර යළි මවුරටට ආවේය. ඒ මාක්ස්වාදි චින්තනයත් නිදහස් අරගලයත් කරපින්නාගෙනය! එය සැමට පුදුමයක් විය.
පිලිප් ආවේ තනිවම නොවේ. ඔහු සමග එම මගම ගත් තවත් සහෝදවරු පිරිසක් වූහ. තරුණ ඇන්. ඇම්. හා ලෙස්ලි ගුණවර්ධන ද ඒ අතර වූහ.
ඉන්දියාවේ මහත්මාගාන්ධි, සුහාර චන්ද්‍රබොස් හා නේරු ගැනත් රුසින් විප්ලවය ගැනත් විවි්‍යන් දැනගත්තේ ඔවුන්ගෙනි. ‘මාමලාගේ සමාජය සමසමාජය’ විය.
“මාත් කැමතියි ඔයාට උදව්වෙන්න” විවී කිවාය.
“මුලින්ම සමසමාජෙට බැඳිල අපිත් එක්ක වැඩට එන්න මිනිස්සු හඳුනාගන්න”
ඒ අනුව ශත 25ක් දී සමසමාජයට බැඳුණු විවී පිලිප් මාමාගේ පොත් හැදෑරුවාය. ඔවුන් සමග ගම්බද පළාත්වලට ගියාය. දුක්විඳින මිනිසුන් දැක විමතියට පත් වුවාය. ඇය සමග කුසුමා ගුණවර්ධනද එක්වුවාය.
දෙදෙනාම සුදු පාසල් ඇඳුමින් සැරසී කොණ්ඩා කරල් දෙකට ගොතාගෙන පාසලෙන් පැවරූ පොපිමල් බෙදූහ.
“පොපිමල කියන්නේ අධිරාජ්‍යවාදි සංකේතයක්. පළමු ලෝක සංග්‍රාමයෙන් මියගිය සෙබළුන්ට උපහාරයක් විදිහටයි ඕව බෙදන්නේ.” මාමාලා කියා දුන්හ.
“ඔයා අපිත් එක්ක සූරියමල් බෙදන්න එන්න.” අලුත් මලක් හඳුන්වා දෙමින් සහෝදරවරු ඇයට ඇරයුම් කළහ. “මේකෙන් සංකේතවත් කරන්නෙ අද අපේ රටේ දුක් විඳින ජනතාව ගැනයි”
මෙය ඇසු විවියන්ලා සූරියමල් ව්‍යාපාරයට හදපත්ලෙන්ම අත හිත දුන්හ.
එඞ්මන්ඞ් සමරක්කොඩි හා හැරී පීරිස්ද ඔවුන්ට එකතු වූහ.“ විවීගේ දැන් බාහිර වැඩ වැඩියි. එයාට අවවාද කරල හදාගන්න” පියා මවට දොස් පැවරීය. “ළමයිගෙ ආසාවනෙ. ඔහේ ඇවිද්දාවේ”මව කිවාය. ඉන්දීය නිදහස් සටනේ වීරවරියක වු කමලාදේවි චත්තෝපාධ්‍යාය සහෝදරිය ගාලු මුවදොර පිටියට දේශනයක් පැවැත්වීමට පැමිණෙන බව පක්‍ෂ මුලස්ථානය දැක්විය. මෙය විවියන් හා කුසුමා ඇතුළු නඩයට ප්‍රීතිමත් ආරංචියක් වුවද ගෙදර ගැන සිහිවී සතුට පලාගියේය.
“අනේ අම්මෙ දේශනය අහන්න සේරම යනවා. තාත්තට කියලා මටත් අවසර අරන් දෙන්නකො විවි මවට ඇවිටිලි කළාය.
ඇත්තෙන්ම දොස්තර ගුණතිලකද 1935දී මැලේරියා වසංගත සමයේ තම පෞද්ගලික ධනය වැයකර රෝගීන් සුවපත් කළ අයෙකි. ඔහුගේ එකම වරද කාන්තාවන්ට අසීමිත නිදහස දීම ගැනය. නමුත් ඔහු බිරිඳගේ ඉල්ලීමට සවන් දුන්නේය.
“තාත්තා අවසරය දුන්නා. හැබැයි මාමලා ඉන්න රැස්වීම්වලට යන්න විතරයි.” මව පැවසූ විට විවියන් සතුටින් පිනා ගියාය. ඥාති නිවසකට යන බව පවසා මවද දූවරුන් රැගෙන රැස්වීමට ගියාය.
විප්ලවීය අදහස් ඇතත් විවි හොඳින් ඉගෙන ගත්තාය. මැට්රිකියුලේෂන් විභාගය සමත්වූ පසුත් ඇගේ ඉගෙනීම නැවැත්වීමට පියා අපොහොසත් විය.
මේ අතර සමසමාජ කාර්යාලයේ වැඩ කටයුතුවලට අමතරව වැදගත් යමක් සිදුවෙමින් පැවතිණි. ඒ පක්‍ෂයේ නිල පුවත්පත සැකසීමය. දෛවයේ සරදමකටදෝ එම කටයුත්ත පැවරුණේ අංකුර දේශපාලන චරිත දෙකක් වූ ලෙස්ලි හා විවියන්ටය. සහෝදර ප්‍රේමය යෞවන ප්‍රේමය බවට දලුලැවේ එහිදීය
“ලෙස්ලි එක්ක වැඩි බජනෙට යන්න එපා... එයා අපට ගැළපෙන්නෙ නෑ” පියා තහංචි දැම්මේය. විවියන් ගේ දුක්ගැනවිලි අසන්නට තවත් හදවත් දෙකක් සැදී පැහැදී සිටියේය.
ඔවුන් වෙන කවුරුත් නොව රොබට් ගුණවර්ධන මාමා සහ කැරොලැයින් පුංචි අම්මාය.
“ඔයාගෙ උපාධියෙ වැඩ කරගෙන යන්න ඔයාලගෙ ආදරය ගැන අපි බලාගන්නම්” ඔවුහු කීය.
එහෙත් ප්‍රේමයට සීමා මායිම් නොවීය. ඇය සිහිනෙන් පවා මැතිරුවේ ලෙස්ලිගේ නමයි. කෝපයට පත් පියා දියණිය කාමරයට දමා දොරගුලු ලැවේය.
“ඔය ඉගෙන ගත්තා ඇති. මං තව සත පහක් වත් ගෙවන්නේ නෑ”
එහෙත් රොබට් මාමා උසස්පෙළ විභාග ගාස්තු ගෙවා දැම්මේය. විභාග ප්‍රතිඵල පිටවීමටත් කලින් පියාගේ බලවත් විරෝධය මැද 1939.01.30 වැනිදා විවී ලෙස්ලිගේ අත ගත්තාය.
පියා හැර හැමෝම මඟුලට එක්වූහ. ඒ අතර සමසමාජ නායකවරුද වූහ. පියා කළේ විභාග සහතිකය ඇයට තැපැල් කර පවුලේ අයට ඇය ඇසුරු කිරීම තහනම් කිරීමය.
නව යුවළ මධු සමයෙන් පසු ඉන්දියාවේ ත්‍රිපුරදී ඉන්දීය ජාතික සංගමයේ මහ සම්මේලනයට සහභාගි වූහ. දෙවන ලෝක සංග්‍රාමය ඇරඹුණු සමයේ සටන් කාමීන්ට හිමිවූයේ සිරගෙදරයි. ලෙස්ලි අධිරාජ්‍ය විරෝධියකු ලෙස චෝදනා ලැබීය. යුගදිවිය වෙනුවට සිරගෙදර තෝරා ගැනීමට වේයැයි බියෙන් ලෙස්ලි සැඟවුණේය. කැලෑ වැදුණු ලෙස්ලි නිසා අඩපණවූ පක්‍ෂ කටයුතු කරට ගැනීමට විවීට සිදුවිය. මේ අතර අලුත් අමුත්තෙක් ඔවුන්ගේ කැදැල්ලට එක්විය. ඒ කුලුඳුල් දියණි කුමුදිනීය. එහෙත් දරු සුරතල් බැලීමේ වාසනාව ඔවුන්ගෙන් ඈත් කරමින් ලෙස්ලි ඉන්දියාවට පලාගියේ පොලිස් ඇසින් බේරීමටය. හොර රහසේ පැමිණෙන සැමියා තමාත් සිඟිතියක් සිප සනසා අතුරුදන් විය.
“සහෝදරිවත් පොලිසියෙන් හොයනවා. ඉක්මනට තීරණයක් ගන්න” විවීට දැන්විණි. සිඟිතියද රැගෙන ඇය පලාගොස් බොම්බායේදී ලෙස්ලිට එක්වුවාය. එතැන් පටන් විවී ජීවත් වුණේ වෙස්වළාගෙනය!
“රාධි මහත්මිය, රෝහි මහත්මිය අලුත් නම් විය” ඊට බාහිරව පින්තු, දේවදාස් හා ලෝබෝ වැනි නම්වලින්ද ඇය හඳුන්වනු ලැබිණ. නමින් පමණක් නොව ගුජරාටි, මුස්ලිම් සහ ද්‍රවිඩ ලියන් ලෙස වෙස්වළාගෙන ඇය පෙනී සිටියාය. රහස් පොලිසිය එනවිට අහුවුණු ඇඳුම් පැලඳුම් රැගෙන පලාගියාය. වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණාක් මෙන් දුම්රියෙන් කල්කටාවට ගිය ගුණවර්ධන යුවළට එම ප්‍රාන්තයේ පැතිර ගිය වසූරි වසංගතයට මුහුණ දෙන්නට සිදුවිය. දහස් ගණන් ජනතාව රෝගයෙන් මියගියහ.
“මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. අපේ දරුවා බේරාගන්න ඕනෑ. අපි එයා කොහොමහරි ලංකාවට පිටත් කරමු. අඹුසැමියෝ කතා බහ කළහ. රහස් මිතුරකුගේ උදව්වෙන් එක් අඳුරු රැයක සිඟිති දරුවා මුහුදු මාර්ගයෙන් ගෙනගොස් ඥාතීන් අතට පත් කරන්නට කටයුතු කළ ඔවුහූ එදින රෑ පහන්වනතුරු අඳුරේ සැඟවී නොනිදා දරු දුකින් වැලපුණහ. අනතුරුව මදුරාසියට පලාගියහ. 1940 දී යුද බිය පහව ගිය කල ලක් රජය ඇගේ වරෙන්තුව අවලංගු කළේය. 1947 දී ඇය ඇතුළු වමේ වීරවරයෝ ජයඝෝෂා මැද මවුරටට ආහ. පක්‍ෂයේ බර යළි ඇය පිටවැටිණි. එතෙක් විරසක වී සිටි වාමාංශික කොටස් ඒකරාශිකරගෙන එක්සත් කාන්තා පෙරමුණ ගොඩ නැගූ විවී නාගරික මෙන්ම ඈත ගම්වල කාන්තාවන් කරා ගොස් ඔවුන්ගේ ස්වයං රැකියාවලට අතහිත ආධාර හා උපදෙස් දුන්නාය. සමාජවාදි හැඟුම් ඇති කළාය. විවි සහ ලෙස්ලිගේ පවුල් ජීවිතය යළි මවු රටේ දලු ලමින් පැවතිණි. යුද බියෙන් වසංගත බියෙන් හා ආර්ථික අහේනියෙන් පීඩාවට පත්වූ ජනතාවට සමාජවාදය මිනිස් වෙසින් ආ දෙවියකු බඳුවිය. එහෙත් විවීගේ සිතේ පැලපැදියම්වූ එක් සිහිනයක් විය. එනම් විරසකවූ තම පියාගේ ආදරයයි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි