රහස් කතාබහෙන් බිහි වූ අවුල් පිරුණු හවුල් ආණ්ඩුවක්


 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එක්සත් බවක් ඇති කිරීමටත් එම පක්ෂ දෙකේ සහභාගිත්වයෙන් භාරකාර රජයක් ගොඩනැගීමත් උදෙසා සාකච්ඡා පැවැත්වෙන බවත් ඒවා සාර්ථකව ඉදිරියට ගමන් කරන බවත් මේ දිනවල ජන මාධ්‍යවලින් ප්‍රකාශයට පත්වෙමින් තිබේ. එවැනි දේ සිදු විය හැකි නමුදු මගේ ගෙදර නම් එවැනි සාකච්ඡා පැවැත්වුණේ නැති බව කියන ඇස්. බී. දිසානායක මහතාගේ කතාවත් ප්‍රධාන පාර්ශ්ව සියල්ල නිහඬතාව රැකීමත් ගැන සැලකීමේදීත් යමක් සිදුවෙනවා වන්නට ඇතැයි ජනතාවට අවබෝධවීමට ඇති ඉඩකඩද වැඩි බව කෙනෙකු සැක කළහොත් පුදුමයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාව තුළ මෙවැනි දේ සිදුවීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය. 


මෙවැනි පසුබිමක් තුළ මෙවැනි සාකච්ඡා මගින් හවුල් ආණ්ඩුවක් ගොඩනැගූ අන්දමත් අපේ දේශපාලන ඉතිහාසයේ සඳහන්ව තිබේ. එවැනි අත්දැකීම් ද සිහියේ තබා ගනිමින් රටට සහ ජනතාවට යහපතක් සිදු කිරීමේ අවශ්‍යතාව පදනම් කොටගෙන මෙවැනි දේ සිදුවිය යුතු බව ජනතාවටත් වඩා හොඳින් නායකයෝ දනිති. හොර රහසේ වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට නිසා මෙවැනිම මාතෘකාවක් රහසේ සාකච්ඡා වෙමින් පැවති දේශපාලන කරළියේ රඟ දැක්වුණු අයුරු අපේ සිහියට නැගේ. මෙයට අඩසියවසකටත් එහා සිදුවුණු එම සිදුවීම්වල ප්‍රතිරාවයන් අද දක්වාම සමාජයට දැනෙමින් තිබේ. ඉතිහාසය යනු නැවත නැවතත් සිදුවන සිදුවීම් මාලාවකැයි කියවෙන නිසා අතීත සිදුවීම විමසීම වර්තමානයට ගළපා ගත හැකි හොඳම ක්‍රමයද වේ. 


එක්දහස් නමසිය හැටේ දශකය ආරම්භ වූයේ මෙරට දේශපාලන ක්‍ෂේත්‍රය මහත් අවුල් වියවුල් ජාලයකින් වෙළී පැටලී තිබියදීය. 1959 සැප්තැම්බර් 26 වැනිදා එවකට අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වීම එයට මූලිකවම බලපෑවේය. එයින් පැනනැගුණු දේශපාලන අස්ථාවර භාවය මෙරට අවුලෙන් අවුලට ගෙනයාමට සමත්වූවේය. එයට විසඳුමක් ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර 1960 මාර්තු 19 වැනිදාට මහා මැතිවරණයක් පැවැත්වීමට යොදාගත් අතර එහි ප්‍රතිඵල අනුවද ස්ථාවර ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට නොහැකි වූවේ කිසිදු ප්‍රධාන පක්ෂයකට බහුතර බලයක් අත්නොවූ නිසාය. එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඞ්ලි සේනානායක මහතා ඉතා කෙටි කාලයකට සුළුතර ආණ්ඩුවක් පිහිටුවා ගන්නා ලද නමුදු එය සාර්ථක නොවීය. ශක්තිමත් විරුද්ධ පක්ෂය එක්ව දින තිස් තුනක් ඇතුළත එම රජය පෙරළා දමන ලදී. එහි ප්‍රතිපලය වූවේ මාස තුනක් තුළ තවත් මහා මැතිවරණයක් පැවැත්වීමට සිදුවීමය. අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවතියේ හිස නැති බලවේගයක් වශයෙනි. බණ්ඩාරනායක අනුප්‍රාප්තිකයා වූ විජයානන්ද දහනායක මහතාගේ ක්‍රියාකලාපය ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයෝ අනුමත නොකළහ. එසේ ඇති වූ මතභේද නිසා දහනායක මහතා වෙනම පක්ෂයක් ආරම්භ කර එයට නායකත්වය දුන්නේය. 


ශ්‍රී.ල.නි.ප. නායකත්වයට පත්වූයේ සී. පී. ද සිල්වා මහතාය. මෙම යුගය වන විට සී. පී. ද සිල්වා මහතා බරපතළ රෝගාබාධයකින් පෙළෙමින් සිට යම්තම් සුවය ලැබුවා පමණක් වූ වකවානුවක් විය. හරිහැටි කතා කර ගැනීමට පවා නොහැකිව රෝගයකින් පෙළෙමින් සිටි ඒ මහතාට බරපතළ දේශපාලන ගැටලුවලට මුහුණ දෙමින් විශාල දේශපාලන පක්ෂයකට නායකත්වය දීමට අපොහොසත් බව ඒ මහතාට ද වැටහෙමින් තිබුණි. එනිසා තම රෝගාබාධ සහ දුර්වලකම සලකා ආකර්ෂනීය සහ ප්‍රබල නායකත්වයකට ඉඩ සලසමින් 1960 මැයි මාසයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී.ල.නි.පයේ මුල් පුටුවට කැඳවා ගත්තාය. එය පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨයෝද ඉතසිතින් අනුමත කළහ. 

මුදල් ඇමතිධුරය ඉඩම් ඇමති සී. පී. ද සිල්වාට හිමිවිය. මෙය පක්ෂය තුළ යම් කල්ලිවාදයකට ගොදුරුවීමක් ලෙස සමහර විචාරකයෝ විස්තර කළහ. තම කාර්යය සාර්ථක අන්දමින් ඉටු කර ගත නොහැකි වූ සී. පී. ද සිල්වා මහතා ද මුදල් ඇමතිකමින් ඉල්ලා අස්වූවේය. ඉන්පසු එම තනතුරට පත්වූවේ ගමනා ගමන ඇමති පී. බී. ජී. කළුගල්ල මහතාය. ඔහුද සාර්ථක නොවීම නිසා ඉල්ලා අස්වීමට සිදුවිය. අනතුරුව එම පදවිය හිමිවූයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටී. බී. ඉලංගරත්න මහතාටය. ඔහු භණ්ඩාගාරයේ නිලධාරීන් සමග ගැටෙමින් මතභේද ඇති කර ගනිමින් සිටියේය. ආර්ථික පරිහාණිය ලෝක මට්ටමින් ගලා ගියේය.


මේ වන විට එම වසරේ ජූලි 20 වැනි දිනට මහා මැතිවරණය පැවැත්වීමට කටයුතු සිදුවෙමින් තිබුණි. මාර්තු මැතිවරණයේදී පක්ෂ ගණනාවක් ආණ්ඩු බලය පතා තරග වැදී තිබුණු අතර ඔවුනොවුන් අතර ඡන්ද බෙදී ගිය නිසා කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබුණු බව පෙනෙන්නට තිබුණු සත්‍යය විය. විශේෂයෙන් එය වාමාංශික කඳවුරට  අයහපත් ලෙස බලපෑ බව එම නායකයෝ වටහා ගත්හ. එම අත්දැකීම උපයෝගී කර ගනිමින් ඉදිරි මැතිවරණය සඳහා සමගියෙන් යුතුව තරග කිරීමේ අවශ්‍යතාව ඔවුහු අවබෝධ කර ගත්හ. ඒ අනුව එකල ඉතා බලවත්ව පැවති ලංකා සමසමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව නිතරග ගිවිසුමක් මත තරග කිරීමට එකඟ වූහ. එසේ ආසන බෙදාගෙන තරග කිරීමේදී ඡන්ද බෙදීයාම වළක්වා ගැනීම නිසා වැඩි ආසන ගණනක් ද ලැබීම තම කඳවුරට මහෝපකාරී වන බව එම නායකයෝ දැන සිටියහ. මැතිවරණයේ ප්‍රතිඵල ඔවුනට වාසිදායක විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිවම ආසන 75 ක් ලැබී තිබුණු අතර සමසමාජයට 12 ක්ද කොමියුනිස්ට් පක්ෂයට ආසන හතරක්ද ලැබී තිබුණි. සුළු ජාතිකයන් සඳහා වෙන් කරන ලද ආසන හයද සමග රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය ශ්‍රී.ල.නි.පක්ෂ රජයක් පිහිටුවූවේය. අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමුණේ එම පක්ෂයේ නායක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටය. එහෙත් ඇය ආසනයක් තරග කර ජය ලබා තිබුණේ නැත. ඇය සෙනෙට් මන්ත්‍රීවරියක් ලෙස පත්වීම් ලැබ ව්‍යවස්ථාවේ සුදුසුකම සම්පූර්ණ කර ගත්තාය. සමසමාජය සහ කොමියුනිස්ට් පක්ෂ රජයට සහභාගි නොවුණු අතර බාහිරව සිට රජයට විවේචනාත්මක සහාය දෙන බව ප්‍රකාශ කළේය.


ආරම්භයේ සිටම එම රජයට මුහුණ දීමට සිදුවූයේ බලවත් අභියෝග රැසකටය. වසර එක හමාරක පමණ කෙටි කාලයකදී ආරක්ෂක හමුදාවන්හි සහ පොලිසියේ ඉහළ නිලතලවල සිටි උසස් නිලධාරීහු විශාල පිරිසක් එක්ව ආයුධ බලයෙන් ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණයක් දියත් කළහ. අනූනවයෙන් එය ව්‍යර්ථ කර ගත් ආණ්ඩුව ඉදිරියේදීත් එවැනි අනතුරු පැනනැගීමට ඇති ඉඩකඩද බැහැර කළ නොහැකි විය. පාසල් රජයට පවරා ගැනීමට රජය කටයුතු කළ නිසා කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාව රජයට එරෙහිව සිටියේය. භාෂා ප්‍රශ්නය මුල්කොටගෙන දෙමළ ජනතාවගේ උද්ඝෝෂණ නොකඩවා දියත් විය. හිතවතුන් ලෙස මුල් යුගයේ කටයුතු කළත් වමේ පක්ෂ විසින් දියත් කරන ලද වැඩ කරන ජනතාවගේ අරගලද නිතරම පාහේ පැවැත්වෙමින් තිබුණි. මේ සියල්ලටම වඩා බලපෑම් කෙරෙන කාරණා වූවේ රජය මුහුණ දුන් ආර්ථික අර්බුදයයි. අය වැය පියවා ගැනීම දුෂ්කරවීම නිසා මුදල් ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා බලවත් දුෂ්කරතාවකට මුහුණ පෑවේය. ඒ සඳහා ඔහු යෝජනා කළේ එවකට සතියකට සහල් සේරු දෙකක් ලබාදීමට  ගෙන තිබූ ක්‍රියාමාර්ග අඩු කර සහල් සේරු භාගයක් කපා හැරීමටය. එය ජනතාවගේ බලවත් නොමනාපයට හේතු වූ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් එම යෝජනාවට විරුද්ධ වූහ. තම රජයේම මුදල් උපඇමති ජෝර්ජ් රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්විය. දෙනියාය මන්ත්‍රී සුමනපාල දහනායක මහතාද රජයෙන් ඉවත් විය. අයවැය යෝජනා සංශෝධනය කොට සහල් කැපීමේ යෝජනාව ඉවත් කර ගැනීමට රජයට සිදුවිය. එයට විරෝධය පාමින් මුදල් ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක තම තනතුරෙන් ඉල්ලා අස්විය. 


මුදල් ඇමතිධුරය ඉඩම් ඇමති සී. පී. ද සිල්වාට හිමිවිය. මෙය පක්ෂය තුළ යම් කල්ලිවාදයකට ගොදුරුවීමක් ලෙස සමහර විචාරකයෝ විස්තර කළහ. තම කාර්යය සාර්ථක අන්දමින් ඉටු කර ගත නොහැකි වූ සී. පී. ද සිල්වා මහතා ද මුදල් ඇමතිකමින් ඉල්ලා අස්වූවේය. ඉන්පසු එම තනතුරට පත්වූවේ ගමනා ගමන ඇමති පී. බී. ජී. කළුගල්ල මහතාය. ඔහුද සාර්ථක නොවීම නිසා ඉල්ලා අස්වීමට සිදුවිය. අනතුරුව එම පදවිය හිමිවූයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටී. බී. ඉලංගරත්න මහතාටය. ඔහු භණ්ඩාගාරයේ නිලධාරීන් සමග ගැටෙමින් මතභේද ඇති කර ගනිමින් සිටියේය. ආර්ථික පරිහාණිය ලෝක මට්ටමින් ගලා ගියේය. එය දේශීය වශයෙන් බඩු හිඟය, මිල ඉහළ යාම, ආනයන ද්‍රව්‍ය සීමාව ආදී මහජන හිතකාමී නොවන තීරණ රැසක් ගැනීමට රජයට සිදුවිය. රෙදි හිඟය උග්‍රව එයට විරෝධය පෑම සඳහා ගාල්ල මන්ත්‍රී විජයානන්ද දහනායක මහතා අමුඩයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කළේත් මෙම වකවානුවේදීය. උද්ධමනය පාලනය කර ගැනීමට මුදල් ඇමතිවරයා අපොහොසත් විය. ණය බර වැඩි විය. 


මේ අතර තවත් දේශපාලන ව්‍යාපෘතියක් වෙනස් කෝණයකින් මතු විය. 1947 න් පසු පළමුවරට එතෙක් භේදභින්න වී සිටි වමේ පක්ෂ තුන වූ ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය හා පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණද එක්සත්ව එකම පෙරමුණක් ලෙස කටයුතු කිරීමට එකඟ වූහ. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ හා පිලිප් ගුණවර්ධන යන නායකයෝ තිදෙනා 1963 අගෝස්තු 13 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවති හර්තාල් අනුස්මරණ මහා රැලියේදී එම සමගි ගිවිසුමට අත්සන් තැබූහ. එය වාමාංශික දේශපාලන මතවාදය දැරූ සියලු දෙනාගේ අමන්දන්නාදයටත් ප්‍රීති ප්‍රමෝදයටත් හේතු වූවේය. යූ.ඇන්.පී. සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන කඳවුරු දෙකෙන්ම බාහිරව කෙළින්ම රතු ධජය සෙවණේ වාමාංශික රජයක් ගොඩනැගීම ස්ථීර බව ඔවුන්ට වැටහෙන්නට විය. 


ඉදිරි මැතිවරණයේදී රතු රජයක් පතා කටයුතු කිරීමට එම නව පෙරමුණේ අනුගාමිකයෝ මහත් සේ බලාපොරොත්තු ඇති කර ගත්හ. එම ප්‍රබෝධය හේතුකොටගෙන එවකට ඉතා බලවත්ව පැවති ඔවුන්ගේ වෘත්තීය සමිති සියල්ල ඒකරාශි වී මධ්‍ය බලමණ්ඩලයක් පිහිටුවා ගැනුණි. එහි සභාපති ධුරය පිරිනැමුණේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාටය. විශාල උද්‍යෝගයකින් රැස්වුණු මෙම නායකයෝ ඉල්ලීම් 21 ක් සකස් කර නොපමාව ඉටු කරන ලෙස රජයට භාර දුන්හ. වැටුප් වැඩි කිරීම්ද ඇතුළු එම ආර්ථික ඉල්ලීම් ඉටුකිරීම මුදල් ඇමති ටී. බී. ඉලංගරත්න මහතාට මහත් අභියෝගයක් විය. තමාගේ ස්වදේශ ඇමතිකමට අමතරව මුදල් ඇමතිකමේ උරචක්‍රමාලය පැලඳගෙන සිටීමට ඔහු වැඩිකැමැත්තක් දැක්වූයේ නැත. පැරණි වෘත්තීය සමිති නායකයකු වූ ඔහු සේවක ඉල්ලීම් ලබා දීමට කැමැත්ත තිබුණා වුවත් ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින රජයට එම වරප්‍රසාද ලබාදීමට හැකියාවක් නැති බව මුදල් ඇමතිවරයා වශයෙන් ඔහු දැන සිටියේය. මෙම අභියෝගයට මුහුණ දෙන ආකාරය නොයෙක් පැත්තෙන් ඔහු සිතා බැලුවේය.


මේ ආකාරයෙන් සෑම අතින්ම නැගී එමින් තිබුණු අර්බුදකාරී තත්ත්වයට මුහුණදීමට බරපතළ දේශපාලන තීන්දුවක් ගැනීමේ අවශ්‍යතාව අගමැතිනියට මෙන්ම ඇයගේ කැබිනට් සගයන්ටද අවබෝධ වී තිබුණි. පාර්ලිමේන්තුව විසුරුවා හැර යළිත් මැතිවරණයකට යාම හවුල් රජයක් පිහිටුවා ගමන් මාර්ගය වෙනස් කිරීම ආදී විවිධ විකල්ප යෝජනා කරළියට පැමිණියේය. එම විකල්ප පෙන්වා දුන්නේ පී. බී. ඉලංගරත්න ඇමතිවරයා වන නිසා සුදුසු පියවරක් ගැනීමට අගමැතිනිය ඔහුට බලය පැවරුවාය. මේ ගැන සමසමාජ නායකයාගේ අදහස් විමසීමට ඉලංගරත්න ඇමතිවරයා කටයුතු කළේය. ඇන්. ඇම්. ගේ ප්‍රතිචාරය යහපත් බව වැටහුණු නිසා රහස් සාකච්ඡා දිගින් දිගටම පැවැත්වුණි. 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද අර්බුද මතුවිය. එහි දෙවැන්නා වූ සී. පී. ද සිල්වා මහතා සමග පිරිසක් මෙම සමගියට විරුද්ධවූවේ මාක්ස්වාදීන් සමග එක්වීම බණ්ඩාරනායක ප්‍රතිපත්තියට එකඟ නොවන බව පවසමිනි. එහෙත් පිපිරීමක් දක්වා එය වර්ධනය නොවූ නමුදු මෙම අර්බුදය අළුයට ගිනි මෙන් තැන්පත්ව තිබුණි. 1964 දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී රාජාසන කථා ස්තුති යෝජනාව පරාජය වී ආණ්ඩුව බිඳ වැටීමට හේතු වූයේ මෙම අළුයට ගිනි නැවත ඇවිළීමෙනි. මෙම ක්‍රියාදාමය විස්තර කරන එක් විචාරකයෙකු ප්‍රකාශ කර තිබුණේ ‘එකක් කඩතොලු මකා ගන්නට ගොසින් සිදුවුණු කාරියා දහක් කඩතොලු සදා ගත්තයි ඉඳුරුවේ ආචාරියා’ යනුවෙනි.


කොළඹ නොයෙකුත් මන්දිරවලද සුන්දර නුවරඑළියේ ශීතල පරිසරයේ බලවත් නිවෙස්වලද දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන බව පුවත්පත්වල පළවිය. ඒ සියල්ල සිදුවූයේ ඉතා රහසිගතවය. 1964 මැයි දිනයේදී ඇන්. ඇම්. රහස අනාවරණය කළේය. හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව දීර්ඝ සාකච්ඡා සිදුවෙමින් පවතින බව ඔහු හෙළි කළේය. ශ්‍රී.ල.නි.ප සමග සභාග රජයක් පිහිටුවීමට එකතුවෙන ලෙස අගමැතිනිය නිල වශයෙන් ආරාධනා කළ වහාම ඇන්. ඇම්. එය තම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර පක්ෂයේ තීන්දුව විමසුවේය. එහිදී සමසමාජ පක්ෂය රජයට එකතු විය යුතුයැයි යන ඇන්. ඇම්. ගේ යෝජනාවට ඡන්ද 21 ක්ද වාමාංශික එක්සත් පෙරමුණ වශයෙන් එක්විය යුතුය යන යෝජනාවට ඡන්ද අටක්ද ධනපති ශ්‍රීලනිප සමග කිසිදු සභාගයකට නොයා යුතුය යන යෝජනාවට ඡන්ද දාහතරක්ද ලැබී තිබුණි. එයිනිදු නතර නොවූ සමසමාජ පක්ෂය තම මහා සම්මේලනය කැඳවා රජයට එකතුවීම සඳහා අනුමැතිය ඉල්ලා සිටියේය. 

 


1964 මැයි 6 සහ 7 දෙදින තුළ පැවති එම සමුළුවේදී සමගි ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් අනුමත විය. මේ සියලු ක්‍රියාමාර්ගයන්හි අවසාන ප්‍රතිඵලය වශයෙන් 1964 ජුනි 11 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂයේ සභාග රජය දිවුරුම් දුන්නේය. එහිදී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා මුදල් ඇමති වශයෙන්ද චම්ලි ගුණවර්ධන මහතා රජයේ වැඩ ඇමති ධුරයටද අනිල් මුණසිංහ මහතා ජනසතු සේවා ඇමති ලෙසද වැඩ භාර ගත්හ. විවියන් ගුණවර්ධන මහත්මිය පළාත් පාලන උපඇමති ධුරයක ද චන්ද්‍රා ගුණසේකර මහතා සංස්කෘතික උපඇමති ධුරයද ලැබූහ. 


බලාපොරොත්තු රැසක් ඇතිව යහපත් පාලනයක් පවත්වාගෙන යාමේ අරමුණින් පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා සමසමාජ සභාග රජය නිසා මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයට ඇති වූ බලපෑම ගැනද මදක් විමසා බැලීම උචිතය. සමසමාජ පක්ෂය දෙකඩ විය. මහා සම්මේලනයේදී සමගියට විරුද්ධවූ පිළට නායකත්වය දුන් බුලත්සිංහල මන්ත්‍රී එඞ්මන්ඞ් සමරක්කොඩි සහ මොරටු මන්ත්‍රී මෙරිල් ප්‍රනාන්දු යන මහත්වරු තම අනුගාමිකයන්ද සමග සම්මේලනයෙන් පිටව ගියහ. ඔවුහු පක්ෂය අතහැර විප්ලවකාරී සමසමාජ පක්ෂය පිහිටුවා ගත්හ. බාලා තම්පෝ ආදීහු පිරිසක් ඔවුනට එක්වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද අර්බුද මතුවිය. එහි දෙවැන්නා වූ සී. පී. ද සිල්වා මහතා සමග පිරිසක් මෙම සමගියට විරුද්ධවූවේ මාක්ස්වාදීන් සමග එක්වීම බණ්ඩාරනායක ප්‍රතිපත්තියට එකඟ නොවන බව පවසමිනි. එහෙත් පිපිරීමක් දක්වා එය වර්ධනය නොවූ නමුදු මෙම අර්බුදය අළුයට ගිනි මෙන් තැන්පත්ව තිබුණි. 1964 දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී රාජාසන කථා ස්තුති යෝජනාව පරාජය වී ආණ්ඩුව බිඳ වැටීමට හේතු වූයේ මෙම අළුයට ගිනි නැවත ඇවිළීමෙනි. මෙම ක්‍රියාදාමය විස්තර කරන එක් විචාරකයෙකු ප්‍රකාශ කර තිබුණේ ‘එකක් කඩතොලු මකා ගන්නට ගොසින් සිදුවුණු කාරියා දහක් කඩතොලු සදා ගත්තයි ඉඳුරුවේ ආචාරියා’ යනුවෙනි. මෙවැනි දේ අනාගතයේ තව තවත් සිදුවනු නැතැයි කිසිවෙකුට කිව නොහැක.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි