රහස් පොලිසිය විවියන් පසුපස


‘අන්න කොල්වින්, ඇන්. ඇම්. අල්ලගෙන ඉක්මන් කරමු”


ලෙස්ලි කලබලයට පත්විය. ඔහු ඇඳ සිටි ඇඳුමත් සමගම ඇඳුම් රාක්කයේ තිබූ කලිසමක් ගෙන හැඳ ගත්තේය. රේසිං කාරයේ කැන්වස් රෙද්දෙන් වැසී සිටි ලෙස්ලි රැගත් මිතුරන් දෙදෙනා යළි පරීක්ෂා කිරීමට පොලිසිය උත්සාහයක් නොගත්තේ විනාඩි කිහිපයකට පෙර එම රථය පරීක්ෂා කළ හෙයිනි.


පිලිප්, ඇන්. ඇම්, කොල්වින්, එඞ්මන්ඞ් සමරක්කොඩි යන පක්ෂයේ ප්‍රබලයන් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබිණි. ගෙදරින් පැනගත් ලෙස්ලි නැදිමාලේ නිවසක සැඟව ගත්තේය.


කුලුඳුල් දරු ප්‍රසුතියට සූදානම්ව සිටියත් විවියන්, ලෙස්ලි, පිලිප් හා ඇන්. ඇම්., කොල්වින් ඇතුළු පිරිස ගෙන යන සටනට තම ශක්ති පමණින් උදව් කිරීම තමන්ගේ වගකීම බව සිතුවාය.


මේ කාලයේ ආනන්ද විද්‍යාලයේ මහා සැණකෙළියක් පැවැත්වෙමින් තිබුණි. සම සමාජ සටන් ව්‍යාපාරය ගැන මුද්‍රණය කරගත් පත්‍රිකා මිටියක් සඟවාගෙන එහි ගිය විවියන් ජනතාව අතර ඒවා බෙදාහරින්නට වූවාය. විදුහල්පති කුලරත්න මහතාට මේ බව ආරංචි විය. පත්‍රිකා බෙදමින් සිටි විවියන් කුලරත්නගේ අතටම අසුවිය.
“කරුණාකරලා මෙතන දේශපාලන පත්‍රිකා බෙදන්න එපා. මේක පාසලක්, මෙතැන මේ වගේ වැඩ කෙරෙනවාට මම කැමති නැහැ” කුලරත්න කීවේය. විවියන්ගේ මුහුණ අඳුරු වී යන හැටි එතැන සිටි කාන්තාවන් කිහිප දෙනෙක් දැක ගත්හ.


“එයා ඉන්න තත්ත්වය බලන්න. ළමයෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුගේ හිත රිද්දවන්න ලැජ්ජ නැද්ද?” කුලරත්න එතැනින් ඉවත් වෙත්ම එම පත්‍රිකා මිටිය ඉල්ලාගත් ඔවුහු “අපි මේවා බෙදන්නම් ඔයා යන්න” යැයි කීහ.


මොහොතක් ගතවිය. ආපසු හැරී ගිය විදුහල්පති කුලරත්නගේ හඬ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඇසෙන්නට විය. ‘කානිවල් එකට ආපු කිසිම කෙනෙක් ඉස්සරහ ගෑනු කට්ටියක් බෙදන පත්‍රිකා ගන්න එපා. ඒවා රාජ්‍ය විරෝධී පත්‍රිකා”


පොලිස් අධිකාරි සිඞ්නි සොයිසා විවියන් ළඟට පැමිණියේය. ඔහු විශ්වවිද්‍යාලයේ දී විවියන්ගේ සමීප මිතුරෙකි.


“ඉක්මන් කරලා මෙතනින් යන්න. ඔයගොල්ලෝ ගැන කුලරත්න පොලිස්පතිට දන්වලා” විවියන් කුසුමා සමග එතැනින් පිටත්ව ගියාය. විවියන්ගේ ගෙදර වටා හැම තැනකම මේ වන විට නිත්‍ය රහස් පොලිස් පිරිසක් යොදවා තිබිණි. එසේම ඇය යන හැම තැනම පසු පසින් රහස් පොලිස් පිරිසක් ගමන් ගත්හ. රෙදි සාප්පුවකට ගියත් වෙළෙඳපොළට ගියත් හැම තැනකම පොලිසිය පසුපසින් හොර රහසේම යයි. 


මේ දිනවල ලෙස්ලි ගැන වීර වික්‍රමාන්විත කතා රටේ හැම තැනකම ප්‍රචාරය වෙමිනි තිබිණි. ලෙස්ලි ගැහැනු කෙනෙකු මෙන් සාරියක් ඇඳගෙන ජනතාව අතර ගැවසෙන බව ඉන් එක් කතාවකි. දිනක් විවියන් සාප්පුවකට ගොස් සාරියක් මිලදී ගත්තාය. එදෙස බලා සිටි පොලිස් රාලහාමිලා කලබල වෙන සැටි විවියන් දුටුවාය. මේ නම් නිසැකවම ලෙස්ලිට ඇඳීමට ගන්නා සාරියක් යැයි ඔවුන් සිතන්නට ඇත. පොලිස් නිලධාරීන් නොමඟ යැවීමේ චේතනාවෙන්ව විවියන් එදා මෙසේ කළාය. 


කුලුඳුල් ළමයා ලැබෙන්නට ආසන්න විය. කලක් ලෙස්ලි නොදැන සිටීමෙන් විවියන්ට දැඩි වේදනාවක් දැනිණි. තමාගේ සිතේ වේදනාව ඇය ඩොරික් ද සූසා සමග කීවාය. මේ වේලාවේ හැටියට එය කෙසේවත් කළ නොහැකි දෙයක් යැයි ඔහු කීවේය. විවියන් දැඩි සේ කනස්සල්ලට පත් වූවාය. යම් විදියකින් මේ ගමන තමා මිය යන්නට පුළුවන් යැයි හැඟුණු නිසා ලෙස්ලි බැලීමට ඇති ආශාව නැවත වරක් කීවාය. මෙය අසා සිටි රෙජී සේනානායක එයට වැඩපිළිවෙළක් යෙදීය. 


මෙය භාරදූර කටයුත්තකි. ලෙස්ලි දුටු තැන අත්අඩංගුවට ගැනීමට මුළු පොලිසියම සූදානම්ව සිටී. ඔහු රහසේ සැඟවී සිටි පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය. විවියන්ට ඔහු නොදැක සිටීමට නොහැකිය. රෙජීගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. 


සවස හයට පමණ ව්‍යායාම වශයෙන් හැමදාම ඇවිදින්නට යාම විවියන්ගේ පුරුද්දකි. එදා ඇය ගල්කිස්ස හෝටලය අසල ඇවිදින්නට ගියාය. 


නියමකර ගත් වේලාවේදී ඈත තබාම රෙජී සමග ගමන් ගන්නා ලෙස්ලි ඇය දුටුවාය. එක් අතකින් ලෙස්ලි දැකීම විවියන්ට දැඩි සතුටකි. එහෙත් ඔහු වෙස් වළාගෙන සිටින අන්දම දුටු ඇයට එක්වරම සිනා මතු විය. සායම් අලේප කර තිබූ ලෙස්ලිගේ මුහුණ මුළුමනින්ම වෙනස් වී තිබිණි. හැමදාම ජාතික ඇඳුම අඳින ඔහු කලිසමක් හා කමිසයක් හැඳගෙන සිටී. දැන් දෙදෙනා හොඳට සමීපව සිටී. තමා පිටු පස පොලිසිය හඹා එන බැව් විවියන් දනී. ලෙස්ලි ද ඒ බව දැන සිටියේය. 


“බය වෙන්න එපා. මම පරිස්සමින් ඉන්නවා. ඔයාට දෙවියන්ගේ පිහිටයි.” 


හරි හරි පරිස්සම් වෙන්න. 


ගැබිනි බිරිඳ කලකින් දුටු ආදරබර හිමියාගේ කතා බහ එපමණක් විය. 


ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් වන ලක්ෂ්මන් ආටිගලගේ තාත්තා වන දොස්තර නිකුලස් ආටිගලට දිනක් විවියන් හමු විය. ඔහු කී දෙයින් ඇය තවත් බියට පත් වූවාය. 
මගෙන් පොලිසිය ඇහුවා. විවියන් බබා ලැබෙන්න ඇතුළත් වෙන්නේ කවදා ද කියා. මම කීවා වෛද්‍යවරයෙකුගෙන් කවදාවත් මේ වගේ තොරතුරු අහන්න එපා කියලා. මාපියන්ගේ වෛද්‍යවරයා වූයේ වික්‍රමසූරිය මහතාය. 


ඔහුගේ සාත්තු නිවාසයට විවියන් ඇතුළු වූවාය. 


සාත්තු නිවාසය වටා පොලිස් මුර යොදා තිබිණ. කුමන වේලාවක දී හෝ විවියන් හා ළමයා බැලීමට ලෙස්ලි එන බව පොලිසිය විශ්වාස කළහ. සැඟවී සිටින ලෙස්ලි අල්ලා ගැනීමට මෙය හොඳම අවස්ථාව වනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත. 


පොලිසිය නොමඟ යවා ඔවුන්ගේ උත්සාහය අඩාළ කළ යුතු යැයි විවියන් සිතුවාය. ඒ අනුව කටයුතු පිළියෙළ කළාය. සාත්තු සේවිකාව පැමිණි වෙළේ ඇයට විවියන් රහසක් කීවාය. එදින රාත්‍රියේ ලෙස්ලි බබා බැලීමට එන බවත් කරුණාකර තම කාමරය අඩ අඳුරු කර තබන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. 


සාත්තු සේවිකාව මේ බව මේට්‍රන්වරියට කියන බවත් ඒ සමගම නිසැකවම පොලිසියට මේ ආරංචිය සුළු මොහොතක් තුළදී දැන ගන්නට ලැබෙන බවත් විවියන් සිතුවාය. එය හරියටම හරි ගියේය. මොහොතකින් පොලිස් නිලධාරීන් අමුතු කඩිසර බවකින් සාත්තු නිවාසය වටා හැසිරෙන අයුරු ඇය දුටුවාය. 


වරින් වර විවියන් බැලීමට එදා අමුත්තන් රැසක්ම ආහ. එන සියලු දෙනාම ජාතික ඇඳුම ඇඳ ගත් අය වූහ. පොලිසියට මෙය විසඳිය නොහැකි ප්‍රශ්නයකි. පැමිණෙන හැම කෙනෙකු ගැනම අමුතු විමසිල්ලකින් සිටීමට ඔවුන්ට සිදු විය. 


එදා ලෙස්ලි මෙන් පැමිණි අය අතරින් කෙනෙක් වූයේ කෝබට් ජයවර්ධනය. ඔහු සෙල්සි මෙන් මුහුණේ සායම් ගාගෙන පැමිණ සිටියේය. පළමුවරට ජාතික ඇඳුම ඇඳගෙන කෝබට් පැමිණ සිටිනු දුටු විවියන් පුදුමයට පත් වූවාය. ඔහු විවියන්ගේ කාමරයට ආවේය. දරුවා දෑතින් වඩාගෙන සිප ගත්තේය. විවියන්ගේ හිස මත අත තබා සුබ ප්‍රාර්ථනා කළේය. පොලිසිය ඔහු පසු පස එළවාගෙන යන අයුරු බලා සිටි විවියන් මහ හඬින් සිනාසුනාය. 


පසුවදා වෛද්‍යවරයා විවියන් බැලීමට පැමිණියේය. “ මහත්තයට ඔයා බලන්න එන්න ඕන නම් මට කියන්න එපායැ. මම එහෙනම් රහසිගතව එක්කරගෙන එනවනේ.” ඔහු කීවේය. 
ඊයෙ මහත්තයා ආවේ නෑ. මම කියන්නේ ඇත්තමයි. 


අපි ඔයගොල්ලන්ගෙන් කොහොමත් ඇත්තක් බලාපොරොත්තු වෙන්නේ නෑ. දොස්තර කීවේය. 


තම කුළුඳුල් දියණිය කුමුදිනී දැකගන්නට ලෙස්ලිට අවශ්‍යවුවත් පොලිසියට අසු නොවී එය නොකළ හැකි බව ඔහුට හොඳටම විශ්වාසය. ඔහු බලවත් සිත් තැවුලට පත්ව සිටියේය. ඒ බව දැනගත් විවියන් එයට උපායක් යෙදුවාය.

 

 


නන්දසේන සූරියආරච්චි ලියූ 
“ඇන්.ඇම්.” කෘතියෙනි