අතුරු මැතිවරණ පුරාණයෙන්
1956 තුන්වැනි මහා මැතිවරණයට මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ‘අත’ ලකුණ යටතේ තරග කර එම්. පී. බඹරපනේ මහතා (එජාප 4318) පරාජය කරමින් වැඩි ඡන්ද 8018 කින් ජයග්‍රහණය කළ කේ. ඇම්. පී. රාජරත්න මහතාට ප්‍රථම වරට මන්ත්‍රී ධුරය අහිමි වූයේ 1952 මැතිවරණයේදී වැලිමඩ ආසනයට තරග කිරීමෙන් අනතුරුව (පරාජයට පත් වූ නමුත්) වැය වූ මැතිවරණ වියදම් පිළිබඳ ලැයිස්තුව නියමිත පරිදි මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් නොකිරීමේ චෝදනාව තහවුරු වී වරදකාරයා කරනු ලැබීමේ හේතුවෙනි.
එම නිසා 1956 අප්‍රේල් මස 07 වැනිදා පවත්වන්නට යෙදුණ වැලිමඩ ආසනයේ මැතිවරණයට ඉදිරිපත්වීමට ඔහුට සුදුසුකමක් නැතැයි ඡන්ද පෙත්සමක් ගොනු කරමින් වගඋත්තරකාර පාර්ශවයට නඟා තිබූ චෝදනාව ඇපෑල විභාග කළ රජ තුන්කට්ටුව (රාජ නීතිඥ එම්. එෆ්. එස්. පුල්ලේ, එච්. ඇන්. ජී. ප්‍රනාන්දු සහ ඇම්. සී. සන්සෝනි) පිළිගැනීම නිසා රාජරත්න මහතාට මන්ත්‍රී ධුරය අහිමි විය. ඉන්පසු 1957-09-07 දින පැවැත් වූ අතුරු මැතිවරණයට ඉදිරිපත් නොවූ රාජරත්න මහතා 1960 මාර්තු මැතිවරණයේදී නැවත වරක් තරග වැදුණේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ‘ජාතික විමුක්ති පෙරමුණ’ නමින් අලුත් පක්ෂයක් පිහිටුවාගෙන පක්ෂයට හිමි ‘අහස් යානය’ ලකුණ යටතේ තරග කළ හෙතෙම ඡන්ද 6539 ක් ලබාගෙන අපේක්ෂකයින් හයදෙනෙකු පරදවා වැඩි ඡන්ද 2701 ක ජයග්‍රහණයක් ලබාගත්තේය.
ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඒ. ජී. දිවිතොටවෙල මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 3838 ක් පමණකි. මෙම මැතිවරණයේදී ශ්‍රීලනිපය රාජරත්න මහතාට එරෙහිව අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නොතිබීම කැපී පෙනෙන ලක්ෂණයක් විය.
1960 ජූලි මැතිවරණයේදී ද රාජරත්න මහතාට විරුද්ධව තරග කිරීමට ශ්‍රීලනිප අපේක්ෂකයෙකු ඉදිරිපත් කර තිබුණේ නැත. තරගය පැවතියේ කේ. ඇම්. පී. රාජරත්න (ජා.වි.පෙ) සහ කේ. එන්. එම්. පුංචි බණ්ඩා (එජාප) යන දෙදෙනා අතරය. මෙම මැතිවරණයේදී ඡන්ද 6473 ක් හිමිකරගත් රාජරත්න මහතා නැවත වරක් වැලිමඩ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විය. එවර එජාප අපේක්ෂකයාගේ ඡන්ද සංඛ්‍යාව 4023ක් විය. මේ ආකාරයට පාර්ලිමේන්තුවට තේරී පත්වී මන්ත්‍රී ධුරය දරමින් සිටින අතර වාරයේදී 1958 දී හටගත් ජාතිභේදවාදී කෝලාහලවලදී දෙමළ අකුරු සහිත නාම පුවරුවල තාර ගෑමේ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු වීම මුල්කරගෙන පැවරූ නඩුවකදී වරදකාරයා වී සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් දෙවන වරටත් ඔහුට මන්ත්‍රී ධුරය අහිමිවී වැලිමඩ ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය.
එම සිද්ධිය සංක්ෂිප්ත වශයෙන් දක්වතොත් මෙසේය.
දෙමළ විරෝධී ජාතිභේදවාදී කෝලාහල පැතිර ගිය 1958 අප්‍රේල් මස 27 වැනි දින නීතිවිරෝධී ලෙස රංචු ගැසීම, සාමය කඩවන අයුරින් හැසිරීම, වැලිමඩ සෙන්ට්‍රල් ස්ටෝර්ස් අයිතිකාර ඩී. ගිරිගෝරිස් පෙරේරා මහතාගේ කඩයට රු. 600/- ක අලාභයක් සිදුකිරීම, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික සහකාර බී. මනම්පේරි මහතාට අයත් මෝටර් රථයට රුපියල් 400/- ක අලාභයක් සිදු කිරීම යන චෝදනා මත කේ. ඇම්. පී. රාජරත්න මහතා ඇතුළු අටදෙනෙකුට විරුද්ධව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි. මෙම නඩුව බදුල්ල මහේස්ත්‍රාත් ලයනල් සමරතුංග මහතා ඉදිරියේ විභාගයට ගත් 1960-06-19 දින සාක්ෂි දුන් බී. මනම්පේරි මහතා 1958-04-27 දින තමා මෝටර් රථය කඩය ඉදිරියේ නතර කර ඩී. ගිරිගෝරිස් පෙරේරා මහතා සමග කඩය තුළ සිටි බවත් ශබ්දයක් ඇසී බලන විට විශාල පිරිසක් පැමිණ කඩය තුළ නතර වූ බවත් එක් තැනැත්තෙකු බෝඞ් ලෑලිවල තාර ගෑම සඳහා පියස්සට නැඟුන බවත් ප්‍රකාශ කර සිටියේය. මේ අවස්ථාවේදී දෙමළ අකුරුවල තාර ගෑම ගැන පෙරේරා මහතා විරුද්ධත්වයක් නොදැක් වූ නමුත් ඉංග්‍රීසි අකුරුවල තාර ගෑම ගැන විරෝධයක් පළ කිරීමෙන් බහින් බස්වීමක් ඇති වූ බවත් හෙතෙම සිය සාක්ෂියේදී තවදුරටත් හෙළිකර සිටියේය. පසුව තමා බේරීම සඳහා පහළ තට්ටුවට දිවගිය බවත්, ඒ අතරතුර ගල් හා බෝතල් වීසිකරන ශබ්දයක් ඇසුන බවත් තමා පොලිසියේ ආධාර ඇතිව මෝටර් රථය ඉවත් කරගත් අතර ඊට හානි සිදුවී තිබුණ බවත් ප්‍රකාශ කර සිටියේය. අම්බලන්ගොඩ පොලිසියේ ඉන්ස්පෙක්ටර් ඇම්. ඒ. කරුණාරත්න මහතා සාක්ෂි දෙමින් පවසා සිටියේ මෙම සිද්ධිය වූ කාලයේ තමා වැලිමඩ පොලිසියේ සේවය කළ බවත්, එදින වැලිමඩ මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ නියෝග පිට මිනිසුන් දෙදෙනෙකු බෝඞ් ලෑලිවල තාර ගෑ බවත්, එය නතර කරන ලෙස රාජරත්න මහතාට තමා දැනුම් දුන් නමුත් එය දිගටම කරගෙන ගිය බවත්, අනතුරුව රාජරත්න මහතා අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගිය බවත් ප්‍රකාශ කළේය. විනාඩි 10 ට පමණ පසුව රාජරත්න මහතා නැවතත් නගරයට ගිය අතර, පැයකට පමණ පසුව කඩයක් කඩන බවට තොරතුරු සැලවී ආයුධ සන්නද්ධ භට පිරිසක් සමග එහි ගිය විට 300 ක පමණ පිරිසක් සෙන්ට්‍රල් ස්ටෝර්ස් නමැති වෙළෙඳ සලට පහරදෙන අයුරු තමා දුටු බවත්, ඔවුන් අතර රාජරත්න මහතා ද සිටි බවත් ඔහුගේ සාක්ෂියෙන් තහවුරු කළේය. (තොරතුරු මූලාශ්‍රය ලංකාදීප 1960-06-20)
නඩු විභාගය අවසානයේදී 1960-06-23 දින තීන්දුව ප්‍රකාශයට පත් කළ දිස්ත්‍රික් විනිශ්චයකාර ලයනල් සමරතුංග මහතා රාජරත්න මහතා ඇතුළු විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිතව වසර 2 1/2 ක සිර දඬුවමක් නියම කළේය. මෙම තීන්දුවට එරෙහිව ඔවුන් ඇපෑලක් ඉදිරිපත් කළ නිසා රුපියල් 500/- ක ඇප මත මුදා හැරිණි. ඇපෑල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෝටර් රථයට අලාභ හානි කිරීමේ චෝදනාවෙන් විත්තිකරුවන් නිදහස් කර සිර දඬුවම වසර එක හමාරක් දක්වා අඩු කළේය.
ඉක්බිතිව තමා රාජාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන බව ප්‍රකාශයට පත්කළ රාජරත්න මහතා ඒ සඳහා අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු මෙම දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා රජයේ සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි මෙම සිදුවීමට දේශපාලනමය ස්වරූපයක් ආරෝපණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන ස්ථානයේ උපවාසයක් ආරම්භ කළේය. මේ අතර ගාල්ල මන්ත්‍රී විජයානන්ද දහනායක මහතාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත පෙත්සමක් අග්‍රාණ්ඩුකාරවරයාට ඉදිරිපත් කරමින් රාජරත්න මහතාගේ සිර දඬුවම ලිහිල් කර සමාවක් ලබාගැනීමේ ව්‍යාපාරයක්ද දියත් කෙරිණ. කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කරවීමේ වගකීමෙන් ආණ්ඩුවට මගහැර යා නොහැකි විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විධිවිධාන සැලැස් වූ අතර එය ඇසීමට රාජරත්න මහතා බදුල්ල මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටිය යුතු වූ නමුත් එවකට බලපැවැත් වූ හදිසි නීති රෙගුලාසි යටතේ පනවන ලද නියෝගයක් යටතේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සැලැස්වීය.
මෙම ක්‍රියාදාමයට රාජරත්න මහතා විරුද්ධත්වය පළකළ අතර එය සටහන් කරගත් අතිරේක මහේස්ත්‍රාත් ඩී. ජේ. ආර්. ගුණවර්ධන මහතා 1961-08-23 දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට යැවින. ඉහත සඳහන් කළ මන්ත්‍රී පෙත්සමේ ආනුභාවයෙන්දෝ, පසුව අග්‍රාණ්ඩුකාර උතුමාණන්ගේ සමාවක් ලැබීමෙන් මෙම සිරදඬුවම මාස දෙක දක්වා අඩු කෙරිණ. 1961-10-15 දින රාජරත්න මහතා හිරෙන් නිදහස් විය.
වැලිමඩ ආසනයේ දෙවැනි අතුරු මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරගැනීම 1961-10-18 දිනට නියම වී තිබුණ නමුත්, 1961-04-17 දින සිට ප්‍රකාශයට පත්කර තිබූ හදිසි නීති රෙගුලාසි යටතේ අතුරු මැතිවරණ පැවැත්වීම ද දින නියමයක් නොමැතිව කල්දමා තිබුණි. (වැලිමඩ, අනුරාධපුරය සහ මුතූර් ආසනවල අතුරු මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණි) 1962-04-07 දින සිට ප්‍රවෘත්ති පාලනය, දේශපාලන පක්ෂ තහනම හා අතුරු මැතිවරණ කල්තැබීම පිළිබඳ රෙගුලාසි අවසන් කිරීම නිසා කල්ගිය අතුරු මැතිවරණ 1962-06-28 දින පැවැත්වීමට තීරණය කෙරුණි. වැලිමඩ දෙවැනි අතුරු මැතිවරණය සඳහා තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කළ බදුල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත නිශ්ශංක විජයවර්ධන මහතා ඉදිරියේ අපේක්ෂකයෝ තිදෙනෙක් නාම යෝජනා පත්‍ර භාරදුන්හ.
කේ. ඇම්. පී. රාජරත්න (ජාවිපෙ) පර්සි සමරවීර (එජාප) සහ පී. බී. රත්නායක (ශ්‍රීලනිප) ඒ තිදෙනා වූහ. මෙම දෙවැනි අතුරු මැතිවරණයේදී රාජරත්න මහතාට ප්‍රථම වතාවට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සමග තරග කිරීමට සිදුවිය. රජයේ වැඩ ඇමැති පී. බී. ජී. කළුගල්ල රජය වෙනුවෙන් මැතිවරණ කටයුතු මෙහෙයවූ අතර, විපක්ෂ නායක ඩඞ්ලි සේනානායක මහතා පර්සි සමරවීර මහතාගේ ජයග්‍රහණය උදෙසා වැලිමඩ ආසනයේ සංචාරය කරමින් ඡන්ද කටයුතු සංවිධානය කළ ආකාරය දැකගත හැකි විය.
අතුරු මැතිවරණයෙන් පහසු ජයග්‍රහණයක් අත්කර ගත් රාජරත්න මහතා සිව්වැනි වතාවටත් වැලිමඩ ආසනයට තේරී පත්විය. 1960 ජූලි මැතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයකු නොමැතිව ඡන්ද 7557 ක් ලබාගත් රාජරත්න මහතා අතුරු මැතිවරණයේදී ශ්‍රීලනිප සහ එජාප තරගකරුවන් අබිබවා යමින් ඡන්ද 8352ක් ලබාගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
සමස්ත ඡන්ද ප්‍රතිඵලය මෙසේය.
කේ. ඇම්. පී. රාජරත්න (ජාවිපෙ - අහස් යානය) 8352, පර්සි සමරවීර (එජාප - අලියා) 5178, පී. බී. රත්නායක (ශ්‍රීලනිප - අත) 2496, වැඩි ඡන්ද සංඛ්‍යාව 3174 කි. 1962-07-11 දින රාජරත්න මහතා මන්ත්‍රී ධුරයෙහි දිව්රුම් දුන්නේය.
ජී. ආර්. ඩී. බණ්ඩාර