රාජරත්නට අසුන අහිමිකළ මැතිවරණ නීතිය


 

ශ්‍රී ලංකාවේ අතුරු මැතිවරණ ඉතිහාසය පිළිබඳ කරුණු හදාරණ විට බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වැලිමඩ ඡන්ද කොට්ඨාසයට සුවිශේෂි ස්ථානයක් හිමිවන බව සනාථ වෙයි. ඊට හේතුව නම් 1956  මහා මැතිවරණයේ සිට 1970 මහා මැතිවරණය දක්වා වූ කාල පරාසය තුළ අතුරු  මැතිවරණ හතරක් පවත්වා තිබීමයි.


 ඊට පෙර එවැනි වාර්තාවක් හිමිකරගෙන තිබුණේ මහනුවර ඡන්ද කොට්ඨාසයයි. එම ඡන්ද කොට්ඨාසය සඳහා 1947-1953 කාල සීමාව තුළ අතුරු මැතිවරණ තුනක් පවත්වා තිබුණි. වැලිමඩ මන්ත්‍රී කොට්ඨාසය සඳහා ප්‍රථම ඡන්ද පෙත්සම ඉදිරිපත් වූයේ 1956 මැතිවරණයේදී ම.එ.පෙ. අපේක්ෂකයා ලෙස තරග කර වැලිමඩ ආසනය ජයග්‍රහණය කළ කේ.ඇම්.පී. රාජරත්න මහතාට එරෙහිවය. ඔහු ප්‍රථම වරට ජාතික දේශපාලනයට පිවිසියේ 1952 මහා මැතිවරණයේදී “අලියා” ලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස වැලිමඩ ආසනයට තරග කරමිනි. එවර ඔහු පරාජයට පත් වුව ද තෙවැනි ස්ථානයට පත්වී ඡන්ද 3327 ක් ලබා ගැනීමට සමත් වූ අතර ඉදිරි දේශපාලන ගමන් මාර්ගයට ස්ථීර අඩි තාලමක් දමා ගැනීමට සමත් විය. 1952 මැතිවරණයේදී ජයග්‍රාහකයා වූයේ “යතුර” සලකුණ යටතේ තරග වැදුණ ඡන්ද 6314 ක් ලබාගත් ඇම්.බී. බඹරපනේ මහතාය. ඡන්ද 5118 ක් ලබාගත් වැලිමඩ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ කේ.ඩී. ඬේවිඞ් පෙරේරා මහතා (කූඩය) දෙවැනි ස්ථානය දිනාගෙන සිටියේය. ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් තරග වැදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවද, ඔහුගේ ජාතිකත්ව හැඟීම් තුළින් පන්නරය ලැබූ චතුර කථිකත්වය ද එවකට වැලිමඩ ප්‍රදේශයේ සිටි එකම උපාධිධාරියා වශයෙන් ලබාගත් සමාජ පිළිගැනීමද, 1956 මැතිවරණයේදී බණ්ඩාරනායක පිලිප් එකමුතුවෙන් ගොඩනැගුණ මහජන එක්සත් පෙරමුණ යටතේ වැලිමඩ ආසනයේ අපේක්ෂකයා වීමේ වරම ලබා ගැනීමට මැනවින් ගැළපුණේය.


 එම මැතිවරණයේදී රාජරත්න මහතාට හිමිවූයේ ඓතිහාසික ජයග්‍රහණයකි. සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. කේ.ඇම්.පී. රාජරත්න (ම.එ.පෙ. අත) 12,336, ඇම්.පී. බඹරපනේ (එ.ජා.ප.-අලියා) 4318, ඇම්.ඩී. පෙරේරා (ස්වාධීන-කරත්ත රෝදය) 770, වැඩි ඡන්ද සංඛ්‍යාව 8018, මැතිවරණයේදී බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් ආසන හයෙන් (අළුත්නුවර, බදුල්ල-(බහුමන්ත්‍රී) බණ්ඩාරවෙල, වැලිමඩ, හපුතලේ- බුත්තල) ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට ද රාජරත්න මහතා සමත් විය. ඉන්පසු බණ්ඩාරනායක රජයේ ප්‍රවෘත්ති සහ ගුවන්විදුලි ඇමැතිවරයාගේ  පාර්ලිමේන්තු ලේකම් තනතුර ද ඔහුට පිරිනැමුණි.


එහෙත් රාජරත්න මහතාගේ පත්වීම නීත්‍යානුකූල නැතැයි සඳහන් කරමින් මැතිවරණ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් විය. ඡන්ද පෙත්සමට නඩු නිමිත්ත වූයේ ඔහු ප්‍රථම වරට වැලිමඩ ආසනයට තරග කර පරාජයට පත්වූ 1952 මැතිවරණයේදී මැතිවරණ වියදම් ලැයිස්තුව නීත්‍යානුකූලව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් නොකිරීමෙන් වරදක් කර ඇති බවය. එම වරදට අනුව ඔහුට 1956 මහා මැතිවරණයට තරග කිරීමට සුදුසුකමක් නැති බවට ද තවත් කරුණක් චෝදනා වශයෙන් ඉදිරිපත් කර තිබුණි. බදුල්ල දිස්ත්‍රික් උසාවියේදී 1955 වර්ෂයේදී මෙම නඩුව විභාගයට ගත් අතර වැය වූ මුදල් පිළිබඳ ලැයිස්තුව ඉදිරිපත් නොකිරීමෙන් වරදක් සිදුකළේ යැයි තීන්දුකොට රු. 100 ක දඩ මුදලක් පැනවිය. ඊට එරෙහිව ගොනුකළ ඇපෑල 1956 පෙබරවාරි මාසයේදී අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. එදා පැවැති මැතිවරණ නීතිය අන්තර්ජාතික වශයෙන් වුවද පිළිගත හැකි ප්‍රබල තත්ත්වයේ එකක් බව මෙහිලා සටහන් කර තැබිය යුතුය. ඡන්ද ප්‍රතිඵල රජයේ ගැසට් පත්‍රයේ නිවේදනය කර දින 31 ක් ඇතුළත නියමිත පෝර්මය අනුව සෑම ඡන්ද අපේක්ෂකයෙකුගේම ඡන්ද නියෝජිතයෙක් තම අපේක්ෂකයා විසින් දරන ලද වැය වූ වියදම් පිළිබඳ ලැයිස්තුව අදාළ තේරීම් භාර නිලධාරියා වෙත ඉදිරිපත් කළ යුතුය. මෙම ලැයිස්තුව මැතිවරණ නියෝජිතයා සහ ඡන්ද අපේක්ෂකයා විසින් සාම විනිසුරුවරයෙකු ඉදිරිපිට අත්සන් තැබූ නියමිත පෝර්මයන් හි වූ ප්‍රකාශයක්ද සමඟ ඉදිරිපත් කළ යුතු විය. මැතිවරණයකින් පරාජයට පත්වුවද මෙම නියමයන් ඉෂ්ට කළ යුතු බව මැතිවරණ නීතියෙන් තහවුරු කර තිබුණි.


ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවදුරටත් ඇපෑලක් ඉදිරිපත් කරමින් රාජරත්න මහතා 1956 මහා මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරදී තිබුණි. ඔහු ඉදිරිපත් කළ දෙවැනි ඇපෑල පිළිබඳ විභාගය රාජ නීතිඥ එම්.එෆ්.එස්. පුල්ලේ, එච්.ඇන්.ජී. ප්‍රනාන්දු සහ ඇම්.සී. සන්සෝනි යන විනිසුරු තුමන්ලාගෙන් සැදුම්ලත් රජතුන් කට්ටුව ඉදිරියේ විභාගයට ගැනුන අතර 1957 ජූනි මාසයේදී ඇපෑල නිෂ්ප්‍රභ කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ. තීන්දුවට අනුව, ගිනි 100 ක් පෙත්සම්කාර වගඋත්තරකරුවන්ට ගෙවන ලෙසට ද රාජරත්න මහතාට නියම කර තිබුණි. ඇපෑල නිෂ්ප්‍රභ කරමින් ප්‍රකාශිත තීන්දුවට හේතු 1957.06-07 දින ප්‍රකාශයට පත්කරනු ලැබීය.
 එම හේතු සවිස්තරාත්මකව මෙසේය. “1952 වර්ෂයේදී වැලිමඩ කොට්ඨාශය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා පත්කර ගනුවස් පැවැත්වූ මැතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ රාජරත්න මහතා වැය වූ ඡන්ද මුදල් ලැයිස්තුව ඉදිරිපත් නොකිරීමෙන් 1946 මැතිවරණ ආඥා පනතේ 72 වැනි කොටස යටතේ නීතිවිරෝධි දෙයක් කළේ යැයි 1955 අගෝස්තු මාසයේ බදුල්ල දිස්ත්‍රික් උසාවියේදී වරදකරු කරනු ලැබීය. රු. 100 ක දඩයක් ද ගෙවීමට  ඒ මහතාට සිදුවිය. ඊට විරුද්ධව ඔහු විසින් ගන්නා ලද ඇපෑලක් 1956 පෙබරවාරි මස 21 දින ප්‍රතික්ෂේප විය.


1956 ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනතේ 16 කොටස යටතේ ඇපල්කරු සහනය බලාපොරොත්තු වෙයි.  එම පනත සැලකිල්ලට භාජනය නොකරන්නේ නම් කලින් සඳහන් කළ වරද අනුවම නැවත වරක් 1956 අප්‍රියෙල් 07 වැනිදා පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීවරයෙක් හැටියට තේරී පත්වීමට ඡන්ද පණතේ 72 (1) කොටස යටතේ ඔහුට නොහැකි බව විවාද රහිතවම පිළිගත යුතුය. මේ ඇපෑලේදී මතුවන නීති ප්‍රශ්නය මෙයයි. 1956 සංශෝධිත මැතිවරණ ආඥා පනතේ විශේෂයෙන් 15, 16 යන ජේදයන් 1956.02.16 දින සිට ක්‍රියාත්මක වූයේ නම් එදින සිට ඇපල්කරුගේ නුසුදුසුකම් අහෝසි කළාද යන්නයි. ඒ අණපනත් නොතිබුණා නම් ඔහුගේ නුසුදුසුකම් ඒ ලෙසම පවතී. මේ සඳහා අප වෙත ඉදිරිපත් කර ඇති තර්ක තේරුම් ගැනීමට මන්ත්‍රණ සභා පනත සහ 1956 පනත ද සම්පූර්ණයෙන් ගෙන බැලිය යුතුය. මුල් ආඥා පනතේ 70 (1) කොටස යටතේ සෑම අපේක්ෂකයෙකුගේම ඒජන්තවරයා විසින් වැය වූ ඡන්ද මුදල් ලැයිස්තුව ඉදිරිපත් කළ යුතුව ඇත. (2) උප කොටස අනුව එම මුදල් ලැයිස්තුවට ඡන්ද ඒජන්තවරයා අත්සන් කළ යුතුය. ඒ වියදම් සත්‍ය බවට දිවුරුම් ප්‍රකාශ දෙකක්ද ඒ සමඟම යැවිය යුතුය. එහෙත් ලැයිස්තුව වැරදි නම් ඔහු 58 ජේද (1) (ඇෆ්) කොටස යටතේ අයථා ක්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරු වෙයි. මෙසේ 58 ජේදයේ 2 උප කොටස යටතේ ඒ වරදකරු අවුරුදු 7 ක කාලයකට නුසුදුසු බවට පැමිණේ.


 1956 අංක 16 දරණ පනත ක්‍රියාත්මක වූ දා මන්ත්‍රණ සභා පනතේ 70 ජේදයේ 6 වැනි උප කොටස අවලංගු වූවක් හැටියට ඉදිරිපත් කළ මතය හරි වුවත් ඉන් පවා ඇපල්කරුට කිසි අර්ථයක් සිදුනොවේ. 

 


 

මතු සම්බන්ධයි.

 

 


 ජී.ආර්.ඩී. බණඩාර