පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක ශ්‍රීමත් ප්‍රැන්සිස් මොලමුරේ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ දී නියෝජනය කළ දැදිගම ආසනය, වඩාත්ම ජනප්‍රිය වූයේ ප්‍රථම අගමැති ඩී. ඇස්. සේනානායක මහතාගේ පුත් දෙවැනි අගමැතිව සිව් වරක් මෙරට අගමැති ධුරය දැරූ ඩඞ්ලි සේනානායක මහතාගේ කාලය තුළදීය. දැදිගමයි - ඩඞ්ලියි එකම කාසියේ දෙපැත්ත වී, ගසයි පොත්තයි මෙන් එකට ඇලී පැවතියේ කිරෙන් දිය වෙන් කළ නොහැකි අයුරිනි.
1973 අප්‍රේල් මස 13 වැනි දින සිංහල, හින්දු අලුත් අවුරුද්ද උදාවන මොහොතේ මුළු රටම කම්පා කරමින් දැදිගම මන්ත්‍රී ඩඞ්ලි සේනානායක මහතා ලක්වැසි ජනතාවට කිරිබතක් වෙනුවට මළ බතක් පිළියෙල කිරීමට ඉඩ හරිමින් දෙනෙත් පියා ගත්තේ සියවස් ගණනකට සපුරාලිය නොහැකි හිදැසක් ද ඇති කරවමිනි.
මෙය අතිශය ඛේදජනක සිද්ධියක් විය. දැදිගම මන්ත්‍රී ආසනය සඳහා අතුරු මැතිවරණයකට ඉඩකඩ සැලසුණි. දැදිගම මන්ත්‍රී ආසනය සඳහා වූ අතුරු මැතිවරණයට හිටපු මන්ත්‍රී ඩඞ්ලි සේනානායක මහතාගේ එකම සොහොයුරු රොබට් සේනානායක මහතාගේ පුත් රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන්ද, වෙනත් සේනානායක කෙනෙකු වූ ධර්මසිරි සේනානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද ප්‍රධාන වශයෙන් තරග බිමට පිවිසියහ.
නාමයෝජනා පත්‍ර භාරදීමට පෙර පවා දේශපාලන උණුසුමෙන් රත් වෙන්නට පටන් ගත් දැදිගම, එවකට අගමැති වූ සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය රාජ්‍ය බලය, හමුදා හා පොලිස් බලය යොදවා යුද පිටියක් නිර්මාණය කළේ එවකටත් නැග එමින් තිබූ ඩඞ්ලි බලය හීන කිරීමටය.
1973 ජූලි 09 වැනි දින පැවති අතුරු මැතිවරණ කාලසීමාව තුළදි පහත විස්තර වන පරිදි නොයෙකුත් අකටයුතුකම් සිදුවිය.
අනර්ථකාරී ක්‍රියා, කොල්ලකෑම්, පහරදීම්, රථවාහන ඇතුළු දේපළවලට අලාභහානි කිරීම් ආදිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාගේ ආධාරකරුවන් විසින් පැමිණිලි 32ක් පොලිසිය වෙත ඉදිරිපත් කරන ලදින්, ඒවා සටහන් කරගෙන ඇත.
සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ අණ හා නියෝග පරිදි පොලිසිය විසින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ආධාරකරුවන් 62ක් සිර භාරයට ගෙන එයින් සියයට 99ක් සාක්ෂි නොමැති වීම නිසා කෑගල්ල මහේස්ත්‍රාත්තුමන් විසින් නිදහස් කර ඇතත්, ඉතිරි අය ද සාක්ෂි නොමැති නිසා පොලිසිය විසින් “බී” වාර්තා ඉදිරිපත් නොකර සිර භාරයේම තබා ගන්නා ලදී.
එසේම තමන්ට කරන ලද සාහසික ක්‍රියා හා තර්ජන පිළිබඳව - විපක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන, හිටපු කථානායකවරුන් වන ෂර්ලි කොරෙයා හා හියු ප්‍රනාන්දු, හිටපු කම්කරු ඇමැති එම්. එච්. මොහොමඞ්, බළංගොඩ එම්. එල්. එස්. අබුසාලි, කොළඹ තිස්ස සේනානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්ද්‍රා කරුණාරත්න, නන්ද මැතිව්, සිරිල් මැතිව්, ජේ. එල්. සිරිසේන, ආර්. පී. විජේසිරි, ජිනදාස නියතපාල මෙන්ම දැදිගම මන්ත්‍රී රුක්මන් සේනානායක ද පොලිසියට පැමිණිලි කළහ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් මැතිවරණයට පෙර හා කාලසීමාව තුළ මාරු කර යවා, ඇමැති - මැතිවරුන්ගේ හා හිතවත් රාජ්‍ය නිලධාරින්ගේත් ඥාති මිත්‍ර පොලිස් නිලධාරින් සේවයට කැඳවා, නීති රීති උල්ලංඝනය කරවමින් දාමරිකකම් කරවීමට හා කිරීමට උපදෙස් දී ඇත.
සිරිමා රජයේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය තන්ත්‍රය සතු බලතල යොදවා මුළු අතුරු මැතිවරණයම ඔවුන්ගේ අතට ගෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ට එළව එළවා පහර දීමටත්, එජාප කාර්යාල කඩා දමා ගිනිබත් කිරීමටත් කටයුතු කළ අතර, පොලිසිය ඇතුළු සන්නද්ධ සේවාවල නිලධාරින් ද ඒ සඳහා බොහෝ විට යොදවා ගන්නා ලදහ.
මැතිවරණයට පෙර දින එනම් ජුලි 08 වැනි දින නිල් හා රතු ඇඳුමෙන් සැරසුණු ශ්‍රීලනි පාක්ෂිකයින් සිය ගණනින් පාර දෙපස එක් රොක්ව එජාප රථවාහනවලට පහරදීම් හා හූ කිම්වල නිරත වූහ.
එසේම එජාප ආධාරකරුවන් නැවතී සිටි ගෙවල් හිමියන්ට තර්ජනය කළ අතර, එජාප නියෝජිතයන් සිරභාරයට ගැනීම ද සිදු කරන ලදහ. මේ සඳහා අසත්‍ය නිස්සාර පැමිණිලි පොලිසියට කිරීමටත්, සිර භාරයට ගත් අහිංසකයන්ට බැණවැදීමට හා උසුළු විසුළු කිරීමටත්, මැරයන් කටයුතු කරද්දී, සිරිමා රජයට ආවඩන පොලිස් නිලධාරීන් නෑසු කන් ඇතුව ඉවත බලා සිටියේ සිනා මුසු මුහුණින් යුතුවය.
මෙම අශිෂ්ට ක්‍රියාකලාපය පසු දින එනම් මැතිවරණය දිනයේදී ද මුළු දවස පුරාම ක්‍රියාත්මක වූ අතර, මෙහි ඛේදවාචකය වන්නේ පිටතින් ගෙන්වා ගනු ලැබූ පොලිස් හා සන්නද්ධ හමුදා නිලධාරීන් මේ තිරිසන් වැඩවලට ආරම්භයේ සිටම උදව් පදව් දීමය.
සිරිමා රජයේ සමහර ඇමැති - උප ඇමැති - මන්ත්‍රීවරුන් පොලිස් ස්ථානවල රැඳි සිට පොලිස් හා සන්නද්ධ නිලධාරීන් ඒ සඳහා යොදවමින් මෙහෙයවමින් සිටිනු දක්නා ලදී.
දැදිගම ආසනය පුරාම විසිරි සිටි මැරවර පිරිස් එක්සත් ජාතික පක්ෂයේ ඡන්දදායකයන් බියගන්වා, ඡන්දය දීමට ඉඩ නොදී තර්ජනය කර පලවා හැර ඇති අතර, එජාපයේ බහුතරයක් සිටින දැදිගම, සමහර ගම්වලට මුරකාවල් පවා යොදවා එජාපයට ලැබෙන ඡන්ද විශාල වශයෙන් වළක්වා දැමීමට ද සිරිමා රජයේ මැරවරයන් කටයුතු කර ඇත. මේ සඳහා ද පොලිසිය හා හමුදා නිලධාරීන්ගේ සහාය නොඅඩුවම ලැබිණ.
දැදිගම අතුරු මැතිවරණ සමයේදී සිදුවී ඇති මෙම සාහසික ක්‍රියා සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීමේ පනත් කොමිටියක් පත් කරන ලෙස පහත නම් සඳහන් මන්ත්‍රීන් 13 දෙනා රාජ්‍ය සභාවට යෝජනා කළහ. එනම් විපක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන, මහජන මන්ත්‍රීවරුන් වන නින්නාවුර් එම්. ඇම්. මුස්තාපා, ගාල්ල විජයානන්ද දහනායක, පුත්තලම නයින මරික්කාර්, උඩුවිල් වී. ධර්මලිංගම්, මැදකොළඹ ආර්. ප්‍රේමදාස, සෙංකඩගල ඇන්. විමලසේන, අකුරණ ඒ. සී. එස්. හමීඞ්, මහනුවර ඊ. ඇල්. සේනානායක, ජා-ඇල පාරිස් පෙරේරා, නුවරඑළිය ගාමිණී දිසානායක, චාවාකච්චේරි වී. ඇන්. නවරත්නම් හා දැදිගම රුක්මන් සේනානායක මහතුන්ය.
විශේෂයෙන්ම දැදිගම අතුරු මැතිවරණයෙන් රුක්මන් සේනානායක පරදවා, ශ්‍රීලනිප අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවට අවශ්‍ය වූයේ මැරුණු ඩඞ්ලිගේ දේහයට ජාති, කුල, ආගම්, පක්ෂ භේදයකින් තොරව “බත්දුන් පියා” යැයි හඬා වැලපෙමින් මුළු දිවයිනේ අස්සක් මුල්ලක් නෑරම, දස දහස් ගණනින් ජනතාව වැල නොකැඩී පැමිණීමත්, ඩඞ්ලිගේ ආදාහනය දා එක්රොක්ව කඳුළු සලමින් බලා සිටි ලක්ෂ සංඛ්‍යාත ජනකායත් දර්ශනය වීම නෙතට පමණක් නොව සිතටත් මහත් වධයක් හා බියක් බැවිනි.
බලයට පත්ව සිටින තමන්ට මෙය මහත් අනාගත අභියෝගයකැයි සිතූ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව පක්ෂයේ මැති ඇමැතිවරුන් හා සංවිධායකයන් කැඳවා, මැයි දිනයට ලංගම - පෞද්ගලික බස් රථවලින් පමණක් නොව, ලොරිවලින් පවා සෙනඟ අද්දවාගෙන බලෙන් ගෙනා ජනසන්නිපාතය දෙස බලා සැනසුම් සුසුම් හෙළුවේ ඩඞ්ලිගේ ආදාහන උළෙල නිසා වැලදුණ උණ සන්නිපාතය තරමක් දුරට හෝ සුව අතට හැරේ යයි සිතමිනි.
එහෙත් දස දහස් ගණනක් එජාප ඡන්ද වළකාලමින් වුව එක්සත් ජාතික පක්ෂයේ රුක්මන් සේනානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධර්මසිරි සේනානායක මහතාට වඩා වැඩි ඡන්ද තුන්දහස් ගණනකින් ජයගෙන තම ඩඞ්ලි මහප්පාගේ ඇවෑමෙන් දැදිගම ආසනයේ මන්ත්‍රීවරයා බවට පත්විය.
එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර