රත්නපුර දිසාවේ බටුගෙදර වලව්වේ එල්ලාවල පරපුරට රජ සමයේ පටන් දිගු ඉතිහාසයක් ඇති නමුදු 1882-1887 දක්වා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව නියෝජනය කළ විලියම් එල්ලාවලගෙන් එය මෑත දී ප්‍රචලිත විය.
කිර්තිමත් ප්‍රභූවරයකු වූ සිඞ්නි එල්ලාවල දම්පතින්ගේ වැඩිමහල් පුත්‍රයා ලෙස 1939 ඔක්තෝබර් මස 15 වැනිදා නන්ද එල්ලාවල මෙලොව එළිය දුටුවේය.
ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලෙන් සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපන ලත් ඔහු තුළ පීඩින ජනතාව පිළිබඳව කුඩාකල සිටම තිබූ සංවේදී හැඟීම් කොළඹ පැමිණි පසුද වෙනස් නොවීය.
වලව්කාරයකු හෝ වතු අධිකාරිවරයකු මෙන්ම ධනේෂ්වර දේශපාලනඥයකු වීමට ඕනෑ තරම් අවස්ථා තිබුණ ද ඔහුගේ තේරීම වූයේ වාමාංශික දේශපාලනයයි.
1967 වන විට පරිණත දේශපාලනඥයකුගේ ලක්ෂණ ඔහුගෙන් පළ විය. සබරගමුව පළාතෙන් ඔහු දේශපාලනයට පිවිසෙන විට සියල්ලන් සිතුවේ රදළ ගති විදහාපාන නායකයකු බිහිවෙතැයි කියාය.
එහෙත් පැල්මඩුල්ල අතුරු මැතිවරණයේ දී රදල පරපුරින් ආ සිය ඥතිවරියක වූ සීතා මොලමුරේ සෙනවිරත්න කුමාරිහාමි පරදවා පළාතේ සාමාන්‍ය පන්තියේ අයකු වූ ධර්මදාස වන්නිආරච්චි දින විමට නන්ද එල්ලාවල කැප වී කටයුතු කළේ නෑසියන් පමණක් නොව ගැමියන් ද පුදුම කරවමිනි.
එවැනි කැපවීම් රැසක් කළ ඔහු වෙත රත්නපුර ආසනයේ සංවිධායක කම පිරිනැමීමට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක තීරණය කළාය. 1970 මහා මැතිවරණයෙන් රත්නපුරේ සියලු ආසන ශ්‍රීලනිපය ඇතුළු වමට හිමි වූ අතර පැරණි එජාප අපේක්ෂක පරදවා 31 හැවිරිදි නන්ද එල්ලාවල අසුන දිනුවේය.
ඔහුත් සමග තරුණ පෙරළිකාරයන් වූ සම සමාජයේ වාසුදේව නානායක්කාර හා කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගම ද පාර්ලිමේන්තුවට පත් වූහ. ඔවුන් හැඳින්වූයේ ‘රුවන්පුර රුවන් හදවත්’ නමිනි.
සමගි පෙරමුණ රජයේ ඉඟුරු කල්ලිය ලෙස මොවුන් හැඳින්වූයේ රජය තුළම හිඳ අයුක්තියට හා අසාධාරණයට එරෙහිව වාග් ප්‍රහාර එල්ලකළ පිරිස බැවිනි. ගතානුගතිකව පක්ෂයට හෝ ආණ්ඩුවට අත නොඉස්සු එල්ලාවලයන් මැතිසබයට හිසරදයක් වූ අවස්ථාද විය.
1976 දී රජයේ අදූරදර්ශි තීරණවලට එරෙහි වූ ඔහු ශ්‍රීලනිපයෙන් ඉවත් විය. 1977 දී වමේ ධජය යටතේ සටන් වැදුණු නන්ද එල්ලාවලට හිමි වූයේ දෙවැනි තැන වුවත් ඔහු ශ්‍රීලනිප අපේක්ෂයා ද පැරදවීය.
එහෙත් නන්ද එල්ලාවලගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ශ්‍රීලනිපය නොව එජාපයයි. 1982 ජනපතිවරණ, ජනමත විචාරණය 1983 මහර අතුරු මැතිවරණය හා මින්නේරිය අතුරු මැතිවරණය තුළ ක්‍රියාශීලිව සටන් මෙහෙය වූ අයුරු තවමත් පැරැන්නන්ට මතකය.
රටම එජාපයේ බලයට හා අණසකට ලක් වූ 1989 දී රත්නපුරෙන් එජාපය පලවාහැර පාර්ලිමේන්තුවට පැමිණීමට නන්දයන්ට වාසනාව ලැබුණේ ගැමි ජනතාවගේ ආශිර්වාදය නිසාය.
මෙම දස්කම් නිසාම 1989 දී ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජනපතිවරණ සටනේ මහත් කාර්යභාරයක් ඉටුකිරීමට හැකිවිය.
1989 දී මහමැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පළමු වැනියා වීමේ වරම මනාප 75,645 ක් ලබාගත් නන්ද එල්ලාවලට හිමිවිය. 2000 මහ මැතිවරණයේදී ඔහු මනාප 54,518 ක් ලැබ ජයග්‍රහණය කළේය.
රත්නපුරේ බටුගෙදර වලව්වත් බළන්ගොඩ මහවල තැන්න වලව්වත් අතර ඥාති සම්බන්ධයට දිගු කලකි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මහගෙදර වූ මහවල තැන්න වලව්වේ විසූ ඇයගේ සොයුරු ක්ලිෆර්ඞ් රත්වත්තේ නියෝජනය කළ බලන්ගොඩ ආසනය ඔහුගෙන් පසු නියෝජනය කළ බිරිඳ වූ මල්ලිකාරත්වත්තේ වනාහි නන්ද එල්ලාවලගේ වැඩිමහල් සොයුරියයි.
නන්ද එල්ලාවලගේ අත ගත්තේ සබරගමුව පළාතේ උසස් පෙළපතකින් පැවත ආ සුරංගනී එල්ලාවල මෙනවියයි. ඇය තම සැමියාගේ සමාජවාදි දේශපාලන බලවේගයට අතහිත දෙමින් ඔවුන්ගේ පුතු වූ නාලන්ද එල්ලාවලට පවා දේශපාලන දිවියට පුර්වාදර්ශ දුන්නාය.
ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ දුප්පත් ජනතාවගේ හද ගැස්මත් ඔවුන්ගේ අරමුණත් සාක්ෂාත් කරලිය හැකි තරුණ දේශපාලනඥයකු බවට තම එකම පුතු පත් කරලීමයි. දියණියට යහපත් දේශයක් බිහි කරලීමයි.
එල්ලාවල පරපුරේ මුදුන්මුල වූ නන්ද එල්ලාවලයන් තම දේශපාලන දිවියෙන් මෙන්ම පනස් වසරක ජීවන ගමනින්ද හදිසියේ සමුගත්තේ 1989.12.16 දින රුවන්පුර එකම කඳුළු ගඟක් කරමිනි.
නිර්ධන පන්තියේ මිනිසුන් නන්ද එල්ලාවල නම් ජනනායකයාට කෙතරම් ඇලුම් කළා දැයි යන්නම එදා ගැලු ජනගඟම සාක්ෂි දරයි.
නන්ද එල්ලාවලගෙන් ගිලිහුණු වමේ දේශපාලන නිල්ධජය භාරගත්තේ ඔහුගේ සුජාත පුත්‍රයා වූ නාලන්ද එල්ලාවල තරුණයාය. අංකුර දේශපාලන නායකයකුගේ ලක්ෂණ ඔහු කෙරෙහි විද්‍යාමාන විය.
1967 මාර්තු මස උපත ලැබ පියා ගිය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් විය. නාලන්ද සතුව තිබූ දේශපාලන ඥානය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ද මවිත කළේය.
1993 දී සබරගමුව පළාත් සභා මැතිවරණය ජයගත් නාලන්ද තරුණයා 1994 මහමැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ තුන්වන මනාපලාභියා ලෙස පාර්ලිමේන්තු ගියේය.
ප්‍රදේශයේ ජනතාවගේ දැවෙන ගැටලුවලට තමන් හැකි අයුරින් පිහිටවීම ඔහු තුළ තිබූ කුසලතාවක් විය. වරක් කළුගඟ කලඹාගෙන පැමිණි මහා ගංවතුරින් රත්නපුර හා අවට නාගරික හා ගම්බද පෙදෙස් යට වී ජීවිත හා දේපොළ විනාශ වනු බලා සිටිනු නොහැකිව ගලා යන ජල ධාරාව සමග පොරබදා දිවි පරදුවට තබා සටන් කළ අයුරු ජනතාව සිහි කරති.
තරුණ ජවයත් මානුෂීය හැඟීමත් නිසා ඔහු කළ කි දෑ නොරිස්සු අන්තගාමි ප්‍රතිගාමි පිරිසක් පැවති එජාප රාජ්‍ය බලය තමන් අතට ගෙන ක්‍රියා කළහ. ඔවුහු කල් යල් බලා නාලන්දයන්ගේ කෙටි ජවසම්පන්න දිවිය. 1997 පෙබරවාරි 11 වැනිදා බිලිගැනීමට කළ කුමන්ත්‍රණය සාර්ථක විය.
දෙස් විදෙස් රටවල් පවා ආන්දෝලනයට පත්කරමින් මහදවාලේ කුරුවිට නගරයේදී හත් දෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් තරුණ නාලන්ද වෙඩි තබා ඝාතනයට පත් කළ බව වාර්තා විය.
මෙම සිද්ධියේ දී ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ද ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරි උපාලි සිරිසෝම ඇතුළු තිදෙනෙක් ද තුවාල ලැබුහ. සැකකරුවන්ගෙන් සමහරෙක් නඩු විභාගය අතර මිය ගියහ. සමහරු නිදහස් වූහ. ඒ සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසාය.
තම සැමියාත් එකම පුතුත් අකාලයේ මරු වසඟයට පත්වීම නිසා පවුලේ මෙන්ම වාමාංශික දේශපාලන කටයුතුවල බරත් දැරීමට සිදුවූයේ සුරංගනි එල්ලාවල මැතිනියටය.
ඇය සබරගමු පළාතේ මන්ත්‍රීවරියක වී මහ ඇමැතිනිය ලෙස ක්‍රියාකාරි දේශපාලනයට පිවිසි අතර ශ්‍රී ලංකා නිදහස් කාන්තා සංවිධානයේ නිලතල ද දැරුවාය. එල්ලාවල පරපුරෙන් ප්‍රතිපත්ති පෙරට ගෙනයාමට නන්ද එල්ලාවලයන්ගේ සොයුරු මොහන් එල්ලාවල සහ සොයුරිය ද තම යුතුකම් හා වගකීම් මනාව ඉටුකළ බව සඳහන් කළ යුතුය.
නන්ද එල්ලාවලයන්ගේ සටන් සගයා වූ සරත් මුත්තෙට්ටුවෙගම රත්නපුර ආසනයෙන් දේශපාලන ගමන අරඹා නිර්ධන පන්තියේ ජනතාව වෙනුවෙන් තම පාරම්පරික දේපොළ මෙන් දිවිය ද පරදුවට තබා පළාතේ උසස් වෙනසක් කළ වමේ සෙනෙවියෙකි.
කුමන්ත්‍රණවලින් බේරුණ ද හදිසි රිය අනතුරකින් ඔහුගේ ද දිවි බිලි ගැනීමට මරුවා සමත් විය. රත්නපුරේ කිරිඇල්ල අසුනින් පාර්ලිමේන්තුවට පිවිසි අමාත්‍ය වාසුදේව නානායක්කාරයන් තවමත් ක්‍රියාකාරි දේශපාලනයෙහි නියැළී සිටීම ජනතාවගේ වාසනාවකි. රත්නපුරේ ජනතා අපේක්ෂාවල මල් ඵල ගැන්වීමකි. එල්ලාවල පරපුරේ ද අරමුණ වූයේ එයයි.
නන්ද එල්ලාවලගේ යුග මෙහෙවරට ජනතාව මෙසේ උත්තමාචාර දක්වා තිබිණ.
රුවන්පුර දිලෙව් මිණි පහනක් ලෙසට
නොනිමි වෙර යෙදු ජනතා සේවයට
සඳුන්ගිර ලෙසින් සුවඳැති ගුණ කඳව
නිවන් දොර හැරුණි එල්ලාවල මැතිට
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි