විසිවැනි සියවස ආරම්භ වනවිටත් සමස්ත ලෝකය පැවතුණේ අධිරාජ්‍යයන් හතරකට හෝ පහකට හෝ අයත් වතුයායවල් කීපයක් වශයෙනි. ඔස්ට්‍රො හංගේරියන් අධිරාජ්‍යයේ හැප්ස්බර්ග් රාජ වංශය, ප්‍රංශයේ බ්‍රර්බෝන් රාජ වංශය, බි්‍රතාන්‍යයේ ටියුඩර්වරු සහ ස්ටුවට්වරු රුසියාවේ, රොමනොව් රාජවංශය ලෝකය බෙදා ගෙන (හොඳින් හෝ නරකින් අයත්කොට ගෙන) විශාල අධිරාජ්‍යයන් ගොඩ නගා ගනිමින් සිටියහ.
පැරණි පෘතුගීසි, ස්පාඤ්ඤ අධිරාජ්‍යයන් සහ ලන්දේසි අධිරාජ්‍යයේ පැරණි ශ්‍රී විභූතිය බිඳ වැටෙමින් තිබුණි. ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය බිඳ වැටෙමින් තිබුණු අතර තමන්ට අල්ලා ගෙන යටත් විජිත වශයෙන් පවත්වාගෙන යාමට රටවල් නොමැති වීමේ අසහනයෙන් පෙළුණු ජර්මනිය එහි අධිරාජයා වූ කෛසර් සහ බිස්මාක්ගේ මෙහෙයවීම මත අනෙකුත් අධිරාජ්‍යයන් හට අභියෝග කරමින් සිටියහ.
කාර්මික විප්ලවයෙන් පසු යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණය යම් පමණකට දියුණු වීම නිසා දියුණු බටහිර රටවලත් යාන්තමින් රුසියාවේත් කම්කරු පන්තියක් බිහි වී තිබුණි. මෙම රජවරුන් යටතේත් පැරණි වැඩවසම් ක්‍රමය හා වහල් ක්‍රමයට වඩා වැඩි වෙනසක් මෙම කම්කරු පන්තියට දැනුණේ නැත. සේවයට සරිලන වැටුපක්, වැඩ කළ යුතු නියමිත කාල සීමාවක් එනම් පැය ගණනක් මෙන්ම වෙනත් සුබසාධන අයිතිවාසිකම් කිසිවක් මෙම කම්කරුවන්ට හිමිව තිබුණේ නැත. දෙවියන්ගේ කැමැත්ත මත, ජනතාව පාලනය කිරීමේ වරප්‍රසාදය දෝතින් දරා ගෙන තමන් මෙම ලෝකයට බිහි වී ඇතැයි විශ්වාස කළ පෙර කී අත්තනෝමතික රජවරු සිතූ පැතූ සම්පත් භුක්ති විඳිමින් සිය අඹු දරුවන් සහ අන්තේවාසිකයන් ද සමග සුරසැප වින්දහ. කුසගින්න දරා ගත නොහැකිව පාන් පොත්තක් ඉල්ලා හඬනැගූ ජනයා සිය දහස් ගණනින් වෙඩි තබා මරා දැමූහ.
දිගු කතාවක් කෙටියන් පැවසුවහොත් මෙම තත්ත්වයන්ට එරෙහිව රුසියාවේ ඇති වූ සුවිශාල මහජන නැගිටීමක් හේතුවෙන් එරට පාලනය කළ දෙවැනි නිකුලස් සාර් රජු සහ එම පවුල ඝාතනයට ලක් වී අරගල කරුවන් අතට බලය හිමි විය. මෙම සංසිද්ධිය ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ 1917 ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවය යනුවෙනි. එය සිදු වූයේ 1917 ඔක්තෝම්බර් මාසයේ බැවින් එම නම ලබා ඇති බවට වටහා ගත හැකිය.
ව්ලැඩිමීර් ලෙනින්ගේ නායකත්වයෙන් සිදු වූ මෙම විප්ලවයේදී තමන්ට අයත් වන ප්‍රදේශ පාලනය කිරීම සඳහා සෝවියට් සභා නම් වූ පාලන ඒකක විශේෂයක් පිහිටුවන ලදී. විප්ලවයෙන් පසු ප්‍රකාශයට පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද මුළු මහත් රුසියාවත් එයට අනුබද්ධ වූ අනෙකුත් රාජ්‍යයන් සඳහා ද සෝවියට් සභා පිහිටු වන ලද හෙයින් මෙම සුවිශාල රාජ්‍යය සෝවියට් දේශය නම් වූවේය. එහි නිල නාමය වූවේ එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව යනුවෙනි. පසු කාලයේදී ලොවින් හයෙන් එකක් වූ භූමි ප්‍රදේශයක් මෙම රාජ්‍යයට අයත් විය.
එහෙත් ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණය සුව සේ භුක්ති විඳීමට බටහිර රටවල් රුසියාවට ඉඩ දුන්නේ නැත. රුසියාවේ විප්ලවවාදී දේශපාලනය සහ රතු බලයේ නැගී සිටීම අනුමත නොකළ බටහිර බලවත්තු සෝවියට් රුසියාවට පහර දුන්හ. එම තත්ත්වය පසුව ඉන්දියාවේ අගමැති ධුරයට පත් ශ්‍රී නේරු සිය සටහනක මෙසේ දක්වා ඇත. වර්ෂ “1918 නොවැම්බර් 18 වැනිදා මිත්‍ර පාක්ෂික රටවල් හා ජර්මන් පාක්ෂික රටවල් අතර සමාදාන ගිවිසුම අත්සන් කරනු ලැබීය.” (පළමු ලෝක මහා යුද්ධය සම්බන්ධයෙනි) එහෙත් රුසියාවේ 1919, 1920 යන කාලය පුරාම සිවිල් යුද්ධය පැවතියේය. සෝවියට්වරු කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව විදේශීය සහ ස්වදේශීය සතුරන්ට එරෙහිව තනිවම සටන් කළහ.
වරෙක රතු හමුදාව විදේශීය හමුදා දහ හතක පහර දීමට ලක් විය. එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය, ජපානය, ඉතාලිය, සර්බියාව, චෙකොස්ලෝවේකියාව, රුමේනියාව, බෝල්ටික් රාජ්‍යයෝ සහ පෝලන්තයක් රට තුළ සිටින සාර්ගේ සේනාපතීහු ද යන මේ සියල්ලෝම රතු හමුදාවට විරුද්ධව සටන් කළහ. සටන නැගෙනහිර සයිබීරියාවේ සිට බෝල්ටික් රටවල් හා ක්‍රිටියාව දක්වා පැතුරිණි. සෝවියට් පාලනයේ අභාවය ළඟා විය. මොස්කව් නුවරට ප්‍රහාර එල්ල විය. පෙට්‍රොගෑම් නගරය සතුරන් අතට පත් වීමට ඔන්න මෙන්න කියා තිබුණි. එහෙත් එය සෑම උග්‍ර අවස්ථාවක්ම අබිබැවීය. වීය. එම ජයග්‍රහණයත් සමගම එහි (රුසියාවේ) දැඩි ආත්ම විශ්වාසයක් හා ශක්තිය වැඩීගියේය.
අගෝස්තුවේදී තත්ත්වය තවත් අයහපත් වූවේය.
භීතිය, ත්‍රාසය, කෝපය ගෙන දෙන සිදුවීම් දෙකක් හට ගනී. එකක් නම් ලෙනින්ගේ ජීවිතයට හානි කරනු සඳහා දරනු ලැබූ පරිශ්‍රමයකි. අනෙක උතුරු රුසියාවේ ආර්ක් එන්ජල්ස් නුවරට ප්‍රතිවාදී යුද බළ ඇණියක් ගොඩ බැසීමයි. මොස්කව් නුවර මහත් ආන්දෝලනයක් හට ගත් අතර සෝවියට් පාලනයේ අවසානය ළඟා වන බව පෙනෙන්නට විය. මොස්කව් නුවර ජර්මන්, චෙක් ආදී සතුරන්ගෙන් වට වී තිබුණි. සෝවියට් පාලනය යටතේ පැවතුණේ මොස්කව් නුවර අවට සුළු ප්‍රදේශ කීපයක් පමණි. රුසියාවට ගොඩ බැස ගත් විදේශීය හමුදා බළ ඇණි සෝවියට් පාලනයේ අස්ථිර බවත් ස්ථිර ලෙසින් පිළිඹිබු කළේය.
මෙහි මුලින් සඳහන් කළාක් මෙන්ම සතුරු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් වෙඩි වැඳී සිටි සෝවියට් විප්ලවයේ අසහාය නායක ලෙනින් මරණයට පත් වූවේය. තම නායකයා වශයෙන් පත් වූ ජෝසප් ස්ටාලින් හමුවේ පැවතියේ දැඩි අභියෝගයකි. තම රතු විප්ලවය ප්‍රතිවිප්ලවවාදීන්ගේ යටි උඟුල්වලින් බේරා ගෙන ඉදිරියට මෙහෙයවීම එම බලවත් අභියෝගය විය. ඔහු ගත් එක් පියවරක් වූවේ සෝවියට් දේශයට පැමිණෙන අමුත්තන් අතිශයින්ම සීමා කිරීමයි. ඔත්තුකරුවන් සහ ප්‍රතිවිප්ලවවාදීන්, සටන්කරුවන් ඇතුළු වේයැයි යන බිය නිසාය. දැඩි මතධාරියෙකු වූ ඔහු අත්තනෝමතික පාලකයකු වූ බව ද කියවේ.
මෙවැනි විවිධ හේතූන් නිසා බටහිර කඳවුරේ නොයෙක් සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික කොන් කිරීමකට නිල නොවන මට්ටමකින් සෝවියට් දේශය භාජනය කර තිබුණා වුවත් දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ ආරම්භයේදී හිට්ලර්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ බටහිර බලවත්තු අසරණව අන්දමන්දව සිටියහ. එය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ රටවල් බෙදා ගැනීමේ යුද්ධයකැයි වටහා ගත් ලෝකයේ ප්‍රගතිශීලී සහ වැඩ කරන ජනතාවෝ යුද්ධයට සහාය දීමෙන් වැළකී සිටියහ. ප්‍රංශ අධිරාජ්‍යය ජර්මන් ප්‍රහාර හමුවේ පරාජයට පත්ව පැරිසිය සුන්බුන් ගිනි ගොඩක් බවට පත් විය. ලන්ඩනයට බෝම්බ වැටී තිබුණු අතර බලු බළල් මස් ආහාරයට ගන්නා පමණේ සාගතයකට මුහුණ දෙමින් සිටියේය. තමන්ගේ ඉරණම ලියවී ඇති අන්දමට විසඳා ගැනීමට මඟ පාදමින් ඓතිහාසික වරදක් සිදු කරමින් හිට්ලර්, රුසියාව ආක්‍රමණය කළේය. බටහිර පෙරමුණේ දී ලබා සිටි මහා ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි හිට්ලර් නැගෙනහිර පෙරමුණෙන් රුසියාවට පහර දීම නිසා යුද්ධය වෙනත් අතකට හැරී ගියේය. තම ජනතාවගේ කෝටි දෙකකට අධික ජීවිත පූජා කරමින් සෝවියට් රතු හමුදාව තම රටේදී ජර්මනියේ නාසි හමුදා පරාජයට පත්කොට බර්ලිනය දක්වාම ආපසු හරහා එවීමට සමත් වූහ. සමස්ත ලෝකවාසී වැඩකරන ජනතාවගේ සහෝදරාත්මක සහාය ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍යයට හිමි වීම නිසා ආයුධ නිෂ්පාදනය, ආහාර ප්‍රවාහනය කඩිනම් විය. රුසියාවේ සිට නැගෙනහිර ජර්මනිය දක්වා වු සියලුම රටවල් රතු කොඩියේ සෙවණට පත් විය. යුද්ධය අවසාන වී යෝල්ටා ගිවිසුම අත්සන් කරද්දී රුසියාව ලෝකයේ මහ බලවතුන් හතර දෙනාගෙන් එක් අයකු බවට පත්ව සිටියේය.
1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබද්දී බි්‍රතාන්‍ය සමග ආරක්ෂක ගිවිසුම් දෙකක් අත්සන් කළ බව අපි දනිමු. ඒවාට අනුව ත්‍රිකුණාමලය වරාය, නාවික කඳවුර සහ කටුනායක ගුවන් කඳවුර බි්‍රතාන්‍යය ආණ්ඩුවට අවශ්‍ය පරිදි දිගටම පවත්වා ගෙන යාමටත් අන්‍යොන්‍ය වශයෙන් ආරක්ෂක මැදිහත්වීම්වලට ඉඩ සැලසීමටත් එමගින් ඉඩ සලස්වා තිබුණි. රුසියාව මෙය වටහා ගත්තේ තමන්ට සතුරුව එළිපිටම බි්‍රතාන්‍ය පිලේ පක්ෂය ගැනීමක් ලෙසටය. ජපානයට නිදහස ලබාදීම සඳහා වූ සැන් ෆ්‍රැන්සිස්කෝ සම්මේලනයේදී ලංකාණ්ඩුවේ හැසිරීම එය තහවුරු කළ බව රුසියාවේ පිළිගැනීම වූවේය. එහිදී සෝවියට් විදේශ ඇමැති ඇන්ඩි්‍ර ග්‍රොමිකෝ මහතාට කෙළින්ම අභියෝග කළේ ලංකාවේ නියෝජිත මණ්ඩලයේ නායකයාය. එය රුසියානුන්ගේ සිත් රිදවන්නක් වූ බව අමතක කළ යුතු නොවේ. පලස්තීනය දෙකට බෙදා එම භූමිය මත ඊශ්‍රායලය නම් යුදෙව් රාජ්‍යයක් බිහි කිරීම සහ ඊජිප්තුවේ ජාතිකවාදී රජයක් බිහි වී ගමාල් අබ්දුල් නසාර් විසින් සූවස් ඇළ ජනසතු කිරීම යන හේතු දෙක නිසා බි්‍රතාන්‍යය හා ප්‍රංශය ඊජිප්තුව ආක්‍රමණය කළ අවස්ථාවේදී එම ආක්‍රමණය නැවතුණේ සෝවියට් දේශයේ මැදිහත් වීම නිසාය. මෙම ඊශ්‍රායල් අර්බුදයේදී මුල් කාලයේ අපේ රජයේ සහාය හිමි වූයේ බටහිරටය. කොරියාව, වියට්නාමය ආදී වශයෙන් පැවැති ජාත්‍යන්තර ප්‍රශ්නවලදී මෙන්ම හන්ගේරියාව කොමියුනිස්ට්වාදී පාලනයෙන් මිදී යාමට ප්‍රතිවිප්ලවවාදී කුමන්ත්‍රණකාරී බලවේග ක්‍රියා කිරීමට එරෙහිව වෝර්සෝ ගිවිසුමේ එකඟතාවන්ට අනුව රුසියාව යුද්ධමය මැදිහත් වීමක් සිදු කළ අවස්ථාවේදී ද ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වූ ආකාරය රුසියාවේ සිත් ගත්තේ නැත. මෙම හේතු සාධක නිසා සෝවියට් දේශය අපට ප්‍රතිචාර දැක්වූයේ නිදහසෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා අයදුම් කළ වාර කීපයකදීම තම නිශේධ බලය යොදා එයට ඉඩ ඇහිරීමෙනි.
1954 ජනවාරි මාසයේදී පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වන බවට විද්‍යාඥයන් අනාවරණය කළේ කලකට පෙර සිටය. එය හොඳින්ම දර්ශනය වන රට හැටියට කියවුණේ ලංකාවයි. මේ වනවිට රුසියාව අජටාවකාශ සහ ග්‍රහලෝක තරණය ගැන උනන්දුවක් දක්වමින් සිටින යුගයක් විය. එනිසා මෙම සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා තම විද්‍යාඥ පිරිසකට ලංකාවට පැමිණීමට සෝවියට් දේශය අවසර ඉල්ලා සිටි නමුදු ලංකාණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේය. තවත් කොමියුනිස්ට් රාජ්‍යයක් වූ චෙකොස්ලෝවෙකියාවෙන් ද මෙවැනිම ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුණු නමුදු එයට ද අත්වූයේ පෙර ඉරණමමය.
එක් දහස් නවසිය පනස් දෙකේ මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.ප නම් වූ දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය අත් කර ගත්තේය. ආසන නවයක් හිමි කර ගනිමින් එම පක්ෂයේ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විපක්ෂ නායක ධුරයට පත් විය. ඊළඟ මැතිවරණයකදී බලය ලබා ගැනීමේ සැලසුම් සකස් කරමින් සිටි එතුමා රටට ගැළපෙන නව විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට පොරොන්දුවක් දුන් අතර ඒ සඳහා තොරතුරු අධ්‍යයනය කරමින් සිටියේය. මෙම කරුණ සම්බන්ධව ශ්‍රී ලංකා දේශපාලනයේ පවුල් සබඳතා නමැති කෘතියේ මෙසේ සඳහන් වේ. මේ අතර දිනක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගම්පහ මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා ඇමැතූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විපක්ෂ නායකවරයා සමාජවාදී රටවල් සමග කිසිදු සබඳතාවක් නොපවත්වා සිටීම නුසුදුසු ක්‍රියාවක් වන නිසා නුදුරු අනාගතයේ තම පක්ෂයේ රජයක් බිහි කෙරෙන අවස්ථාවේදී මේ රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නැගීම ඉතා වැදගත් වන බවත් එම රටවල ක්‍රියාත්මක වන සංවර්ධන උපායමාර්ග හා එමගින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ නිදර්ශනයට ගනිමින් අපේ රටට ගැළපෙන ආකාරයෙන් ආදේශ කර ගැනීම ගැන හැදෑරීමක් කිරීම ඉතා අවශ්‍ය බවත් ප්‍රකාශ කළේය. ඒ සඳහා චීනය, සෝවියට් දේශය, පෝලන්තය, චෙකෝස්ලෝවේනියාව, නැගෙනහිර ජර්මනිය යන රටවල සංචාරයක් සඳහා යාමේ අවස්ථාව ඇස්. ඩී. ට හිමි කර දුන්නේය.
ඒ අනුව 1952 සැප්තැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා සමග පිටත් වූ නියෝජිත මණ්ඩලයට විප්ලවකාරී සමසමාජ පක්ෂයේ නායක පිලිප් ගුණවර්ධන, ලංකා සමසමාජ පක්ෂයේ දෙහිඕවිට මන්ත්‍රී එඞ්මන්ඞ් සමරක්කොඩි, මීගමුවේ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු, ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඇන්. ශන්මුගදාසන්, එච්. ජී. ඇස්. රත්නවීර, කේ. වෛකුණ්ඨවාසන් මහතා සහ මහත්මිය, පූජ්‍ය නාරාවිල ධම්මරතන හිමිපාණන් වහන්සේ ද ඇතුළත් වූහ.
සාර්ථක චීන සංචාරයෙන් පසු ඇස්. ඩී. ඇතුළු කණ්ඩායම සිය ඊළඟ පියවර සපුරා ගනු වස් සෝවියට් රුසියාව බලා පිටත්ව ගියහ. 1952 නොවැම්බර් 07 වැනි දින මොස්කව් නුවර රතු චතුරශ්‍රයේදී එවකට සෝවියට් දේශයේ ප්‍රතාපවත් නායකයා වූ ජෝසප් ස්ටාලින්ගේ නායකත්වයෙන් පැවැති ඔක්තෝබර් විප්ලවයේ තිස් පස් වැනි සංවත්සරයට ද සහභාගී වූහ.
පසුව රුසියාවේ නායකයන් සමග සාකච්ඡා කිරීමට ද මෙම නියෝජිත පිරිසට අවස්ථාව ලැබුණි. නිල මට්ටමෙන් නොවුණත් දෙරට අතර සබඳතා ගැන ද කතා බහ සිදුවූවා නිසැකය. එරට සංචාරය කළ ශ්‍රී ලාංකික ඉහළම දූත මණ්ඩලය වූවේ මෙම පිරිස බව ද කියැවේ.
එක් දහස් නවසිය පනස් හයේ මැතිවරණයෙන් බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් පැවති මහජන එක්සත් පෙරමුණ බලයට පැමිණියේය. එතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූවේය. පැවති රජයට වඩා වෙනස් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ එම රජය චීනය, රුසියාව ආදී රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නගා ගැනීම ගැන උනන්දු විය. එහි මුල් පියවර වශයෙන් සිව් පුද්ගල දූත මණ්ඩලයක් රුසියාව වෙත පිටත් කර යැවීමට බණ්ඩාරනායක මහතා කටයුතු කළේය. එම නියෝජිත පිරිසේ නායකත්වය හිමි වූවේ ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ සර් ක්ලෝඞ් කොරෙයා මහතාටය. එවකට රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උප ඇමතිවරයා වූ ටී. බී. සුබසිංහ මහතාත් තවත් රජයේ නිලධාරීන් දෙදෙනෙකුත් මෙයට ඇතුළත් වූහ. සෝවියට් බලධාරීන් සමග පැවති එම සාකච්ඡා සාර්ථක වීමෙන් පසු දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී. රුසියාවෙන් ලංකාවට තානාපතිවරයා ලෙස පත් කර එවනු ලැබුවේ වී. ජී. යකවලෙෆ්ය. උගතෙකු සහ බුද්ධිමතෙකු වූ ඔහු දෙරට අතර මිත්‍රත්වය වර්ධනය වන අයුරින් පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික වත් පිළිවෙත් අනුව මෙහෙයවා විශේෂයෙන් මෙරටට මහත් ප්‍රතිලාභ අත් කර දීමට ද සමත් විය.
ලංකාව නියෝජනය කිරීම සඳහා සෝවියට් දේශයට යන තානාපතිවරයා ලෙස බණ්ඩාරනායක මහතා විසින් තෝරාගෙන සිටියේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාය. කුශාග්‍ර බුද්ධිමතකු සහ ලොවම පිළිගත් බෞද්ධ නායකයකු මෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ද වූ මලලසේකර මහතාට සෝවියට් දේශයේ තානාපති ධුරය භාර ගන්නා ලෙස දැන්වූ වහාම එය ප්‍රතික්ෂේප කළේය. තමාට එය නොගැළපෙන බවත් එම ක්ෂේත්‍රයට අදාළ වත් පිළිවෙත් තමා අනුමත නොකරන බවක් කියා සිටියේය. බලවත් ලෙස ඇවිටිලි කිරීමෙන් පසු අගමැතිවරයාගේ සිත රිදවීමට අකමැති වූ එතුමා “නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකකුත් අවශ්‍ය යැයි” කීවාක් මෙන් ඉටු කළ නොහැකි පමණ වූ කොන්දේසියක් ඉදිරිපත් කළේය.
තානාපති සේවාවල එදත් අදත් අත්‍යවශ්‍ය අංගයක් වූ සාද පැවැත්වීමේ දී තමාට මත්පැන් සාද පැවැත්වීම කිසි ලෙසකින්වත් කළ නොහැකි බව එතුමා ප්‍රකාශ කළේය. ඒ වනවිට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පමණක් නොව සමස්ත ලෝක බෞද්ධ සම්මේලනයේ ද නායකයා වූවේ මලලසේකර මහතාය. නියම ආකාරයෙන්ම බෞද්ධ ප්‍රතිපත්ති රකින, පන්සිල් රකින බෞද්ධයකු වූ තමාට මෙවැනි තාවකාලික තනතුරක් සඳහා තම ජීවන ගමන් මඟ වෙනස් කළ නොහැකි යැයි කියා සිටියේය. ලැබුණා වූ බුරුලෙන් සතුටට පත් අගමැති බණ්ඩාරනායක අගමැතිවරයා මත්පැන් සාද ප්‍රමුඛ දෙයක් නොවන බවත් එම අවස්ථාවල ලංකාවේ හොඳ තේවලින් තේ පැන් සාද පවත්වා හෝ රට වෙනුවෙන් අවශ්‍ය මෙහෙවර ඉටු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
අගමැතිවරයා මෙම තානාපති තේරීමේදී අනුගමනය කළේ නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරු අනුගමනය කළ ක්‍රියාමාර්ග පූර්වාදර්ශයට ගනිමින් බව කියනු ලැබේ. නේරු අගමැති පදවියට පත් වහාම රුසියාව සමග තානාපති සබඳතා ඇති කර ගත් අතර තානාපති ධුරයට පත් කර ගනු ලැබුවේ භාරතයේ එවකට සිටි ජීවමාන පඬිරුවන සහ මහා චින්තකයාණන් වූ සර්ව පල්ලි රාධ ක්‍රිෂ්ණන් තුමාය. එය අතිශය නිවැරදි තීන්දුවක් බව වැටහුණේ ඉන්දියාව සහ රුසියාව එක්ව එම සහයෝගීතාව උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර තලයේ ඉහළම තැනකට ඒමට ඉන්දියාවට හැකි වීම නිසාය. ඒ රාධා ක්‍රිෂ්ණන් තුමා තානාපති ධුරය දැරූ සිව් වසරක කෙටි කාලය තුළදීය.
එක් වසරක කාලයක් සඳහා මලලසේකර මහතා තානාපති ධුරය දැරීමට එකඟ වී මොස්කව් බලා යාමට පෙර නවදිල්ලියට ගොස් සිය සිව් වසරේ නිල කාලය අවසන් කර පැමිණ සිටි රාධ ක්‍රිෂ්ණන් මහතා හමුවී සාකච්ඡා කර එතුමාගේ අත්දැකීම් විමසා සිටීමට ද අමතක කළේ නැත.
ඉන්පසු රුසියාවට ගිය ඒ මහතා රුසියානු ජනාධිපති වොර්ෂිලොව් මහතා හමුවී සිය අක්තපත්‍රය භාර දුන්නේය. එය ද එතෙක් මෙතෙක් කිසිදු ලංකා තානාපතිවරයකු සිදු නොකළ අයුරින් වාර්තාවක් පිහිටුවන ආකාරයෙනි. එනම් මලලසේකර මහතාගේ අක්තපත්‍රය ලියා සකස් කර තිබුණේ සිංහල භාෂාවෙනි.
ශ්‍රී ස්වස්ති........ ශ්‍රී මහා සම්මත පරම්පරාගත ශුද්ධ සූර්ය වංශාභිජාත ......... විජය රාජේන්ද්‍ර ප්‍රමුඛානෙක ශක ගත නරපති මුක්තාලයා ලංකෘත දිශාන්තර මහජන යශෝකීර්ති ප්‍රතාපාති රංජිත ශ්‍රී ලංකාද්වීප චක්‍රවර්තී රාජ්‍ය ශ්‍රී පදප්‍රාප්ත ස්ව කිරීටාව ගත සකල රාජ්‍ය රාශ්ඨාධිපති ස්වීය රාජ්‍ය ප්‍රභූ මණ්ඩාධීශ්වර
ද්වීතීය එළිසබෙත් නාමෝ්‍යලක්ෂිත මහාරාඥ වූ අප විසින් ඒකාබද්ධ සෝවියට් සමාජවාදී ජනරජයෙහි උත්තම සෝවියට් මණ්ඩලාධීශ්වරයන් වෙත පිරිනමනු ලබන අභිනන්දන පූර්වක නිවේදනය වනාහී.......... ආදී වශයෙන් එහි සඳහන්ව තිබුණි.
ප්‍රථම අජටාකාශගාමියා වූ යූරි ගගාරින්ගේ ලංකා සංචාරය, ප්‍රථම සහ අපේ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සෝවියට් සංචාරය ආදී ක්‍රියාමාර්ග නිසා දෙරටේ මිත්‍රත්වය ඒ ඒ ජාතීන් අතර ද තහවුරු වීමට කටයුතු යෙදුණි.
ඔරුවල වානේ කම්හල, යක්කල සහ එඬේරමුල්ලේ ලංකා ලෝහ භාණ්ඩ සංස්ථා කම්හල්, ලංකාවේ විදුලිබල අවශ්‍යතාව පිරිමසා ගැනීමට ඉවහල්වනු පිණිස ප්‍රදානය කරන ලද සමනළ වැව යෝජනා ක්‍රමය, දහස් ගණනක් විද්වතුන් බිහිකළ රුසියානු මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ ආදී දහසකුත් එකක් ඵල ප්‍රයෝජන මෙම රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය හරහා අපේ රටට ලැබී ඇත.
වර්තමානය වනවිට සෝවියට් සමාජවාදී ජන රජය බිඳ වැටී සෑම සෝවියට් ඒකකයක්ම වෙනම රාජ්‍යයක් වශයෙන් විමධ්‍යගතව පවතී. එසේ වුවත් ප්‍රධාන රාජ්‍යය වූ රුසියාව අදටත් බලවත් රාජ්‍යයකි. ජාත්‍යන්තර තලයේ රුසියාව සතු ශක්තිය සහ සිදුකළ හැකි බලපෑම් කිසිසේත් සුළුපටු නොවේ. අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ රුසියාවේ සංචාරයක යෙදුනේත් රුසියානු ජනාධිපති ව්ලැඩීමීර් පුටින් සමඟ ඉහළ මට්ටමේ ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැතුණෙත් එම පසුබිම මතය.
රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්වයට හරියටම වසර හැටක් ගතව තිබේ. එම දීර්ඝ කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධනය, මෙන්ම ජාත්‍යන්තර කරළියේදී අපේ රටේ ජාතික අනන්‍යතාව උදෙසා ද රුසියාව විසින් ඉටුකර ඇත්තේ අනුපමේය සේවාවකි. යහපත් චේතනාවෙන් යුතුව ශ්‍රී ලංකාවාසී ජනතාවට දෙන ලද එම ආධාර වෙනුවෙන් කෘඥතාව පිරිනැමිය යුතුය. එමෙන්ම ලාභ ලැබීමේ සහ පොලී රැස්කිරීමේ අරමුණින් තොරව අවංක මිතුරෙකු වශයෙන් තවත් සියවස් ගණනක් මෙකී මිත්‍රත්වය පවතීවායි ප්‍රාර්ථනය කරමි.
සෝමසිරි වික්‍රමසිංහ