රූප රැජිනියන්ගේ දේශපාලන පුරාණයෙන්


1978 ශ්‍රී ලංකා රූපරාජිනී තරගයට ඉදිරිපත්ව ජය ලබා කිරුළ පැළඳු ශිරන්ති වික්‍රමසිංහ.

 

 

මේ වසරේ ලෝක විවාහක රූ රැජින තරගයෙන් ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි මහත්මිය ජයග්‍රහණය කළ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඇමෙරිකාවේ ලාස් වේගාස් නගරයේදී පසුගිය 07 වැනිදා පැවති මෙම තරගයට රටවල් පනස් එකක් නියෝජනය කරමින් සුරූපිනියෝ සහභාගි වී සිටියහ. මෙහිදී ජයගෙන ලොව විවාහක රූ රැජින බවට පත් වූ කැරොලින් ජූරි විසි හත්වැනි වියේ පසු වූ එක් දරු මවක බවද කියවේ. මෙය අපේ රටට මහත් ගෞරවයක් බව සඳහන් පණිවුඩයක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින්ද නිකුත් කර ඇති නිසාත් රූප රාජිනී තරගවලට ඉදිරිපත්ව ජයගත් කාන්තාවන් මෙරට දේශපාලනයේ බොහෝ දුර ගමන් කර ඇති බවට වාර්තා වී ඇති නිසාත් මෙම මාතෘකාවේ ඇති දේශපාලනමය වැදගත්කම සලකා මෙම ලිපිය සම්පාදනය කිරීමට අදහස් කළෙමි.


මෙම විවාහක රූ රැජින කිරුළ අපේ රටට හිමිවූවේ වසර 35කට පසුවය. ඒ අනුව 1984 වසරේදී මෙම තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ රෝසි සේනානායක ජයග්‍රහණය කළාය. මේ වන විට ඇය ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිනියකි. ඇය අද කොළඹ නගරාධිපති ධුරය හොබවන්නීය. එයට පෙර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රථම රජයේ ළමා සහ කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ධුරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්ද දැරූ ප්‍රකට චරිතයකි.


1958 ජනවාරි 05 වැනි දින එරික් ක්ලෝච් රාමනායක මහතාට සහ බාබරා ඇන්ටොනෙට් රාමනායක යන දෙමාපියන්ට දාව උපත ලද රෝසි රාමනායක මෙනවිය තමා සතු මනා රූ සපුව නිසා රූප රාජිනී තරග කෙරෙහි උනන්දුවක් දැක්වූවාය. 1980 දී ශ්‍රී ලංකා රූ රැජින ලෙස අභිෂේක ලැබුවාය. එමගින් 1981 පැවැත්වූ ආසියා පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර රූ රැජින තරගයෙන්ද ජය ගැනීමට සමත් වූවාය. 1984 දී පැවති ලෝක විවාහක රූ රැජින තරගයේදී ලොව පුරා රටවලින් පැමිණි රූපිකාවන් සියලු දෙනා පරාජය කර ජය ගත්තාය. එයින් ලද ප්‍රසිද්ධිය ජාත්‍යන්තරව මෙන්ම දේශියවද ඉහළ මට්ටමක පැවති හෙයින් ඇය මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබුවාය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහනය පිළිබඳ අරමුදලේ තානාපතිවරියක ද වූවාය.


පසුව එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන ක්‍රියාකාරිනියක ලෙස එම ක්ෂේත්‍රයට බට මෙම සුරූපිනිය බටහිර කොළඹ ආසනයේ එ.ජා.ප සංවිධායකවරිය ලෙසද තෝරා ගනු ලැබුවාය. ඒ අනුව බස්නාහිර පළාත් සභා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර එම සභාවේ විපක්‍ෂ නායක ධුරයද හෙබවූවාය. පසුව පාර්ලිමේන්තුවට පත් වූ ඇය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ළමා කටයුතු අමාත්‍ය ධුරය ලැබුවාය. ඉන් පසු අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානි ලෙසද කටයුතු කළාය. අනතුරුව 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය වශයෙන් පත් වූ ඇය වසර 150කට අධික එම සභා ඉතිහාසය තුළ නගරාධිපති ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව වශයෙන් වාර්තාවක්ද තබා සිටියි. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ටී. රුද්‍රා, වී. ඒ. සුගතදාස, ඇම්. වින්සන්ට් පෙරේරා ආදී ප්‍රබල දේශපාලනඥයන් විසින් දරන ලද මෙම උසස් තනතුරට පත්වීම සඳහා ලෝක විවාහක රූ රැජින තරගය දිනා ගැනීමෙන් ලද කීර්තිය හා ප්‍රසිද්ධිය රෝසි සේනානායක මහත්මියට මහඟු පිටිවහලක් වූවා නිසැකය.


ඇයට සිය ස්වාමි පුරුෂයාගේ පාර්ශ්වයෙන් විශිෂ්ට කීර්තිමත් දේශපාලනඥයෙකුගේ ඥාති සම්බන්ධකම් පැවති බවද මෙහි ලා සඳහන් කළ යුතුය. බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන කොළඹ ආනන්ද මහා විද්‍යාලය දියුණු කිරීමට මහඟු මෙහෙවරක් ඉටු කළ එහි කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ පී. ද ඇස් කුලරත්න මහතාගේ දියණිය වූ මායා කුලරත්න මෙනවිය විවාහ කරගෙන සිටියේ හිටපු පොලිස්පතිවරයෙකු වූ ස්ටැන්ලි සේනානායක මහතාය. මෙම යුවළගේ පුත්‍රයා වූ අතුල විවාහ වූවේ රෝසි රාමනායක මෙනෙවිය සමඟය. මෙම විවාහයෙන් පසු ඇය රෝසි සේනානායක නමින් ප්‍රකට වූවාය. පී. ද ඇස් කුලරත්න මහතා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාරදයෙකු වූවා පමණක් නොව ප්‍රකට දේශපාලනඥයෙකුද වූවේය. දීර්ඝ ඉතිහාසයක් සහිත දේශපාලන උරුමයක් සහිත දේශපාලනඥයෙක් වේ. එතුමා වෙනුවෙන් ඉතිහාසයට එක්ව ඇති මෙම සිදුවීම මෙහිලා සඳහන් කිරීම යෝග්‍යයයි සිතමි.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පළමු රජය පවතිද්දී එය ප්‍රතිපත්තිමය වශයෙන් ගන්නා ලද සමහර ක්‍රියාමාර්ග බෞද්ධ ජනතාවට හිතකර ලෙසින් ගන්නා ලද පියවරයන් යැයි වටහාගත් සමහර සමාජ කණ්ඩායම් කෝපයට පත් විය. විශේෂයෙන් මිෂනාරි පාසල් රජයට පවරා ගැනීම සැලකිය හැකිය. මේ වන විට (1961 දෙසැම්බර්) වාමාංශික දේශපාලන පක්‍ෂ මගින් මාස කීපයක් තිස්සේ පවත්වාගෙන ගිය දැවැන්ත වැඩ වර්ජනයක් දිගින් දිගට ඇදී යමින් තිබුණු අතර රජය ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ දියාරු ප්‍රතිපත්තිය හමුදා අංශවලට මහත් හිසරදයක් බවට පත්ව තිබුණි. මගී ප්‍රවාහන කටයුතු භාරව සිටි ලංගමය හා වරායේ බඩු බෑම, පැටවීම සහ ප්‍රවාහනයේ වගකීම පවරා තිබුණේ යුද හමුදාවටය.


හමුදාවේ ඉහළ අය මෙම තත්ත්වය සැලකුවේ රජයේ නොහැකියාවක් වශයෙනි. වාමාංශික දේශපාලනඥයන්ට සහනශීලි බුරුලක් දැක්වීම ඔවුහු අනුමත නොකළහ. එනිසා ආයුධ බලය උපයෝගී කොටගෙන රාජ්‍ය බලය අල්ලා ගෙන මිලිටරි ජුන්ටාවක් මගින් රාජ්‍ය පාලනය කළ යුතු යැයි මෙම හමුදා නායකයෝ තීරණය කළහ. නියමිත දිනය වූවේ ජනවාරි 27 වැනිදාය. මෙය හමුදාවේ සහ පොලිසියේ ඉහළම නිලධාරි කණ්ඩායමක් සැලසුම් කෙරුණු අතර එයින් අති බහුතරයක් කතෝලික සහ වෙනත් ක්‍රිස්තියානි නිකායන්ට අයත් බව කියවුණි. ඒ අතර හමුදාවේ හා පොලිසියේ මෙම ප්‍රයත්නයට රජයට විරුද්ධ ඉහළම පිරිසකගේ සහාය ලැබෙන බවද ප්‍රකාශ වී තිබුණි. මේ වන විට ස්ටැන්ලි සේනානායක මහතා කොළඹ නගරය භාර පොලිස් අධිකාරිවරයා විය.


ආගමික මතභේද කුමක් වුවත් ඔහුගේ සහාය නොමැතිව මෙම ආණ්ඩු පෙරළිය සාර්ථක කර ගත නොහැකි බව කුමන්ත්‍රණයේ සැලසුම්කරුවෝ දැන සිටියහ. ඒනිසා ඔහුවද මෙයට සම්බන්ධ කර ගන්නා ලදී. එහෙත් මෙම කාර්යයේ බරපතළ බව සහ මෙම ප්‍රයත්නය සාර්ථකවුවහොත් රටට අත්විය හැකි අනාගත ඉරණම ගැනද මෙම පොලිස් අධිකාරිවරයාගේ සිත මහත් කැලඹීමකට පත් විය. නියමිත දිනයේ මධ්‍යම රාත්‍රියේ දී සිදුවීමට සියල්ල සකස්වෙමින් පැවතුනි. එදින සේවයෙන් පසුව නිවසට පැමිණි ස්ටැන්ලි සේනානායක මහතා තව සුළු වේලාවකින් සිදුවන ක්‍රියාදාමය ගැන චිත්ත වික්ෂෝපයෙන් යුතුව කල්පනා කරමින් සිටියේය. මෙසේ සිතුවිලි සයුරේ ගිලී සිත් අපහසුවෙන් පෙළෙන තම සැමියාගේ වෙනස ඔහුගේ බිරිඳ මායා වටහා ගත්තාය. මෙතරම් බරපතළ සිත් තැවුලකින් පෙළෙන්නේ කුමක් නිසාදැයි මායා සිය සැමියාගෙන් විමසුවාය. එහෙත් මෙම රාජ්‍ය විරෝධි රහස ගැන බිරිඳට පවා හෙළි කිරීමට මෙම විනයගරුක නිලධාරියාගේ සිත ඉඩදුන්නේ නැත. එහෙත් බලවත් සේ බිරිඳ ඇවිටිලි කරද්දී එය තවදුරටත් සඟවාගෙන සිටීමට පොලිස් අධිකාරිවරයා අපොහොසත් විය.


මෙම බලවත් රහස ඔහු සිය ආදරණීය බිරිඳට හෙළි කළේය. මෙය ඇසූ ඇය රටට ජාතියට ආගමට මෙන්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට අත්වන්නට යන භයානක ඉරණම ගැන ඇසීමෙන් මහත් කම්පාවට පත්වූවාය. මේ පිළිබඳ වගකිවයුත්තන් වහාම දැනුම්වත් කර රට බේරා ගත යුතු බව මායා තම සැමියාව පොලඹවා ගත්තාය. දේශමාමකයෙකු වූ සිය පියාණන් වූ පී. ද. ඇස්. කුලරත්න මහතාට දැනුම් දුන් මායා සිය සැමියා ද සමග ඔහු හමුවූවාය. එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් වූ කුලරත්න මහතා එවකට අම්බලන්ගොඩ ආසනය නියෝජනය කළේය. පක්‍ෂ භේදය ගැන නොතැකූ මෙම උදාර මිනිසා තව පැය කිහිපයක් ඇතුළත සිදුවීමට නියමිත මහා විනාශය ගැන අගමැතිවරියට දැනුම් දුන්නේය. රජයේ ආයුධ ගබඩාවෙන් අවශ්‍ය පමණට අවි නිකුත් කිරීමට, කොළඹට ඇතුළුවන ප්‍රධාන මාර්ග අල්ලා ගැනීමට අගමැතිනිය සිරභාරයට ගැනීමට සහ වාමාංශික නායකයන් අත්අඩංගුවට ගැනීම ආදී බොහෝ දේ මේ වන විට සැලැසුම් වී තිබිණි. 


වහාම ක්‍රියාත්මක වූ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය අවශ්‍ය නියෝග නිකුත් කර අදාළ කුමන්ත්‍රණකරුවන් සිරභාරයට ගැනීම මගින් අවශ්‍ය ආරක්‍ෂක පියවර ගැනීම නිසා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ව්‍යර්ථ කළාය. රටපුරා ඇඳිරි නීතිය හා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම නිසා මෙම රාජ්‍ය විරෝධී ක්‍රියා කලාපය බිඳවැටුණි. රූප රාජිනියන්ගේ දේශපාලනය ගැන කියවෙන මෙම ලිපියට සම්පූර්ණයෙන් අදාළ නොවෙතත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුව ආරක්‍ෂා කර ගැනීම උදෙසා කළ උදාර මෙහෙය වෙනුවෙන් පී. ද. ඇස් කුලරත්න මහතාගේ කෘතහස්ත සේවයට උපහාරයක් වශයෙන් මෙම සිදුවීම පිළිබඳව මෙහි ඇතුළත් කළෙමි.


මෙරට දේශපාලනයට සම්බන්ධ ඊළඟ රූ රැජින ලෙස මෙහි ලා සඳහන් කළ හැකි චරිතය වන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මියයි. එම කතාව අපට පෙළගැස්විය හැකිවන්නේ මේ ආකාරයෙනි. මහින්ද රාජපක්‍ෂ මහතා නීතිඥයෙකු වශයෙන් කටයුතු කරන කාලයේ රස්සාවට අමතරව පරස්තාවක්ද නිසැකවම සිදුවිය යුතු බව පවුලේ වැඩිහිටියෝ උපදෙස් දුන්හ. මේ ගැන සොයා බැලීම්ද සිදුවිය. රාජපක්‍ෂලාට ඥාති සබඳකමක්ද තිබුණු ප්‍රකට ගායිකා කෝකිලදේවි වීරතුංග මහත්මිය දිනක් උදයවරුවේ මැදමුලන රාජපක්‍ෂ නිවසට පැමිණ සාකච්ඡාවක් කළේ මහින්දට විවාහ යෝජනාවක් ගැනය. 


ඇය කී ඔත්තුවට අනුව මනාලිය රූ රැජිනකි. නාවික හමුදාවේ කොමදෝරු නිලයක් දැරූ උසස් නිලධාරියෙකු වූ ඇයගේ පියා වරක් නාවික හමුදාපති ධුරය සඳහා ද ඉදිරිපත්ව තිබුණි. නමින් ශිරන්ති වික්‍රමසිංහ නම් වූ මෙම යුවතිය 1978 ශ්‍රී ලංකා රූපරාජිනී තරගයට ඉදිරිපත්ව ජය ලබා කිරුළ පැලඳුවාය. ඒ අනුව 1978 විශ්ව රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඇයයි. වරක් ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය සඳහාද ඇය වරම් ලැබුවාය. ඇය දක්‍ෂ ටෙනිස් ක්‍රීඩිකාවකි. දිනපතාම සවස කොළඹ තුන්මුල්ලේ ටෙනිස් පිටියට ක්‍රීඩා කිරීම සඳහා පැමිණෙන බව දැන සිටි කෝකිලදේවි ඒ බවද මහින්ද සමඟ පැවසුවාය. දිනක් පිටිය අසලදී අනුමාන වශයෙන් සිතා ඇය දැක හඳුනාගැනීමට දෙහිවල පිහිටි ඇයගේ නිවසට ගියේ එවකට මහාධිකරණ විනිසුරුවරයෙකුව කටයුතු කළ (පසුව අගවිනිසුරු) සරත් එන්. සිල්වා මහතාද සමඟය. එයින් ඇති වූ සබඳතාව මත නීතිඥ මහින්ද රාජපක්‍ෂ තරුණ දේශපාලනඥයා සහ ශිරන්ති වික්‍රමසිංහ යුවතිය 1983 ජූනි මස 19 වැනි දින සුබසරණ බන්ධනයට ඇතුළත් වූයේ කොළඹ ගල්කිස්ස හෝටලයේදීය. 


අනුර බණ්ඩාරනායක මහතා මනාලයාගේ යහළුවා ලෙස පෙනී සිටි අතර මෙම විවාහයේ සාක්‍ෂිකරුවන් ලෙස අත්සන් කළේ එවකට අග්‍ර විනිශ්චයකාර නෙවිල් සමරකෝන් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මහලේකම් සෑම් විජේසිංහ මහතාය. මෙසේ විවාහ දිවියට පත් රාජපක්‍ෂ යුවළ අටලෝ දහමට මුහුණ දෙමින් තම දිවිය පවත්වාගෙන යති. මේ වන විට ඔවුන් මැදිවියද ඉක්මවමින් සාර්ථකව දිගු ගමනක් පැමිණ ඇත. තෙවැනි වරටත් අගමැති ධුරයට පත්ව සිටින මහින්ද රාජපක්‍ෂයන්ගේ ආදරණීය බිරිඳ වශයෙන් ඇය අද ගත කරනුයේ කාර්යබහුල දිවියකි. විවාහක පුතුන්ගේ දරුවන්ගේ මිත්තණියක වශයෙන් එම සුරතල් විඳිමින් උපේක්‍ෂා සහගත සෝමනස්ස සිතින් යුතුව හැකි පමණින් සමාජයට ද මෙහෙවරක් කරමින් අද නිහඬ දිවියක් ගෙවයි.

 


මතු සම්බන්ධයි.


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි