ලංකා ඉතිහාසයේ පළමු වැඩ වර්ජනයේ අත්දැකීම්


1980 ජූලි මාසයේදී පැවැත්වුණු මහා වැඩ වර්ජනය හමුවේ එවකට පැවති රජය දැක්වූ ප්‍රතිචාරයත් එමගින් මෙරට වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය මුළුමනින්ම පාහේ අඩපණව ගිය ආකාරයක් අපට මතකය. එයින් පසුව යම් යම් ස්ථානවල හුදකලා සටන් ඇති වූ බව සත්‍යවූවත් දීප ව්‍යාප්ත මහා වැඩවර්ජනයක් මෙහෙයවීමට මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය සමත් වූවේ නැත. එහෙත් මෑතක සිට කම්කරු සටන්වල රණහඬ නැවතත් ඇසෙන්නට පටන් ගෙන තිබේ. එහි එක් පියවරක් වශයෙන් පසුගිය ජූලි විසිහතර වැනිදා ක්‍රියාත්මක වූ තෙල් සේවක වර්ජනය හඳුන්වාදීමට පුළුවන. එය රටටත් ජනතාවටත් දැනුණි. වැඩ වර්ජනයක් පවතින බව රජයටත් තේරුම් ගිය අතර හොඳින් හෝ නරකින් ප්‍රතිචාර දක්වා එය විසඳිය යුතු බව රජය වටහාගත් බව ද දක්නට ලැබුණි.


පසුගිය ජූලි 26 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට කොළොන්නාව තෙල් පර්යන්තයත්, මුතුරාජවෙල ගබඩා පරිශ්‍රයත් තෙල් සේවකයෝ අත්පත්කර ගෙන ඔවුන්ගේ පාලනයට නතු කරගෙන සිටියහ. ඒවායේ ඉදිරිපස ගේට්ටු දෙක තෙල් බවුසර් දමා අවහිර කර තිබුණි. 
දින දෙකක් තිස්සේ තෙල් වැඩවර්ජනය දිග් ගැසෙද්දී ජනතාවගේ එදිනෙදා ගමන් බිමන් සහ දෛනික කටයුතු ඉටු කර ගත නොහී අපහසුතාවට මුහුණ දීමට සිදුවිය. තත්ත්වය තවදුරටත් බැරෑරුම් වෙද්දී රජයේ උපදෙස් පිට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා බටහිර සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාට නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ තෙල් සේවකයන් අත්පත්කරගෙන ඇති කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් පර්යන්තවල ආරක්‍ෂාව තහවුරු කරන ලෙසටය. තෙල් සැපයීමේ කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කර තිබුණු නියෝගය හමුවේ මෙය ප්‍රායෝගික පියවරක් විය.

 

 

මෙම හමුදා කැඳවීමත් සමග 14 වැනි සේනාංකයේ සහ 142 යන බළ සේනාංකවල සෙබළ සමූහයා කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ පිටුපස තාප්පවලින් පැන එහි සේවකයන් අතෙහි තිබූ පාලනය තමන් යටතට පත්කර ගත්හ. මොවුන්ගේ සහායට ගුවන් හමුදාවත් නාවික හමුදාවත් ක්‍රියාකාරීව සිටියහ. හමුදාවේ මැදිහත් වීම මත තෙල් බෙදාහැරීම ආරම්භ වූ අතර සටන අතහැර දමා සේවයට වාර්තා කිරීමට වර්ජිතයෝ පියවර ගත්හ. සේවක පිරිසක් පිටස්තර පුද්ගලයන්ගේ පහර දීමකට ලක් වූ බවටත් තවත් පිරිසක් අත්අඩංගුවට පත් වූ බවටත් මාධ්‍ය වාර්තා පළ විය. සටනට එක්වීමට නියමිතව සිටි වරාය, දුම්රිය ආදී ආයතන කීපයක් විවිධ හේතුන් මත එයට සහාය දීමට නොපැමිණි නිසා එයද මහා වැඩ වර්ජනයක මට්ටමට මෝරා නොගිය බව ද සැලකිය යුත්තකි.


අපේ රටේ වැඩවර්ජන ක්‍රියාවලියට වසර 124ක පමණ ඉතිහාසයක් තිබේ. මෙම කටයුත්ත කවදා කෙසේ ඇරඹුණේදැයි දන්නේ ටික දෙනෙකි. මෙම උත්සාහය එම මුල්ම සටනේ පැරණි කථාව පාඨක ඔබට ඉදිරිපත් කිරීමයි. වැඩවසම් සමාජ ක්‍රමය ගොඩ නැගී තිබුණු රටක් වූ ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ සිටම වැටුපට සේවය කිරීමේ පුරුද්දක් තිබුණේ නැත. රජයට පුරවැසියන් කරන සේවයට ලැබුණේ භුක්තිය සඳහා ඉඩම්ය. පාරම්පරිකව එම ඉඩම් ගොවිතැන් කර භුක්ති විඳිමින් එම රැකියාව දරු මුනුබුරන්ටද උරුමකර දීම සිරිත විය. රජයට කළ සේවය සඳහා රාජකාරී නින්දගම් ලැබුණු අතර දේවාලවල සේවයට දේවාල ගම්ද විහාරවල සේවයට විහාරගම් ද ලැබුණි. එසේ පාරම්පරිකව ඉටුකරන ලද සේවය නිසා මේ රටේ කුල ක්‍රමය සංවිධානය වීමද සිදු වූ බව විද්වත්හු පෙන්වා දෙති.


මෙම රාජකාරි ක්‍රමය තුළ වුවද රටේ මුල්බැස ගත් ජීවන ක්‍රමය වූවේ කෘෂිර්මාන්තය හෙවත් ගොවිතැන බව වටහා ගැනීම දුෂ්කර නොවේ. එයද අන්‍යොන්‍ය සාමූහිකත්වය මත පදනම් වූ අත්තම් රටාවට අනුව සිදු කෙරුණි. නැතිනම් එම සේවයට භාණ්ඩවලින් එනම් අස්වැන්නෙන් ගෙවීම් කරන ලදි. අඳ පංගුව, කරු අඳ පංගුව ආදි වශයෙන් සමාජයේ භාෂිත වූවේ එයට අනුගත ක්‍රියා පටිපාටියයි. මේ සියල්ල සිරිත් විරිත් වශයෙන් හෝ චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් පාරම්පරිකව නොසිඳ පවත්වාගෙන එනුලැබීය. එ නිසාම මරණය සිදු වූවක් කුල සිරිත් කඩා නොදැමීමට මෙරට එකල විසූ මිනිස්සු වග බලා ගත්හ. එනිසා ලිඛිත නීති මාලාවක් අවශ්‍ය වූවේ නැත. කුඹුරු පනත පැනවීමෙන් පසුව වුවද ක්‍රියාත්මක වන අඳ පංගුව, කරු අඳ පංගුව යනාදී ගෙවීම් ක්‍රම පෙර කී පාරම්පරික ක්‍රමයේ නෂ්ටාවශේෂ බව පෙනී යයි.


මේ රට මුළුමනින්ම බි්‍රතාන්‍යයන්ට යටත් වීමෙන් පසු අනෙකුත් බොහෝ දේ මෙන්ම ගැමි ජනජීවිතය රඳා පැවතුණු ජීවන රටාව ද වෙනස් කිරීමට බි්‍රතාන්‍යයන්ට අවශ්‍ය විය. 1830 දශකයේදී කෝල්බෘක් කොමිසම් නිර්දේශ අනුව රාජකාරී වැඩවසම් ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලදී. යටත් විජිතයේ ආදායම ඉක්මවා වියදම ඉහළ යන නිසා බි්‍රතාන්‍යයෙන් ලිපිකරුවන් ගෙන්වීම වෙනුවට අධ්‍යාපනය පුළුල් කර රටට අවශ්‍ය ලිපිකරුවන් ලංකාවේදීම බිහිකර ගැනීම සිදු විය. ලංකාවේ පැවති ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාව වෙනුවට වෙළඳපොළ ආර්ථිකයක් ඇතිකිරීම් සිදුවිය. උඩරටවැසි සිංහල ගැමියා විදේශීය හාම්පුතුන් යටතේ වතුකම්කරුවන් වශයෙන් සේවය කිරීම ප්‍රතික්‍ෂේප කරන ලද්දේ ආවේණික සිරිත් විරිත්වලට එය පටහැණි නිසාය. එයට පිළියමක වශයෙන් දකුණු ඉන්දියාවෙන් කුලීකරුවන් ගෙන්වීමට සිදු විය. මෙයට බලපෑ තවත් හේතුවක් වූවේ මුඩුබිම් පනත යටතේ ගැමියා සතුව පැවති ඉඩම් රජයට පවරාගෙන කෝපි වතු අධිරාජ්‍යයක් බිහි කිරීමයි. තමන්ගේම ඉඩම්වල කුලියට වැඩ කරන්නේ කුමටදැයි ගැමියෝ විමසුහ.

 

 

කෝල්බෲක් කොමිසමේ නිර්දේශ වශයෙන් වෙළඳපොළ ආර්ථිකය බිහිවීම හෙවත් කෝපි වතු ඇතිකිරීම, මෙරටින් ලිපිකරු පංතියක් ඇති කිරීම සහ වැඩවසම් රාජකාරි ක්‍රමය අහෝසි කිරීම යන ප්‍රධාන කටයුතු නිසා වැටුපට සේවය කරන කම්කරු පංතියක් ලංකාවේ ගොඩනැගීම නියත සිදුවීමක් විය. වැවිලි කර්මාන්තයේ සංවර්ධනය සදහා පරිපාලනය සහ ආරක්‍ෂාව තහවුරු කිරීමටත් දිවයින පුරා මාර්ග පද්ධතියක් තැනීම ආරම්භ වීමක් නිසාත් පඩියට වැඩ කරන ජනතාවගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවිය. තවත් නෙයෙකුත් සේවාවන් සඳහා ද වේතනයක් ගෙවීම අනිවාර්ය විය. කොළඹ නගරය ආශ්‍රිතව බි්‍රතාන්‍ය ව්‍යාපාරිකයන් යටතේ නොයෙක් වෙළඳ ව්‍යාපාර ආරම්භ වීම පටන් ගත්තේය. හෝටල්, බේකරි, ආදිය මෙයින් මුල් තැන ගත්තේය. අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමාත්, රත්මලානේ ධර්මාලෝක හිමි, රත්මලානේ ධර්මාරාම හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ආදී ගිහි පැවිදි උගතුන්ගේ ජාතික ආගමික සේවයට පිංසිඳුවන්නට නිසැකවම ජාතික ආගමික ප්‍රබෝධයක් ඇති විය. මෙය ආගමික මුහුණුවරකින් බිහි වූ අතර අමාද්‍යප ව්‍යාපාරය ද එයට එක්විය. මේ සියලුම මහජන ව්‍යාපාර සඳහා ප්‍රචාරය ලබා ගැනීමට පුවත්පත් නිකුත්වීම බහුලම සිදුවිය. එනිසා මුද්‍රණ කර්මාන්ත හා සබැඳුණු සේවක පිරිසක්ද විශාල ලෙස සමාජ ගත විය.


පෙර කියන ලද කුමන කම්කරු අංශයක වූවද කාර්මික විනය නිසි පරිදි ගොඩ නැගී තිබුණේ නැත. දීර්ඝ කාලයක් තිස්සේ ගොවිතැනට හුරුවී සිටි ජනතාවකට එකවිටම නියමිත වේලාවට සේවයට පැමිණීම, නිවාඩු නොලබා නිතිපතා සේවයට පැමිණීම ආදී විනයානුකූල ක්‍රියාවලියකට හුරුවීම බොහෝ දුෂ්කර බවක් පෙන්නුම් කෙරුණි. මෙම තත්ත්වය ආයතන පාලකයන්ට බලවත් ගැටලුවක් වූවේ නිතැතිනි. මෙයට දඬුවමක් ලෙස ආයතන හිමියෝ දඩ ගැසීමේ හෝ වැටුප් කැපීමේ ක්‍රමවේදයක් අනුගමනය කළහ. වැඩට නොපැමිණි දිනයට සිරිතක් වශයෙන්ම වැටුප අහිමි වූ අතර වැඩ කළ දිනයක වැටුප දඩයක් ලෙස කපා ගැනීම සිදුවිය. කම්කරුවන් කොළඹට සේවයට පැමිණියේ ගම්බද සිටය. ප්‍රවාහන පහසුකම් නිසි පරිදි තිබුණේ නැත. එමෙන්ම ගොවිකම් වැඩ තිබුණි නම් එම යුගයේ මිනිසුන් වැඩට ගියේ නැත. 1891 වසර වන විට රටේ පැවති ස්වභාවය මෙය විය.


මේ කියන යුගයේ මුද්‍රණ කම්කරුවන්ට සහ පොත් බඳින්නන්ට ගෙවනු ලැබූ වැටුප වූයේ මසකට රජයේ මුද්‍රණාලයේ රුපියල් තිහකි. පෞද්ගලික අංශයේ මසකට රුපියල් එකොළහකි. පෙර සඳහන් කළ පරිදි දඩගැසීම් බහුල විය. කම්කරු පිරිස් විඳින දුක් ගැහැට ගැන විශාල ලෙස උනන්දුවක් දැක් වූ දෙදෙනෙක් වූහ. කම්කරුවන් අතර පවතින පීඩනය ගැනත් ඒ සඳහා සංවිධානය විය යුතු බවත් සටන් වැදිය යුතු බවත් මුද්‍රණ කම්කරුවන්ට කියමින් දැනුම්වත් කළ එම උගතුන් දෙදෙනා නම් පසුව ප්‍රකට අධ්‍යාපනඥයෙකු හා ආනන්ද විදුහලේ මුල්ම විදුහල්පතිවරයෙකු ද වූ ඒ. ඊ. බූල්ජන්ස් සහ දොස්තර ලිස්බෝ පින්තු යන දෙදෙනාය.

 

 

මුද්‍රණ කම්කරුවන්ට දැඩි ලෙස බලපාන තවත් වැදගත් කරුණක් වූවේ ඊයම් ආශ්‍රිත සේවයක් බැවින් නිතර රෝගාබාධවලට ගොදුරුවීමයි. මෙවැනි පසුබිමක් පවතිද්දී ආර්ථිකමය හා සුබසාධන ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් බි්‍රතාන්‍යයන් සතු එච්. ඩබ්ලිව්. කේව් සහ සමාගමේ සේවකයන් හැටදෙනෙක් 1893 සැප්තැම්බර් මාසයේ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. එය එවකට මෙරට පැවති විශාලම මුද්‍රණ සහ පොත් අලෙවි සමාගම වූ බව කියැවේ. වර්ජනය ආරම්භ වූ දිනට පසුදින ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවා වෘත්තීය සමිතියක් ආරම්භ කිරීම ද සිදුවිය. එය මෙරට ප්‍රථම කම්කරු සංවිධානය වූ අතර එහි සභාපතිවරයා ලෙස දොස්තර ලිස්බෝ පින්තු මහතාත් ලේකම් වශයෙන් ඒ. ඊ. බූල්ජන්ස් මහතාත් පත්වූහ. ආයතන රාශියක සේවය කළ මුද්‍රණ කම්කරුවන් හාරසීයක් පමණ මෙයට සහභාගි වූහ. මෙම රැස්වීම සඳහා ආරක්‍ෂාව සැපයීමට යැයි කියමින් පොලිස් ඉන්ස්පැක්ටර්වරු පස්දෙනෙකු සහ කොස්තාපල්වරු විසි දෙනෙක්ද රැස්වීම අවට සිටි බව කියනු ලැබේ.


මෙම රැස්වීම අමතා කථා කළ අය අතර අමද්‍යප නායකයෙකු ලෙස ප්‍රකටව සිටි මාටිනස් පෙරේරා, මුද්‍රණ කම්කරුවකු වශයෙන්ද කලක් සේවය කළ සී. දොන් බැස්ටියන් යන අයද වූහ. මෙම රැස්වීම ගැන වාර්තා කළ “ඉන්ඩිපෙන්ඩන්ට් කැතලික්”, පුවත්පත මෙසේ පැවසූ බව ලේඛන ගතව තිබේ. මෙය මේ කුඩා දිවයිනේ ඉතිහාසයේ ප්‍රථම වරට කම්කරුවන් තම අයිතිවාසිකම් සඳහා නැගී සිටි අවස්ථාව විය. එබැවින් මෙබදු රැස්වීමක් පැවැත්වීමේ අදහස ඇත්ත වශයෙන්ම නවක හා විස්මය ජනක විය. ඇතැමුන්ට එය බොහෝ නිර්භීත වූ ක්‍රියාවක් ලෙස පෙනෙන්නට ඇතැයි අපි සිතමු” මුද්‍රණ වැඩවර්ජනය ආරම්භ කර තිබුණේ වැටුප් දිනයට ඉතා ආසන්නව බැවින් වැටුප් ගෙවීම අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගත්තේය. ආර්ථික අපහසුතාවලට මුහුණ දීමට සිදුවීම නිසා කම්කරුවෝ දින හයකින් ආපසු වැඩට ගියහ. ස්ට්‍රයිකය අසාර්ථක විය. පාලකයන්ට යම් පමණක හෝ හිතවත්කම් දැක් වූ කම්කරුවන් පිරිසක් කැඳවු පාලකයෝ කොන්දේසි වෙනුවෙන් සමාව අයදින බව ද සඳහන් ලිපිවලට අත්සන් ගත්හ. අනෙක් කම්කරුවෝද එම පියවර ගත්හ. එදා ප්‍රථම වර්ජනයේදී පාලක පක්‍ෂය අනුගමනය කළ බොහෝ ක්‍රියාමාර්ග ශත වර්ෂයකටත් වැඩි කාලයක් ගතව ඇති අද වැනි වකවානුවකදීත් ක්‍රියාත්මක වන බව පෙනෙන්ට තිබීම නම් පුදුම සහගතය. “සිංගප්පූරුවෙන් අකුරු අමුණන්නන් ගෙන්වා ගැනීමට යයි අපෙන් ඉල්ලීමක් කොට ඇත.” අපි එසේ ඉල්ලා යවා ඇත්තෙමු. මෙරට තුළින් කම්කරුවන් සපයා ගැනීම යම් විධියකින් දුෂ්කර වුවොත් ඉල්ලීමක් කළ විගස උවමනා කරන තරම් කම්කරුවන් මදුරාසියෙන් ලබාගැනීමට පුළුවනි.” යැයි පාලකයෝ සඳහන් කළහ.

 

 

වසර 125ක් ගතව ගොස් ඇත. එදා මෙන්ම අදත් ආයතන පාලකයන් කටයුතු කරන්නේ තම ලාභය මුල් කරගෙනය. කම්කරුවා ගැන කවදත් තැකීමක් නැත. එය නිමාවීමට නම් කාල් මාක්ස් කීවාක් මෙන් ලාභය පිළිබඳ අයිතිය ප්‍රාග්ධනයට නොව ශ්‍රමයට හිමිවන දිනයක් එළඹිය යුතුය. එය දේශපාලනමය කියමනක් නොව ආර්ථික සිද්ධාන්තයක් බව අපි සිතමු. දේශපාලන මතභේද කුමක්වූවත් ප්‍රායෝගික වශයෙන් කවුරුත් මෙයට එකඟ වනු ඇත.

 

 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ