ලකිසුරු ගොපල්ලවගේ විසිතුරු මතකයෙන්


එතෙක් පැවති අධිරාජ්‍යවාදී දේශපාලන සෙවණැලි තුරන් කර දමා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ 1972 ජනරජ ව්‍යවස්ථාව තුළිනි.


රැජිනගේ පාලනය අවසන් කර ඒ වෙනුවට බහුතරය වූ සිංහල බෞද්ධ ජනතාවගෙන් නව නායකයකු පත්කර ගැනීමේ පිපාසය බහුතර රටවැසියකු තුළම විය.


ඒ මෙතෙක් කළු සුද්දන් නියෝජනය කළ ආණ්ඩුකාර ධුරය සැබැවින්ම ජනාධිපති ධුරය ලෙස වෙනස් කර ගැනීමේ අභිලාෂයෙනි.


දේශපාලන බිමේ පෙරළිකාරයකු නොවූවද දෙස් විදෙස් දේශපාලන ක්‍ෂෙත්‍රයන්හි තමන්ට පැවරූ රාජකාරිය අකුරටම ඉටු කළ ඔහුගේ චරිත රටාව නිරවුල් විය. 


1897 සැප්තැම්බර මස 17 වැනිදා මාතලේ දී උපත ලද මෙතුමා මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය තුළින් ශාස්ත්‍රොද්ග්‍රහණය කළේය. සිවිල් නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයට බැඳුණු ඔහු සීලවතී රඹුක්වැල්ල මැතිනිය සමග විවාහ වී දරු ඵල ලැබීය. 


1926 දී මාතලේ නගර සභා ඡන්ද සටනෙන් ජයගෙන ප්‍රාදේශීය දේශපාලනයට පිවිස, 13න වසරක් එහි නියැළී, මාතලේ නගරාධිපතිවරයා ද විය. ඔහු මෙරට ළාබාලම නගරාධිපති ලෙස ඉතිහාසයට එක්විය. 
1939 දී මහනුවර නගර සභාවේ ප්‍රථම නාගරික කොමසාරිස් වූයේ විලියම් ගොපල්ලවය. එකල ඇරඹුණු දෙවන ලෝක යුද්ධ සමය පුරාම නාගරික කටයුතු මෙහෙය වූයේ ඔහු විසිනි.


1951දී කොළඹ නගර සභා කොමසාරිස් පදවිය දැරීමට ද එම අත්දැකීම් හේතු පාදක විය. පුරා වසර 07ක් එම රාජ්‍ය නායකයකුට නොදෙවෙනි එම ධූරයේ කටයුතු කෙරෙද්දී 1960 දී ගොපල්ලවයන් අරලියගහ මැඳුරට කැඳවන ලදී. ඒ අගමැතිනි සිරිමාවෝ විසිනි. 


“ඔබතුමන්ට අලුත් අභියෝගයක් භාර දෙන්නයි හදන්නෙ. ඇමරිකාවේ තානාපතිකම. මේකටත් එකම සුදුස්සා ඔබ විතරයි.” 


වාමාංශික චීන රජයට මෙන්ම දක්‍ෂිණාංශික ඇමරිකානු රජයට ද ඔහු අපක්ෂපාතීව රාජකාරිය කළේය. 1962 දී යළි මැතිනිය ඔහු මෙරටට කැඳවූවාය. මෙවර ඔහුගේ රාජකාරිය වූයේ එංගලන්ත රැජිනගේ නියෝජිතයා ලෙස ලංකේශ්වර පදවිය දැරීමයි. ඔහු සිරිලක අග්‍ර ආණ්ඩුකාරවරයා ලෙස ඉතිහාසයට එක්වෙයි. ඒ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකයන්ගෙන් පසුවය. 


1962.03.02 දින එම පදවි ප්‍රාප්තිය ජනමාධ්‍යය විසින් ඉතා ඉහළින් වාර්තා කර තිබිණි.

 
“‘මහෝපාසක දළදා සමිඳු පුදයි” 


“ලංකේශ්වරයාණන් වශයෙන් මංගල මොහොතේ වැඩ භාරගත් බෞද්ධ මහෝපාසක විලියම් ගොපල්ලව උතුමා සහ පිරිවරින් අද මෙහි පැමිණ පෙර සිංහල රජදරුවන් අනුගමනය කළ සිරිත අනුව සෙංකඩගල ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ නමැඳ අස්ගිරි - මල්වතු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිදීය...”


පසුදා “දවස” පත්‍රය වාර්තා කළ අයුරුයි ඒ. 


දහවල් 12.30 ට පේරාදෙණි පාලම අසලට රිය පෙරහරකින් පැමිණි නව ලකිසුරුවරයා මහනුවර නගරාධිපති වූ ශ්‍රීමත් බෙනට් සොයිසා විසින් පිළිගැනිණ. අනතුරුව මැතිවරු හා දිසාපතිවරු පිළිගත්හ. එතැන් සිට රජගෙදර දක්වා පාසල් දැරියන් 15,000 කගේ ආචාරය පිළිගනිමින් පෙරදිග සිරිතට අනුව ආචාර කරමින් එතුමා ගමන් ගත්තේය.


රජගෙදර දොරටුව අබියස දී පිළිගැනුණේ කර්මාන්ත, ස්වදේශ කටයුතු හා සංස්කෘතික අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා විසිනි. ලංකා පොලිස් හමුදාවේ ආචාර පෙළපාළියක් ද විය. 


දළදා මැදුරට පිවිසීමට පෙර මහනුවර ක්වින්ස් හෝටලය අබියස අලංකාර ගොක්කොළ තොරණ අසලදී මහනුවර දිස්ත්‍රික් ආදායම් පාලක නිලධාරීහු ලකිසුරු යුවළ පිළිගත්හ.


දළදා මැදුරේ දොරටුව අසල දී දියවඩන නිලමෙතුමා සමන්මල් බඳුනක් ලකිසුරුතුමාට ද එච්. එල්. රත්වත්ත මැතිනිය විසින් තවත් සමන් මල් බඳුනක් ගොපල්ලව මැතිනියට ද පිළිගන්වන ලදී. දළදා සමිඳුන් පුදද්දී මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු සඟරුවන පිරිත් දේශනා කළහ. 


ශ්‍රී විෂ්ණු දේවාශිර්වාදය ලැබූ එම යුවළ අස්ගිරි මහානායක යටවත්තේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල ධම්මරතන හිමියන් ප්‍රධාන සඟරුවන විසින් සෙත් පිරිත් දෙසුම් පවත්වා පිළිගත් අතර හාල්යාලේ සුමනතිස්ස නාහිමියෝ එතුමන්ගේ ගුණ අළලා දෙසුමක් පැවැත් වූහ.


මල්වතු පාර්ශ්වයේ මහානායක පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෝය මළුවේදී විශේෂ පුණ්‍යෝත්සවයක් පැවැත්විණි. ඇතුල්ගම දේවරක්ඛිත නාහිමියෝ විශේෂ දෙසුමක් පැවැත්වූහ. 
“මේ පදවිය මාවෙත පිරිනැමීමෙන් මා කෙරෙහි තැබූ විශ්වාසය ගැන මගේ කෘතගුණය මහරැජිනිය වෙත සැලකර සිටින අතර රට වෙනුවෙන් මෙම භාරදූර මෙහෙවර ඉටුකිරීම සඳහා ලක්මවගේ දරුවන් වන මාගේ සහෝදර සහෝදරියන්ගේ සහයෝගය පතමි.”


අභිනව ලංකේශ්වරයාණෝ ජාතිය අමතමින් ප්‍රකාශ කළහ. නව පදවි සම්ප්‍රාප්තිය දිවංගත මාධ්‍යවේදී සිරිල් ඒ. සීලවිමලයන් වර්ණනාකර තිබුණේ මෙසේය. 


මණ්ඩපේ අබිසෙස් 
බිඳ හැර දමා බව හිස් 
අපමහ සඟ උසස් 
පළමුවර වැඩමවා වූ රැස්

සමග නාරද හිමි 
මඩිහේ මහා නා හිමි 
කඹුරුගමුවේ හිමි 
අසුන් ගත්තෝ බවෙන් හුරු දැමි

ඥාන සිහ නාහිමි 
සමගින් මිරිස්සේ හිමි 
උතුරු නද පඬි හිමි 
පෙළට සිටියෝ සිල්බරින් නැමි 

ගොපල්ලව සිරිමත් 
ලකිසුරු තුමා නවපත් 
ඇඳ සුදෝ සුදුවත් 
පිය නගත් හැම දෙනගෙ ඇද සිත්

හෙළ සිරිත් රජ වී 
බටහිර පෙනුම නැතිවී
අබිසෙස් සිරි මැවී
මෙදින රජ ගෙය මඟුල් ගෙය වී 

 


නාම මාත්‍රික නිදහස් දිනය වෙනුවට සකලාංග සම්පූර්ණ ජන නායකයකු ලකිසුරු තනතුරට දිවුරුම් දුන් මෙදින තුන් සිංහලයම තම ප්‍රීතිය විඳගත්තේ එලෙසිනි. 


හේමචන්ද්‍ර කොඩිකාර නමැති මාධ්‍යවේදියා පාලි භාෂාවෙන් එම මොහොත වර්ණනා කළේ මෙසේය.

“එවං මේ සුතං සම්පති ලංකාදීපෙ බුද්ධ මාමකෝ සිහලො ලංකිස්සර පදප්පත්තොති. සොඛොපන විලියම් ගොපල්ලව පුබ්බ වුත්ථස්ස මිච්ඡාදිට්ඨි කස්ස අච්චයෙන බුද්ධ මාමකෙන ලද්ධං ඉමං පදවිං...” ආදී ලෙසිනි. 
බලයෙන් උන්මන්තක භාවයට පත් නොවී අපක්‍ෂපාතීව තම නිල කාරිය ඉටු කළ නායකයකු ලෙස විලියම් ගොපල්ලව නාමය ඉතිහාසයට එක් වේ.


හොඳම උදාහරණය නම් 1965 මහ මැතිවරණය එක්සත් ජාතික පක්‍ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවූ විට නව ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන්ට ආරාධනා කළ අවස්ථාවය. තම බලය අනුව යමින් තමන් බලයට පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බලය රැක දෙන්නට එතුමාට හැකියාව තිබුණ ද ජනමතයට ගරු කර ව්‍යවස්ථාවට එකඟව හැසිරෙමින් එතුමන් දුන් ආදර්ශය අගය කළ යුතුය. 


කෙසේ වෙතත් 1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් ගෙන ආ 78 නව ව්‍යවස්ථාව අනුව මෙරට ප්‍රථම විධායක බලතල සහිත ජනාධිපති ධුරය ඇතිවිය. ජේ. ආර්. එම පදවියට පත් වූ වහාම විලියම් ගොපල්ලව සිය තනතුරින් ඉල්ලා අස්විය.


අස් රියෙන් ගමන් බිමන් යාමට ප්‍රිය කළ විලියම් ගොපල්ලව ලකිසුරුතුමන් රජ මැදුරේ සිට යළි උපන් බිමට රැගෙන යනු ලැබුවේ ජේ. ආර්. ම පිළියෙල කළ සුදු අශ්ව කරත්තයෙනි.!

 

 

 

 

 

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි