ලන්ඩනය හොල්ලපු ත්‍රස්ත ප්‍රහාරය


 

ලන්ඩනය නැවතත් ත්‍රස්තවාදයෙන් බියට පත්ව ඇත. මාස කීපයක් ඇතුළත තුන්වැනි වරටත් ත්‍රස්ත ප්‍රහාර එල්ලවී තිබේ. ජීවිත ද සෑහෙන පමණ විනාශ වී ඇත. සවිස්තරව දක්වන්නේ නම් එම කථා පුවත මෙසේ දැක්විය හැකිය. සුප්‍රසිද්ධ ලන්ඩන් පාලම මත සිට සාමාන්‍ය වැසියන් පිරිසක් යටකරගෙන වෑන් රථයක් ධාවනය කිරීමෙන් සහ මෙම පාලමට නුදුරින් පිහිටි බරෝ මාකට් නමින් හැඳින්වෙන වෙළඳ ප්‍රදේශයකදී එහි සිටි පිරිසකට පිහියෙන් ඇනීම මගින් අලුත්ම ප්‍රහාර එල්ල කර තිබෙන බව මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ. බරෝ මාකට් ප්‍රදේශයේදී පිරිසට පිහි පහර එල්ල කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් ඇඳ ගත් පුද්ගලයන් තිදෙනකු යයි වාර්තා වූ අතර ඒ තිදෙනාම පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත.


බි්‍රතාන්‍යයේ මහ මැතිවරණයට දින පහක් තිබියදී මෙම ප්‍රහාරය එල්ල වූ අතර මෙය පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලයේදී බි්‍රතාන්‍යයට එල්ලවූ තෙවැනි ප්‍රහාරය විය. මාර්තු මස 22 වැනිදා ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් පාලම මත සිටි සාමාන්‍ය වැසියන් යට කරමින් මෝටර් රථයක් පැදවූ පුද්ගලයකු බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට කඩා වැදීමට උත්සාහ කළ අතර එම සිද්ධියේදී ප්‍රහාරකයා ඇතුළු හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වී පනහකට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම ප්‍රහාරය අයි.එස්. ත්‍රස්තයන්ගේ ක්‍රියාවක් බව බි්‍රතාන්‍ය පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ. 


පසුගිය මැයි 22 වැනිදා මැන්චෙස්ටර් නගරයේදී පැවති ඇමෙරිකානු ජාතික ගායිකා අරියානා ග්‍රාන්ඬේගේ සංගීත ප්‍රසංගයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් විසි දෙනෙක් මරණයට පත් වූහ. අලුත්ම ප්‍රහාරය එල්ලවූයේ ජුනි තුන්වැනිදාය. මෙයින් පසු තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු නවත්වන බව කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රකාශකයෙකු නිවේදනය කළ බව ද මාධ්‍ය වාර්තා කළේය. මෙම පක්ෂය දැනට බි්‍රතාන්‍යයේ අගමැති ධුරය දරන තෙරේසා මේ මහත්මිය නායකත්වය හොබවන දේශපාලන පක්ෂය බව සැලකිල්ලට ගැනීම මෙහිලා ප්‍රයෝජනවත් ය. මෙම ප්‍රහාර කීපය බි්‍රතාන්‍ය ජාතික දේහයේ හදවතටම කෙතරම් තදින් දැනී ඇතිදැයි යන්න මෙම සිද්ධියෙන් මනාව පෙනී යයි. තුන්වැනි පහරදීම නිසා තුවාල ලැබූ අය හතළිස් අටදෙනෙකු ලන්ඩනයේ රෝහල් පහක ප්‍රතිකාර ලබන බව පැවසෙන අතර එයින් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද කියවේ. මේ ගැන සැකපිට දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියයි. 

 


බි්‍රතාන්‍යය දීර්ඝ කාලයක් තිස්සේ අයර්ලන්ත ගරිල්ලා ප්‍රහාරවලින් බැට කෑ රටකි. එය කෙතරම් උග්‍රව පැවතියේ ද යත් බි්‍රතාන්‍ය මහ රැජිනගේ ඉතාම සමීප ඥාතියෙකු වූ මවුන්ට් බැටන් සාමිවරයා පවා ත්‍රස්ත ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය. දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර ජාතීන්ගේ සියලු ජාතික හමුදාවන්හි දකුණු ආසියාව භාර ආඥාපතිවරයා ලෙස ද කටයුතු කළ මෙකී සාමිවරයා තම හමුදා ජයග්‍රහණය කරා මෙහෙයවූවේය. පසුව ඉන්දියාවේ ප්‍රතිරාජයා ලෙස ද බි්‍රතාන්‍ය වෙනුවෙන් කටයුතු කළ ඔහු රාජකීය නාවික හමුදාවේ අද්මිරාල් ධුරයක් ද දැරූ අතිශය සම්භාවනීය පුද්ගලයෙකු විය. 1979 අගෝස්තු 27 වැනිදා අයර්ලන්තයේ ස්ලිගෝ මුහුදු බොක්කේදී බෝට්ටුවක ගමන් කරමින් සිටියදී අයර්ලන්ත ත්‍රස්තවාදීන් විසින් අටවන ලද බෝම්බයක් පුපුරා යාමෙන් ඔහු මරුමුවට පත් විය. අති දීර්ඝ කාලයක් බි්‍රතාන්‍ය කිරුළ දැරූ වික්ටෝරියා මහරැජිනගේ මුනුබුරකු ද වූ ඔහු මරණයට ලක්කිරීමට හැකිවීම බි්‍රතාන්‍ය අභිමානයේ මුදුන් පෙත්තටම එල්ල කළ ප්‍රහාරයක් ලෙස එම අවධියේ සලකන ලදී. 


කලින් එංගලන්තය නමින් හැදින්වූ බලවත් රාජ්‍යය වර්තමානයේදී කියැවෙන්නේ එක්සත් රාජධානිය යනුවෙනි. එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්ස් රාජ්‍යය සහ උතුරු අයර්ලන්තය යන රාජ්‍ය හතරම මෙම එක්සත් රාජ්‍යය තුළ නියෝජනය වේ. එහෙත් අයර්ලන්තය ඒ තුළ සිටින්නේ කැමැත්තෙන් නොවේ. එයට හේතු කීපයකි. උතුරු අයර්ලන්තය ආගමික වශයෙන් කතෝලික බහුතරයක් සිටින රාජ්‍යයකි. එංගලන්තය රෙපරමාදු මතය ගත් පාර්ශ්වයක අධ්‍යාත්මික බලවේගයකට සම්බන්ධය. එම විශ්වාසය හඳුන්වනු ලබන්නේ එංගලන්ත සභාව යනුවෙනි. ප්‍රධාන ගැටුම හටගත්තේ මෙම ආගමික මතභේදය මතයැයි කියවේ. එය කෙතරම් දුර දිග ගියාදැයි කියතොත් “එංගලන්තයේ දුෂ්කරතාව අයර්ලන්තයේ අවස්ථාව” යැයි පිරුළක් ද ගොඩ නැගී තිබේ. එහි අර්ථයවනුයේ කුමන මොහොතක හෝ එංගලන්තයට අතපසුවීමක් හෝ ආරක්ෂාවේ සුළු පළුද්දක් ඇති වුවහොත් අයර්ලන්තය නොඅනුමානව ත්‍රස්තවාදී පහරදීමක් සිදු කරන බවයි. පසුගිය සියවසේ හැට හැත්තෑව දශකවල ලෝකයේ ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටි අයර්ලන්ත විමුක්ති අරගලයේ නායිකාවක වූ ඩෙව්ලින් බර්නාදෙත් නමැති යුවතිය ගෙන ගිය දේශපාලන සටන පැරැන්නන්ට මතකය. පසුකාලීනව අරගලය නිමාවට පත්වුණ අතර අයර්ලන්තයට දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් ලැබුණි. 

 


ලන්ඩනයට මේ අවධියේ ප්‍රහාර එල්ල වන්නේ අයි.එස්. ත්‍රස්තවාදීන් වෙතින් යැයි කියවේ. මුළු මහත් ලෝකයේම සාමයට තර්ජනයක් බවට පත්ව ඇති මෙකී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය ගොඩනැගුණු ආකාරය සහ ඔවුන්ට ගොදුරු බිම් සැපයූ මැද පෙරදිග අර්බුදයේ ඉතිහාසය කෙටියෙන් හෝ සලකා බැලීම කාලෝචිතය. 


ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ඓතිහාසික වටිනාකමකින් යුත් රාජ්‍යයක් වූ පලස්තීනය අරාබින්ට මෙන්ම යුදෙව් ජනයාට සහ ක්‍රිස්තියානි ජනයාට ද ඉතා වැදගත් ප්‍රදේශයක් ලෙස සලකනු ලැබීය. මෙම ප්‍රදේශයේ කටයුතුවලට මැදිහත්වූ බි්‍රතාන්‍යයෝ ලෝකයේ අනෙකුත් කලාපවල මෙන්ම තම අධිරාජ්‍යවාදී සහ යටත් විජිතවාදී උවමනාවන් සපුරා ගැනීම උදෙසා කටයුතු කරමින් සිටියහ. පළමු ලෝක යුද්ධයෙන් පසුව ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ වැටීමෙන් පසු සිරියාව, ඉරානය, ජෝර්දානය, සෞදි ආරාබිය මෙන්ම පලස්තීනය ද තම අණසක අනුව මෙහෙයවමින් සිටියේය. යුදෙව් මුස්ලිම් ගැටුම් සදාකාලික තුවාලයක් වශයෙන් සැරව හා ඕජස් ගලමින් කලාපයට වේදනා ගෙන දෙමින් පැවතුනි. මෙම ගැටුම මුවාවෙන් පලස්තීනයට මැදිහත් වූ ඔවුහු එකල පැවති ජාතීන්ගේ සංගමය හරහා මැන්චේට් බලපත්‍රයක් යටතේ ආරක්ෂිත බලධාරියා වශයෙන් අධිකාරි බලයක් ලබා ගත්තේය. මෙම බලය උපයෝගී කරගෙන කලක සිට යුදෙව් ජනයා වෙනම යුදෙව් රාජ්‍යයක් අවශ්‍ය බව කියමින් ගෙන ගිය අරගලයට ධෛර්ය දීමට පටන් ගත්හ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොව පහළවන අවධියේත් ඊශ්‍රායලය නමින් රටක් පැවැති බවත් එහි විසූ යුදෙව් ජනයා මහා සංග්‍රමණය අවස්ථාවේදි මෝසෙස් නමැති සාන්තුවරයෙකු යටතේ වෙනත් රටවලට විසිරී ගිය බවත් තමනට පොරොන්දු වූ දේශයක් තියෙන බවත් යුදෙව්වෝ තරයේ විශ්වාස කළහ. එහෙයින් එම රාජ්‍යය ඇත්තේ පලස්තීනයේ බවත් ඔවුහු උද්ඝෝෂණ කළහ. 

 


අනුන්ගේ මඟුල් ගෙදරදී තමන්ගේ හිතවතුන්ට සංග්‍රහ කිරීමේ ප්‍රතිපත්තියකට අවතීර්ණ වූ බි්‍රතාන්‍යයෝ තමන්ට පැවරී තිබුණු තාවකාලික අධිකාරි බලය උපයෝගී කොටගෙන යුදෙව්වන්ගේ කාලාන්තරයක් තිස්සේ පැවති සිහින රාජ්‍යය සැබෑවක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම සකසා දුන්හ. 1917 දී නිකුත් කරන ලද බැල්ෆර් ප්‍රකාශනය නම් වූ නිල ලියවිල්ල මගින් කියා සිටියේ යුදෙව් ජනයාට රාජ්‍යයක් ලබාදීම සිදු කළ යුතු බවත් එය පිහිටුවිය යුත්තේ ඓතිහාසික මූලාශ්‍රවල කියැවෙන පලස්තීන භූමියේ බවත්ය. අරාබි ජාතික පලස්තීන කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදීය පාලන ක්‍රමයක් ඉල්ලද්දී එය අමතක කළ බි්‍රතාන්‍යයෝ පලස්තීන රාජ්‍යයේ කොටසක එවකටත් පදිංචිව සිටි යුදෙව්වනට ඊශ්‍රායල් නමින් නව රාජ්‍යයක් සහ භූමියක් වෙන් කර දීමට කටයුතු කළහ. මෙය මහා ඉන්දියාව (දැන් රටවල් තුනකි. ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය වශයෙනි), බුරුමය, ලංකාව, නවසීලන්තය, සිංගප්පූරුව සහ ඕස්ටේ්‍රලියාව ආදීතම විජිතයන්ට ගමන් කරන සමුද්‍ර මාර්ගයේ පසෙකින් මුස්ලිම් නොවන දැඩි මතධාරි රජයක් පැවතීමේ වාසිය සලකාගෙන කළ රුදුරු ක්‍රියාවක් විය. බි්‍රතාන්‍ය සහ ප්‍රංශ සමාගමක් විසින් සූවස් ඇළ නිර්මාණ්‍ය කිරීම නිසා පෙර අපරදිග නාවික ගමනාගමනය සැතපුම් දහස් ගණනක් කෙටි විය. මෙයින් මෙම ප්‍රදේශයේ භූගෝලීය සහ දේශපාලනමය වටිනාකම බොහෝ සෙයින්ම ඉහළ ගියේය. 1956 දී මිසරය තමාගේ රටේ පිහිටි සූවස් ඇළ ජනසතු කළ අවස්ථාවේදී බි්‍රතාන්‍යය සහ ප්‍රංශය ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ ද සහාය ඇතිව මිසරය ආක්‍රමණය කළ බව ලෝකයට මතකය. 1967 දී සහ 1973 දී ඇති වු මැද පෙරදික යුද්ධ දෙකේදීම බි්‍රතාන්‍යය ඊශ්‍රායලයට පක්ෂව කටයුතු කළේය. 


ඉතා ඈත පුරාණ කාලයේදී සිදුවූ කුරුස යුද්ධ ගැන ඉතිහාස පාඩමේදී අපි ඉගෙන ගෙන ඇත්තෙමු. තම ආගමේ චිරස්තිථිය වෙනුවෙන් දිවි පිදීම දෙවියන්ගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ලබාගත හැකි උතුම් ක්‍රියාවක් ලෙස කුරුස යුද්ධවල යෙදුණු පාර්ශ්වකරුවෝ විශ්වාස කළහ. එවැනි වික්‍රමාන්විත මරණයකට මුහුණ දීමට සූදානමින් යුද බිමට ගිය අය ජිහාඞ්වරුන් ලෙස සැලකීමට ඉස්ලාම් පාර්ශ්වය කටයුතු කළහ. අවුරුදු දහස් ගණනක් ගෙවී ගියද සම්ප්‍රදායිකව සිදු කරන ආගම බේරා ගැනීමේ උදාර මෙහෙවර සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත්වන්නන් මෑත යුගයේ ද විරල නොවේ. 1979 දී ඇෆ්ගනිස්ථානයේ පැවති සම්ප්‍රදායික රජය කුමන්ත්‍රණකාරී ලෙස පෙරළා දැමීමට එවකට පැවති සෝවියට් රුසියාව කටයුතු කළේය. තම සුවිශාල රාජ්‍යයේ පැවැත්ම උදෙසා එහි දේශපාලන අභිමතාර්ථයන් සාධනය කරගනු පිණිස සිදු කළ මෙම කාර්ය පාරාවළල්ලක් සේ ආපසු තමා වෙතටම යොමු වනු ඇතැයි සෝවියට් දේශය බලාපොරොත්තු වූවේ නැත. එම සිදුවීම බි්‍රතාන්‍යය, ඇමෙරිකාව ඇතුළු බටහිර කඳවුරේ දැඩි විරෝධයට හේතුවූවා පමණක් නොව සමස්ත මුස්ලිම් ලෝකයේම හෙළා දැකීමට ද ලක් විය. එය හෙළා දැකීමට පමණක් සීමා නොවුණි. තම ආගම අදහන සහෝදර පිරිස් වෙසෙන රාජ්‍යයක් ආක්‍රමණය කර එම රටේ ස්වෛරී භාවය සහ නිදහස අහෝසිකර දැමීමක් මෙම ආක්‍රමණ මගින් තම ප්‍රජාවගේ කාන්තාවන්, ළමා ළපටින් ඇතුළු දස දහස් සංඛ්‍යාත ජනයා හිංසනයට ලක්වීමත් තම අභිමානයට එල්ලවූ පහරක් ලෙස මුස්ලිම් ප්‍රජාවගේ බහුතරය තීරණය කළහ. ඔවුහු මුදල් සෞඛ්‍ය පහසුකම් පමණක් නොව යුද ආධාර ද සැපයීමට ඉදිරිපත් වූහ.

තමත් සමහරු ජිහාඞ් යුද්ධයක් සඳහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ. සෞදි ආරාබියේ රජ පවුලට ද ඥාති සම්බන්ධකම් ඇතිව සිටි ධන කුවේරයෙකු වු මොහමඞ් ලාඩන්ගේ පුත්‍රයෙකු වූ ඔසාමා බින් ලාඩන් නමැත්තා එවැන්නෙකි. ඔහු විසින් පිහිටුවා ගන්නා ලද අල් කයිඩා නමැති ත්‍රස්ත සංවිධානය ඇෆ්ගනිස්ථානයට පැමිණ මුල් බැස ගත්තේ බි්‍රතාන්‍යය, ඇමෙරිකාව ආදී බටහිර කඳවුරේ නිහඬ අනුමැතිය ඇතිව බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශ්ලේශකයන්ගේ මතය විය. වදුරා අතට දැලිපිහිය දීමේ වරදකරුවන් බවට පත්වූ බටහිරයෝ ඉවක් බවක් නැතිව පළි ගැනීමේ යෙදෙන අල්කයිඩා කරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අපමණ ප්‍රහාරයන්ට ගොදුරු වූහ. මේ එවැනි ප්‍රහාර කීපයක් පමණි. 1993 ඔක්තෝබර් 03 වැනිදා සෝමාලියාවේදී ඇමෙරිකානු බ්ලැක්හොක් හෙලිකොප්ටර්වලට වෙඩි තබා ඇමරිකානුවන් 18 දෙනෙකු මරා දැමීම. 1998 අගෝස්තු කෙන්යා සහ ටැන්සානියානු තානාපති කාර්යාලවලට පහර දී මිනිසුන් 222ක් මරා දැමූහ. 2000 ඔක්තෝබර් 12 වැනිදා යේමනයේ ඒඩන් වරායේදී කෝල් නැවට එල්ල කළ ප්‍රහාරයෙන් ඇමෙරිකන් නාවිකයෝ 17 දෙනෙක් මරණයට පත්වූහ. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ අභ්‍යන්තර ගුවන්ගමන්වල යෙදුණු සිවිල් ගුවන්යානා හතරක් පැහැරගෙන අල්කයිඩා සාමාජිකයන් නිව්යෝක් ලෝක වෙළඳ සංකීර්ණයේ  මධ්‍යස්ථානවලට සහ වොෂින්ටනයේ ඇමෙරිකානු යුද්ධ මධ්‍යස්ථානය වූ පෙන්ටගනයට ද ප්‍රහාරයක් එල්ල කළහ. ඒ එම මහල් ගොඩනැගිලිවල හප්පා විනාශයක් සිදු කිරීමෙනි. මෙයින් මිනිසුන් දෙදහස් නවසිය අසූහය දෙනෙකු මියගිය බව නිල වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත. පසුකාලීනව ඇෆ්ගනිස්ථානයේ මුජහිඩීන් සහ ජිහාඞ් සංවිධාන ද අල් කයිඩාවට එකතු වූ බව කියනු ලැබේ. 

 


මෙයට වසර කීපයකට පෙර මැද පෙරදිග කලාපය හරහා හමාගිය අරාබි වසන්තය නමැති දේශපාලන සුළි කුණාටුව එම කලාපය තුළ නිර්මාණය කළේ මහා දේශපාලන ව්‍යාකූලත්වයකි. ටියුනිසියාවේ ඒකාධිපති පාලකයාව සිටි බෙන් අලිට එරෙහිව වීදි බට ජනතාව තම ජන බලය උපයෝගී කර ගනිමින් රජය බලහත්කාරයෙන් පෙරළා දමා වෙනත් නායකයෙකු පත් කර ගත්හ. ඊජිප්තුවේ පැවැති එවැනිම උද්ඝෝෂණ නිසා එරට ජනාධිපති වූ හොස්නි මුඛාරක්ට බලය අතහැර දැමීමට සිදුවිය. ඔහු මේ වනවිට අධිකරණ විභාගයකට මුහුණ දෙමින් සිරගතව සිටී. ලිබියාව යනු කිසිදු ලෝක බලවතෙකුගේ අණට නොනැමී තම අභිමතයටම අනුව කටයුතු කළ රටකි. සම්ප්‍රදායික රජකු යටතේ දුගී කාන්තාර රාජ්‍යයක් වශයෙන් පැවති ලිබියාව එරට හමුදාවේ නිලධාරියෙකු වූ කර්නල් මුවම්මර් අල් ගඩාෆි හමුදා කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලා ගන්නා ලදී. තෙල් සම්පතින් ඉතා පොහොසත් ධනයෙන් ආඪ්‍ය රටක් වූ ලිබියාව ජනතාවට බොහෝ සුබසාධක සහන ද ලබා දුන්නේය. එහෙත් ගඩාෆිගේ පෙරළිකාරී දේශපාලන රටාව බලවත් රාජ්‍යවල නොසතුටට හේතු විය. අරාබි වසන්තයේ රැල්ල ලිබියාව කරා එළඹෙද්දී එය මැඩපැවැත්වීමට ගඩාෆි අපොහොසත් වූවේය. 


වීදි බට ජනයා විසින් පහර දෙනු ලැබ මරුමුවට පත් වූවේ රාජ්‍ය නායකයෙකුට හිමි ගරු සරු පවා නොලබමිනි. දැඩි ඇමෙරිකන් විරෝධී ප්‍රතිපත්තියක පිහිටා සිටි ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමේ කුමන්ත්‍රණය පිටුපස සිටි අදිසි බලවේගය වූවේ සී.අයි.ඒ. ව්‍යාපාරය යැයි කටකතා පැතිරුණි. ලිබියාවේ අර්බුදයත් සමග බහරේනය, කුවේටය ඇතුළු ගල්ෆ් රාජ්‍යයන් වෙත ද අරාබි වසන්තයේ රැල්ල පැතිරී ගිය අතර ඒවායේ සම්ප්‍රදායික පාලකයෝ සුළු සුළු ප්‍රතිසංස්කරණ මගින් ඒවා මැඩපවත්වා ගත්හ. ඇමෙරිකාවට නොරුස්සන තවත් රාජ්‍ය පාලකයෙකු යටතේ පැවති සිරියාව වෙත අරාබි වසන්තය උදාවූවේ මේ අතරවාරයේය. ඔහු බෂීර් අල් අසාද්ය. සිය පියා වූ හාෆීස් අල් අසාද්ගේ දීර්ඝ පාලනයෙන් පසු බලය ලබාගත් බෂීර් ලිබියාවේ මුවම්මර් අල් ගඩාෆි මෙන්ම පෙරළිකාර ජනාධිපතිවරයෙකු වූවේය. අරාබි වසන්තකරුවෝ සිරියාවේදී වැඩ වරද්දා ගත්හ. ලිබියාවේදී ඊජිප්තුවේදී ටියුනිසියාවේදී හෝ අන් රටවල මෙන් නොව සිරියාවේ හමුදා ස්ථිරසාරව තම නායකයා රැක ගැනීමට සටනට වන්හ. ලෝකයේ බලවත් බලවේගයන්ගේ ආර්ථික දේශපාලන සහ මානව සම්පත් ආධාර ලබමින් සටන් කරන කැරලිකරුවන්ට තවමත් සිරියාවේ බලය තහවුරු කර ගැනීමට හැකිවී නැත. ඔවුන් කෙසෙල් ගසට කෙටූ කොට්ටෝරුවන්ගේ තත්ත්වයට පත්ව ඇත. දිනන්නටත් බැරිය. අතහැර දමා යාමටත් බැරිය. 


2011 වසරේ මාර්තු 15 වැනි දින ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයට මේ වනවිට අවුරුදු හය හමාරක් ගතව ඇත. දෙලක්ෂ පනස් දහසකට අධික ජනතාවකගේ දිවි අහිමිවී ඇත. ලෝකයේ වෙසෙන බොහෝ මූලධර්මවාදී ත්‍රස්ත කල්ලි මෙම සටන් බිමේ යුද්ධ කරති. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු ද මේ අතර වෙති. ජාත්‍යන්තරයේ බොහෝ අර්බුදවලදී ඇත්තේ පාර්ශ්ව දෙකක් පමණි. එහෙත් සිරියානු ගැටලුව එයට වඩා සංකීර්ණය. ප්‍රධාන පාර්ශ්ව දෙකක් ඔවුන්ගේ මිතුරෝ, සතුරෝත් විවිධ පැතිගෙන රණ බිමේ වෙති. සතුරන්ගේ මිතුරෝත් සතුරෝත් මෙහි වෙති. ලෝක සාමයටත් සංහිඳියාවටත් බරපතළ තර්ජනයක් ඇති කරන මෙම ගැටුමේ ඉතා අමානුෂික ලෙස කටයුතු කරන අයි.එස්. සටන්කාමීන් කාගේත් පිළිකුලට හේතුවී ඇත. එනිසා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවා ඔවුන්ගේ විනාශය පතන බව කියනු ලැබේ. එම අඩිපාරේම යන බි්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මහත්මිය ද එම පිළිවෙතේ සිටිනු නිසැකය. ලන්ඩනයට ප්‍රහාර එල්ලවෙන්නේ ඒ නිසා විය හැකිය. අයි.එස්. සටන්කාමීහු නිල වශයෙන් පිළිගෙන නැත. මෙසේ ත්‍රස්තවාදීන්ගෙන් එංගලන්තයට පහර වදින මොහොතේ ඔවුන් අපේ අර්බුදය හමුවේ ක්‍රියාකළ ආකාරය අපේ සිහියට ගැනීම නොවැළැක්විය හැකිය. බොහෝ යටත් විජිතවලදී කළාක් මෙන්ම සිංහල දෙමළ ජනවර්ග දෙක භේද කළේ ඔවුහුය. 1983 කළු ජූලියේදී ඊනියා අනාථයන්ට නවාතැන් දුන්නේ මේ අයයි. ලෝරන්ස් තිලකර්ට, ඇන්ටන් බාලසිංහම්ලාට කේ. පීලාට නවාතැන් ලැබුණේ බටහිරිනි. ඇඩෙලා බාලසිංහම් වැනි මහා කොටි දෙනුන් පෝෂණය කළේ ඔවුන්ය. කීමට බොහෝ දේ තිබේ. එහෙත් මේ ඊට වේලාව නොවේ. අවසාන සටන වෙල්ලමුල්ලි වෛක්කාල්හි කෙරෙද්දී බි්‍රතාන්‍ය විදේශ කටයුතු බලධාරියකු වූ ඬේවිඞ් මිල්බෑන්ඞ්, ප්‍රංශ විදේශ ලේකම් බර්නාඞ් කෘෂ්නර් ආදීත් මෙහි පැමිණ රජයට නොයෙකුත් බලපෑම් කළේ ප්‍රභාකරන් බේරාගෙන යාමටයි. 


එහෙත් අපි ඒ සියල්ල මේ මොහොතේ අමතක කරන්නෙමු. කෙනෙකුගේ විපතේදී සතුටුවීම පෙරදිග සදාචාරයට අනුකූල නොවේ. එනිසා අපිත් එසේ නොකරමු. බි්‍රතාන්‍ය අපේ මිත්‍ර රටකි. පොදු රාජ්‍ය මණ්ඩලයේ සම සාමාජික රටවල් වශයෙන් අපි දැඩි මිතුරුකමින් බැඳී සිටිමු. “මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පවතී” කියවන පරිදි බි්‍රතාන්‍යයට එල්ල කළ ප්‍රහාර තරයේ හෙළා දකින්නෙමු. මිනීමරු ත්‍රස්තවාදය පරාජය කිරීමට ඔවුන්ට ශක්තිය ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

සෝමසිරි වික්‍රමසිංහ