ලියුම් බෙදා මැති සබයට ආ තේමිස්ගේ අපූරු වැඩ


ලංකාවේ ප්‍රථමවරට තැපැල් පියන් කෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වූයේ 1956 මහ මැතිවරණයේදීය. මීට වසර 63කට පෙර රුපියල් 20ක මාසික වැටුපක් ලබාගත් ඔහු තුල්හිරියේ උපන් මැනුවෙල් සවරිඅප්පාගේ තේමිස් නොහොත් ඇම්. ඇස්. තේමිස් ය. සර් ජෝන් කොතලාවලට නිකන්ම ජෝන් කියා ආමන්ත්‍රණය කිරීම නිසා ඔහුගෙන් හොඳටම බැණුම් අසා පහරක්ද කෑ බව කියන්නේ මේ කියන තේමිස් ය.


මැද කොළඹ බහු මන්ත්‍රී කොට්ඨාසයේ තුන්වැනි මන්ත්‍රී ධුරයට ඔහු තේරී පත්වූයේ එජාපයේ පතාක යෝධයකු වූ දොස්තර ඇම්. සී. එම්. කලීල් පරාජයට පත් කරමිනි. දොස්තර කලීල්ට වඩා එදා ඔහු ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 46කි.
ඔහුගේ පියා දැදිගම සිටි විදුලි කාර්මිකයෙකි. තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයකු වශයෙන් කළ සටන්වල ප්‍රතිඵලයක් වශයෙන් වසරකට වැඩි කාලයක් සේවය අත්හිටුවීම නිසා රටට වැඩි සේවයක් කිරීමේ අරමුණින් ඔහු දේශපාලනයට නැඹුරු විය.
දක්ෂ කථිකයකු වූ ඔහු එදා ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වැනි නායකයින්ට බලයට පත්වීමට ශ්‍රමය හා කාලය මිඩංගු කරනු ලැබීය. එහෙත් කිසිදාක ඔහුට ඇමැති හෝ උප ඇමැතිකමක්වත් නොලැබුණි.


1959 ජූලි හත්වැනිදා ශ්‍රීලනිපයෙන් ඉවත්වූ ඔහු අසාධාරණයට අයුක්තියට විරුද්ධ - තේමිස් යනුවෙන් පොතක් ලියා පළ කළේය.
කලක් විපක්ෂ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පීඩිත ජනතාවගේ ඕනෑ එපාකම් හා දැවෙන ප්‍රශ්න විසඳීමේ විවිධ ක්‍රියාමාර්ග පිළිබඳ සාරගර්භ දේශන රාශියක් ඔහු විසින් පවත්වනු ලැබූවත් මන්ත්‍රී පදවිය ලබාගත් මේ තැපැල් පියන් කියන දේවල් දේශපාලන ලොක්කන් ගණන් ගත්තේ නැත. වමේ ලොක්කන් එපාවී 1965දී පීලි මාරුකර ඔහු යූඇන්පියට පැන්නත් යූඇන්පී ලොක්කන් ද ඔහුට සැලකුවේ නැත.
පිලිප් ගුණවර්ධන සමග ශ්‍රීලනිපයෙන් ඉවත්වී මහජන එක්සත් පෙරමුණ පිහිටුවීමට ආධාර කළ තේමිස් ඩඞ්ලි සේනානායකට රජයක් පිහිටුවීමට අතදුන් බලවේග අතර මුල් තැනක් ගත්තේය.


වයස අවුරුදු 18දී තැපැල් දෙපාර්තමේන්තුවට පියන් කෙනෙකු වශයෙන් බැඳී එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතියෙහි ලේකම් තනතුර පවා ලබාගෙන, වැඩවර්ජ්න මෙහෙයවීම නිසා සිර භාරයට ද පත්වූ ඔහු, ශ්‍රී  ලංකාවේ දේශපාලනය පිළිබඳ කලකිරී පොත්පත් මුද්‍රණය කරන රෝයල් මේල් හවුස් නමින් යුත් ප්‍රකාශන සමාගමක් ආරම්භ කළේ ස්වෝත්සාහයෙනි.
1993 වසරේදී එවකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය දැරූ මොහොමඞ් හනිෆා මොහොමඞ් වෙත තම මන්ත්‍රී විශ්‍රාම වැටුපට අයත් චෙක්පත හරවා යවමින් තම මන්ත්‍රී විශ්‍රාම වැටුප අනවශ්‍ය බව දන්වා යැවූ එකම හිටපු මන්ත්‍රීවරයා මේ කියන ඇම්. ඇස්. තේමිස් ය.


තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ විවිධ ආයතනයන්හි සුළු සේවකයින්ගේ අයිතිවාසිකම් උදෙසා වෘත්තීය සටන් ව්‍යාපාරයට පණ පෙවීම හේතු කොටගෙන ඇම්. ඇස්. තේමිස් වැලිකඩ හිරගෙදර යකඩ කූරු ගණන් කරමින් සිටියදී එදා ‘දවස” හා “ඇත්ත” පත්‍රවල සිරස්තලය වූයේ “තේමිස් හිරගෙදර, සෙස්සෝ මහ පාරේ” යන්නයි.
එදා වසර 63කට පෙර ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පැවසුවේ, තේමිස් කතා කාරයා, ඔහු පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්න ඕනෑ” යනුවෙනි. ඇන්.ඇම්. පෙරේරා. පීටර් කේනමන්, සර් රසීක් ෆරීඞ්, දොස්තර ඇම්. සී. එම්. කලීල්, ඒ. ඊ. ගුණසිංහ, ආර්. ප්‍රේමදාස, ඩඞ්ලි සේනානායක ආදීන් සමග උරෙ’නුර ගැටී ක්‍රියා කළ මේ පුංචි මිනිහා දේශපාලනය අනුසාරයෙන් ශත පහක්වත් හරි හම්බ නොකරගත් අවංක සමාජ සේවකයෙකි.


ඔහු විවාහ වූයේ ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ සුචරිත ව්‍යාපාරයේ ප්‍රධාන සාමාජිකාවක වූ සීතා ද සිල්වා සමගය. ගම්පහ තම මිතුරෙකු දුන් රුපියල් 1000ක මුදලක් ඡන්දය සඳහා වියදම් කළ ඔහු, මන්ත්‍රී පදවිය ලැබුණට පසු මන්ත්‍රී පඩියෙන් කොටස් වශයෙන් එම මුදල මිතුරාට දී එය පියවා දැමුවේය.


අවංක, දූෂණයට එරෙහි ජනතා සුබසිද්ධියම තැකූ ඔහු වැනි දේශපාලකයින්ට ලංකාව වැනි රටක ජනතාව සලකන අයුරු මනාව පැහැදිලි කරමින් ඊට පසු මැතිවරණවලදී ඔහු මැද කොළඹින් පරාජයට පත් කරනු ලැබීය. දූෂණයට මුල් තැන දෙමින් කට ගොන්නක් බීගෙන වේදිකාවල ජරා කතා, කැත කතා, අසික්කිත කතා දෙසාබාන දේශපාලකයින්ට ජනතාව වඩාත් කැමැති බව දක්නට ලැබේ.


ඔහු ඡන්දය ඉල්ලීම සඳහා දෙහිඕවිටට ගියේය. 1970දී ලසසපයේ ධනපාල වීරසේකර සමග යූඇන්පියෙන් දෙහිඕවිට අසුනට තරග කළේය. ධනපාල විරසේකරට අභියෝග කරමින් ඔහු පැවසුවේ, තමා සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසය. දිනය හා වේලාව ද නියම විය. ස්ථානය දෙහිඕවිට ප්‍රසිද්ධ මංසන්ධියකි. ඔහු එදින විවාදයට සූදානම්වී එම ස්ථානයට ගියේය. ධනපාල වීරසේකර පැමිණියේ නැත. “තේමිස් තනිවම මහපාරේ” ලේක්හවුස් පත්‍රවල එසේ පළ විය. ඡන්දයෙන් ඔහු පරාජයට පත්විය. විවාදයට නොගිය ධනපාල වීරසේකර දිනුවේය.


මෙහිදී මට සිහිපත් වන්නේ 2019 නොවැම්බර් 16 වැනිදා ලංකාවේ පැවැත්වූ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කළත් ගෝඨාභය එම අභියෝගයට මුනිවත රකිමින් සිටි අයුරුය. මෙදා විවාදයට නොගිය ගෝඨාභය දිනුවේය. සජිත් පැරදුණේය.

 


සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි