ඉන්දීය නිදහස් අරගලයට දායකවුණු නායකයන් කිහිපදෙනකු පිළිබඳව කියැවෙයි. මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු, සුභාෂ් චන්ද්‍රබෝස් වැනි නම් වැලකි. නේරු මහජනතාවට සවන්දෙයි. ඉන් අනතුරුව මහත්මා ගාන්ධිට සවන්දෙයි. ගාන්ධි මහා දෙවියන්ට පමණක් සවන්දෙයි.
වරක් බර්නාඞ් ෂෝ පැවසුවේය. නේරු විශිෂ්ට ගණයේ දේශපාලන චින්තකයකු බවට පත්වූයේ මහත්මා ගාන්ධි ඇසුරෙනි. එහෙත් නේරු කිසිසේත්ම ගාන්ධිගේ අනුගාමිකයකු නොවීය.
මහත්මා ගාන්ධිගේ මූලික දර්ශනයන් වූයේ දිළිඳුකම පිටුදැකීම, අවංකභාවය, සත්‍යවාදී බව සහ බ්‍රහ්ම චර්යාවයි. ඉන්දීය නිදහස් සටනේදී ආයුධ සන්නද්ධව සටන් කළ සුභාෂ් චන්ද්‍රබෝස් වැනි රැඩිකල් මතධාරීහු ගාන්ධිගේ පිළිවෙත හෙමින් ගමනක් යැයි විවේචනය කළහ.
නේරුද එවැන්නෙකැයි චෝදනා එල්ලවුවද නේරුට වුවමනා වූයේ විද්‍යාත්මක සමාජවාදයයි.
“අවිහිංසාව මතුරලා විතරක්
නිදහස දිනාගන්න බෑ බාපු
යුද්ධය කියන්නේ ඇතුවත්
බැරි නැතුවත් බැරි නාස්තිකාර පුත්‍රයෙක්”
ගාන්ධි හමුවේ නේරු තර්ක කළේය. කෙසේ වෙතත් ගාන්ධිට අසීමිතව ආදරය කළ නේරු විප්ලවය හා මැදුම් පිළිවෙත අතර සිටි සමබර සටන්කරුවා ලෙස හැඳින්විණ.
එදා සෑම ඉන්දීය නිවසකම මෙම අන්ත දෙකේ නායකයන් දෙදෙනාගේ ඡායාරූප ප්‍රදර්ශනය විය. සුභාෂ් චන්ද්‍රබෝස් ගාන්ධිට එළිපිටම විරෝධය පෑවේය. ජපනුන්ගේ ආධාර ගත් සුභාෂ් ඉන්දියානු ජාතික හමුදාව නිර්මාණය කළේ නිදහස් අරගලය ඉක්මන් කිරීමටය. එහෙත් 1945 දී එනම් නිදහසට වසර 03කට පෙර තමා පැදවූ ගුවන් යානය තායිවානයේදී කඩාවැටීමෙන් සුභාෂ් මරණයට පත්විය.
“ආත්ම පරිත්‍යාගය තුළින් නම් සුභාෂ් ඉන්දියාවට පාඩමක් උගන්වා තිබෙනවා.”
මහත්මා ගාන්ධි තම සගයාට උත්තමාචාරය දැක්වූයේ එසේ කියමිනි.
තවත් ජාතික වීරයකු වූ භගන්සිං නම් තරුණ ෂික් ජාතිකයාටද 1931 දී බි්‍රතාන්‍යයන් අතින් එල්ලුම් ගස් යෑමට සිදුවිය.
නේරු ඉන්දීය කොන්ග්‍රස් මණ්ඩලයේ නායකයකු වූ අතර මහත්මා ගාන්ධි එහි න්‍යායාචාර්යවරයා විය. නේරු අවිහිංසාවාදියකුගේ සරල එහෙත් ගැඹුරු පැවැත්මට අනුකූල වුවද සෙල්ලක්කාර සැහැල්ලු මිනිසකු නේරුගේ හදවත තුළ ලැගුම්ගෙන සිටියේය.
මවුන්බැට්න් සාමිවරයා බි්‍රතාන්‍යය නියෝජනය කළ හමුදා ප්‍රධානියා වුවද ඔවුන්ගේ පවුල හා තරුණ නේරු අතර පැවතුණේ තදනන්තර බැඳීමකි. මවුන්බැට්න් සාමිවරයාගේ රූමත් ආර්යාව නේරුගේ හැඟීම් දැනීම් තේරුම්ගත් කුළුපග මිතුරියක වූවාය. ඔවුන් ගැන කටකතාද ඇතිවිණ.
දේවවාදී ගාන්ධිත් අදේවවාදී නේරුත් තම තමන්ගේ මත අතර සීතල යුද්ධයක් කරමින්ම නිදහස් අරගලය පණ පෙව්වෝය. දේශිය සම්ප්‍රදායට ගරු කළ මෙම නායකයන් දෙදෙනා අතරින් නේරු කලිසමට හා කබායට ප්‍රියකළ අතර ගාන්ධි උඩුකය නිරුවත්ව ගණකම් කදාර් රෙදි කඩකින් සැරසී දෙස් විදෙස්හි සංචාරය කරමින් තම දර්ශනය ප්‍රචලිත කිරීමට වෙහෙස විය.
ගාන්ධිගේ අහිංසා ධර්මය ඇදහූ ජනතාවට එය එපාවූයේ ඉන්දියාවත් පකිස්ථානයත් වෙන්වූ දිනයේය. කලහකාරීන්ගේ ආයුධ සංග්‍රාමය මැද ගාන්ධි තම ධර්ම යුද්ධය ගෙන ගියේය. ජාතීන් අතර සංහිඳියාව තුළින් ඉන්දියාවේ දියුණුව උදාකළ හැකි බව ඔහු පෙන්විය.
කල්කටාවට ගාන්ධි පැමිණෙන විටදී අපහාස ගල්මුල් වරුසාවක් ඔහුට එල්ල විය. එහෙත් ඊළඟ දින තුනේදී සිදුවූ ප්‍රාතිහාර්ය නම් එසේ ගහමරාගත් තීන්දුන් සමග මුස්ලිම්වරු ගී ගයමින් නිදහස් සැමරීමයි. ඒ කළේ බයිනෙත්තු වලින් නොව මෙම මහලු මිනිසායි. මාධ්‍ය වාර්තා කළේ එලෙසිනි.
1948 ජනවාරි 13 වැනිදා නිදහස් උදා හිරු එළියේම එතුමා දිල්ලියේ පිහිටි තම බිර්ලා මන්දිරය අසලදී හින්දු මුස්ලිම් සංහිඳියාව පතා මාරාන්තික උපවාසයක් ඇරඹීය.
මෙය මගේ අවසාන උපවාසය වන්නට ඉඩහරින්න
ගාන්ධි ඉල්ලා සිටියේය.
මෙයින් කෝපවූ අන්තවාදී හින්දු ගාන්ධි මරා දැමීමට තීරණය කළහ. ඊට හේතුව අරගල අවසන් කර ආයුධ බිම දැමූ මුස්ලිම් ජනතාවගේ විනාශවූ දේපොළ වෙනුවෙන් පකිස්ථානයට වන්දියක් ගෙවීමට මධ්‍යම රජය එකඟ කර ගැනීමට ගාන්ධිට හැකිවීමය.
“ගාන්ධිට මරණය” “ලෙයට ලෙය” යනුවෙන් සමහරු උද්ඝෝෂණය කළහ. මෙම මරණ තර්ජන ගැන ලැබෙන ආරංචි කන වැකුණු නේරු තමාගේත් ජාතියේත් පියකු බඳු මහලු කුඩා මිනිසාට අනතුරු ඇඟවිය.
ලෙඩ රෝග වලින් මැරෙනවාට වඩා සහෝදර වැසියෙකුගෙ අතින් මැරෙන එක භාග්‍යයක්. හැබැයි මගේ සිත තුළ අබමල් රේණුවක්වත් කෝප සිතුවිලි නැති නිසා සදාතනික සැනසිල්ල මට ලැබේවි. එදා ගාන්ධි මුව පුරා සිනහ වෙමින් කීය.
බියට පත් රජය බිර්ලා මන්දිරයට ඇතුළු වන සියලුදෙනා පරික්ෂා කරමින් ආරක්ෂක රැකවල් දැඩි කළේය. නේරුගේ කුලුණු බර නෙත ඉදිරියේ ගාන්ධිගේ පිවිතුරු හදවත විවර විය.
මා මරා දමනවා නම් යාච්ඤා රැස්වීමකදී එසේ කරන්න කියන්න. ඔබට මා ගලවාගත නොහැකි වුවත් මගේ ආරක්ෂක දෙවියෝ මට සාධාරණයක් කරාවි. එදා 1948 ජනවාරි 30 වැනිදා පාන්දර තුනට අවදිවූ ගාන්ධි නම් විවේකයක් නොගන්නා මිනිසා ජන සෙතට වැඩදායක කටයුතු රැසක නිරත විය.
සවස තම ආගමික සහයිකාවන් දෙදෙනාගේ කර මතින් කෙටි ඉණකඩ හා උරයෙන් ඇතිරූ සරුවාලය හා පටි සෙරෙප්පු පැලඳ දේව යාච්ඤාවට පැමිණියේය.
වන්දේ මාතරන් යැයි ජනතාව හඬ නැගූහ. බැතිමතුන් මැදින් ඔහු අසලට පැමිණි තරුණයකු දෙස හැරී ගාන්ධි තම සුහදතාව පෙන්නුවා පමණි. බිහාර් පෙදෙස දෙදරුම් කවමින් පිට පිට වෙඩි ගිනිසැර තුනක් ඔහුගේ කෙසඟ සිරුරට පිවිසිණ. ‘ඕ රාම් දෙවියනි’ ගාන්ධි මිමිනුවේය. මහත්මා ගාන්ධිගේ වියෝව ඇසූ නිදහස් ඉන්දියාව සංවේගයෙන් ඇළලී ගියේය. වහා දිව ආ ශ්‍රී නේරු අගමැතිවරයා සංවේගය දරාගත නොහැකිව සිතුවිලි සමුදායකින් වෙළී සිටියේය.
මන්දිරය අවට රැස්කකා සිටි සහෝදර ජනතාව වෙනුවෙන් යමක් කිව යුතු යැයි ඔහු සිතීය. බිර්ලා මන්දිරයේ තාප්පය මත නැගගත් ඉන්දීය නායකයා ඔවුන් ඇමතීය.
අපේ සදාදරණීය බාපු අපෙන් වියෝවුණා. මින්මතු අපට ඔහුගේ උපදෙස් අහන්න දුවගෙන එන්න බෑ. ඒත් එතුමා දැල්වූ ආලෝකය නිවී යන්නේ නෑ. වසර දහසක් ගියත් එය ලෝකයේ කොහේ හෝ බැබළෙනවා නිසැකයි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි