ලොව වටා ගිය රතු සපත්තුකාරයා


උතුරු කොරියාව සහ දකුණු කොරියාව බෙදා තිබුණු පැන්මුන්ජම් යුද මුක්ත කලාපයේ සංචාරය කළ ආසියානු මාධ්‍යවේදීන් පිරිස.

 

 

 

1962 දී මව්බිම පත්‍රයේ කර්තෘ ප්‍රේමලාල් කුමාරසිරි තරුණ සරත් කුරේ මාධ්‍යවේදියා අමතා මෙසේ පැවසීය. ජර්මන් නැවක් ඇවිත් තියෙනවා කොළඹ වරායට. ගිහින් ඒ ගැන විචිත්‍රාංග ලිපියක් සකස්කරගෙන එනවා. හැබැයි හොඳට ඇඳගෙන යන්න ඕනෑ. මෙය භාරධූර කටයුත්තක් ලෙස නවකයාගේ සිතට වැදිණ. ඔහු නැවකට යන පළමු වතාව මෙන්ම ජාත්‍යන්තර කටයුත්තකට සහභාගි වන මුල්ම අත්දැකීම නිසාය.


කොහොම වුණත් මං හිතට ධෛර්ය අරන් කල් තියා සූදානම් වුණා. ඇඳුම තමයි ගැටලුවකට තිබුණේ. මට සිහියට ආවෙම රතු පාට විතරයි. රතු පාට වැදගත්කමේ සංකේතයක් කියලා තමයි අපි හිතාගෙන හිටියේ. ඒ නිසා ඉස්තරම් තද රතු පාට කමිසයක් ඇඳලා කළු කළිසම ඇඳලා රතු නව පන්නයේ සපත්තු දෙක දාගෙන උජාරුවට නැවේ රැස්වීමට ගියා.
එහි හිටපු ප්‍රභූවරුන් එක්ක විදේශ අමුත්තන් එක්ක අතට අත දීලා කාලා බීලා විස්තර අරගෙන කුරුල්ලා වගේ ඇවිත් ලිපිය ලියලා දුන්නා. අපරාදේ කියන්න බෑ පත්තරේ කැපීපෙනෙන තැනක ඒක පළකරලා තිබුණා.


ඊට පස්සෙ කර්තෘතුමා මට කතාකරලා නැවේ පාටියට ගියේ තමුසෙ නේද? මොකක්ද ඇඳලා ගියේ?


රතු පාට සර්


මං හිතුවා හරි පීටර් කේනමන් සහෝදරයා මට කිව්වා එයාගෙන් ජර්මන් නැවේ කැප්ටන් අපූරු කතාවක් අහලා තියෙනවා. කවුද අයිසේ අර තද රතු කමිසයකුයි රතුපාට සපත්තු දෙකකුයි දාගෙන ආව ඉලන්දාරියා කියලා. මට මතක්වුණේ තමුසෙව.


පත්තර කාරයකුගේ වැදගත්කම රැඳී ඇත්තේ ඔහුගේ ක්ලීන්සූට් එක තුළ නොව තැනට ගැළපෙන සේ අඳින පත්තර කලාවට ගැළපෙන ඇඳුම හා හැසිරීම මත බව මං ඉගෙනගත්තෙ ප්‍රේමලාල් මහත්තයා එදා මට අවවාද කළ පසුයි. සරත් කුරේ සිනාසෙමින් පැවසීය.


වමේ පත්තරවල හිටියට ඔහුගේ සිහිනය නිතර තිබුණේ ප්‍රධාන ධාරාවේ පුවත්පතකට එක්වීමටය. පසුකලෙක ලේක්හවුස් සහ විජය ප්‍රකාශනවල කර්තෘ මණ්ඩලවල සේවය කිරීමට ඔහුට අවස්ථාව සැලසිණි.


විශේෂයෙන් විදෙස් තොරතුරු හා විචිත්‍රාංග ගොනු කිරීමේ සුවිශේෂ දස්කමක් ඔහුට ලැබුණේ සමාජවාදී රටවල කළ විවිධ සංචාර නිසාත් ඇසුරු කිරීමට ලැබුණු විදෙස් දේශපාලනඥයන් හා මාධ්‍යවේදීන් නිසාය.


ඉරාක ඉරාන යුද සමයේ මාධ්‍යවේදීන් පිරිසක් සමග කුර්දි කැරලිකරුවන් සටන් කරන දේශසීමාවට යාමට ලැබීම 1998 දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර විරසකය නිසා දේශසීමා බෙදී වෙන්වුණු අවස්ථාවේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පිරිසක් සමග කළ සංචාරයත් මට අමතක වන්නේ නෑ.


ආසියා ශාන්තිකර කලාපයේ පුවත්පත් කලාවේදීන් රැසක් සමග උතුරු හා දකුණු කොරියානු දේශ සීමා වෙන්වන පැන්මුන්ජම් නමැති ස්ථානයට යන්නට අපට අවස්ථාව සැලසුණා. මා සමග චීන, තායිවාන්, ඉන්දුනීසියා, වියට්නාම්, දකුණු කොරියා සහ ඉන්දීය මාධ්‍යවේදීන් එහි සිටියා.


තම මාධ්‍ය ජීවිතයේදී අසන්නට ලැබුණු ජාත්‍යන්තර ආන්දෝලනාත්මක සිද්ධිය අතර 1984 මැයි 11 දා මැදියම් රෑ සිදුවූ විදේශීය යුවළක් කොටි ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යාමේ සිද්ධිය මුලතැන් ගන්නා බව සරත් කුරේ මහතා පවසයි.


“ඇමරිකානු ජාතික ස්ටැන්ලි ඇලන් (36) මහතා උතුරේ ජල කර්මාන්ත තාක්‍ෂණික ඉංජිනේරුවරයකු ලෙස සේවය කළ අතර ඔහුගේ බිරිඳ වූයේ 26 හැවිරිදි මේරි එලිසබෙත් ඇලන් මහත්මියයි. ඔවුන් අලුත විවාහ වූ යුවළක් වූ අතර යාපනයේ කුරු නගර් හි කුලී නිවසක ඉතා සතුටින් පදිංචි වී සිටියෝය.


1984 මැයි 11 වැනිදා රෑ මැදියමේ ඔවුන් දෙදෙනා වීඩියෝ චිත්‍රපට බලමින් සිටින අතර මුහුණ ආවරණය  කරගත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ගෙතුළට කඩා පැන ඔවුන්ගේ අනන්‍යතා විමසා පසුව කප්පම් ඉල්ලා තිබෙනවා. කප්පම් දෙන්නට තමන් බැඳී නැති බව ඔවුන් පැවසූ අතර ත්‍රස්තවාදීන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා. ඉන්පසු ඔවුන් අතුරුදන්වුණා.


පසුදින මෙම පුවත සැලවූ වහාම රාජ්‍ය තාන්ත්‍රය මෙන්ම රට පුරා ජනතාව මහත් භීතියට පත්වූ බව පුවත්පත්වල පළවිණ. දහවල් 12 වන විට ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශනයෙන් වැඩි තොරතුරු අසන්නට ලැබිණ.


ඇමෙරිකානු ජාතික යුවළ පැහැරගත් ත්‍රස්තවාදී කල්ලිය මෙතැන් සිට පැය 72 ක් ඇතුළත සහ පැය හයක විරාමයකට පසු කෝටි 05ක් කප්පම් මුදලක් ඉල්ලා සිටිනවා. එසේ නොලැබුණහොත් ඔවුන් මරා දමන බව තරජනය කර ඇත.”


මෙම කරුණ අනාවරණය කළේ එවකට ජාතික ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ ලලිත් ඇතුළත්මුදලි මහතා.


අතුරුදන් වූ විදෙස් යුවළ ගැන විවිධාකාර ආරංචි නිල සහ නිල නොවන මට්ටමින් ලැබුණි. මොවුන් පැහැරගනු ලැබුවේ ඊළම්වාදී විප්ලවවාදී සංවිධානයේ (ෑඡඍඛත්‍) යුද අංශය මගින් බවත් ඔවුන් කුඩා ත්‍රස්තවාදී කණ්ඩායමක්  බවද හෙළි වුණි. ඇමරිකාවේ මිචිකන් නුවර ඔවුන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමට නම් කෝටි පහේ කප්පම් මුදලට අමතරව ත්‍රස්තවාදී සැකකරුවන් 22 දෙනෙකු නිදහස් කිරීමට මෙරට රජයට ඔවුන් බලකර සිටි බව දැනගන්නට ලැබුණි.


මෙම මුදල තමිල්නාඩුවේ සිටින තම නියෝජිතයාට භාරදෙන ලෙස ත්‍රස්තවාදී කල්ලිය දන්වා තිබුණි.


මෙම විදේශීය යුවළ ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානයට සම්බන්ධ වූ බවට සැකකර මෙම තර්ජනය හා පැහැර ගැනීම සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍යජාල විසින් පළකර තිබුණි.
“මෙවැනි ජාත්‍යන්තර ගැටලු පිළිබඳ මහත් කුතුහලයක් සහ ඕනෑකමක් මා තුළ තිබුණා” ඒ මා ජාතික පුවත්පත්වලටත් මැදපෙරදිග ප්‍රවෘත්ති ඒජන්සියවත් මාධ්‍යවේදියකු ලෙස  සම්බන්ධ වී තිබුණු නිසයි.


සරත් කුරේ පැරණි පුවත්පත් ගොනු අතරේ තමන් ඇසූ දුටු ජාත්‍යන්තර පුවත් ගොන්නක් දිග හරිමින් අප සමග පැවසීය. ඇලන් යුවළගේ පැහැර ගැනීම සිදුවූදා සිට දින 16ක් ඔවුන් ත්‍රස්තවාදි කල්ලිය භාරයේ රඳවා තිබුණා. මෙම කාලය තුළ ජාතික මෙන්ම වාරික පුවත්පත්වල ප්‍රධාන මාතෘකාව වී තිබුණේ මෙම ප්‍රවෘත්තියයි.


‘පැය 120කට පසු එනම් 1984 මැයි 16 වැනිදා මෙම යුවළ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් නිදහස් කර ඇති බව රජය දැනුම් දුන්නා. ඔවුන්ට කිසිදු හිරිහැරයක් පහර දීමක් නොකළ බව පවසමින්  ත්‍රස්තවාදීන් ඔවුන් නිරුපද්‍රිතව භාරදී තිබුණේ යාපනයේ රෝමානු කතෝලික බිෂොප් තුමා වෙතටයි.


මේ පිළිබඳ රජයේ නිල මාධ්‍ය සාකච්ඡාවක් කොටුවේ රජගෙදරදී පැවැත්වුණා. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාත් අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතා ඇතුළු දෙස් විදෙස් ප්‍රභූවරුන් හා මාධ්‍යවේදීන් ඊට සහභාගි වූ මගේ මිත්‍ර ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝර්ටන් වීරසිංහගේ දැනුම්වත් කිරීම මත මමද මෙම විශේෂ හමුවට එක්වුණා.
සරත් කුරේ මේ දක්වා ජනපති ජේ. අර්. පෞද්ගලිකව මුණගැසී තිබුණේ නැත.


“මං සරත්ව ලොක්කට මුණගස්වන්නම්’ නෝර්ටන් වීරසිංහ  පොරොන්දු විය. සරත් දිනකර පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාව සිටියදී යූ.ඇන්.පි රජයක් ජනාධිපතිත් ඇතිතරම් පතුරු ගසා ලිපි පළකළේය. ඒ නිසා ජේ. ආර්. තම විප්ලවවාදී පත්තරකාරයා කෙසේ පිළිගනී දැයි සරත් කුරේ තුළ කුකුසක්ද ඇතිව තිබිණ.
කෙසේ වෙතත් ප්‍රවෘත්ති සාකච්ඡාව ඉතා සාර්ථකව පැවැත්විණ. ඇලන් යුවළ තමන් ශ්‍රී ලංකාවේදී මුහුණ පෑ මෙම සිද්ධිය හා එහි පශ්චාත් පුවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ අපූරුවට විස්තර කළහ.


නෝර්ටන් විරසිංහ මහතා තම මිතුරාට පොරොන්දු වූ පරිදි ජේ. ආර්. හමුවට සරත් ඉඩ සැලසීය.


“සර් මං සරත් කුරේ”
මේ මං අහලා තියෙනවා මොකක්ද පත්තරේ?
‘දිනකර සර් ඒක කියවනවද?”
“මං දිනකර කියවන්නෙ නෑ. ඒත් බැලෙනවා”
මෙය අප්‍රබංස කතාවකි. “ඒ කිව්වෙ සර්”


‘අර වප් මඟුලෙදි මං අමුඩය පිටින් ඉන්න පින්තූරෙ තමුන්නැහැලා දිගටම පළකළානෙ. ඒ ඉතින් මාව මෝඩයට අන්දලා මඩ ගහන්න වෙන්න ඇති. ඒත් ඒ පින්තූරෙට මං හරි කැමතියි. ඒක දිගටම පළකරනවලා.” ජේ.ආර්. පැවසීය.


“අනෙක තමුසෙලගෙ පත්තර මට බණින්නෙ බටහිර වාදියෙක් කියලනෙ. මේ පින්තුරෙ දැක්කම පේනවනෙ මං ගොවි රජෙක් කියලා. ඒක මට ගෞරවයක්. කීර්තියක් දිගටම ඒ පින්තූරෙ පළකරන්න. ඔහු සිනාසුණා.


ජේ. ආර්. ගේ කපටි මොළයේ තරම මට වැටහුණේ එදාය.


සරත් කුරේගෙ දිවියේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස ඔහු සලකන්නේ කර්තෘ සංසදය බිහි වූ දිනයයි. ඔහු එහි මුල්ම සාමාජිකයෙකි. මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් සමග සැරිසැරූ යුගය සිහිවී වියපත් මාධ්‍යවේදියාගේ දෑස කඳුළෙන් තෙත්විය.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි