ඔක්තෝබරය යනු විප්ලව මාසයයි. එතෙක් පැවති ලෝකයේ සම්ප්‍රදායික ගමන් මඟ වෙනස් කළ සෝවියට් සමාජවාදී විප්ලවය සිදු වූයේ 1917 ඔක්තෝබරයේය. එයින් ගොඩනැඟුණු සෝවියට් සමාජවාදී ජනරජයට සමස්ත මිහිතලයෙන් හයෙන් එකක භූමිභාගයක් අයත් වූයේය. ලෝකයේ විශාලම ජනගහනය වෙසෙන රාජ්‍යය වශයෙන් පිළිගැනෙන්නේ චීනයයි. වැඩවසම් වාදී දූෂිත රාජ වංශවල පාලනය යටතේ වහල් භාවයේ ගිලී සිටි චීන ජනතාව මාඕ සේතුං නායකතුමාගේ මෙහෙය වීම යටතේ සිදුකරනලද චීන සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කර චීන සමූහාණ්ඩුව පිහිටුවනු ලැබුවේ 1949 ඔක්තෝබර් මාසයේදීය. මිහිතලයෙන් අඩකට කිට්ටු ජනතාවකට මෙසේ තම ඉරණම වෙනස් කර ගැනීමේ අවස්ථාව උදාකර දුන් ඔක්තෝබරයේ සුවිශේෂිතම සිදුවීම ලෙස එයට පක්ෂ විපක්ෂ ලෝක වාසී ජනතාව අවිවාදිතව සලකනුයේ සෝවියට් දේශයේ සමාජවාදී විප්ලවයයි. අප මේ කතා කරන්නට බලාපොරොත්තු වන්නේ එකී සංසිද්ධිය පිළිබඳවයි.
විප්ලවය යනු වෙනස යන අර්ථ දෙන තවත් වචනයකැයි වාග් විද්‍යාඥයෝ පවසති. එසේ නම් නිතරම පාහේ ලෝකයේ විප්ලව සිදු වේ. එහෙත් සෝවියට් විප්ලවය මේවා අතරින් තවදුරටත් සුවිශේෂී වේ. එය ඉතා සුළු එක් සිද්ධියකින් විස්තර කර දැක්විය හැකිය. වෙනසේ නියම අර්ථය එමගින් වටහා ගත හැකිය. රුසියාවේ රොමනොව් රාජ වංශයේ ඉතිහාසයේ බලගතු ස්ථානයක් හිමි කරගෙන සිටියේ ඈත අතීතයක සිටය.
දෙවියන්වහන්සේගේ කැමැත්ත පරිදි තමන් උපත ලබා ඇත්තේ තම තමාගේ රටවල් පාලනය කිරීමේ බලය උපතින්ම රැගෙන යැයි ඇදහූ රාජ වංශ කීපයක් යුරෝපයේ පැවතිනි. ප්‍රංශයේ බලවත් ලුවි රජවරුන් අයත් වූ බුර්බෝන් රාජ වංශය ප්‍රතාපවත් ඕස්ටි්‍රයානු අධිරාජ්‍යයේ මාරියා තෙරේසා අගරැජිනිය අයත් වූ හැප්ස්බර්ග් රාජ වංශය, එංගලන්තයේ ටියුඩර් සහ ස්ටුවට් යන රජ පෙළපත් තරම්ම ප්‍රබල වූ පරම්පරාව වූවේ රුසියාවේ රොමනොව් රාජ වංශයයි. එහි නම කී සැණින් ලොව නොදැන සිටියා නම් ඒ අතළොස්සක් පමණි. එසේ වූ දෙවැනි නිකුලස් සාර් රජු මොස්කව් රජ මාලිගයේ වාසය කරද්දී තම බිසව සහ දරු පවුල ආරක්ෂාව පතා පීටර්ස්බර්ග් නුවරට යැවීය. ඒ විප්ලවයේ උපරිම අවස්ථාවේදීය. සාරිනා රාජ දේවිය පීටර්ස්බර්ග් නගරයේ පවතින දේශපාලන තත්ත්වය සහ පවුලේ සුවදුක් දන්වමින් විදුලි පුවතක් යැව්වාය. එහෙත් සති කීපයකට පසු එම විදුලි පණිවුඩය ආපසු ඇය අතටම ලැබුණි. පැන්සලකින් ලියන ලද සටහනක් එම පණිවුඩයට අමුණා තිබුණි. එහි සටහන් කර තිබුණේ ‘නන්නාඳුනන කෙනෙකුගේ ලිපිනය සොයන්නේ කෙසේද?’ යනුවෙනි. විප්ලවය ජයග්‍රහණයටත් පෙරම එබඳු වෙනසක් සිදුව තිබුණි. ඒ සෝවියට් විප්ලවයේ එක් සුළු සිදුවීමක් පමණි. එයින් සිදු වූ ‘වෙනස’ එබඳුය.
ජනතාව ආහාර හිඟයෙන්, මන්දපෝෂණයෙන්, ලෙඩ රෝග වලින් දහසකුත් එකක් පීඩා විඳිද්දී එමෙන්ම අධික බදු බරින් පීඩා විඳිද්දී රාජ දේවිය පවුලේ සාමාජිකයෝ පමණක් නොව ඔවුන්ගේ හිතෛෂීහු ද එක්ව රස්පුටින් වැනි රැවටිලිකාරයන්ගේ බසට මුළාවී ජනතා මුදලින් පොදු කාම උත්සව පැවැත් වූහ. සල්ලාල ජීවිත ගත කළහ.
ආහාරය පිණිස පාන් ලබා දෙන්නැයි ඉල්ලමින් රජුගේ අනුකම්පාව පතමින් පෙළපාළි ගිය රුසියානු කම්කරුවන්ට ලැබුණේ වෙඩි උණ්ඩය. මෙම කෲර ප්‍රතිචාරය නිසා කෝපයට පත් වූ රාජ්‍යාරක්ෂක කොසැක් බළකාය රජු ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර සටන් කරන පීඩිත පන්තිය සමග එක් විය. රුසියානු විප්ලවයේ හැරවුම් ලක්ෂ්‍යය වූවේ එම සිදුවීමයි.
සෝවියට් සමාජවාදී විප්ලවය තරම් ලෝකයේ කතා බහට ලක් වූ වෙනත් මාතෘකාවක් නැතැයි විචාරකයෝ පැවසූහ. පළමු වැනි ලෝක මහා සංග්‍රාමය නිසා දැඩි හානි සහ පාඩු ලබමින් සිටි සාර් රුසියාව එම යුද්ධය නිසාම අසීරුවට පත් විය. එහෙත් අධිරාජ්‍යවාදයේ යුද්ධයක් යැයි කියමින් එය හෙළා දුටු නිසා බෝල්ෂේවික් පක්ෂයේ නායක ලෙනින් දුප්පත් ජනයා අතර ජනප්‍රිය වූවේය. එය විප්ලවයට ද ශක්තියක් විය.
මෙහි සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ 1917 ඔක්තෝබර් විප්ලවයට පෙර 1917 මාර්තු මාසයේදී ද රුසියාවේ විප්ලවයක් සිදු වූ බවයි. එය සාර් රජු විසින් සන්නද්ධ බලයෙන් මැඩපවත්වන ලදී. මාක්ස්වාදීහු විශේෂයෙන්ම බෝල්ෂේවික්වරු මර්දනය කරනු ලැබූහ. මරා දැමීමෙන් බේරුණු සියලු දෙනාම පාහේ සයිබීරියාවට පිටුවහල් කරන ලදහ. නැතිනම් වෙනත් රටවලට යවන ලදහ. පිටරටට මෙසේ පැමිණි අතළොස්සක් දෙනා තම සටන් ව්‍යාපාරය දිගින් දිගමට ගෙන ගිය. ලෙනින්ගේ නායකත්වය යටතේ තම කටයුතු කරගෙන ගිය මෙම විප්ලවවාදීහු සෑම අතින්ම සාර්ථක ලෙස විප්ලවීය අදහස් පැතිර වූහ.
මෙසේ දියුණු වෙමින් පැවති විප්ලවකාරී අදහස් උදහස් තවදුරටත් වර්ධනය වීමට මහත් බලපෑමක් කළ තවත් සුවිශේෂී කණ්ඩායමක් ද වූහ. ඔවුන් නම් එම යුගයේ රුසියාවේ ජීවත් වූ සම්භාවනීය ලේඛක පරපුරයි. මැක්සිම් ගෝර්කි, ඇලෙක්සැන්ඩර් පූෂ්කින්, නිකොලායි ගොගොල් වැනි මෙම ලේඛකයන් සහ කවීන් තම නැණ නුවණ යොදවා කරන කෘතිවල ප්‍රධාන තේමාව කොට ගත්තේ සාර්වරුන්ගේ වැඩ වසම් සහ දූෂිත පාලන තන්ත්‍රය නිසා රුසියානු ජනතාව පීඩාවට පත්ව දුක් විඳින ආකාරයයි. සමාජ අසාධාරණය නිසා අධික බදු බරින් පෙළෙන ජනයාගෙන් ලබා ගන්නා මුදල් වලින් රාජකීයයන් සහ ඔවුන්ගේ සමීපතමයන් සුරසැප විඳින්නටත් පීඩිත පන්තියේ ගොවි කම්කරු ජනතාව කුසගින්නෙන් මිරිකෙමින් පාන් කැබැල්ලක් ලබා ගත නොහැකිව දරිද්‍රතාවෙන් පෙළෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය මෙම ලේඛකයෝ සහ කවීහු තම කෘති මගින් නිරන්තරයෙන් ඉස්මතු කළහ. සිත් කාවදින ලෙස මටසිළිටු බසින් ලියූ එම ප්‍රබන්ධ කියවූ රුසියානු උගත් වියත් දැනුවත් සමාජ ස්ථරය විප්ලවීය අදහස් කෙරෙහි ආකර්ෂණය වූහ. මේ ආකාරයෙන් නැගී ආ ජනතා රළ වේගය නතර කරලීමට සාර්ගේ මර්දනකාරී ක්‍රියා නමැති වේල්ල ප්‍රමාණවත් නොවීය. ජාති, ආගම් හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව සියල්ලටම සමානත්වයක් ලැබිය යුතුයයි තරයේ ප්‍රකාශ කළ ලෙනින්ගේ නායක්තවය වටා ජනතාවෝ මී මැසි පොදියක් මෙන් ඒකරාශී වූහ. “අපි සොර දෙටුවෝ නොවෙමු. අපගේ මුළු ජීවිතයම යෙදවිය යුත්තේ පොදුජන විමුක්තිය පතාය. සුළු ජාතියක් වශයෙන් වුවද එය එසේ කළ යුතුය.” ඒ ලෙනින්ගේ හඬ විය. මෙසේ තම ස්ථීර ප්‍රතිපත්තියෙහි එල්බ සිටි නායකයාට සහාය පිණිස ඔහු මෙන්ම අවංක එඩිතර සහ බුද්ධිමත් නායකයෝ රැසක් ඔහු වටා සිටියහ. ජෝසප් විසරියානොව් ස්ටාලින්, ලියොන් ට්‍රොට්ස්කි යනු එවැනි ප්‍රබලයෝ දෙදෙනෙක් වූහ. එයින් ට්‍රොට්ස්කි මනා දක්ෂකමකින් හෙබි සංවිධායකයෙකි. ස්ටාලින් එඩිතර නායකයෙකි. මෙම දෙදෙනා ලෙනින්ට දුන් සහාය රුසියානු විප්ලව ජයග්‍රහණයට මනා අත්වැලක් වූවා නිසැකය.
රුසියානු දින දර්ශනයට අනුව 1917 නොවැම්බරයේදී සටන ආරම්භ විය. ඒ පෙට්‍රොග්‍රෑඞ් නගරයෙනි. එම නගරයේ කම්කරු පන්තිය සහ හමුදාවේ පහළ කොටස් රජයේ ගොඩනැගිලිවලට ඇතුළු වූහ. විදුලි පණිවුඩ මධ්‍යස්ථානය, ගුවන් විදුලිය, රාජ්‍ය මහ බැංකුව, රජ මාලිගය ආදී සුවිශේෂී ස්ථාන ඔවුහු අත්පත් කර ගත්හ. එයට ප්‍රතිවිරුද්ධව ආයුධ ගෙන ඉදිරියට ඒමට විරුද්ධ පක්ෂයක් සිටියේ නැත. සාර් පාලනය ඒ වන විටත් අහෝසිව ගොස් තිබුණි. එතෙක් පැවතියේ කෙරෙන්ස්කි නමැති පුද්ගලයෙකු යටතේ පැවති අන්තර්වාර පාලනයකි.
ලෙනින් නව රජයේ ප්‍රධානියා බවට පත් විය. ට්‍රොට්ස්කි විදේශ ඇමති බවට පත් විය. පසු දින ඔක්තෝබර් 18 වැනිදා ‘ස්මොල්නි’ ආයතනයට කොමියුනිස්ට් සම්මේලනය කැඳවා තිබුණි. සෝවියට් බලය බවට නැඹුරු කෙරුණේ එම කොමියුනිස්ට් (බෝල්ෂේවික්) මධ්‍ය බල මණ්ඩලයයි.
විශාල ලේ වැගිරීම් සිදු නොවුණු බව කියවේ. විප්ලවයේ දී වෙඩි හඬ නැගුණේ ඉතා මඳ වශයෙනි. බෝල්ෂේවික් විප්ලවයට විරුද්ධව හමුදාවක් නොසිටි නිසාය. සාර් පලා ගොසිනි. ඔහුගේ අනුගාමිකයෝ ද රජු හැර ගියහ. හමුදාව ජනතාවට එකතු විය. පෙට්‍රොග්‍රෑඞ් හි ජයග්‍රහණය ගැන උදම් වූ වෙනත් ප්‍රදේශවල ජනතාවද විප්ලවයට සහ ලෙනින්ට සහාය පළ කළහ. සාර් රජු ඇතුළු රජ පවුල මේ වන විට යූරල් කඳු වැටි අසල නැගෙනහිර රුසියාවේ විප්ලවකාරීන් පිරිසක් අත සිර භාරයේ සිටියහ. පසුව ඔවුන් මරා දමනු ලැබුවේ එම ප්‍රාදේශීය නායකයන්ගේ තීන්දුව මතය. එම ක්‍රියාව ලෙනින් අනුමත නොකළ බව කියවේ.
සමස්ත රුසියාව පමණක් නොව එහි යටත් ප්‍රදේශ ද සෝවියට් බලය පිළිගන්නා ලදී. ඒ නිසා එතෙක් පැවති යටත් විජිත වූ ලැට්වියාව, එස්තෝනියාව, ලිතුවේනියාව වැනි ප්‍රදේශ ද සම බලතල ඇති සෝවියට් සභා මගින් පාලනය වීම ආරම්භ විය. ඔවුනට අවශ්‍ය වූ ප්‍රධානම ප්‍රතිලාභය කරුණු දෙකකි. පළමු වැන්න ඉඩම්ය. දෙවැන්න සාමයයි. එහෙත් සාමය නම් බොහෝ දුර බව දක්නට ලැබුණි. රටවල් දාහතක විප්ලව විරෝධී හමුදාවෝ සෝවියට් දේශය වටලාගෙන ප්‍රතිවිප්ලවවාදී ආක්‍රමණයක් දියත් කළහ. රටේ ජනතාවට අවශ්‍ය පරිදි මාතෘභූමිය පවත්වාගෙන යාමට ඉඩ නොදෙන ලෝක බලවේග මෙහිදී ද තීරණාත්මක ලෙස අතපෙවීම් කරනු දක්නා ලදී. එහෙත් ට්‍රොට්ස්කිගේ දක්ෂ මඟපෙන්වීම යටතේ ගොඩනගනලද සෝවියට් රතු හමුදාව එම සියලු ආක්‍රමණ පරදවා තම විප්ලවවාදී ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමට සමත් විය.
කාලාන්තරයක් මුළුල්ලේ වැඩවසම්වාදී සාර් පාලනයට නතුව එක තැන පල්වෙමින් තිබූ රුසියානු සමාජය සංවර්ධනයේ මාවතට යොමු කිරීම අත්‍යවශ්‍ය මූලිකම කටයුත්ත බව නව නායකයෝ වටහා ගෙන සිටියහ. යුරෝපයේ අනෙක් රටවල් ඒ වන විට බොහෝ දුරට සංවර්ධනයේ ඉදිරියටම ගොස් සිටියේය. එහෙත් රුසියාව ඒ වන විටත් පැවතියේ ග්‍රාමීය නොදියුණු රටක් වශයෙනි. රුසියානු සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරවීමෙන් එරට ජනතාව අපේක්ෂා කළේ එම වෙනසයි. මේ පිළිබඳව අවධානය යොමු කළ සෝවියට් මධ්‍යම කමිටුව ‘පියලෙන්තිකා’ නම් වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ දියත් කළේය. මෙම කාර්යභාරය කෙතරම් ඉදිරියට ගියාද කියතොත් මොස්කව් හෝ පීටර්ස්බර්ග් යන නගරවලට බොහෝ ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශ පවා කාර්මික නගර බවට පරිවර්තනය වීමට ගතවූයේ කෙටි කලකි. සෝවියට් විප්ලවයේ පනස් වැනි සංවත්සරය යෙදුණු එක්දහස් නවසිය හැට හතේ දී එරටේ මහත් උත්සව පැවැත්වුණි. මෙරට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද බොහෝ නායකයෝ ඒවාට සහභාගී වූහ. එකල ලංකා කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛව දේශපාලන මට්ටමින් ද පක්ෂ, වෘත්තීය සමිති. තරුණ සංවිධාන. ශිෂ්‍ය සංවිධාන ආදී විවිධ මට්ටමින් පිරිස් එරටට ගියහ. ඒ අවස්ථාවේදී ඈත දුර ප්‍රදේශ වන බාකු, කීව්. ව්ලැඩිවොස්ටොක්, ඔරිස්සා ආදී නගරවල ඇතිවී තිබූ දැවැන්ත සංවර්ධනය අපි සියැසින් දුටුවෙමු. ඒ විප්ලවයෙන් පනස් වැනි වසරයි.
මිනිස් සිත යනු පුදුමාකාර දෙයකි. එය කිසි ලෙසකින්වත් තෘප්තියට පත් කළ හැකි අංගයක් ද නොවේ.
එකක් ලැබෙන විට තව දෙයක් ප්‍රාර්ථනය කරයි. නැති දෙයක් නම් එහි අගය වැඩිය. ඒ නැති දෙය සොයා හඹායාම මිනිස් සිතේ ස්වභාවයයි. සෝවියට් දේශයේ ජනතාව සිදුකර ගත්තේ එයයි. සෝවියට් විප්ලවයෙන් පසු එරට බොහෝ දේ දිනාගත් බව සැබෑය. එය ලෝකයේ ප්‍රධාන බලකඳවුරු දෙකෙන් එකක නායකයා බවට පත්වීමට සෝවියට් දේශයට හැකි විය. සඳු, අඟහරු, සිකුරු ඇතුළු ග්‍රහලෝක දක්වා ඔවුන්ගේ යසස පැතුරුණි. එහෙත් බටහිර අනුකාරකවාදී මුළාවන් පසුපස ගිය තරුණ පරපුර පෙරොස්ත්‍රොයිකා සහ ග්ලාස්නොට් ආදී ප්‍රතිසංස්කරණ නිසා අමාරුවේ වැටුණු බව වර්තමානයේ තත්ත්වය සසඳන විද්වත්හු ප්‍රකාශ කරති.
සෝවියට් සමාජවාදී විප්ලවයෙන් පසුව බිහි වූ පාලන ක්‍රමයේ නොයෙකුත් වැරදි තිබෙන්නට ඇත. එහෙත් එය නිසා ලෝකයට ලැබුණු දේ බොහෝය. එම කරුණු දෙක කිසි කලෙකත් සම කළ නොහැක. ඔක්තෝබර් විප්ලවයේ එක් සිය එක් වන සංවත්සරය සමරනු ලබන මේ මොහොතේ අපට සිහිපත් වන්නේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවයි.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි