නූල් සූත්තරවලින් පීඩාවට පත්වූ රටක ජනතාවට මැතිනියගේ දේශපාලන චාරිකාව වීර කාව්‍යයක් වැනිය. ඇගේ දේශපාලන දායකත්වය මෙන්ම ඇය විසින් දේශපාලනයට එක්කළ විශිෂ්ට දායාදයක්ද ඒ අතර වේ.
ජනමාධ්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දේශපාලන ජීවිතය වර්ණනා කළේ එසේය.
එතුමියගේ දේශපාලන මෙන්ම පෞද්ගලික ජීවිතයේදීත් මුහුණ දුන් අභියෝගවලට නොසැලී කටයුතු කිරීමට තරම් බලයක් එතුමිය සතුවුණේ බුදු දහමෙන් ලද පෝෂණයත් පරම්පරාවෙන් ලද පෞරුෂයත් සැමියා ඇසුරෙන් ලද අත්දැකීමත් ජනතාවගේ ආදරයත් නිසයි.
මෙසේ පැවැසූයේ එසේ මෙසේ කෙනකු නොව අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණෝය. දේශපාලනයෙන් තොරව රටේ ප්‍රභූ පවුල් ඇසුරු කර ඔවුන් දහම් මගෙහි යොමු කළ යතිවරයාණන් කෙනෙකු වශයෙන් උන්වහන්සේ අදටද ආදර්ශමත්ය.
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කඩවතු මැද දෙකෝරලයට අයත් ආරච්චි වසම් 23 පාලනය කළේ බළංගොඩ මහවළතැන්න දිසාවය. එතුමාගේ බෑනනුවන් වූ බාන්ස් රත්වත්තේ මහතාට එම ධුරය පැවරුණි. මාමණ්ඩියගේ අභාවයෙන් පසු ඔව්හු බළංගොඩ කොටුගොඩැල්ල වීදියේ අලුත් වලව්වට පදිංචියට ගියහ.
නොබෝ කලකින් දිසාවේ බළංගොඩ උඩුමුල්ල පන්සල අසල විසූ දක්ෂ දෛවඥයකු වූ ගිරහා වෙත හදිසි පණිවුඩයක් යැවීය.
මට දුවෙක් ලැබුණා. මේ උපන් වෙලාවට කේන්ද්‍රය හදා ගන්නයි.
දෛවඥයා තත්කාල ශාස්ත්‍රය අනුවත් ෂඞ්වර්ග කොට කේන්ද්‍රය හැදුවේය. නළල රැළි කර යළි යළිත් එය පරීක්ෂා කළේය.
ඇයි දරුවට අපලයක් වද්ද? දිසාපතිවරයා විමසීය. නෑ. දිසා හාමුදුරුවනේ මට අදහගන්න බෑ මේ දරුවා මහා පුණ්‍ය වන්තියක්. ඒ විතරක් නොවෙයි. කවදා නමුත් ලංකාව ආණ්ඩුකරන කෙනෙක් වෙනවා ඒක සත්තයි.
දිසාවේ එයට එකඟ නොවීය.
එක අතකින් අපේ රට සුද්දන්ගේ යටත් විජිතයකි. අනිත් අතට පිරිමින්ටවත් පාලන බලය අතට ගන්නට නොහැකි රටේ ගැහැනු අතකට පාලනය යන්නේ කොහොමද? ඔහු සිතුවේය. එහෙත් දෛවඥයා ශාස්ත්‍රය බාල්දු කරන්නකු නොවිණ.
මෙම දෛවඥයා පසුදින උදේ උඩුමුල්ල ශ්‍රී නන්දනාරාමයට ආවේ මේ ආරංචිය ලොකු හාමුදුරුවන්ගේ කනේ තැබීමටය.
අලුත් වලව්වේ පුංචි හාමුට රාජ යෝගයක් හාමුදුරුවනේ මං දෑහිං දැක්කා.
පන්සලේ ලොකු හාමුදුරුවෝද දෛවඥයෙකි. ඒ ආචාර්ය දෙණිහේනේ සීලානන්ද නාහිමියන්ය. උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම 22 හැවිරිදි බළංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියෝය.
උන්වහන්සේද පුංචි හාමුගේ කේන්ද්‍රය බැලූහ.
හැබෑ නේන්නම් මේකේ බලවත් රාජයෝග තියෙනවා තමයි. මොන ආකාරයෙන් හරි රජෙකුට සමාන තත්ත්වයක් මේ අප්පොට ලැබේවි. ධර්මපාලතුමා නිදහස ගැනම කිය කියා ජනතාව අවුස්සන හින්දා ළඟදි නිදහස ලැබෙන්නත් බැරි නෑ. රාජයෝගෙත් ඵල දේවි. උන්වහන්සේ අනාවැකියක් කීහ.
1920 දී ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා ආනන්ද මෛත්‍රෙය හිමියන් කොළඹ - ආනන්ද විදුහලට භාර දෙන ලද අතර 1932 දී බළංගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන අරඹා එහි ඉගැන්වූහ.
සංඝාවාසය හැදීමට දිසාවේ යුවළද තරුණ වියේ සිටි සිරිමා රත්වත්තේ මෙනවිය හා වලව්වේ සේවකයෝද තමන්ම උදලුගෙන පස් කපා ගෙපැල තැනූහ. එය දුටු බොහෝ දෙනා වහා අවුත් උපකාර වූහ.
මඳ කලකින් සිරිමා මෙනවිය තරුණ බණ්ඩාරනායක මැතිදුන් සමග විවාහ වූ අතර ගුරු හිමියන්ගේ හා ගිරහා දෛවඥයාගේ අනාවැකිය ද හරි ගියේය.
ඒ හිතවත්කම දිගින් දිගටම පැවැතිණ. ආනන්ද මෛත්‍රෙය හිමියන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවිය උසුලන විට මැතිනිය නිතර උන්වහන්සේ මුණගැසීමට ආවාය.
හාමුදුරුවනේ බොහෝම හාමුදුරුවරු අපේ පක්ෂයට සහයෝගය දෙනවා. ඒත් ඔබ වහන්සේ නම් අපේ පක්ෂයටත් ඉලෙක්ෂන් වැඩවලටවත් වඩින්න එපා. දේශපාලන වැඩට බහින්න එපා. මධ්‍යස්ථව ඉඳන් මහණ කම රැකගෙන දොලොවට වැඩ කරන්න.
මැතිනිය තමාට ඉතා භක්තිවන්තව පැවසූ බව අනඳ මෙත් නාහිමියෝ වරක් අසූවියට පා තැබූ හෙළයේ දිරිය මාතාව ග්‍රන්ථයට ලියා තැබූහ.
ස්වාමි භක්තිය රැකගෙන දරු උණුසුම ලබමින් ගෘහ ජීවිතය ගත කිරීමට ඇයට වුවමනා විය.
එහෙත් ඇය මව්පියන්ගේ ආභාසය නිසාදෝ ගමේ රටේ තොටේ ජනතාව ඇසුරු කිරීමටත් ඔවුන්ගේ ජීවිත වෙළාගත් දුක්ඛදෝමනස්සයන් බෙදා හදාගැනීමටත් අහිංසක උත්සාහයක් ගත්තාය.
සුදු ගති සිරිත් අත්හැර දමා ආරිය සිරිතට එක් වූ තම දයාබර සැමියාගේ සමාජ දර්ශනය හා දේශපාලන දර්ශනය තේරුම් ගැනීමට වෑයම් කළාය. අගමැති බණ්ඩාරනායක රටක් හැදුවා සේම දෙවන පෙළ නායිකාවක්ද නිර්මාණය කළේය.
බණ්ඩාරනායක අගමැතිදුන්ගේ ඝාතනය සියැසින් දුටුදා සිටම දේශපාලනයේ යහපැවැත්ම මෙන්ම එහි කෲරතර පැත්තද ඇයට සක්සුදක් සේ පැහැදිලි විය. ඇය වෙත සමාජය විසින් පැවරූ දේශපාලන අභියෝගය ඇය භාරගත්තේ මෙම ආභාසය ශක්තිය හා මියගිය සැමියාගේ ආශිර්වාද තුළිනි.
සැමියාට මෙන්ම විරුද්ධ දේශපාලනඥයන් පෞද්ගලික සතුරන් පක්ෂය තුළම තරගකරුවන්ගෙන් මෙන්ම අධිරාජ්‍යවාදී හා ධනවාදී අදහස් කරපින්නාගත් දේශීය ප්‍රතිගාමී බලවේගවලින්ද ඇයට අභියෝග එල්ලවූ අතර මරණ තර්ජනද ඒ අතර විය.
අපේ රට විදේශීය පාලකයන්ගෙන් පාලකයන් අතට පත් නොවුණු කාලය තුළ නව දෙනෙක් රට පාලනය කළා. එහෙත් බණ්ඩාරනායක මැතිනිය තරම් විවිධාකාර පීඩනයන්ට ලක්වූ එකදු කෙනෙක්වත් නැහැ.
පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ පවසති.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහයෙන් 1962 දී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට ඇය මැදිහත්ව ජයගත්තාය. 1971 අප්‍රේල් කැරැල්ල සාර්ථකව මැඩ පවත්වා තරුණ ජීවිත රැසක් විනාශ නොකර පුනරුත්ථාපනය කර සමාජ ගත කළාය. ජනසතු ව්‍යාපාරයන්ට එරෙහිව දේශීය හා විදේශීය කොම්පැණිකරුවන් කළ කෙනෙහිලි පරාජය කළාය. බිරිඳක් හැටියට ඇයට කළ අපහාසවලට මුහුණ දුන් සිරිමාවෝ මැතිනිය දේශපාලන පළිගැනීම්වලට භාජනය වී ප්‍රජා අයිතියද අහිමි කර ගත්තාය.
ඇය ලොව දැවැන්ත රාජ්‍යය අතරට ගොස් ලෝක ගැටලු ගැන විසඳුම් සෙව්වාය. විසඳුම් දුන්නාය. සතුරු රටවලට ගොස් මිත්‍රත්වයේ හස්තය දිගු කළාය. චීන ඉන්දියා, ඉන්දියා පාකිස්තාන් යුද ගැටුම් සමනය කර සිරිමා ශාස්ත්‍රී ගිවිසුම මගින් දේශයේ අනන්‍යතාව හා ආරක්ෂාව රැක ගත්තාය.
අගමැති බණ්ඩාරනායක පවුලත් සිරිමාවෝ රත්වත්තේ පවුලත් වලව් පැලැන්තියෙන් ආ අය බවට තර්ක කරමින් නිර්ධන පාන්තිකයන් ඔවුන්ට එරෙහිව මෙහෙයවූ ලංකා සම සමාජ කොමියුනිස්ට් ඇතුළු වමේ ඇත්තේ ශ්‍රීලනිප නායකයන්ගේ ප්‍රතිපත්ති සමාජවාදී ප්‍රතිපත්ති සමග ගැළපෙන බව ටිකෙන් ටික පිළිගත්හ.
එතෙක් නයි - මුගටින් මෙන් අභියෝග එල්ල කළ එජාපයේ ඇතැම් නායකයෝ මෙන්ම වමේ නායකයෝද සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රතිරූපය ඉදිරියේ තුෂ්ණිම්භූත වූහ.
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, නීති විශාරද කොල්වින් ආර්. ද සිල්වා, බොරලුගොඩ සිංහයා යන විරුදාවලි ලැබූ පිලිප් ගුණවර්ධන, රතු නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ වැනි දැවැන්තයන් සමග කරට කර සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූ ඇය 1972 මැයි 22 වැනිදා මෙරට සමාජවාදී ජනරජයක් බවට පත්කළාය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එරෙහිව පාර්ලිමේන්තුවේදී ගෙන ආ යෝජනාවට හේතු පාදක වූයේ ජනපති ජේ. ආර්. ජයවර්ධන පත්කළ කොමිසමේ වාර්තාවයි. එම කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනකු හා දිසා විනිසුරු වරයෙකුගෙන් සමන්විත විය.
මෙහි නඩුව මෙහෙයවූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු වු ඒ.සී. ද සොයිසා වනාහි බණ්ඩාරනායක මැතිඳුන් ඝාතනයට සැකකර කලක් සිරභාරේ සිටි ඩිකී සොයිසාගේ සොහොයුරා බැවින් තමන්ගෙන් පළිගැනීමට වැරදි තොරතුරු දුන් බවට මැතිනිය තර්ක කළාය.
“මෙවන් කොමිසමක් සසඳා බලන කල්හි කැකිල්ලේ රජ්ජුරුවෝ අති ශ්‍රේෂ්ඨ නඩුකාරයෙක්...” මැතිනිය කීවාය.
ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබූ සිරිමාවෝ එදා පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට පිළිමළුන්ටත් ජනතාවටත් ඇසෙන්නට කළ අවසන් කතාව ඇය තවමත් අපරාජිතව සිටින බව තහවුරු කරයි.
ගුරු කතානායකතුමනි, පුරා වසර 20ක් මම මන්ත්‍රීවරියකව සිටියෙමි. ඉන් 12 ක් අගමැති ධුර දැරීමි. අධර්මිෂ්ඨ පාලකයන්ගේ නීතියටත් රීතියටත් නැති මෙම ක්‍රියාව හේතුවෙන් දැන් එළැඹ තිබෙන්නේ ඔවුන්ගේ දුෂ්ට චේතනා සපිරුණේ නම් මා මෙහි කරන අවසාන කථාවයි. මේ සභාවෙන් මා ඉවත් කරනු ලැබුවද පොදු ජනතා අරගලය තිබෙන තුරු මා ඉවත් කිරීමට කිසිවකුටත් ඉඩ ලැබෙන්නේ නැතිබව පැහැදිලිය.
1980 ඔක්තෝබර් 10 හැන්සාඞ්
2010.10.10 වැනිදා මෙම ශ්‍රේෂ්ඨ නායිකාව දැයෙන් සමුගත්තේ ඇගේ අවසාන ඡන්දයද දැයේ දියුණුව වෙනුවෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි