ලෝකයම තිගැස්සූ සැප්තැම්බර් ප්‍රහාරය


 

ඇමෙරිකාව යනු ඉන්දියාව, චීනය, ග්‍රීසීය හෝ ශ්‍රී ලංකාව සහ තවත් එවැනි බොහෝ රටවල් මෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් නොවේ. එයට ඇත්තේ ශතවර්ෂ තුනක පමණ පුරාණයකි. එකල එංගලන්තයේ පැවති ආගම් අතර යුද්ධ සහ රජුන්ගේ හිතුවක්කාර ක්‍රියා ආදිය කෙරෙහි කලකිරීමෙන් සිටි පිරිසක් ඔවුන් සතුව තිබුණු මේප්ලවර් නම් වූ නෞකාවෙන් අත්ලාන්තික් සාගරය තරණය කරමින් නොඉඳුල් වනාන්තරයක්ව තිබුණු වර්තමාන ඇමරිකානු භූමියට පැමිණීම එහි ජනවාස වීම පිළිබඳ කතාවේ ආරම්භය විය. 


මෙම මහා වනාන්තර ටිකෙන් ටික එළි පෙහෙළි කරමින් ගොවිතැන් බත් කළ මෙම පුරෝගාමීහු එම සරුසාර පොළවේ වගා කරන ලද දුම්කොළ, අර්තාපල් ආදී වගාවෙන් එරට දියුණු කළහ. මෙම බි්‍රතාන්‍ය ජාතිකයෝ තම ඥාතීන් ද හිතවතුන් ද ගෙන්වා ගත්හ. 


මෙහි සරුසාර භාවය ගැන ඇසූ තව තවත් එංගලන්ත වාසීහු නව රාජ්‍යය වෙත ඇදී ආහ. තවත් කලක් ගත වන විට අයර්ලන්තය, ඕලන්දය, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය වැනි රටවලින් ද බොහෝ පිරිස් ගලා එන්නට වූහ. කොපමණ පැමිණියත් මේ විශාල භූමියේ ඇති පමණට ඉඩ කඩ තිබුණි. මෙසේ ජනාකීර්ණ වූ ප්‍රදේශ වෙන වෙනම ජනපද වශයෙන් සංවර්ධනය වූ බව කියනු ලැබේ. බි්‍රතාන්‍යයන් මෙහි පැමිණෙන විටත් වනයේ ජීවත් වූ ස්වදේශික ජනතාවක් වන රතු ඉන්දියානුවෝ ගෝත්‍ර වශයෙන් මහ කැලෑවේ ජීවත් වූහ. ඔවුන් සමූල ඝාතනය කළ නව පදිංචිකරුවෝ මහත් ධෛර්යයෙන් යුතුව වැඩ කරමින් ඒ රට සරුසාර ගොවි බිමක් බවට පත්කළහ. උතුරින් පිහිටි කැනඩාව මේ වන විටත් බි්‍රතාන්‍යය යටත් විජිතයක්ව පැවතියේය. ඒනිසා එහි වෙසෙන තම වර්ගයාගේ උදව් උපකාර ලබා ගැනීමට ද මෙම නව පදිංචිකරුවන්ට අවස්ථාව ලැබුණු බද කියවේ. වගාවන් සරු වී බවබෝග සම්පත් වැඩි වෙද්දී ඒවා අසල් වැසි රටවලට අලෙවි කිරීමට ද මොවුහු පුරුදු වූහ. එමෙන්ම නව ජනාවාසවල පදිංචිකරුවෝ තම මුල් සම්භවය නොතකා ඔවුනොවුන් හා විවාහ වීම නිසා ඇමෙරිකානු ජාතිය නිර්මාණය විය. මෙසේ පැමිණි ලන්දේසි ජාතික පිරිසක් වාසය කළ තම ප්‍රදේශය නගරයක් බවට පත්කර ඔවුන්ගේ මව්බිම සිහිපත් වීමට නිව් ඇම්ස්ටර්ඩෑම් යයි නම් කළහ. කොතන ගියත් බි්‍රතාන්‍යයන්ගේ ජන්ම ගතිය වූ අධික තණ්හාව මෙහිදී ද ඉස්මතු වූ බව කියනු ලැබේ. බි්‍රතාන්‍ය සම්භවය සහිත ඇමෙරිකානුවන් සංවර්ධනය වී මෙම නගරය අල්ලා ගැනීමෙන් පසු ඔවුහු එය නිව්යෝක් යැයි නැවත නම් කළහ. අප සඳහන් කිරීමට යන සිද්ධිය ඇති වූ නිව්යෝක් නගරයේ උපත සිදුවූයේ ඒ ආකාරයට බව ලෝක ඉතිහාසයේ සඳහන් වේ. 


දිගු කතාවක් කෙටියෙන් සඳහන් කළහොත් මේ වන විට යුරෝපයේ රටවල් දෙපිලකට බෙදී යුද්ධයක් කරමින් සිටියේය. එය සත් අවුරුද්දක් පැවති හෙයින් සත් අවුරුදු යුද්ධය යනුවෙන් නම් ලැබීය. මෙම අර්බුදයේ එක් පාර්ශ්වයක් වූවේ එංගලන්තයයි. මෙම දිගු කාලීන යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් එංගලන්තය ආර්ථික වශයෙන් හොඳටම හෙම්බත්ව සිටියේය. මෙහිදී මොවුන්ට මතක් වූවේ තම රටින් පිටත්ව ගොස් ඇමරිකාවේ පදිංචිව සිටින සරුසාර සමෘද්ධිමත් සහ ධනවත් ප්‍රජාවයි. මේ වන විට ඇමරිකාව පැවතියේ ජනාවාස වූ ජනපද දහතුනක් පමණි. මෙම තත්ත්වය හමුවේ එංගලන්තයේ රජය ඇමරිකානු වැසියන්ට නිවේදනයක් එවමින් කියා සිටියේ එම ජනපද වාසීන් එංගලන්තයට විශාල වශයෙන් බදු ගෙවිය යුතු බවයි. ජනපදවාසීහු මෙම නියෝගයට එකඟ නොවූහ. තමන් එංගලන්තයේ සිට පැමිණි බව සත්‍ය වුවත් තමන්ගේ දියුණුවට එංගලන්තය කළ දෙයක් නොමැති නිසා එරටට බදු ගෙවීමට තමන් සූදානම් නැති බව දන්වා යැවූහ. එකල ඉතා බලවත් රට වූ එංගලන්තය ඇමරිකාව ආක්‍රමණය කළේය. ජෝර්ජ් වොෂින්ටන් නම් ප්‍රාදේශීය නායකයෙකු යටතේ සංවිධානය වූ ජනපද වාසීහු ප්‍රබල එංගලන්තයට එරෙහිව යුද වැදුනහ. මෙම සටනේ අවසන් ප්‍රතිඵලය වූවේ බලගතු එංගලන්තය පරදවා ජෝර්ජ් වොෂින්ටන්ගේ දේශීය හමුදාව ජයග්‍රහණය කිරීමයි. ඒ අනුව ඔවුහු එංගලන්තය සමග කිසිදු යටත් බවක් නොමැතිව ස්වාධීන සමූහාණ්ඩුවක් බවට පත්වී ස්වාධීන ප්‍රකාශයක් ද නිකුත් කරන ලදී. ඒ 1776 දීය. එම ස්වාධීනතා ප්‍රකාශ පත්‍රයේ සඳහන් වන විශේෂ කරුණක් වන්නේ සෑම පුරවැසියෙක්ම උපතින් සමානය යන විශිෂ්ට ප්‍රකාශයයි. එය ක්‍රියාත්මක නොවුණා වුවත්, මානව හිමිකම් පිළිබඳව නීතිරිතී පිළිබඳ විශාල වර්ධනයක් එමගින් ප්‍රකාශ වූ බව සමස්ත ලෝකයාම පිළිගනිති. 


සරුසාර පොළවේ වැවිලි කර්මාන්තය දියුණු වූවාක් මෙන්ම පොළව යට සැඟවුණු මහා ධන සම්පත් සොයා ගැනීමටද පසු කාලීනව ඇමෙරිකානුවෝ සමත් වූහ. නව තාක්ෂණය සඳහා අවශ්‍ය වන ගල් අඟුරු, යකඩ සහ ඛනිජ තෙල් සොයා ගැනීම නිසා ඔවුහු ශීඝ්‍ර දියුණුවකට පත්වූහ. අඩු ජනගහනයකින් හා විශාල භූමියකින් යුතු රටක් නිසා බොහෝ දෙනා ඉඩම් හිමියෝ වූහ. රත්රන් සහ තඹ සොයා ගැනීම නිසා රටට  ඇදී එන ධනය තවත් ඉහළ ගියේය. නැගී එන විශාල ගොවිපොළවල සේවය කිරීමට අප්‍රිකාවෙන් රැගෙන එන ලද වහලුන් නිසා ඇමෙරිකාවේ කළු ජනතාවක් ද බිහි විය. 


මෙසේ දියුණුවෙන් දියුණුවට පත්වෙමින් සිටියදී ඇමෙරිකාවේ ජනාධිපතිව සිටි ජේම්ස් මොන්රෝ විසින් බලවත් යුරෝපා ජාතීන් වෙත නිර්භීත බලගතු ප්‍රකාශයක් නිකුත් කළේය. එයින් කියවුණේ ඇමෙරිකාවේ කුමන හෝ ප්‍රදේශයක කටයුතුවලට යුරෝපයේ කිසිම බලවතෙකුගේ මැදිහත්වීමක් තම රට නොඉවසන බවයි. මෙම කියමය එක්සත් ජනපදයට පමණක් සීමා නොවීය. දකුණේ ලතින් ඇමෙරිකානු රාජ්‍යයන්ට බලපෑ නිසා එම රාජ්‍ය සමූහය ඇමෙරිකාවේ අභිමතය පරිදි කටයුතු කරන රූකඩ බවට පත් විය. අන්‍ය රාජ්‍යයන්ට අතපෙවීමේ එම රටේ ප්‍රයත්නයේ ආරම්භය එය යැයි සලකනු ලැබේ. 


මේ යුගය වන විට ලෝකයේ අංක එකේ බලවතා වශයෙන් අවිවාදයෙන්ම පිළිගෙන තිබුණේ මහා බි්‍රතාන්‍යයයි. එහෙත් ඔවුන් සතුව තිබූ හිරු නොබසින අධිරාජ්‍යය යැයි විරුදාවලි ලත් යටත්විජිත සමූහය එකින් එක ගිලිහී යාමෙන් එමගින් ගලා ආ සුවිශාල ධනස්කන්ධය අහිමි වී යාම සහ වසර ගණන් දිග්ගැසුණු මහා යුද්ධවලට පැටලීම යන සංසිද්ධීන් නිසා අයසට පත්ව ගියේය. වික්ටෝරියානු යුගයේ පැවති ශ්‍රී සමෘද්ධිය, ප්‍රතාපය සහ දීප්තිය මැකී ගියේය. ඒ නිසා ධනවත්කමට අමතරව බලවත් බවද ළඟා කර ගනිමින් කරළියේ ඉහළට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ලෝක බලවතා වීමේ තරගයෙන් අංක එක බවට පත් විය. 

 

 

කාලීනව පැන නගින ඕනෑම දේශපාලන අර්බුදයකට මැදිහත්වීමට දෙවියන්ගෙන් වරප්‍රසායක් ලැබී ඇතැයි සිතෙන තරමට එබඳු ගැටලුකාරී අවස්ථාවන්ට අතපෙවීම ඇමෙරිකාව පුරුද්දක් කර ගත්තේය. සෝවියට් සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසු තවත් රටවල් ගණනාවක් සමග එරට වටලා යුද්ධයක් ආරම්භ කිරීමට නායකත්වය දුන්නේ ඇමරිකාවයි. දෙවැනි ලෝක මහා යුද්ධයේදී පරාජයට පත්ව හතර ගාතයෙන් වැටී සිටි ජපානය මතට පරමාණු බෝම්බ දෙකක් හෙළා සමූල ඝාතනයක් සිදු කළේ ඇමරිකාවයි. කොරියානු යුද්ධය ඇති වූයේම එක්සත් ජනපද රාජ්‍යයේ මැදිහත්වීම නිසා බව රහසක් නොවේ. 1949 චීන විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසු එරට නීත්‍යනුකූල චීන රාජ්‍යය බවට පිළිනොගෙන චීන මහා රාජ්‍යයට සමානුපාතිකව බලද්දී ගල් පරයක් තරම් වූ තායිවානය සහ එහි නායක චියැං කායි ෂෙක් ආරක්ෂා කරමින් දශක දෙකක් මුළුල්ලේ හරඹ කිරීමට ඇමරිකාව ක්‍රියා කළ ආකාරය ලෝකයට අමතක නොවේ. ප්‍රංශ අධිරාජ්‍යවාදීන් අල්ලාගෙන සිටි වියට්නාමය, හෝචිමිංගේ නායකත්වයෙන් ආයුධ සන්නද්ධ අරගලයක් මගින් නිදහස් කර ගැනීමට එරට විමුක්තිකාමීහු සමත් වූහ. ඒ වහාම වියට්නාමයට කඩාවැදුණු ඇමරිකාව වසර ගණනාවක් තිස්සේ යුද්ධ කරමින් සමස්ත වියට්නාමයම රුධිර ගංගාවක් බවට පත් කළේය. කියුබාව නිදහස් රාජ්‍යයක් වශයෙන් හිස එසවූ අවස්ථාවේදී එයට මැදිහත්ව නොයෙකුත් උප්පර වැට්ටි යොදමින් එම රාජ්‍යය බිඳදැමීමට කටයුතු කිරීම නිසා කියුබානු රජය ආත්මාරක්ෂාව තකා කොමියුනිස්ට් කඳවුරට අනුගත විය. කොන්ගෝවේ, ඇන්ගෝලාවේ, නැම්බියාවේ ආදී වශයෙන් ලෝකයේ කොතැනක අර්බුදයක් ඇති වුවත් ඇමරිකාව නොවැරදීම එහි එක් පාර්ශ්වයක සිටියේය. මෙම තත්ත්වය නිසා ඇමරිකාව ලෝකයේ පොලිස්කාරයා යන අපර නාමයකට ලක්විය. ඒ උපහාසයෙනි. පලස්තීනය යනු සදාකාලික ගිනි ගොඩකි. එහි වාසය කළේ ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජනතාව බහුතරයකි. එහෙත් ක්‍රිස්තුන් වහන්සේගේ යුගයේදී එම කලාපයේ බොහෝ යුදෙව් මිනිසුන් ජීවත් වූ බව කියවෙන සංකල්පයක් පවතී. දෙවැනි ලෝක මහා යුද්ධයේදී ඒකාධිපති හිට්ලර්ගේ නියෝගය පරිදි නැගෙනහිර යුරෝපයේ පදිංචිව සිටි යුදෙව් ජනයා දස දහස් ගණන් ඝාතනයට ලක් කරන ලදී. එපමණක් නොව ඔවුන් රටක් නැති ජනතාවක් බවට පත් විය. හිට්ලර්ගේ ඊනියා ජනවාර්ගික ශුද්ධ කිරීමෙන් දිවි ගලවා ගත් රටක් නැති යුදෙව් පිරිස පලස්තීනයට ගෙන වුත් පදිංචි කරන ලදහ. එසේ පලස්තීනය දෙකට බෙදා එක් කොටසක ඊශ්‍රායලය නම් අලුත් රටක් බිහි කිරීම නිසා මැදපෙරදිග යුද ගිනි ජාලාවක් බවට පත් විය. මෙම කාර්යභාරයේ ප්‍රමුඛයා වූවේ ඇමරිකාවයි. ඒ නිසා ත්‍රස්තවාදය මැදපෙරදිග කලාපයේ රජ කරන්නට විය. තමන්ගේ ගේ දොර, දේපොළ අහිමිවී අනාතකඳවුරුවලට ගාල් වී සිටි පලස්තීන තරුණයෝ විශාල වශයෙන් ත්‍රස්තවදීන්ට එක් වූහ. ජිහාඞ්, අල්ෆාටා ආදී නොයෙක් නම් වලින් මෙම සංවිධාන හඳුන්වනු ලැබූ අතර මැදපෙරදිග පමණක් නොව යුරෝපයේ බොහෝ රටවල ද ඔවුහු ක්‍රියාත්මක වූහ. මිනී මැරීම්, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, ගුවන් යානා පැහැර ගැනීම්, ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම් ආදී බොහෝ දේ සිදු විය. 


මෙවැනි දේ සුලබ වෙද්දී ලෝකයේ ත්‍රස්ත බියෙන් ඇළලී යන්නට විය. ඒ අතරවාරයේ සෝවියට් දේශයේ හමුදාවෝ ඇෆ්ගනිස්තානයේ පැවති ආණ්ඩුව පෙරළාදමා දේශීය කොමියුනිස්ට් නායකයෙකු වන බබ්රක් කර්මාල් බලයට පත් කළේය. ඉන්දියාව, චීනය, පකිස්තානය සහ සෝවියට් දේශයට ආසන්නවම පිහිටි ඇෆ්ගනිස්තානය තමන් යටතට පත්කර ගැනීම භෞමික සහ දේශපාලන වශයෙන් සෝවියට් දේශයට අයත් වූ මහත් වාසියක් විය. එකල ඉන්දියාව, රුසියාව සමග ඉතා සමීප සම්බන්ධතා පැවැත්වීම නිසා යුද්ධමය වශයෙන් වුවද එය ඉතා වැදගත් විය. මෙම යුගය වන විට අග්නිදිග ආසියානු රටවල් කීපයක් සමග ඇමරිකාවේ මූලිකත්වයෙන් සියැටෝ නමින් යුද්ධ ගිවිසුමක් ද උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය නමින් යුරෝපා යුද්ධ ගිවිසුමක් ද පවත්වා ගනිමින් සිටි ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයට මෙම ක්‍රියාව බලවත් වේදනාවක් විය. 
කුමන හෝ උපක්‍රමයක් මගින් රුසියාවේ උත්සාහය මැඩපැවැත්විය යුතු යැයි කල්පනා කළ ඇමෙරිකාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තව හිතවත් රටවල් මෙහෙයවා එක්සත් ජාතීන්ගේ සංවිධාන තුළත් ඉන් පිටස්තරවත් විශාල ව්‍යාපාරයක් ලොව පුරා දියත් කරන ලදී. චීනය ආදී රටවල් පවා මෙම විරෝධතාවලට හවුල් වූ අතර රුසියාවට විරුද්ධව විශාල ජනමතයක් ගොඩ නැගීමට සමත් විය. ඒ අතරම ත්‍රස්තවාදී අරගල මගින් ඇෆ්ගනිස්තානයට හිරිහැර කොට සෝවියට් පාලනය බිඳ දැමීමට කොතෙකුත් උපක්‍රම සැලසීය.


ඇමරිකාවේ සහ බටහිර ආසියාවේ තෙල් නිෂ්පාදනය කරන ධනවත් රටවල් ද යොදාගෙන ත්‍රස්තවාදීන් සංවිධාන ගත කිරීම ඇරඹුවේය. විශේෂයෙන්ම ඉරානය සහ පකිස්ථානය මේ සඳහා තම රටවල්වල භූමිය යොදා ගැනීමට ඉඩ දී තිබුණි. ලොව පුරා විසිරී තිබුණු ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් මේ රටවල් දෙකට ගොඩ බැස තම සහෝදරත්වය ප්‍රකාශ කරමින් ඉස්ලාම් ආගම අදහන රටක් වන ඇෆ්ගනිස්තානයට සෝවියට් රුසියාව විසින් එල්ල කරන ලද ආක්‍රමණයට විරුද්ධව සටන් කිරීමට කඳවුරු බැඳගන්නා ලදි. තලීබාන්, අල් කයිඩා යනු එවැනි නිර්මාණ දෙකකි. මූලිකවම ඇමෙරිකාවේ ධනය උපයෝගී කරගෙන බිහිවුණු මෙම සටන්කාමී සංවිධාන නිරතුරුවම ඇෆ්ගනිස්තානයේ සෝවියට් කඳවුරුවලට දැඩි ප්‍රහාර එල්ල කළේය. 


සෞදිඅරාබියේ රජ පවුලටද දුර නෑමකමක් ඇති මොහමඞ් බින් ලාඩන් නමැති අයකු සහ ඔහුගේ බිරිඳ වූ අල්ලියා ද දෙමාපියන් වශයෙන් ඇතිව ඔසාමා බින් ලාඩන් උපත ලැබුවේ සෞදියේ රියාද් නගරයේදීය. කෲර ගතිපැවතුම් ඇති පියාගේ කල්කිරියාව ඉවසා දරාගත නොහුණු අල්ලියා තම සැමියාගෙන් දික්කසාද වී වෙනත් විවාහයක් කර ගත්තාය. සිරියානු ජාතික කාන්තාවක් වූ ඇය විශාල දරු පවුලක් සමග ජීවත් වූයේ දෙවැනි සැමියා සමගය. මෙම අසහනකාරී පරිසරය ළදරු ඔසාමාට බලවත් සිත්තැවුලක් ගෙන දුන් සාධකයක් විය. මෙම අසහනකාරී හැඟීම් තුළින් ලද පීඩනය මෙම දරුවා ද කෲරත්වය කරා ගෙන ගිය බව පසුකාලීනව බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත. ධනවත් කොන්ත්‍රාත්කරුවෙකු බවට පත්වූ මෙම තරුණයා ද තමාගේ අනුගාමිකයන් සහ දරුවන් කීප දෙනෙක් ද සමග ඇෆ්ගනිස්තානයට ගියේ සෝවියට් විරෝධී යුද්ධයට තම දායකත්වය ලබා දීමටය. 
පසු කලෙක සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව ගිය අතර කොමියුනිස්ට්වාදී පාලනය බිඳවැටුණි. ඇමරිකානු අරමුණු සාර්ථකව අවසන් විය. සටන්කාමී සංවිධානයන් ගැන අවධානය අඩු වූවා පමණක් නොව සැපයූ ආර්ථික ආධාර උපකාරද ක්‍රමයෙන් අඩු විය. ඇමරිකාවේ ප්‍රතිපත්තියත් යම් යම් අන්තවාදී සංවිධානවල ප්‍රතිපත්තියත් අතර සමානුපාතික වන අවස්ථාවන් ද දක්නට ලැබේ. “කාරිය කෙරෙන තුරු පමණයි” කීවක් මෙන් දෙපාර්ශ්වයම රැවටිලිකාරයන් වීම නිසා මෙම පාර්ශ්ව දෙක අතර මතභේද හට ගැනුණි. ෂා රජුගෙන් පසු ඉරාණය වෙනස් මගක ගමන් කිරීමත් එය ඇමරිකාවේ ජාතික ඵලප්‍රයෝජන සහ අරමුණුවලට අභියෝගයක් වීමත් නිසා දැඩි මත භේද පැන නැග්ගේය. මේ හේතු කොට ගෙන අන්තවාදී අල්කයිඩාව ඇමරිකාවට මාරාන්තික තර්ජනයක් විය. තවත් බොහෝ සාධක ද මෙයට තදින් බලපෑවේය. අපේ ජනකතාවක එන නරියාට සමාන තත්ත්වයට ඇමරිකාව ඇදවැටුණි. මම හිටවපු කහඹිළියා නිසා තමාගේ පශ්චාත් භාගය කැසීමට කරුණු යෙදුණු බව තේරුම් ගන්නා විට ප්‍රශ්නය ඔඩු දුවා තිබුණි. සෝවියට් දේශයට පාඩම් උගැන්වීමට තමන් කිරී දී පෝෂණය කළ නයි පැටවා මහා නාග රාජයෙකුව තමා දෙසට හැරී දෂ්ට කිරීමට සූදානම් වන බව ඇමරිකාවට වැටහුණි. 


ලොව පුරා රටවල් රාශියක අගනුවරවල බෝම්බ පුපුරවා විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් විනාශ කළ ඔසාමා බිල් ලාඩන් සහ ඔහු නායකත්වය දෙන අල්කයිඩාව විනාශ කළ යුතු යැයි ඇමරිකාව තීරණය කළේය. ඔවුන් වෙසෙන ඇෆ්ගනිස්තානයේ ටාරා බෝරා කඳු වැටි ප්‍රදේශයට නිරන්තරයෙන්ම එම රටේ බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට විය. එයින් ඉමහත් කෝපයට පත් වූ අල්කයිඩා නායක ඔසාමා බිල් ලාඩන් දිවුරා ප්‍රකාශ කළේ සමස්ත ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයටම යස පාඩමක් උගන්වන බවයි. 

 

ත්‍රස්තවාදීන් පැහැරගත් ගුවන්යානය ගොඩනැගිල්ලේ ගැටෙන අයුරු.

 


දිනය 2001 සැප්තැම්බර් මස එකොළොස් වැනිදාය. ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයක් වූ කැලිෆෝනියා ජනපදයේ සිට ගමන් අරඹා තිබූ ඇමරිකන් එයා ලයින්ස් සහ යුනයිටඞ් එයා ලයින්ස් යන සමාගම්වලට අයත් ගුවන් යානා දෙකක් පැහැර ගත් අල්කයිඩා ත්‍රස්තවාදීන් නිව්යෝර්ක් නගරයේ උතුරු කුලුනේ සහ දකුණු කුලුනේ හප්පා මහා විනාශයක් කළහ. මෑන්හැටන් නගරයේ පිහිටි මහල් හතළිස් හතකින් සමන්විත මෙම ගොඩනැගිල්ල ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි සංකීර්ණය විය. අවට පිහිටි තවත් සුවිශාල ගොඩනැගිලි දහයක් ද මෙම මහා ප්‍රහාරයෙන් විනාශ වූ බව කියැවේ. තවත් ටික වේලාවකින් තුන්වැනි ගුවන් යානය ද පැහැර ගැනීමට ලක් විය. එය ඇමරිකන් එයා ලයින්ස් සමාගමේ අංක 77 ගුවන් යානයකි. එහි ඉලක්කය වූවේ ඇමරිකානු යුද්ධ මධ්‍යස්ථානය වූ පෙන්ටගනයයි. මෙය ඇමෙරිකානු රාජ්‍යයට කලකට පසු බලවත් ඛේදවාචකයක් වූවේය. ඕනෑම බලවතෙකුට යම් කිසි මොහොතකට මරණ භය දැනෙන බවට කියමනක් තිබේ. ඇමරිකානු එක්සත් ජනපදය නමැති සුපිරි බලවත් යෝධයාට මරණ බිය දැනුණේ මෙම සැප්තැම්බර් 11 වැනිදා සිදු වූ ප්‍රහාරයන් එල්ල වීම නිසා මෙම සුපිරි බලවතාගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලුවක් ද මතු වුණි. 


ඇමෙරිකාවට ඉහත කී ප්‍රහාර එල්ල වන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේත් තවත් රටවල් ගණනාවකත් ත්‍රස්තවාදී බෙදුම්වාදී අරගල බරපතළ ලෙස වර්ධනය වෙමින් තිබුණි. එහෙත් මුලින් ඇමරිකාව එම ප්‍රශ්න දෙස දැක්වූවේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. ත්‍රස්තවාදයට ඍජු පිළිතුරක් දීමට එම රට මැළිවූවේ ඒ සම්බන්ධයෙන් උපේක්ෂාවෙන් බැලීමේ පුරුද්දට ඇබ්බැහිව සිටි නිසාය. එහෙත් සැප්තැම්බර් 11 වැනිදා එම පිළිවෙත හකුළා ගැනීමට ලෝක බලවතාට සිදු විය. සමස්ත මිහිතලය තුළින් ත්‍රස්තවාදය අතුගා දැමිය යුතු යැයි ඇමරිකාව ප්‍රසිද්ධියේ කියා පෑමට ඉදිරිපත් විය. 


එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් දිගට හරහට බැට කමින් සිටි ශ්‍රී ලංකාවට ද මෙම තත්ත්වය යම් සහනයක් උදා කළා විය හැකිය. ඇමරිකාවද අල්කයිඩාව සහ එහි නායක ඔසාමා බිල්ලාඩන් සොයා ලුහුබැඳීම් ආරම්භ කළේය. එය නිසි අවසානයකට ළං වූයේ 2011 මැයි මාසයේ දී එක්සත් ජනපද නාවික හමුදාවේ සීල් නම් වූ නාවික ඛණ්ඩකයක් විසින් පකිස්ථානයේදී ඔසාමා බින් ලාඩන් මරා දැමීමෙන් නිමාවට පත් විය. අනුන්ගේ රටක ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට සහ ආරම්භයේදී ත්‍රස්තවාදය බිහි කිරීමටත් වැය කරන ලද ඩොලර් බිලියන ගණනක් වූ ධනස්කන්ධය නිසා ඇමරිකාව විශාල ධන හානියකට ද පත් වූ බව කියනු ලැබේ. කෙසේ වුවත් මේ සියල්ලෙන් හඳුනා ගැනීමට ලැබෙන පරම සත්‍යය වන්නේ තුවාලයේ වේදනාව දැනෙන්නේ තමාට ද එය වැළඳුණු පසුව වීමයි. මෙය දෛවයේ සරදමක් ද විය හැකිය.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි