ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර හමුදා අත්අඩංගුවේදී ඝාතනය වී වසර 29 කි. මෙරට දේශපාලනයට නැවුම් අත්දැකීම් හා සටන් මාදිලි හඳුන්වා දුන් ජවිපෙ නායකයා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්මහ විරු සමරු කමිටුව ‘රෝහණ විජේවීර - අමරණීය විප්ලවවාදියා’ නමින් කෘතියක් 1999 දී ප්‍රකාශයට පත් කළේය. මේ ඒ කෘතියෙන් ගත් උපුටනයකි.
වසර දෙකක් ප්‍රජාතන්ත්‍ර විරෝධීව සිය පාලනය දික් ගසා ගැනීමෙන්ද, සාගින්න හා මන්දපෝෂණය කුස පුරා ඇවිළවීමෙන් ද, තැන තැන තරුණයන්ගේ මළ සිරුරු දැල්වීමෙන්ද 1977 වන විට සිරිමා බණ්ඩාරනායක මැතිනිය නොහොත් ‘ලෝක සාම නායිකාව’ ලාංකීය මිනිසුන් අතර අති මහත් පිළිකුලට ලක්ව සිටියාය. වාමාංශික ව්‍යාපාරය ලෙයින් හා යකඩින් මර්දනය කර තිබූ මේ මොහොතේ සියලු වාසිදායක තත්ත්වයන් නිර්මාණය වූයේ එක්සත් ජාතික පක්ෂයටය. ඔවුන්ට මුල් වරට ඉතිහාසය විසින්ම සැබෑ ධනේශ්වර නායකයකු සම්පාදනය කර දී තිබුණි. ඒ ජූනියස් රිචඞ් ජයවර්ධනයි. නමේ මුල් කොටස දෙකට ගැළැපෙන පරිදිම ඔහු ඉතා පැහැදිලිව බටහිර ගැත්තකු විය. ජනතාවට තමන් බලයට පත් වූ විට ධාන්‍ය රාත්තල් අටක් සැපයීමේ කොන්ත්‍රාත්තුවේ සිට තවත් දහසකුත් එකක් පොරොන්දු ඔහු විසින් දෙන ලදි.
මේ සියල්ලෙන් කුල්මත් වූ කටේ කිරි සුවඳ පවා නොගිය තරුණ තරුණියන් සිය වැඩිහිටියන් සමග සමාන්තරව යෝධ එ.ජා.ප. පෙළපාලි වලට සම්බන්ධ වූයේ මහ හඬින් මෙසේ ගායනා කරමිනි.
ලෝක සාම නායිකාව
අපේ මාර දුතිකාව
සැබැවින්ම ජනතාවට මාර දූතිකාවක් වූ නොබැදි ජාතීන්ට ලෝක සාම නායිකාවක් වූ ‘සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක ළමාතැනිය 1977 මහ ඡන්දයෙන් නොසිතූ විරූ අන්ත පරාජයකට පත්විය. ඒ සමඟම මැතිවරණ සටන සාර්ථකව මෙහෙය වූ ජේ. ආර්. සහ ඔහුගේ අනුප්‍රාප්තික රණසිංහ ප්‍රේමදාස කිරුළ හා අනු කිරුළ හිමිකර ගත්හ.
1977 ට පෙර සිරිමාගේ සමගි පෙරමුණ විසින් ක්‍රියාත්මක කරන ලද්දේ රාජ්‍ය ඒකාධිකාරය මත පදනම් වූ ආර්ථික ව්‍යුහයකි. ඒ තුළ ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ පවා පාලනය කර තිබිණි. මිරිස් පොලු හා හාල් පොලු (අද තැන තැන ඇති හමුදා බාධක සේ) දැක ගන්නට ලැබිණි. ජනතාවට සාගත කාලයේ පටි තද කරගන්නැයි කී ඕ සිය අනුගාමිකයන්ට සහ හිතවතුන්ට සමූපකාරය මගින් රිසි සේ භාණ්ඩ පිටමං කරන්නට ඉඩ දුන්නාය. කුඩා ළමුන්ට කිරි පැකට් එකක් ලබාගැනීම කළුනික සෙවීමක් වුවද, ඇගේ හිතවත් දේශපාලකයන්ගේ සුරතල් බල්ලන්ට ඇති තරම් පිටිකිරි ලැබිණි.
ජේ. ආර්. ජයවර්ධනට අපූරු සිහින මාළිගා මැවීමේ හැකියාව තිබුණේය. ඒ අනුව ඔහු ලංකාව සිංගප්පූරුවක් කරන බවට දුන් පොරොන්දුව හිතුවාටත් වඩා ඉක්මනින් ඉටු කර තිබුණි. ඔහු ආර්ථිකයේ සියලු අංග ප්‍රත්‍යයන් නිරාවරණය කළේය. කිසිදු බාධාවකින් තොරව භාණ්ඩ ආයාත කිරීමේ නිදහස ඔහු විසින් දෙන ලදි. එසේම විදේශ ආයෝජකයන් ඉමහත් සාදරයෙන් යුතුව මෙරටට කැඳවා තිබිණි. දරිද්‍රතා මට්ටමේ පහළම කොටසේ වූවන්ට මැද පෙරදිග නැනීලා ලෙස යාමේ වරම හිමිවිය. කටුනායක නිදහස් වෙළෙද කලාපයක් තනන්ටත්, එමගින් දස දහස් ගණන් තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමටත් සැලැසුම් දියත්ව තිබිණි.
දොර දොර සල්පිල්ද, මුව මුව සිනා ඉනාද, දක්නට ලැබුණු මේ සමය ජනතාවගේ සතුටට හේතු කාරක විය. ඇපල්, මුද්දරප්පලම්. බටර්, චීස් සමග මෙතෙක් ළමුන් නොදුටු බී ලූණු, මයිසූර් පරිප්පු, උම්බලකඩ වැනි දෑද ශීතකරණ, ගෑස් කුකර්, අවන්, විදුලි ස්ත්‍රීක්ක, ග්‍රයින්ඩර්, රූපවාහිනි, කැසට් රේඩියෝ වැනි භාණ්ඩ දක්නට ලැබීම පවා ජනතාවගෙන් බහුතරයට සතුටක්ව තිබිණි.
රෝහණ විජේවීරයන් සිරගෙයින් නිදහස් වනුයේ සමාජය තුළ මෙවැනි වෙනස්කම් ඇතිවෙමින් තිබුණු වකවානුවකය. ඔහු අපරාධ යුක්තිය විනිශ්චය කොමිසන් සභාව අහෝසි කිරීම නිසා නිදහස් වූයේ 1977 නොවැම්බර් මස දෙවැනිදාය. ඔහු ඇතුළු ජ.වි.පෙ සාමාජිකයන් නිදහස් කිරීමට හේතුව වූයේ, ඒ පනත යටතේම එ.ජා.ප යේ හිතවතුන් වූ දූෂිතයන් පිරිසක් දඬුවම් විඳිමින් සිටි බැවිනි. එය ඇත්තෙන්ම එක්තරා අහම්බයක් පමණි.
නිදහස ලැබීමෙන් පසු රෝහණ විජේවීරයන් රැස්ව සිටි පිරිස සහ පුවත්පත් කලාවේදීන් අමතා පැය 03ක් කතා කළේය. එය කෙළවර වූයේ ඔහුගේ පැරණි හෘදයාබාධය යළි මතුවීමෙනි. විජේවීරයන් පසුව තම හිතවතෙකු සමඟ හෘදරෝග විශේෂඥයෙක් හමුවිණි. ඔහු පැවසුවේ හදවතට මනා ලෙසින් රුධිරය ගලා නොයාමෙන් ඇතිවන රෝගයකින් විජේවීරයන් පෙළෙන බවයි. ඉන් පසුව ඔහු එක්සත් රාජධානියා බලා ගියේ සිය රෝගයට ප්‍රතිකාර ලබාගැනීමේ බලාපොරොත්තුවත් පෙරදැරි කරගෙනය. ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව විජේවීරයන් එක්සත් රාජධානියේ මහත්මා ගාන්ධි ශාලාවේ දී ඉංග්‍රීසි බසින් ඉතා ව්‍යක්ත දේශනයක් පැවැත්වීය. ඊට ඉහළ ප්‍රතිචාර ලැබිණි. ඔහු පෙරළා ආපසු පැමිණියේ යුරෝපයේ හා තමුන් මුලින් ඉගෙනගත් සෝවියට් දේශයේ සංචාරයක් කිරීමෙන් අනතුරුවය.
මෙතැන් සිට යළිත් හේ දිවා රෑ නොබලා පක්ෂය ශක්තිමත් කිරීමට වෙහෙස වූයේය. රට පුරාම සංවිධාන ජාලයක් ගොඩ නැගූ ඔහු පක්ෂයේ පුවත්පත්ද යළි මුද්‍රණය කළේය. ඔහුට ජයවර්ධනගේ සිංගප්පූරු සිහිනයට එරෙහිව සමාජවාදය පිළිබඳ විශ්වාසයන් ගොඩ නැගීමට උවමනා වී තිබිණි. සත්තකින්ම කඩ සාප්පු භාණ්ඩවලින් පිරී ගියද ඒවා මිලදී ගන්නට ජනතාවට ක්‍රය ශක්තිය නොමැති බව කෙමෙන් වැටහී ගියේය. ඔවුන් සුසුම් හෙළමින් කීවේ ‘සල්ලි තියෙනවා නම් බඩු ගන්න පුළුවන්. ඒත් සල්ලි තමයි ප්‍රශ්නේ’ යනුවෙනි. පැරණි සූරාකෑමේ ගැල වෙනදාටත් වඩා නිර්දයව කැරකෙමින් තිබිණි. කම්කරුවන්ගේ ගොවියන්ගේ හා සියලු මැද පන්තික වෘත්තිකයන්ගේ ජීවන තත්ත්වය ඉතා අවාසනාවන්ත විය. 1980 මහා වැඩ වර්ජනය ඇරඹුණේ මේ මහා පීඩනයට එරෙහිව, ජීවන බරට සහනයක් පිණිස සොච්චමක් වැඩි කර ගැනීමටය. එහෙත් ජයවර්ධන නාගයකු සේ කුපිත විය. සියලු සේවා අත්‍යවශ්‍ය බවට පත්කළ ඔහු සියලු වැඩ වර්ජකයන් දොට්ට දැමීය. මේ අනුව 40,000කට පමණ රැකියා අහිමි විය. මේ පිටුපස ඇත්තේ ඉතා පැහැදිලිව වැඩ කරන පංතිය මුහුණ දුන් ඛේදවාචකයයි.
එය සැකෙවින් මෙසේය.
1947 වැඩ වර්ජනයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය ‘කන්දසාමි’ වෙනුවෙන් පවත්වනු ලැබූ සමරු දිනයේදී (1980 ජුනි 05) නාරාහේන්පිට කම්කරුවෙකු වූ ඩී. සෝමපාල එ.ජා.ප මැරයන් විසින් මරා දමන ලදි. ඔහු එසේ මරා දමන ලද්දේ වැටුප් වැඩි කිරීමට බල කරමින් පවත්වන ලද උද්ඝෝෂණයකදීය. ජූනි 09 වැනිදා සෝමපාලගේ අවමඟුල සිදුවිය. එයට මහ සෙනඟක් සහභාගි විණි. ජයවර්ධන ආණ්ඩුව සෝමපාල වෙනුවෙන් ‘ශෝකය පළ කළේ’ ඔහුගේ මළගමට පැමිණි රත්මලාන දුම්රිය සේවකයන් 12 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමෙනි. මේ නිසා ජූලි 07 එතැන වැඩ වැරිණි. එයට සහය පිණිස රට පුරා උද්ඝෝෂණ දියත් විය. ජූලි 17 වැනිදා සමස්ත වැඩ වැරුමක් කැඳවන ලදි. එහි ප්‍රධාන ඉල්ලීම වූයේ. වැඩ තහනමට ලක් වූ 12 දෙනා යළි වැඩට ගැනීමත්, මසකට රුපියල් 10 කින් වැටුප වැඩි කරන ලෙසත්ය. එහෙත් ඒ සඳහා ලැබුණේ හදිසි නීතිය පනවා කළ ඉහත සඳහන් මර්දනයයි. ‘කම්කරු පංතියේ කොන්ද කඩා අවසානයි’ යනුවෙන් ධනපති නියෝජිතයෝ ජය පැන් පානය කළහ. ඒ අතර වර්ජකයන් 40 ක් පමණ දිවි නසා ගනු ලැබ තිබිණි.
මේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් රෝහණ විජේවීරයන්ගේ මතය වූයේ, එවැනි අවස්ථාවක සූදානමකින් තොරව සටනක් කැඳවීමෙන් කම්කරුවන් බිලි නොදිය යුතු බවයි. මෙන්ෂෙවික් පක්ෂවලට අයත් නායකයෝ සහ වෘත්තීය සමිති නායකයෝ ද වර්ජනයට සහය පළ කළහ. 1980 වැඩ වර්ජනය පිළිබඳ ජ.වි.පෙ තීන්දුව නිසා එතෙක් ජ.වි.පෙ. සමග සිටි ප්‍රධාන වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු වූ එච්.එන්. ප්‍රනාන්දු පක්ෂයෙන් ඉවත් විය. ජ.වි.පෙ. සාමාජිකයන් වැඩ වර්ජනයට යාමෙන් ඔවුන් කවුරුන්දැයි හෙළිදරව් වන බවත්, එය ව්‍යාපාරයට බාධාවක් බවත් ජ.වි.පෙ. කීවේය. සැබැවින්ම ඉතා ශෝචනීය සිද්ධියක් වුවත් 1980 වැඩ වර්ජනය විෂය මූල තත්ත්වයන් මනාව තක්සේරු නොකළ නායකයන් නිසා උද්ගත වූ ව්‍යසනයකි. පසු කලෙක මේ නායකයෝ වර්ජකයන් දෙස ඇස් කොනෙන් හෝ නොබැලූහ. ඔවුහු 1999 වන විටත් තමන් සටනට කැඳවීමට පුද්ගලිකව ආරාධනා කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනියගේ ‘කාරුණික භාවය’ යටතේ කොටුව දුම්රිය පළ ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වති. උපවාසයේ යෙදී සිටියදීම රෝගාතුර වූ 1980 ජූලි වැඩ වර්ජකයෙකු මිය ගියේ නොබෝදාය.
මේ අනුව බලන විට මනාව සංවිධානය නොවූ, පාවාදීම පිළිබඳ ඉතිහාසයක් ඇති නායකයන් සමග වැඩ වර්ජනයට තම පක්ෂය සම්බන්ධ නොකිරීම ගැන විජේවීරයන්ට දොස් කිව නොහැකිය. වර්ජකයන් ආපසු හැරී ප්‍රශ්න කළ යුත්තේ විජේවීරයන්ගෙන් නොව ඔවුන්ගේ ප්‍රශ්න ගැන කිසිවක් නොකරමින් සිටින, පසු කලෙක ඇමැතිවරුන්ද වූ ඔවුන්ගේ ඉහළ පෙළේ නායකයන්ගෙන්ය.
ජයවර්ධන විසින් වර්ජකයන් මර්දනය කළද ඔහුට නැග එන ජීවන වියදම මර්දනය කිරීමට නොහැකි විණි. එසේම දිනෙන් දින ලේ විල් නිර්මාණය කරමින් තිබූ උතුරේ අර්බුදය ඔහුගේ මුග්ධ ක්‍රියා නිසා වඩාත් බරපතළ අතට හැරිණි. ඉන්දියාව සමග තිබුණු විදේහ සම්බන්ධතා මේ වන විට ඉතා දුර්වල තත්ත්වයක පැවැතිණි. ඇමරිකන් ගැති ඔහුගේ ප්‍රතිපත්තිය ඉන්දිරා ගාන්ධි ඇතුළු කොංග්‍රසයේ කෝපය අවුළුවා තිබිණි. මේ කාලයේ ඉතා දැනුම්වත්ව ඉන්දියාව විසින් උතුරේ සන්නද්ධ ගරිල්ලා කණ්ඩායම් ගණනාවක්ම වර්ධනය කළ බව නොරහසකි.
මේ සියලු නොහැකියාවන් යටතේ ජේ. ආර්. තව තවත් වියරු වැටිණි. 1983 දී වාමාංශික පක්ෂ මර්දනය කරනු ලැබුවේ ඒ භීතිය කරන කොටගෙනය. එහෙත් දිගින් දිගටම සිවිල් වැසියන් ඝාතනය වීම, අගනුවර බෝම්බ පිපිරුම් නවත්තන්නට ඔහුට හැකියාව තිබුණේ නැත. ‘තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතුය, යනුවෙන් අපූර්ව වූද, ඓතිහාසික වශයෙන් විහිළුවක් වූද ප්‍රකාශයක් කළේ මේ කාලයේදීය. ‘තමන්ට කොරන්න බැරි දෙයක් නැති බවත්, තමන්ට කොරන්න බැරි එකම දේ ගැහැනියක් පිරිමියකු කොරන එක පමණකැයි’ පාරම් බෑ යැංකි ජයවර්ධන 1987 පමණ වන විට හොඳටම තෙහෙට්ටු වී සිටියේය. එහෙත් වැඩ කරන ජනතාව වෙත තිබූ ඔහුගේ බද්ධ වෛරය පෙනෙන්නේ 1987 එළැඹෙමින් තිබුණු ලෝක කම්කරුවන්ගේ 101 වැනි මැයි දිනය තහනම් කිරීමෙනි. එදා තහනම නොතකා නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වුණු මැයි දින රැලියට වෙඩි තබන ලදි. එයින් ජයවර්ධනපුර සරසවියේ සිසුවකු වූ ‘කිත්සිරි මෙවන් රණවක’ සහ ‘ලෙස්ලි ආනන්ද ලාල්’ නැමති කම්කරුවාත් මිය ගියේය.
මෙවැනි විෂයමූල තත්ත්වයන් යටතේ ආණ්ඩු විරෝධය දෙගුණ තෙගුණ වීම ස්වභාවිකය. එය වඩාත් තිව්‍ර ස්වභාවයට පත් වූයේ 1987 ජූලි මස අත්සන් කළ ජේ. ආර්. - රජීව් ගිවිසුමත් සමගය. මේ වන විට විජේවීර සහෝදරයා බහු ජනතාව අතර කීර්තිමත් ප්‍රතිරූපයක් විය.
ජනතාවගේ ආණ්ඩු විරෝධී ක්‍රියාවන්ට සමගාමීව ආණ්ඩුවේ මර්දනයන් දැඩි විය. එය 1988 වසර වන විට ඉතා සාහසික හා ම්ලේච්ඡ විණි. සන්නද්ධ හමුදා විසින් මහවත්ත, කිරිබත්කුඹුර වැනි ගම් වටලා සිය ගණනින් ඝාතනය කර තිබිණි. බොහෝ හමුදා කඳවුරු හිට්ලර්ගේ නාසි වධකාගාරවල කැඩපතක් සේ පෙණිනි. එසමයේ රට පුරාම ටයර් සෑ මත දිවි පිදූ තරුණ තරුණියන් දස දහස් ගණනකි.
1989 වසර වන විට පක්ෂයේ ඉහළ කේඩරයත් අත්අඩංගුවට ගැනෙමින් තිබිණි. ඒ අතර මධ්‍යම කමිටු සාමාජිකයන් හා දේශපාලන මණ්ඩල සභිකයන්ද විය. රට පුරාම පක්ෂයේ පූර්ණ කාලීනයන්, අර්ධ කාලීනයන්, හිතවතුන් පමණක් නොව අහිංසකයන් බොහෝ ගණනක්ද ඝාතනය කර දමා හෝ අතුරුදහන් කර දමා තිබිණි. දවසින් දවස, පැයෙන් පැය තත්ත්වය වඩාත් බිහිසුණු අතට පෙරැළෙමින් තිබිණි.
අවසාන විග්‍රහයේදී එක් දේශපාලන මණ්ඩල සමාජිකයෙකු හැර අන් බොහෝ සදාදරණීය සගයන්ගේ ඉරණම ධවල භීෂණය තුළ නොසිතු විරූ ලෙස තීන්දු විය.
එය ලාංකීය පීඩිත ජනතාවගේ උණුසුම් බලාපොරොත්තු හිම මෙන් ශීතල කරන්නක් වූ බව අමුතුවෙන් කිව යුතුද?
‘අපේ අත් මිට මෙළ වී යළි නැගෙනු ඇත
භීෂණය ගැන ගී ගැසීම
කෙතරම් දූෂ්කරද ?
අප ජීවත්වන, මිය යන භීෂණය
අනන්ත භාවයේ අනවරත නිමේෂයක් ගැන ගීයක්
එහි කෙළවර නිහඬතාවය හා විලාපයයි
මා දුටු දෙස කලින් නුදුටු විරූය
එහෙත් මට දැනුණු දැනුණ ලෙස
නව චලනයක් බිහි කරනු ඇත
’සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප : අන්තර්ජාලයෙනි.