මේ රටේ සමාජවාදී ගමන උදෙසා එතුමා කළ සේවය විශිෂ්ටයි. ඒත් හැම දෙනාටම එම සේවය අද අමතක වීම කනගාටුවට කරුණකි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසුවේ දෙසැම්බර් 12 වැනිදාට යෙදුණු හිටපු මහජන මන්ත්‍රී ප්‍රේමලාල් කුමාරසිරි මහතාගේ සියවන ජන්ම දින සමරු උළෙලේදීය.
කවරෙක් ද මේ ප්‍රේමලාල් ?
එතුමා පිළිබඳ සෙවූ අපට අතීතයේ අපූරු මතක සටහන් පිළිබඳ තොරතුරු රැසක් හෙළිදරව් කර ගැනීමට හැකි විය. එම මතකය අවදි කළේ මේ රටේ පැරණිම වාමාංශික මාධ්‍යවේදියකු සහ ප්‍රවීණ ගීත රචකයකු වන අද 81 හැවිරිදි වියේ පසුවන සරත් කුරේ සූරීහු ය. එතුමාගේ ජන්ම දිනය ද 12 වැනිදාට යෙදී තිබීම විශේෂත්වයකි.
“ප්‍රේමලාල් මහත්තයා මගේ මාධ්‍ය ගුරුවරයා. එතුමා යටතේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ මව්බිමට සම්බන්ධවන්න මට ඉඩ සැලසුණා. මෙතරම් දුර ගමනක් එන්න මට ලැබුණේ එතුමාගේ ආකර්ෂණීය නම්‍යශිලී මෙන්ම ආදර්ශවත් මාධ්‍ය රටාව නිසයි.
1943 ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩලයේ පැරණිම පිරිසෙන් මෙතෙක් ජීවත්ව සිටියේ ප්‍රේමලාල් මහතාය. එම මණ්ඩලයේ පී.කේලා තුන් දෙනෙක් සිටියා. එක් කෙනෙක් තමා පීටර් කෙනමන්, අනිත් එක්කෙනා තමයි පී. කන්දයියා ප්‍රේමලාල් කුමාරසිරි හෙවත් කේ.පී. තමයි තුන් වැන්නා.” සරත් කුරේ කියයි.
පළමු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් හක්මණ අසුනට තරග කර ජය ලැබූ ප්‍රේමලාල් කුමාරසිරි එද පාර්ලිමේන්තුවේ සිටි ළාබාල මන්ත්‍රීවරයකු විය. පසු කලෙක මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ මාක්ස්වාදී ප්‍රවණතාවේ පුරෝගාමියා ලෙස ඔහු හැඳින්විණ. පාර්ලිමේන්තු ක්‍රමය ගැන එකල වාමාංශිකයන්ගේ පැවැතියේ බලවත් අප්‍රසාදයකි. “ධනවාදයේ නිෂ්පාදනයක් වන පාර්ලිමේන්තුව එම සිද්ධාන්තයේ දෙව් මැඳුරයි.” ඔවුහු අර්ථකථනය කළහ. එහෙත් ප්‍රේමලාල් කුමාරසිරි එවැනි ගතානුගතික වාමාංශිකයකු නොවීය. පරපුරෙන් හෝ පොත පතෙන් ආ පළියට යම් යම් සිද්ධාන්ත කරපින්නා ගැනීමට තරුණ මන්ත්‍රීවරයා කැමැති නොවීය.
ප්‍රේමලාල්ගේ පරපුරම එක්සත් ජාතික පක්ෂයේය. ජවිපෙ නායක රෝහණ විජේවීරගේ පියා සහ ප්‍රේමලාල්ගේ පියා අතර සුහද සබඳතා තිබී ඇත. කුඩා අවධියේ විජේවීර සුරතල් කරද්දි තම අතමත වමනය කළ බවද වරක් ප්‍රේමලාල් සිනාසෙමින් සරත් කුරේට පවසා තිබේ.
එහෙත් ප්‍රේමලාල් ජ.වි.පෙ. විරෝධියෙකි. එහෙනම් ප්‍රේමලාල්ව 71 කැරැල්ලේදී ආරක්ෂක අංශ වලින් අත්අඩංගුවට ගත්තේ ඇයි?
ඊට සරත් කුරේ මෙසේ පිළිතුරු දෙයි.
එතුමාගේ මාධ්‍ය භාවිතය නිසයි පළමුවරට සමාජවාදි උතුරු කොරියානු කෘතියක් එතුමා සිංහලට පරිවර්තනය කළා “ජපන් විරෝධි ගරිල්ලා භටයන්ගේ මතක සටහන්” කියලා. මෙම පොත 71 කැරැල්ලේදී මියගිය හා හසු වූ ජනතා විමුක්ති පෙරමුණේ අය ළඟ තිබිලා ආරක්ෂක අංශවලට හම්බ වුණා. ඒ සැකය පිටයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. එපමණක් නොව අම්මා, ගුරු තරුව වැනි පරිවර්තන හා සෝවියට් දේශයෙ රතු චීනය වැනි සඟරාත් එකල තහනමට ලක් වී තිබුණා.
උතුරු කොරියානු පරිවර්තන කෘතියෙහි ගරිල්ලා භටයන් ගිනි අවි නිෂ්පාදනය කරන අයුරු ද ඇතුළත්ව තිබිණ. එය ආරක්සක අංශ වල වඩාත් සැකයට ලක් විණ. ඇත්ත වශයෙන්ම මෙය පරිවර්තනය කළේ කරුණාසේන ජයලත් බවත් ප්‍රේමලාල් කළේ එහි අඩුපාඩු සැකසීම බවටත් මතකයක් තිබේ.
කෙසේ වුවද ප්‍රේමලාල් කුමාරසිරි සමග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ජයකොඩි, කරුණාසේන ජයලත්, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, එච්.ඒ.පී. මොහිදින් වැනි අය අත්අඩංගුවට පත් වූ අතර මීටියාගොඩ ගුණරතන, නාත්තන්ඩියේ ප`ක්‍ඳ`්ඤාකර වැනි හිමිවරු ද ජිනදාස නියතපාල වැනි දේශපාලනඥයෝ ද සැකයේ දැලට අසු වූහ.
අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තම වාමාංශික සගයන් අත්අඩංගුවට ගැනීම ගැන කනස්සල්ල පළ කළ ද රහස් පොලිසියේ පරීක්ෂණ වලට බාධා නොකළාය. සරත්කුරේගෙන් ද රහස් පොලිසිය ප්‍රශ්න කර තිබුණි. ඒ විහාර මහා දේවි උද්‍යානයේදීය.
ඒ වන විට සරත් කුරේ සිංහලේ පත්‍රයේ කතුවරයාය. ඔහු කලින් ධර්ම ශ්‍රී කුරුප්පු හා ධර්මසේන පතිරාජ එහි කතුවරු වූහ.
අවසානයේදී වමේ හිතවාදියකු වූ ටී. බී. සුබසිංහ මහතා කම්කරු අධ්‍යාපන පාඨමාලාවේ අධ්‍යක්ෂ ලෙස අගමැතිනිය විසින් පත් කළ අතර ප්‍රේමලාල් ඇතුළු පිරිස ඒ යටතේ පුනරුත්ථාපනය වී නිදහස් වූහ.
1959 කියුබානු විප්ලවයේ නායක පිදෙල් ක්‍රැස්ත්‍රෝ පිළිබඳව සිංහල පාඨකයාට හඳුන්වා දුන්නේ ප්‍රේමලාල් සහෝදරයායි. එපමණක් නොවයි අද දේශපාලන පාරිභාෂිත වදන් මාලාව හැදුවේත් එතුමා බව මාර්ග ආයතනයේ ප්‍රකාශනයක් වන මාර්ග අටුවාවේ සඳහන් වෙනවා. සරත් කුරේ පවසයි.
මේ කාලයේම කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා සෝවියට් රුසියානු පිල ලෙස දෙකඩ වුණා. ප්‍රේමලාල් සමග නාගලිංගම් ෂන්මුගදාසයන් ද චීන පිලට එක් වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භයක් චීන පිල නිසා සිදු වුණා.
වාමාංශික යනු සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බැහැර වූ දරදඬු න්‍යායවාදී පිරිසක් බවට ජනතාව අතර මතයක් ඇති වී තිබිණි. එහෙත් සිංහල සාහිත්‍යයේ වාමාංශික ප්‍රවණතාව හඳුන්වාදීමේ ගෞරවය ද හිමි වන්නේ ප්‍රේමලාල් සහෝදරයාට බව සරත් කුරේ කියයි.
එතුමා මාක්ස්වාදී සාහිත්‍යය පෝෂණය කිරීමට ශාස්ත්‍රීය පරික්ෂණයක නියැලුණා. ප්‍රේමලාල්ගේ පුතු නීතිඥ කාන්තිලාල් කුමාරසිරි අකාලයේ මිය ගියේය. ප්‍රේමලාල්ගේ බිරිඳ වූ මැණිකේ කුමාරසිරි ගුරු වෘත්තියේ යෙදුණු අතර ඇය ද සැමියාගේ දර්ශනයට ගරු කළාය. 1917 ශ්‍රේෂ්ට ඔක්තෝබර් විප්ලවය තුළින් සෝවියට් දේශය බිහි වූ පසු මුලින්ම ගොඩබිම හරහා එහි ගිය ශ්‍රී ලංකා කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක් වෙයි.
ඩී. බී. ධනපාල, පෙරමුණේ තිලක, ජුලියස් ද ලැනරෝල්, ප්‍රේමලාල් කුමාරසිරිගේ සමකාලීයෝ වූහ. නොබෝදා කර්තෘ සංසදය මෙහෙයවූ සම්මාන උළෙලලේ දී පිදුම් ලැබූ සරත් කුරේගේ ජීවන තොරතුරු අතර ප්‍රේමලාල් ගැන සඳහන් වේ.
යු.ඇන්.පිය. වනාහි අධිරාජ්‍යවාදී ධනපති පක්ෂයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ජාතික ධනපති පක්ෂයයි. එදා ඇතැම් වාමාංශිකයන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති දෙස සතුරු ඇසින් බැලුවේ එසේය. එහෙත් බණ්ඩාරනායක දර්ශනය ගැන තමා ඇතුළු වාමාංශික තරුණයන්ගේ සැකය දුරු වූ අයුරු සරත් කුරේ මෙසේ විස්තර කරයි.
1956 අලුත් ආණ්ඩුව පවත්වාගෙන යන්න බණ්ඩාරනායක මහත්තයාට ඉඩ ලැබුණෙ අවුරුදු තුනයි. ඒ කාලයට විශාල සමාජවාදි වැඩ කොටසක් එතුමා කළා. එතුමාගේ අකල් වියෝව තරුණ පෙරළිකාරයන් වූ අපේ හදවත්වලවත් තදින් දැනුණා.
එතුමා ජනතාවාදී නායකයකු බව අපට දැනුණේ පාර්ලිමේන්තුවේ තැන්පත් කර තිබූ දේහය බැලීමට රැඳී සිටි ජන සන්නිපාතය දුටුවීටයි. ඔවුන් ඉතා ශෝකයෙන් වැලපෙමින් සදාදරණීය නායකයාට බුහුමන් දැක්වූවා.
පාර්ලිමේන්තුවේ සිට බම්බලපිටිය හන්දිය දක්වා පේළි ගැසී සිටි ජන ගඟට අපේ වාමාංශික කොල්ලෝ එකතු වුණේ බම්බලපිටිය හන්දියේදීයි.
එතැන් සිට වාමාංශිකයන් බොහෝ දෙනෙකුගේ අදහස්වල නම්‍යශීලී වෙනසක් සිදු වන්නට ඇත. එබැවින් ඉතිහාසය තේරුම් ගත් බණ්ඩාරනායක මැයෙන් ලිපියක් ලියු තරුණ සරත් කුරේ එය මව්බිම පත්තරයට යැවීය. අගමැති ඝාතනයෙන් වසරක් පිරෙන දා එයට ප්‍රධාන තැනක් දී පළකෙරිණ.
බණ්ඩාරනායක මැතිඳු කරණම්කාරයකු නොව ජනතා නායකයෙකි. එම ලිපියේ අරුත විය. ඊළඟට ඔහුගේ සිත් ගත් සමාජවාදී නායකයා වු පැට්රිස් ලුමුම්බා ගැන මව් බිමට ලිපියක් ලිවීය. ‘මුළු ලොව කලම්බා මියගිය ලුමුම්බා මැයෙනි. එම ලිපිය ද මව්බිමේ ප්‍රධෘන තැනක පළ විය.
බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය දැරූ නීතිඥ මොරිස් රාජපක්ෂ මහතා මෙම ලිපි ගැන පැහැදි සරත් කුරේ තරුණයා කැටුව ගොස් මව් බිම ප්‍රධාන කර්තෘ ප්‍රේමලාල් කුමාරසිරිට හඳුන්වා දුන්නේය. “අයිසෙ තමුසෙ ද මේ සරත් කුරේ කියන්නේ. ලොකු වැඩ කාරයෙක් වුණාට පොඩි කොල්ලෙක් නේ තමුසෙ.” කැමති නම් හෙට ඉඳන් අපිත් එක්ක මුළු කාලෙම වැඩ කරනවා හැබැයි සල්ලි නම් බලාපොරොත්තු වෙන්න එපා.
ප්‍රේමලාල් කුමාරසිරි කතුවරයාගේ වදනින් මහත් ප්‍රමෝදයට පත් වූ සරත් දිගට හරහට ලියන්නම විය. ඒ උග්‍ර යු.ඇන්.පී. කාරයකු වූ පියාටද පිටුපාමිනි. මුලින්ම ඔහුට ලැබුණේ රුපියල් සියයක දීමනාවකි.
1947 පාර්ලිමේන්තුවේ ළාබාලතම මන්ත්‍රී වරයෙකු වූයේ කුඩා සිරුරක් ඇති. ප්‍රේමලාල් කුමාරසිරිය. ජේ. ආර්. - ඇන්. ඇම්. වැනි දැවැන්තයන් සමග එහි කටයුතු කරන්නට ඔහුට හයිය ලැබුණේ සිංහල මෙන්ම ඉංග්‍රීසි පිළිබඳවද ආනන්ද විද්‍යාලයෙන් ලැබූ උසස් දැනුම නිසාය.
මෙකල මාර්ටින් වික්‍රමසිංහයන් ද චීනය හා සෝවියට් දේශයේ කළ සංචාරවලින් පසු සමාජවාදී දර්ශනය කෙරෙහි පැහැදුණ සිතින් නිර්මාණ කිරීමට පෙලඹීම නිසා සාහිත්‍ය ලෝකයේ ප්‍රබෝධමත් යුගයක් ඇති විය. මෙතෙක් ලෙනින් හා මාඕසේතුං ගැන තිබූ වැරදි වැටහීම් තුරන් විය. මෙම සාහිත්‍යයට සමාජවාදයේ ආලෝකය ලැබීම නිසා 1956 පෙරළිය වඩාත් අර්ථවත් කෙරිණි.
ප්‍රේමලාල් කුමාරසිරි තුළ සැඟව තිබු සම්භාව්‍ය කලා රසිකත්වය සමාජගත වූයේය. අමරදේව චිත්‍රසේන සහ වජිරා වසන්ත කුමාර අනිල් සහ බැසි්ල් මිහිරිපැන්න වැනි දේශීය සම්භාව්‍යමය කලාකරුවන් අගයන රසික පරපුරක් වාමාංශිකයන් අතර බිහි විය.
එදා පටන් කොමියුනිස්ට් තරුණ සම්මේලනය එම සම්භාවය සංස්කාතිකාංග වලින් ප්‍රබෝධමත් කෙරිණ.
ඉහළ පන්තියේ පවුල් පසුබිමක් තිබු දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයන්ගේ ගෝලයා වු ගැමි පරිසරයකින් නගරයට ආ ප්‍රේමලාල් කුමාරසිරි හරහා සමාජවාදි දර්ශනය ගැමි සමාජයට ගෙන යාමට විශාල අනුග්‍රහයක් ලැබිණ. අකුරලිය පාලටුව ගම්මාන හරහා සමාජවාදයේ සුගන්ධය පැතිර ගියේ ප්‍රේමලාල් වැනි ගැමි නායකයන් නිසාය. අපේ රටට ගැළපෙන්නේ විප්ලවකාරි ප්‍රචණ්ඩත්වයක් නොව ගොවි කම්කරු හද ගැස්ම හා බැඳුණු සමාජ චින්තන විප්ලවයක් බව ඔහු වටහා දුන්නේය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි